ගම අසලින් ගලා බසින් අබකොළ ආරෙන් ඇළක් මගින් වතුර ගන්න වන සංරක්ෂණය අවසර නොදීම නිසා එක කන්නයකට ගොවීන් අක්කර 40ක් අස්වද්දන්න රුපියල් ලක්ෂ 06ක ඩීසල් පුච්චනවා.

අපිට ඕනේ වන සංරක්ෂණයේ අවසරය විතරයි. ගොවි සංවිධානයේ අපිට ඉතුරු වැඩ කරගන්න පුළුවන්.

ගොවිතැනට වතුර ටිකක් ගන්න කුඩා ඇළක් හැදුවා කියා කිසිදු පරිසර හානියක් වෙන්නේ නෑ. බදුල්ල වනසංරක්ෂණ කාර්යාලයෙන් වැඩේ නොකෙරුණ නිසා අපි වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට මේ ගැන කිවුව නිසා ගොවියන්ගෙන් පළිගන්න බදුල්ල නිලධාරීන් වතුර ටික ගන්න එක වළක්වලා. ගම්මු කියති.

අපේ නිර්දේශ යවලා තියෙන්නේ. වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් කියනවා නම් වතුර දෙන්න පුළුවන්. බදුල්ල වනසංරක්ෂණ නිලධාරියෙකු කියයි.

ඈත අතීතයේ පටන්ම ලාංකික අපේ ප්‍රධාන ජිවනෝපාය වූයේ ගොවිතැනය. මේ නිසාම කලින් කලට මෙරට පහළ පාලකයන්ද කෘෂිකර්මාන්තය නගාසිටුවීම සඳහා විවිධ යෝජනා, නිතී අණපනත් වගේම විවිධ වැඩසටහන්ද ක්‍රියාවට නැංවීමට පියවර ගැනුණි. ඒ සියල්ලගේම මුඛ්‍ය පරමාර්ථය වූයේ ගොවිතැනින් මෙරට ස්වයංපෝෂිත කිරීමය. ඒ අනුව කෘෂිකර්මාන්තයේ සමස්ත සංවර්ධනයක් ඇති කරලීම වෙනුවෙන් “අමා, සාගත සාගිණි නිවමු, හැම බිම් අඟලකම වවමු, වගා ලංකා වගා සංග්‍රාමය වැනි වැඩසටහන් හඳුන්වා දුන් අතර මෑත කාලයේදී “අපි වවමු – රට නගමු“ නමින්ද ව්‍යාපෘතියක් හඳුන්වා දෙමින් බලාපොරොත්තු වූයේ මෙරට ජනතාවට අවැසි සහල් ටික, එළවළු ටික, පලතුරු ටික මෙරට තුළදීම නිෂ්පාදනය කර ගැනීමටය. කෘෂි කර්මාන්තය නගාසිටුවීම වෙනුවෙන් පාලකයා කොතරම් හඳුන්වාදීම් කළත් ඒවා ක්‍රියාත්මක කරන ප්‍රාදේශීය නිලධාරීන් ඒ සඳහා නිසි දායකත්වයක් නොදැක්වීම හමුවේ ගොවියා දිනෙන් දින ගොවිතැනට සමුදෙමින් යන බව නොරහසකි. අප අද ලියන්නට යන මේ කතාවද එවැනිම එකකි. නිසි තැනට සුදුසු නිසි තීරණ ගැනීමට නොහැකි නිලධාරීන් පිරිසක් නිසා අසරණ වු ගොවි පරපුරක් ගැන මේ කතාව අපට වාර්තා වූයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් මහලන්ද ග්‍රාම නිලධාරී වසමේ පිහිටි අන්නාසිගල ගොවි ගම්මානයෙනි.

ඩීසල් මෝටරයකින් වතුර පොම්ප කර කුඹුරු අක්කර 40ක් අස්වද්දන ගොවි පරපුරක්
කුඹුරු වලට ජලය පොම්ප කරන ඩීසල් මෝටරය

පැල්පතේ සිටින දුගී දුප්පතාගේ පටන් මහ මන්දිරවල සිටින පෝසතා දක්වා හැමදෙනාගේම කුසගින්න නිවන්න රටට බත සපයන ගොවියා අද වන විට කබලෙන් ලිපට වැටී ඇත්තේ ඇතැම් ප්‍රාදේශීය නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් නිසාවෙන් බව මේ ගොවීන්ගේ කතාවෙන්ම මනාවට පැහැදිලිය. එදා අතීතයේ මෙරට සිටි අපේ මුතුන්මිත්තන් ඔවුන්ට අවශ්‍ය සහල් ටික මෙරටදීම සකසා ගත් නමුත් අද වන විට මෙරට ජනතාවගේ පරිභෝජනයට අවශ්‍ය සහල් ටික පවා පිට රටින් ගෙන්වීමට සිදුව ඇත්තේ වී ගොවියාට ගොවිතැන සඳහා අවශ්‍ය සහසුකම් ටික ලබා දීමට ඇතැම් නිලධාරීන් කටයුතු නොකිරීම නිසාය.

