ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා අතර ජනප්‍රිය හා විශ්වසනීය අලෙවි සන්නාමයක් වන සිංගර් ශ්‍රී ලංකා ගෝලීය වශයෙන් පිළිගත් ඉතාලි නිෂ්පාදකයකු වන Piaggio සමග එක් වූ බව පසුගියදා නිවේදනය කළේය.
ඒ සමග මෙරට ප්‍රවාහන අංශය වෙත පිවිසීමට සිංගර් සමාගමට හැකියාව උදා විය. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයින් වෙත දීර්ඝ කාලයක් තිස්සේ භාණ්ඩ හා සේවා ලබා දීමේ නොමඳ විශ්වාසයක් දිනාගෙන ඇති සිංගර් සමාගම මෙම හවුල්කාරීත්වයත් සමඟ දිවයින පුරා විහිදී ඇති සිය ශාඛා හා බෙදාහැරීමේ ජාලය හරහා එම විශ්වාසය ප්‍රවාහන ක්ෂේත්‍රය වෙතද රැගෙන යාමට කටයුතු කර ඇත.
මෙම හවුල්කාරීත්වය තුලින් Piaggio ත්‍රිරෝද රථ නිල වශයෙන් නැවත මෙරට වෙළෙඳපොළ වෙත පිවිසීමේ අවස්ථාවද සනිටුහන් කරනු ලබයි. උසස් තාක්ෂණය, ශක්තිමත් බව හා මනා ඉන්ධන කාර්යක්ෂමතාව තුළින් සුවහසක් පාරිභෝගිකයින් අතර ජනප්‍රියත්වයට පත්ව ඇති Piaggio මෙරට තුළද ඉමහත් පිළිගැනීමට ලක්ව ඇත්තේ ත්‍රිරෝද රථ 100,000කට අධික ප්‍රමාණයක් ප්‍රවාහන ක්ෂේත්‍රයට දායාද කරමිනි. ඩීසල් බලයෙන් ක්‍රියාත්මක අධිබල ත්‍රිරෝද රථයන්හි සිට විදුලියෙන් ක්‍රියාත්මක නව්‍ය තාක්ෂණයේ ත්‍රිරෝද රථ දක්වා විහිදුණු නිෂ්පාදන පෙළකට හිමිකම් කියන Piaggio ලොව පුරා බෙදා හැරීමේ නියෝජිතයින්, ප්‍රවාහන සේවා හා කුඩා පරිමාණ ව්‍යවසායකයින්ගේ විශ්වාසය දිනා ගැනීමට සමත්ව සිටියි. ශ්‍රී ලංකාවේ එකම අධි බර ත්‍රිරෝද රථය ලෙස නම් කළ හැකි Piaggio මෙරට ව්‍යාපාර සඳහා සුවිසල් දායකත්වයක් දක්වයි.
මෙම හවුල්කාරීත්වය පිළිබඳව අදහස් දක්වමින් සිංගර් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සඳහන් කර සිටියේ “වසර 148කට වැඩි විශ්වාසනීය ඉතිහාසයක් සම`ඟින් පාරිභෝගිකයින් සමඟ සමීපව කටයුතු කරන සිංගර් මෙරට භාණ්ඩ හා සේවා බෙදා හැරීමේ ශක්තිමත් සන්නාමයක් බවට පත්ව තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ ඉහළින්ම පිළිගෙන ඇති භාණ්ඩ හා මගී ප්‍රවාහන විසඳුම් ලබා දීම වෙනුවෙන් Piaggio ත්‍රිරෝද රථ නැවත මෙරට වෙළෙඳපොළට ගෙන ඒම වෙනුවෙන් Piaggio Vehicles Pvt Ltd සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) Silverline Ventura සමඟ එක්වීමට ලැබීම පිළිබඳ ඉතාමත් සතුටුයි. මෙම සහයෝගීතාවය තුලින් අපගේ පාරිභෝගිකයින් වෙත දිගු කාලීන හා කාර්යක්ෂම ප්‍රවාහන විසඳුම් සලසා දෙමින් මගී හා ව්‍යාපාර අංශයේ අපගේ සේවාවන් තව දුරටත් පුළුල් කිරීමට හැකිවී තිබෙනවා.” යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ Piaggio Vehicles Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ Diego Graffi මහතා “ Piaggio සඳහා ඉතා සුවිශේෂී වෙළෙඳපොළක් වන ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ වෙත එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Silverline Ventura සහ සිංගර් වැනි විශ්වාසනීය හවුල්කරුවකු සමඟ එක්ව නැවත පිවිසෙන බව නිවේදනය කිරීමට ලැබීම පිළිබඳව ඉතාමත් සතුටුයි. සිංගර් සමාගම සතු ශක්තිමත් අලෙවි ජාලය තුළින් අපගේ Piaggio සන්නාමය නැවතත් සාර්ථකව ජනතාව අතරට ගෙන යාමට හැකිවනු ඇතැයි අපි බලාපොරොත්තු වනවා. අපගේ ICE cargo සහ මගී ප්‍රවාහන වාහන මෙරට පාරිභෝගික ජනතාවට ඉමහත් පහසුවක් වනු ඇතැයි මම විශ්වාස කරනවා.” යනුවෙන් පැවසීය.