ආන්දෝලනාත්මක විල්පත්තු පාර මහජන භාවිතයට විවෘත නොකිරීමට අවුරුදු 15 ක නෛතික ක්‍රියාවලියක ප්‍රතිපලයක් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පසුගියදා ලැබුණි. මෙම තීන්දුව මෙරට පරිසර සටන් වල ජයග්‍රහණයක් මෙන්ම හැරවුම් ලක්‍ෂයක් ලෙස හැඳින්වූවාටද වරදක් නැත. එම නඩු තීන්දුවට අනුව මහජනතාවට එම මාර්ගය භාවිත කිරීමට අවසර නොලැබෙන අතර ඇතුල්වීමට අවසර ලැබෙන්නේ ආරක්‍ෂක අංශ හා පොලිසියට පමණි. එසේ ඇතුල්වන සියලුම අයවලුන් වනසත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත යටතට පත්වන අතර අවසර නොමැතිව ඇතුල්වීම සපුරා තහනම් ය.
විල්පත්තුව පිළිබඳ කතාවත් හරියට අළු යට ඇති ගිනි පුපුරු මෙනි. වරින් වර පත්තු වේ. මහා ගාල ගෝට්ටියක් ඇතිවේ. යළිත් කිසි කතාබහක් නැතිව ඔහේ කාලයක් ගත වේ. දැන් යළිත් වතාවක් විල්පත්තුව පිළිබඳ කතාබහක් ඇතිවී තිබේ.
කොටස් පහකින් යුක්ත විල්පත්තුව ජාතික වනෝද්‍යානයට අයත් සම්පූර්ණ වනාන්තර ප්‍රමාණය හෙක්ටයාර 131693.7 කි. මීට අමතර ව විල්පත්තුව ජාතික වනෝද්‍යානය තවත් වනාන්තර ගණනාවක් හා සම්බන්ධ වෙමින් විශාල වනජීවී වාසස්ථානයක් ගොඩ නැගී ඇත. එනම් විල්පත්තුව උතුරු අභය භූමිය, තම්බෝව අභය භූමිය, මාවිල්ලු සංරක්ෂණ වනාන්තරය හා වීරක්කුලිචෝලේ වන රක්ෂිතය වැනි රක්ෂිත වනාන්තර ය.
විල්පත්තුව මගින් පෝෂණය කරන දිය දහරාවන් කෘෂිකර්මාන්තය ගොඩ නැගීමට, අලි – ඇතුන් ඇතුළු ජෛව ප්‍රජාවට වාසස්ථාන සැපයීම, ඊසාන දිග මෝසම් සුළං මගින් රට තුළට රැගෙන එන වළාකුළුවල ජලය පොළොවට ඇඳ ගැනීමේ යාන්ත්‍රණය හා එම වැසි ජලය ක්‍රමාණුකූලව රඳවා ගැනීම ඇතුළු වටිනාකම් රැසක් පිරි වන පෙතකි.
නමුත් මේ පිළිබඳ ව කිසිදු අවබෝධයක් නොමැතිව 2010 වසරේ දී විල්පත්තු වනාන්තර පද්ධතියේ තුළිත පැවැත්ම පළමු ව බිඳ දැමීම ආරම්භ කෙරිණි. ඒ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වෙරළ සීමාවේ හා ඒ ආශ්‍රිත ව කිලෝමීටර 38 ක් බැගින් දිගු මාර්ග දෙකක් ඉදි කරමිනි. ඉන් පසුව විල්පත්තු උතුරු අභය භූමියේ සහ විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි කල් ආරු වනාන්තර ප්‍රදේශය මහ පරිමාණයෙන් එළි කර ජනතාව පදිංචි කිරීම ආරම්භ කෙරිණි.