අන්නාසිගල ගොවි ගම්මානය ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ මහලන්ද ග්‍රාම නිලධාරී වසමේය. අන්නාසිගල ගමේ පවුල් 95කට අයත් සාමාජික සාමාජිකාවන් 350ක් පමණ ජීවත් වෙති. අද වන විට මොවුන් සියලුම දෙනාගේ එකම ජීවනෝපාය වී ගොවිතැනය. මෙහි කිවයුතු තවත් කතාවක්ද වෙයි. මෙම අන්නාසිගල ගොවි ගම්මානය බදුල්ල දිස්ත්‍රික්කයට අයත් වුවත් මෙම ගම්මානය එක් පසකින් මොණරාගල දිස්ත්‍රික්කයටත්, තවත් පසකින් රත්නපුර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක දෙකටද මායිම්ව පිහිටා තිබේ.

මෙම ගොවි ගම්මානයට ආසන්නයේ පිහිටා ඇත්තේ බෝගහපැලැස්ස රක්ෂිතය ය. එය 2013 වසරෙදී රක්ෂිතයක් ලෙස නම් කර තිබේ. වසර 45කට ආසන්න කාලයක් තිස්සේ මෙම ගම්මානයේ ජීවත් වු පිරිස මෙහි හේන් ගොවිතැන් කරගෙන ජීවත් වුවද පසුගිය කාලයේ රට තුළ පැවති ආර්ථික අර්බුදය හා සහල් මිල වැඩිවීමත් සමග සියලුම ගොවීන් එක්ව රටට බත සැපයීමේ අරමුණින් හේන් ගොවිතැනට සමුදී වී ගොවිතැන ආරම්භ කර ඇත්තේ අහස් දියෙන් හා ගම්මානය අසලින් ගලා බසින අබකොළආරෙන් ඩීසල් මෝටරයක් මාර්ගයෙන් පොම්ප කර ලබාගන්නා ජලයෙනි.

මෙලෙස කලක් තිස්සේ කුඹුරු වගා කරගෙන ආ ගොවීන්ට අද වන විට කණකොකා හඬා ඇත්තේ වී ගොවිතැනට ප්‍රමාණවත් ජලය සපයා ගැනීමේදී වැය වන අධික ඩීසල් පිරිවැය හේතුවෙනි. ගම්මානය අසලින් ගලා බසින අබකොළආරෙන් මෙම ගොවිතැන් සඳහා ගොවීන්ට ජලය ලබා ගැනීමට නොහැකි වී ඇත්තේ ගම අසලින් ගලා බසින අබකොළආර අඩි 30කට වැඩි ප්‍රමාණයක් පහළින් ගලා බැසීම නිසාය. කෙසේ නමුත් ගම්මානයට මීටර් 100ක් පමණ උඩහට වන්නට පිහිටි බෝගහපැලැස්ස රක්ෂිතය ආසන්නයෙන් මෙම ගොවීන්ට සිය වී වගාවන් සඳහා ජලය ලබා ගැනීමට හැකිව තිබුණත් ඒ සඳහා වන සංරක්ෂණ නිලධාරීන් ඊට හරස් වී තිබේ. මේ නිසා අදටත් මෙම ගම්මානයේ ගොවි ජනතාව සිය කුඹුරු වගා සදහා ජලය ලබා ගැනිමට අබකොළ ආර දෙස බලමින් හූල්ලමින් සිටින්නේ බළධාරීන්ගෙන් තිරණයක් එනතුරුය.තමන්ට අත්ව ඇති ඉරණම පිළිබදව ගොවි ජනතාව අපත් සමග පැවසුවේ මෙවන් කතාවකි.