මේ අතරතුර විල්පත්තු ජාතික වනෝද්‍යානයට නැගෙනහිර ප්‍රදේශයේ අක්කර 15000 ක් පමණ එළිපෙහෙළි කර පහළ මල්වතුඔය වාරි ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
වනාන්තර විනාශ කර මාර්ග ඉදි කිරීමට හා ජනතාව පදිංචි කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගෙන එම ක්‍රියාවලීන් නතර කර තිබිය දී පසුගිය වසරේ ජූලි මාසයේ දී මැතිවරණ ඉලක්ක කර ගෙන විල්පත්තු ජාතික වනෝද්‍යානය කේන්ද්‍ර කර ගෙන ගැටලු නිර්මාණය කිරීමට ඇතැම් පිරිස් සූදානම් වූහ. ඒ අතර ඇතැම් භික්‍ෂුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් වූහ.
ඔවුන් ගේ සැලැසුම වූයේ 2010 වසරේ දී නීති විරෝධී ව කිලෝමීටර් 38 ක් විහිදෙන පරිදි සකස් කළ, අධිකරණය විසින් පොදු භාවිතය සඳහා තහනම් කළ මාර්ගය විවෘත කර ගැනීමට බලපෑම් කිරීම ය. ඒ සඳහා 2024 ජූලි මස 07 වැනිදා පුද්ගලයන් 300 ක් වනෝද්‍යානයට නීති විරෝධී ව ඇතුළු වී තහනම් කළ මාර්ගය භාවිත කිරීමට සූදානම් වී ඇත. නමුත් එම ක්‍රියාවලිය නතර කර ගත හැකි විය.
නමුත් මේ කාරණය පිළිබඳ අපගේ විමතියට හේතු වූයේ කරුණ වන්නේ මේ සියල්ල ඉතා හොඳින් දන්නා වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ අගමැතිවරිය හරිනි අමරසූරිය විසින් නැවත වරක් විල්පත්තු මාර්ගය විවෘත කරන බවට ප්‍රකාශ නිකුත් කිරීමය. එහෙයින් මේ තීන්දුව අපේ නොමද ප්‍රසාදයට හේතුවන්නකි.
වනාන්තර පද්ධතිය දෙකඩ කරමින් මාර්ග ඉදි කිරීම හේතුවෙන් ජෛව විවිධත්ව හායනය මෙන් ම අලි – මිනිස් ගැටුම වර්ධනය වීම මෙන් ම මල්වතුඔය වාරි ව්‍යාපෘතිය හේතුවෙන් වාසස්ථාන අහිමිවන අලි – ඇතුන් හේතුවෙන් වගා බිම්වලට වන සතුන්ගෙන් වන හානි තවත් උග්‍ර වනු ඇත.
විල්පත්තුව තුළින් මාර්ගයක් අවශ්‍ය ද?
පුත්තලම සිට මන්නාරමට විල්පත්තු වනෝද්‍යානය තුළින් සකස් කර ඇති මාර්ගයේ මුළු දුර කිලෝමීටර 120 කි. එම මාර්ගය පුත්තලම, එළුවන්කුලම, මොල්ලිකුලම, සිලාවතුර හරහා මන්නාරම දක්වා විහි දී ඇත. දැනට භාවිත වන පුත්තලම සිට මන්නාරම දක්වා වන මාර්ගය නොච්චියාගම, විලච්චිය, සිලාවතුර හරහා මන්නාරම දක්වා විහි දී ඇත. එහි දිග කිලෝමීටර 150 කි. කිලෝමීටර් 30 ක වැඩි වන දුර ප්‍රමාණය වෙනුවෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානය දෙකඩ කර විනාශ කිරීම යුක්ති සාධාරණ ද යන්න සිතා බැලිය යුතු ය.
විල්පත්තුවේ නීති විරෝධී මාර්ග ඉදි කිරීමේ ඉතිහාසය
ඈත අතීතයේ සිට ම විල්පත්තුව ජාතික වනෝද්‍යානය පිළිබඳ ව දෙස් විදෙස් සංරක්ෂණවේදීන්, සිංහරාජ අඩවිය මෙන් ම මහත් අභිමානයකින් යුතු ව කතා කළේ ය. ඒ අන් කිසිවක් නිසා නොව ලාංකීය ඉතිහාසයේ අක්මුල් සැඟවගත්, වන ජීවීන්ගෙන් පරිපූර්ණ වියළි කලාපීය පරිසර පද්ධති සංකීර්ණයක් වූ නිසා ය. වසර තිහක කාලයක් පැවති රුදුරු එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය තුරන් වීමත් සමඟ ම මෙම වනෝද්‍යානය තව දුරටත් දෙස් විදෙස් වන සත්ත්ව ලෝලීන් ගේ අවධානයට යොමු වනු ඇතැයි අප විශ්වාස කළෙමු. නමුත් සිදු වූයේ ඊට හාත්පසින්ම වෙනස් දෙයකි. පුත්තලම හා මන්නාරම අතර සම්බන්ධතාව ඇති කිරීම සඳහා යැයි සඳහන් කරමින් 2010 වසරේ දී විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා වනාන්තර, විල්ලු හා පුරාවස්තු පිරි භූමි ප්‍රදේශ ගොඩ කරමින් හා කැණීම් කරමින් මාර්ග දෙකක් ඉදි කෙරිණි. මෙම මාර්ග දෙක ම ඉදි කෙරුණේ පරිසර නීති උල්ලංඝනය කරමින් නාවික හමුදාව විසිනි. ඒ සඳහා අවශ්‍ය මූලික ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ නැවත පදිංචි කිරීමේ අමාත්‍යංශයෙනි. පාර්ලිමේන්තුවෙන් සම්මත වූ පරිසර නීති, රාජ්‍ය අංශය විසින් ම මෙලෙස අමු අමුවේ උල්ලංඝනය කරද්දී වනජීවීන්ට සිදු වූයේ අසරණව බලා සිටීම පමණි. වර්තමානයේ නීති විරෝධී ව භාවිත කිරීමට ඉල්ලීම් කරන්නේ ද නාවික හමුදාව විසින් ඉදි කළ මෙම නීති විරෝධී මාර්ගයයි.
පාලම් තුනකින් සමන්විත ව විල්පත්තුව ජාතික වනෝද්‍යානය හරහා ඉදි කළ, සාවද්‍ය ලෙස පරණ මන්නාරම මාර්ගය යැයි සඳහන් කළ මාර්ගයේ දිග වනෝද්‍යානය තුළ දී පමණක් කිලෝමීටර 35 කි. මෙම මාර්ගය එළුවන්කුලම ප්‍රදේශයේ කලා ඔයෙන් (විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමෙන්) ආරම්භ වන අතර උතුරු මායිම දක්වාම විහිදේ. කලා ඔයේ සිට මෝදරගම්ආරු දක්වා ජාතික වනෝද්‍යානය තුළ මාර්ගය ඉදි කර ඇත. මෙම මාර්ගයේ සිට වනාන්තරය තුළට තවත් මාර්ග ජාලයක් ඉදි කර තිබුණි. මේ සඳහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ වනාන්තර හා විල්ලු ඉතා විශාල ප්‍රමාණයක් වැනසීම සිදු කර තිබේ. පූකුලම් ප්‍රදේශයේ අක්කර 8 කට වඩා වැඩි ප්‍රදේශයක වනාන්තර එළි කර පස් කඳු කපා, විශාල වළවල් හාරා මාර්ගය ඉදිකිරීමට පස් ලබා ගෙන ඇත. පස් ලබා ගැනීමට කැණීම් කළ මෙම විශාල වළවල් අලි – ඇතුන් ගේ මර උගුල් බවට පත් වී ඇත.