අන්නාසිගල ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික ඩබ්ලිව්. පී. කේ. පී. විමලසේන මහතා

ඩීසල් මෝටරයකින් වතුර පොම්ප කර කුඹුරු අක්කර 40ක් අස්වද්දන ගොවි පරපුරක්

අපේ තාත්තලාගේ කාලේ ඉඳලා මෙම ඉඩම්වල හේන් ගොවිතැන් කරගෙන ආවේ. නමුත් පසුගිය කාලයේ රට තුළ උද්ගත වූ සහල් හිඟයත්, ආර්ථික අර්බුදයත් නිසා ගොවීන් ලෙස අන්නාසිගල ගොවි සංවිධානයේ අපි ගොවීන් 85 දෙනා සමග එක්ව හේන් ගොවිතැන් කරගෙන ආ මෙම ඉඩම් සියල්ලගෙම කුඹුරු සකස් කිරීම කළා. මාස් කන්නයේ ලැබෙන වර්ෂාව ඉලක්ක කරගෙන මුලින්ම අපි කුඹුරු කළත් කුඹුරු සඳහා ප්‍රමාණවත් ජලය ලැබුණේ නෑ. නමුත් අපි ගම අසලින් අඩි 30ක විතර ගැඹුරින් ගලා බසින අබකොළආරෙන් වතුර මෝටරයක් යොදා ජලය ලබාගෙන කුඹුරු වගා කිරීම සිදු කළා. මේ වන විට අපි ඩීසල් වතුර පොම්පයක් යොදාගෙන කුඹුරු අක්කර 40ක් යල මහ කන්න දෙකේ වගා කරනවා. සෑම කන්නයකම වී කිලෝ 50,000කට වැඩිය අස්වැන්නක් අපි ලබා ගන්නවා. මෙවර අපි වී කිලෝ 80,000කට වැඩි අස්වැන්නක් ලබා ගත්තා. මේ වන විට අපිට තියෙන එකම ගැටලුව තමයි මේ කුඹුරු කරන්න ප්‍රමාණවත් ජලයක් අසලින් ගලා බසින අබකොළආරෙන් ලබා ගැනීමට නොහැකි වීම. අබකොළආර ගලා බසින්නේ අඩි 30ක් විතර පහළින්. අපට අපේ වගා සඳහා ස්වභාවිකවම ජලය ලබා ගැනීමට හැකි ස්ථානය පිහිටා තිබෙන්නේ ගම්මානයට මීටර් 100ක් පමණ ඉහළින් පිහිටි ස්ථානයකයි. ගැටලුව වී තිබෙන්නේ එම කොටස අයත් වන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට. මේ ආරේ වතුර නිකරුණේ මුහුදට ගලා බසිනවා. අපේ ගමට මීටර් 100ක් විතර දුරින් බෝගහපැලැස්ස රක්ෂිතය ප්‍රදේශයෙන් ඇනිකට් එකක් යොදා ගැනීමට අපි වනසංරක්ෂණ නිලධාරීන්ගෙන් ගමන් ගණනාවක්ම ඉල්ලීම් කළා. නමුත් මේ වෙනකම් බදුල්ල වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරීන් ඊට අවසර දෙන්නේ නෑ. බදුල්ල කාර්යාලයේ ඉන්න ප්‍රධාන නිලධාරීවරයා කුඹුරු වලට වතුර ගන්න බැරි වෙන්න ලියුම් සකස් කරලා යවනවා. මේ නිසා අපි එක කන්නයකට මේ කුඹුරු අක්කර 40ක් වගා කරන්න රුපියල් ලක්ෂ 06ක මුදලක් වියදම් කරනවා ඩීසල් සඳහා. අපිට වතුර ටික ගන්න අවසර දෙනවා නම් තවත් කුඹුරු අක්කර 150ක් අපිට වගා කරන්නත් පුළුවන්. අපි මේ ගැටලුව වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිඛිතව දැනුම් දුන්නම එතුමා බදුල්ලේ වනසංරක්ෂණ නිලධාරීන්ට ලිපියකින් දැනුම් දීලා තිබුණා වහාම මේ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා. නමුත් මේ ප්‍රදේශය භාරව සිටින වනසංරක්ෂණ නිලධාරීන් කොළඹට වාර්තා යවන්නේ මේ වගා සඳහා වතුර ටික ගන්න බැරි විදියටයි. අපි රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලුවේ වෙන මොකවත් නෙමේ. මේ කුඹුරු ටික යල මහ වගා කරගන්න ගම අසලින් ගලා බහින අබකොළආරෙන් වතුර ටිකක් ගන්න අවස්ථාවක් දෙන්න කියලා විතරයි.