පරණ පාරයි අලුත් පාරයි එකක්ද
අලුතින් ඉදි කළ මෙම මාර්ගය සමහරුන් හඳුන්වන්නේ පරණ මන්නාරම මාර්ගය ලෙස ය. තවත් අවස්ථාවක A32 මාර්ගය ලෙස ද හඳුන්වයි. 2010 හා 2011 වසරවල දී මෙම මාර්ගයේ තැනින් තැන B379 මාර්ගය ලෙස සඳහන් කළ පුවරු දක්නට ලැබුණි. නමුත් මේ සියල්ල සාවද්‍ය ය. පරණ මන්නාරම මාර්ගය ලෙස ඈත ඉතිහාසයේ දී සඳහන් වූ කරත්ත පාරක් විල්පත්තුව හරහා විහි දී තිබී ඇත. නමුත් මෙම මාර්ගය බොහෝ කලක සිට පොදු ජනතාව ගේ භාවිතයෙන් ඉවත් වී ඇති අතර එය ජාතික වනෝද්‍යානය ප්‍රකාශයට පත් කරන විට ජාතික වනෝද්‍යානයට අයත් ව තිබේ. නමුත් මෙම මාර්ගය බහුල ව ජනතාව විසින් භාවිතයට ගත් මාර්ගයක් ලෙස පැවත නැත. ඊට හේතුව මෙම කරත්ත මාර්ගය කිලෝමීටර 40 ක් පමණ වනාන්තරය තුළින් ව්‍යාප්ත ව පැවතීමයි.
දැනට අලුතින් ඉදි කර ඇත්තේ අලුත් ම මාර්ගයකි. මෙම මාර්ගය පිළිබඳ ව නිවැරදි තතු මාර්ග සංවර්ධන අධිකාරියේ ද සඳහන් ව නොමැත. එසේ තිබිය අන්තවාදී පිරිස් විල්පත්තුව දෙකඩ කරමින්, වනජීවී වාසස්ථාන වනසමින් මෙම මාර්ගය ඉදි කිරීම සාධාරනීකරණය කෙරිණි.
ඊට අමතරව විල්පත්තු ජාතික වනෝද්‍යානයේ වෙරළ තීරය දිගේ මන්නාරම සිට පුත්තලම දක්වා තවත් අලුතින් මාර්ගයක් ඉදි කිරීම ආරම්භ විය. මෙම මාර්ගය ඉදි කිරීම සඳහා වෙරළ තීරයේ ව්‍යාප්ත ව ඇති වැලි කඳු, කටු පඳුරු සහිත ලඳු කැලෑ බිම්, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, වෙරළබඩ පරිසර පද්ධති සහ පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත විශාල භූමි ප්‍රදේශ ඩෝසර් යන්ත්‍ර මගින් සම්පූර්ණයෙන් ම විනාශ කර දමා තිබුණි. කිලෝමීටර 40 ක් පමණ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ ව්‍යාප්ත ව ඇති මෙම වෙරළබඩ මාර්ගය සැකසීමට මීටර 70 කට වඩා පළලින් යුත් විශාල වනාන්තර තීරයක් විනාශ කෙරිණි.
විජය රජු ගොඩබට තම්බපණ්ණිය, මහා ශිලා යුගයට අයත් පුරාවිද්‍යාත්මක වටිනා බිම් ප්‍රදේශ මෙම දැවැන්ත මාර්ගය ඉදි කිරීම සඳහා ඩෝසර් යන්ත්‍ර ආධාරයෙන් සම්පූර්ණයෙන් ම විනාශ කර දැමුණි.
වන සතුන් දැඩි තර්ජනයක
නීති විරෝධී මාර්ග සකස් කිරීම සඳහා අක්‍රමවත් පස් කැණීම් හා මාර්ගයේ පස් පිරවීම් හේතුවෙන් වර්ෂා කාලයේ දී ඒ ආශ්‍රිත ව පිහිටි විල්ලුමය තෙත් බිම් සියල්ල ගොඩ විණි. මාර්ග සකස් කිරීම හේතුවෙන් වනජීවී වාසස්ථාන කුට්ටිකරණය වූහ.
2010දී මෙම මාර්ගය මහජනතාව සඳහා විවෘත වීමත් සමඟ ම වනෝද්‍යානයේ ජීවත් වන සත්ත්ව ප්‍රජාව වනෝද්‍යානයේ කොටස් දෙකකට කොටු වීම සිදු විය. ඒ හේතුවෙන් එම සතුන් ගේ ගහන ඝනත්වයට දැඩි බලපෑම් එල්ල විය. මාර්ග අනතුරු හේතුවෙන් මිය යන සත්ත්ව ප්‍රජාව අධික වී තිබුණි. මේවා වනජීවීන් වෙනුවෙන් වෙන් කළ වනජීවී වාසස්ථානයක් තුළ සිදු නොවිය යුත්තකි.
වනෝද්‍යානයේ නීති වීරෝධී ක්‍රියා රැසක්
මෙම මාර්ගය තහනම් කිරීමට ප්‍රථම ජනතාව විසින් වනෝද්‍යානයේ ගස්වැල්වලට හානි සිදු කෙරිණි. පලු ගස්වල අතු කැපීම සඳහා අතුවල ලණු හෝ කඹ ගැට ගසා අනෙක් කෙළවර වාහනවල ගැට ගසා ඇදීමෙන් පලු අතු කැඩීම සිදු විය. එම අතුවල ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන වර්ණ ප්‍රභේද වැඩි ම ගණනක් සහිත රාස්සන (Vanda tessellata) උඩවැඩියා විශේෂය බහුල ව තිබෙනු දැක ගත හැකි විය.
ආරක්ෂක අංශවලට අයත් නිලධාරීන් ගේ වාහනවලින් දඩමස් ප්‍රවාහනය කර ඒවා කොන්ඩච්චිකුඩා ප්‍රදේශයේ වෙළඳසැලක තිබිය දී හමු විය. මෙය අප ඉතා වගකීමෙන් යුතු ව ලියා තබන අතර ඒ පිළිබඳ ව සාක්ෂි සහිත ව අප අදාළ අංශ එම කාල වකවානුවේ දී දැනුවත් කෙරිණි.
ජෛව සම්පත් හා පුරා වස්තු අනතුරේ
විල්පත්තුව තුළ විවිධ වූ පරිසර පද්ධති වලින් කුල 123 කට අයත් මල් පිපෙන ශාක විශේෂ 623 ක් පමණ වාර්තා වී ඇති අතර ඉන් විශේෂ 27 ක් ලංකාවට ආවේණිකය. සමනලුන්, මත්ස්‍යයන්, උභයජීවීන්, උරගයන්, පක්ෂීන් හා ක්ෂීරපායීන් යන සත්ත්ව කාණ්ඩ හයට අයත් විශේෂ 328 ක් පමණ විල්පත්තුවෙන් වාර්තා වන අතර ඉන් විශේෂ 21 ක් ලංකාවට ආවේණික වේ.
ඊට අමතරව පුරා විද්‍යාත්මක වටිනාකම් රැසකින් සමන්විතය. ඉන්දියාවෙන් පැමිණි විජය රජු ගොඩබට තම්බපන්නිය පිහිටා ඇත්තේ ද ලාංකේය සංස්කෘතියේ අක් මුල් රැදී ඇත්තේ ද විල්පත්තුව තුළ ය.
එපමණක් නොව පුරා විද්‍යාත්මක වටිනාකම් සහිත ප්‍රදේශ 68 ක් පමණ හඳුනාගෙන තිබේ. ඒ අතර පොසිල සහිත ප්‍රදේශ, ප්‍රාග් ඓතිහාසික න්‍යෂ්ඨාවශේෂ සහිත භූමි, ඉපැරණි සොහොන් බිම්, මෙසෝලිතික යුගයේ ගල් ආයුධ සහිත ස්ථාන මෙම ජාතික වනෝද්‍යානය තුළින් හමු වී තිබේ. නමුත් නීති විරෝධී මාර්ග සංවර්ධනය හා වනෝද්‍යානයේ කැණීම් හේතුවෙන් මෙවන් පුරා වස්තු රැසක් අහිමි විය. මෙවැනි තීන්දු තීරණ ගැනීමට හෝ නීති විරෝධී ක්‍රියා වනෝද්‍යානය තුළ සිදු කිරීමට කිසිදු කණ්ඩායමකට අවස්ථාව ලබා දිය යුතු නැත.