දැනට අපි අක්කර 40ක් යල මහ වගා කරන්නේ ඩීසල් මෝටරයකින් වතුර ගහලා. ඒ සඳහා යන වියදම අපිට මේ වන විට දරා ගන්න බෑ. ඒ නිසා මේ රටට බත සපයන්න වෙහෙසෙන අපිට මේ ගොවිතැන් කරගෙන ජීවත් වෙන්න වතුර ටික ගන්න අවසර දෙන්න කියලා අපි ජනාධිපතිතුමා ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

අන්නාසිගල ගොවි සංවිධානයේ ලේකම් ඩී. ජේ. කුමාරි සමරකෝන් මහත්මිය

අපි දැන් වසර 04ක් තිස්සේ මේ කුඹුරු යල මහ දෙකන්නයම වගා කිරිම සිදුකරගෙන ආවේ ඩීසල් මෝටරයකින් වතුර ගහලා. අපි ගොවියෝ ටික ඔක්කොම එකට එකතු වෙලා ඩීසල් මෝටරයක් යොදාගෙන පැය විසිහතර පුරාම ගම අසලින් ගලා බසින අබකොළආරෙන් වතුර පොම්ප කිරීම සිදුකරනවා. ගිය කන්නයේ විතරක් අපි කුඹුරු සඳහා ජලය ලබාගන්න රුපියල් ලක්ෂ 06ක් වැය කරලා තියෙනවා ඩීසල් වලට විතරක්. ඉතින් අපි වනසංරක්ෂණ නිලධාරීන්ගෙන් අවස්ථා ගණනාවක්ම ඉල්ලීම් කළා අබකොළආරෙන් කුඩා ඇළක් සකස් කර ගැනීමට අවසර දෙන්න කියලා. අපි ඉල්ලුවේ අවසරය විතරයි. අනික අපේ මේ කුඹුරු වලට වතුර ගන්න අබකොළආරෙන් කුඩා ඇළක් දැම්මා කියලා වන සතුන්ට හෝ ගහ කොලවලට කිසිදු හානියක් වෙන්නේ නෑ. මේ රට සහළින් ස්වයං පෝෂිත කරන්න කියලා බලධාරීන් කොතරම් සැලසුම් හැදුවත් ප්‍රාදේශීයව සිටින නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය නිසා අද එම කටයුත්ත සාර්ථක කර ගන්න බැරි වෙලා තියෙනවා.

එච්. එම්. සුමිත් කුමාර ගොවි මහතා

අපි අපේ සීයලාගේ කාලේ ඉඳලා මේ ඉඩම්වල කුරක්කන් ඇතුළු හේන් වගාව සිදුකරගෙන ආවා. පස්සේ පසුගිය කාලේ “අපි වවමු – රට නගමු” කියලා සංකල්පයක් හඳුන්වලා දුන්නනේ. ඉතින් අපිත් ඒත් එක්ක රට තුළ තිබුණු සහල් හ`ිගයට විසඳුමක් දෙන්න කියලා හිතලා අපේ ගොවි සංවිධානයේ ගොවීන් සියලුම දෙනා එක්ක එකතු වෙලා සාකච්ඡා කරලා වී ගොවිතැන ආරම්භ කළා ගොඩ ගොවිතැන අතහැරලා. මුලින්ම අපි අහස් දියෙන් වගා කිරීම ආරම්භ කළත් අහස් දියෙන් ලැබෙන ජලය මදි නිසා අපි වතුර මෝටර් මගින් ජලය අරගෙන කුඹුරු අක්කර 40ක් වගා කිරීම කළා. දැන් අවුරුදු 03ක වගේ ඉඳන් අපි යළ මහ කන්න දෙකම වගා කරන්නේ මේ අපේ ගම ළඟින් ගලා බහින අබකොළආරෙන් මෝටර් දමලා පොම්ප කරලා ගන්න වතුරෙන්.