වනෝද්‍යානයේ ආරක්ෂාව අභියෝගයට ලක් කිරීම
ජනාධිපතිවරයා හා අගමැතිවරිය විල්පත්තු ජාතික වනෝද්‍යානය තුළ මාර්ගය විවෘත කිරීමට පෙළැඹවීමෙන් සිදු කරන්නේ 2022 අංක 07 දරන පනතින් අවසන් වරට සංශෝධිත වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත උල්ලංඝනය කිරීමට පෙළැඹවීම් ඇති කිරීමය. මෙම පනතේ 5(1) උප වගන්තියට අනුව අවසර පත්‍රයක බලය යටතේ හැර ජාතික වනෝද්‍යානයකට ඇතුළු වීම හා රැඳී සිටීම නීති විරෝධී වේ. මෙවන් නීති විරෝධී ක්‍රියාවක නිරත වන පුද්ගලයකු පනතේ 67ආ.(1) උප වගන්තියට අනුව වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගත හැකි ය. එය සංඥේය වරදකි. පනතේ 63 වන වගන්තියට අනුව එවන් ක්‍රියාවක නිරත පුද්ගලයකු මහෙස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කිරීමෙන් පසු ව වැරදිකරුවකු කරනු ලැබූ විට පනතේ 10(ඈ) උප වගන්තියට අනුව රුපියල් පහළොස් දහසකට නොඅඩු හා පනස් දහසකට නොවැඩි දඩයකට හෝ වසර 2 ත් 5 ත් අතර සිරදඬුවමකට හෝ මෙම දඬුවම් දෙකට ම යටත් කළ හැකි ය. මීට අමතර ව මෙවන් වරදක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන පුද්ගලයකු ද පනතේ 59 වන වගන්තියට අනුව අත්අඩංගුවට ගත හැකි අතර වැරදිකරුවකු කරනු ලැබූ විට මෙම දණ්ඩනයන්ට ම යටත් කළ හැකි ය. මෙම මාර්ගය විවෘත කර ගැනීමේ අරමුණින් ජාතික වනෝද්‍යානයට අනවසරින් ඇතුළු වී නීති විරෝධී ලෙස ක්‍රියා කරන ඕනෑ ම පුද්ගලයකුට එරෙහි ව වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥාපනත ක්‍රියාවේ යෙදවීමට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට කටයුතු කළ යුතු හැකි ය.
ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා නිකුත්කළ නඩු තීන්දුව අනුව විල්පත්තු පාර පවතින අයුරින්ම බොරලු පාර ලෙසට තිබිය යුතු අතර සංවර්ධන කටයුතු අවශ්‍ය වුවහොත් පමණක් සිදුකළ හැකි අතර පාරේ මුල් ස්වරූපයම පවත්වාගත යුතුය. විල්පත්තුව බේරාගැනීමට මෙරට පරිසර සටන් වල වලට මුල්වූ සියල්ලන්ටමත් මේ නඩුතීන්දුව ලබාදීමට කටයුතු කළ නීතිඥවරුන් ඇතුලු සමස්ථ නෛතික පද්ධතියටත්” ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපේ ගෞරවය හිමිවිය යුතුය.
අවසානයේ අප කිවයුතුව ඇත්තේ කුමන රජයක් කුමන තරාතිරමක අයෙකු වූවද පරිසරය යනු පරිසරය මිස කණ්ඩායමක හෝ තනි අයෙකුගේ බූදලයක් නොවන බවය. තවද පරිසරයට ඡන්ද අයිතිය නැති බැවින් එය වටහාගෙන පරිසරය රැකෙන අයුරින් කටයුතු කිරීම කාගේත් වගකීමය. ඒ නිසාම කිසිදු ආකාරයකින් පරිසරයට සිදුවන අවැඩක් සාධාරණීකරණයට ලක් කිරීමටද නොහැකිය.
විශේෂ ස්තුතිය සජීව චාමිකර
ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
සමීර කන්නන්ගර