කුඩා ඇළ මාර්ගයක් සකස් කර ගන්න වනසංරක්ෂණ නිලධාරීන්ගෙන් ඉල්ලීම් කළත් මේ වනතුරුත් ඔවුන් අපිට ඒ සඳහා අවසර නොදී කල් මරමින් ඉන්නවා. එක එක කරුණු කිය කියා මේ සඳහා විසඳුමක් දෙන එක ප්‍රමාද කරමින් ඉන්නවා. අපි මේ කරන්නේ රටට බත් ටික දෙන්න මහන්සි වෙන එක. ආණ්ඩුවේ ඉහළ පුටුවල ඉන්න අය කොච්චර තීන්දු තීරණ ගත්තත් පහළ ගම් මට්ටමේ ඉන්න නිලධාරීන් මේ සඳහා සහායක් දෙන්නේ නෑ. ඕනිම කෙනෙකුට පේනවා මෙතනට එන මොකද්ද මේ ගොවියෝ ටික කරලා තියෙන්නේ කියලා. ඇයි මේ නිලධාරින්ට බැරි මේ ගොවිතැන් කරගෙන යන්න වතුර ටික දෙන්න යැයි ඔහු පැවසුවේ දැඩි කළකිරීමකිනි.

කඩයකට ගිහින් හාල් ටික මිලදීගෙන අපි ඉතා සැහැල්ලුවෙන් කෑවට මේ සහල් නිෂ්පාදනයේදී ගොවියා විඳින්නේ අප්‍රමාණ දුකකි. වසරකට යල මහ කන්න දෙකක් කුඹුරු වගා කළත් අදටත් මේ රටේ මිනිස්සුන්ට කන්න ඕනි හාල් ටික පිට රටින් ගේන තත්ත්වයට පත්ව ඇත්තේ මෙරට බොහෝ නිලධාරීන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් නිසාවෙන් බව නම් පැහැදිළිය.

අන්නාසිගල ගම්මානය පුරා ඇවිද ගිය අපටද අනේ හපොයි කියවුණේ අපටත් නොදැනීමය. ඒ මෙම ගම්මානය අසලින් නිකරුනේ මහ මුහුදට ගලා යන අබකොළආරේ මහා ජල කඳ දෙස බලා මෙම ගම්මානයේ මිනිස්සුන් හූල්ලමින් සිටින අයුරු දැකය. ගම්මුන් රජයෙන් ඉල්ලන්නේ තම කුඹුරු වගා සඳහා වතුර ටිකක් ගන්න අවසරය පමණකි. අබකොළආර ගලා බසින්නේ බෝගහවැව රක්ෂිතය අසලින් විමත්, එම කොටස වනසංරක්ෂණයට අයත් වීමත් නිසා ගොවීන්ට වතුර ටිකක් මෙම ගොවිතැන් සඳහා ගැනීමට වනසංරක්ෂණයේ අවසරය ලබා ගැනීමට සිදුව තිබේ. මේ අසරණ ගොවි ජනතාව ඉල්ලන්නේ මේ අබකොළආරෙන් වතුර ටිකක් ගන්න අවස්ථාවක් ලබා දෙන ලෙස මිසක් වෙන යමක් නොවන බව එහි ගිය අපටද පසක් විය. මේ ගොවීන්ගේ ඉල්ලීමට රජයට කියා එකදු රුපියලක්වත් වියදම් වෙන්නේ නොමැතිය. එහෙත් ගෙවුණු වසර කිහිපය මුළුල්ලේම ගොවීන්ගේ මේ ඉල්ලීමට වනසංරක්ෂණ නිලධාරීන් විසඳුමක් දෙනවා වෙනුවට රජයේ මුදල් විශාල ලෙස වියදම් කරමින් ක්ෂේත්‍ර චාරිකා පවත්වමින් මුදල් කාබාසිනියා කරමින් සිටිනවා මිසක් මේ සඳහා කිසිදු විසඳුමක් ලබා දීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව එහි ගිය අපටද දැකිය හැකි විය. මේ සම්බන්ධයෙන් අප බදුල්ල වනසංරක්ෂණ කාර්යාලයේ නිලධාරියෙකුගෙන්ද දුරකතනය ඔස්සේ විමසීමක් කළ අතර එහිදී එම නිලධාරියා පැවසුවේ මෙවැන්නකි. අපි මේ සම්බන්ධයෙන් වනසංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්ට දැනුම් දීලා තියෙනවා. වනසංරක්ෂණ කලාපයෙන් වතුර ගන්න දෙන්න බෑ. එහෙම වුණොත් වන සතුන්ට වතුර ටික නැති වෙන්න පුළුවන්. ඒ නිසා ගැටලුව ගැන අපි වන සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා දැනුවත් කර තිබෙනවා. එතුමන් කිවුවොත් වතුර ටික දෙන්න කියලා අපි මිනිස්සුන්ට වතුර ටික දෙන්න කටයුතු කරන්නම් යැයි පැවසීය.

සටහන හා සේයා රූ –

මත්තල දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment