අවදානම දැනගෙනයි වැඩේට බැස්සේ

සුපර් සික්ස්, ප්‍රවේගය, මායා 3D වැනි මෙරට වාණිජ සිනමාවේ පෙරළියක් ඇති කළ නිර්මාණ ඔබ වෙත රැගෙන ආ Real Image Creations වෙනුවෙන් සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර් නිෂ්පාදනය කළ නවතම සිනමා නිර්මාණය වන “සිහිනයකි ආදරේ” ඊයේ (18 දා) සිට EAP මණ්ඩලය හරහා මෙරට සිනමාහල්වල තිරගත කිරීම ආරම්භ කළහ. “සිහිනයකි ආදරේ” සිනමා නිර්මාණය සම්බන්ධව එහි නිෂ්පාදක සංදේශ් කුමාර් සමග අපි සංවාදයක නිරත වූහ. මෙහි දැක්වෙන්නේ එම සංවාදයේ පෙළගැස්මකි.

සිනමාවේ ආදරණීය ආමන්ත්‍රණය සිහිනයකි ආදරේ
සදේශ් කුමාර් සහ ශ්‍රීමතී සදේශ් කුමාර්
  • ඔබේ නවතම සිනමා නිර්මාණය “සිහිනයකි ආදරේ” මෙය නිර්මාණය කරන්නේ තාරුණ්‍යය ඉලක්ක කරගෙනද?

තාරුණ්‍යය කියලම නෙමෙයි. නමුත් මුලදී අපි ඉලක්ක කළේ තාරුණ්‍යය තමයි. නමුත් චිත්‍රපටය රූගත කරලා අවසන් වුණාට පස්සේ තමයි තේරුණේ මේක පවුලේ චිත්‍රපටයක් විදිහට ගෙන එන්න පුළුවන් කියලා

  • මේක ඇත්තටම රාජා රාණි කොපියක් කියලත් සමහරු කියනවා?

මේක කොපියක් නෙමෙයි, රීමේක් එකක්. “සිහිනයකි ආදරේ” කියන්නේ රාජා රාණි සම්පූර්ණ කොපිය නෙමෙයි, හුඟක් වෙනස්. ඉන්දියාවේ වුණත් චිත්‍රපටයක් නිර්මාණය කරද්දි කතා තේමාවට මූලික වස්තු බීජය සොයා ගන්නේ තවත් නිර්මාණයකින් වෙන්න පුළුවන්. ඉතින් මගේ හිතටත් ඒ අදහසම තමයි ආවේ.

  • මෙහි ප්‍රධාන චරිතවලට හේමාල් සහ පූජාව තෝරාගන්න හිතුවේ ඇයි?

මගේ දෙවැනි නිර්මාණය වන ප්‍රවේගය ඉඳලා මගේ සියලුම චිත්‍රපටවලට නළු නිළියන් තෝරා ගැනීම අධ්‍යක්ෂවරයා සමගත් සාකච්ඡා කරලා සිදු කළේ මම ම තමයි.

සිනමාවේ ආදරණීය ආමන්ත්‍රණය සිහිනයකි ආදරේ
  • ප්‍රවේගයේ හිටපු හේමාල්ව තමයි ඔබ “සිහිනයකි ආදරේ” ආදර කතාවටත් තෝරා ගත්තේ?

හේමාල් කියන්නේ මල්ටි ටැලන්ටඩ්. අනික නළුවෙක් වුණහම හැම චරිතයක්ම කරන්න පුළුවන් වෙන්න ඕනෑ. නළුවෙක් නම් ප්‍රහසන චරිතයක් වුණත් කරන්න පුළුවන් වෙන්න ඕනෑ. එතකොට තමයි ඔහු අංගසම්පූර්ණ. ඉතින් මට හේමාල්ව දැක්කහම ඒක හිතුණා. මෙයා තමයි මම හොයන හීරෝ කියලා හිතුවා. මේකෙන් ඔහුගේ කාර්යභාරය සියයට දෙසීයක්ම කරලා තිබුණා. “සිහිනයකි ආදරේ” නැරඹුවහම ඒක ඔයාලටත් තේරෙයි.

  • මේ දිනවල චිත්‍රපටයේ “කාසි සබන් පෙණ” ගීතය හරි ජනප්‍රිය වෙලා තිබෙනවා නේද?

මෙහි සංගීතවත් කරපු පසන් තමයි මට ටිරෝන්ව මුණගස්සවන්නේ. ඔහුට මම කිව්වා සම්ප්‍රදායෙන් ඔබ්බට ගිහිල්ලා සිංග්ලිෂ් විදිහට මේ ගීතය ලියන්න කියලා. මම ඔහුට පොඩි අදහස් ටිකක් තමයි දුන්නේ. ඔහුට මේ ගීතය ඔස්ට්‍රේලියාවේ ඉඳලා ලියල එවන්න විනාඩි විස්සයි ගියේ. පසන් මේ සින්දුවට සංගීතය නිර්මාණය කරනකොටම මම දැනගෙන හිටියා සින්දුව හිට් වෙයි කියලා.

  • පූජා උමාංශකර්ව “ජෙනිෆර්ගේ” චරිතයට සුදුසුයි කියලා හිතුවෙත් ඔබම ද?

පූජාව තේරා ගත්තෙත් මම තමයි. හේමාල්ගේ ‘රෙහාන්’ගේ චරිතය වගේම ජෙනිෆර් කියන චරිතයත් මේ චිත්‍රපටයේ කරට කර යන චරිතයක්. පූජා මෙහි ප්‍රචාරණ වැඩවලට හිටියා නම් මීට වඩා තවත් ලොකු ජනප්‍රියත්වයක් මේ චිත්‍රපටයට හම්බ වෙන්න තිබුණා. පෞද්ගලික ප්‍රශ්න හින්දා එයා ලංකාවෙ නැති එක ලොකු පාඩුවක්.

  • සුපර් සික්ස් චිත්‍රපටයෙන් පසුව ඔබ නිර්මාණය කරන බොහෝ චිත්‍රපටවලට ඉන්දියානු අධ්‍යක්ෂවරු තෝරාගන්න හිතුවේ ඇයි?
සිනමාවේ ආදරණීය ආමන්ත්‍රණය සිහිනයකි ආදරේ

මම ලංකාවේ ඉන්න අධ්‍යක්ෂවරු අවතක්සේරු කරන්නේ නැහැ. අපේ රටේ සාමාන්‍යයෙන් වාණිජ සිනමාවේ හුඟක් දුර්වලතා තිබෙනවා කියලත් හිතෙනවා. ඒ මම දැකපු වාණිජ සිනමාවේ. සම්භාව්‍ය සිනමාවෙ නම් අපි ඉතාම ඉහළ මට්ටමක ඉන්නවා. මම අවුරුදු ගණනාවක් තිස්සේ මේ ගැන අධ්‍යයනය කළා. ඊට පසුව තමයි මම ප්‍රවේගය නිෂ්පාදනය කරන කොට ඉන්දියානු අධ්‍යක්ෂවරයකුගේ සහයෝගය ලබා ගත්තේ.

  • ඔබ ලොකු අවදානමක් අරගෙන දැවැන්ත සිනමා නිර්මාණ නිෂ්පාදනය කරනවා. ඇත්තටම ඒක අභියෝගයක් නෙමෙයිද?

නැහැ. ඒක මගේ ෆැෂන් එක. මගේ තාත්තත් නිෂ්පාදකවරයෙක්. කවදාහරි මම චිත්‍රපට නිෂ්පාදනය කරන කොට හොඳම කතාබහට ලක්වෙන වැඩවලින් තමයි සිනමාවට එන්න ඕනෑ කියලා හිතුවේ. ඉතාම උසස් තත්ත්වයේ, කවුරුවත් නොකරපු චිත්‍රපට ටිකක් කරන්න තමයි මට ඕනෑ වුණේ.

  • ප්‍රවේගය සහ මායා චිත්‍රපට වෙනුවෙන් ඔබ ගත්තු අභියෝගයන් ගැන අද වෙනකොට මොකද හිතෙන්නේ?

මම අවදානම දැනගෙන තමයි වැඩේට බැස්සේ. මායා කරනකොට හොරර් කොමඩි එක අල්ලයිද කියලත් හිතුණා. ඒ බය හින්දමයි රන්ජන් අයියාව ගත්තේ. ප්‍රවේගයටත් එහෙමයි. සිහිනයකි ආදරේටත් එහෙයි. මම නළු නිළි වරණයක් කළොත් ඒකටම තමයි යන්නේ. බැරිම වුණොත් තමයි වෙනත් විකල්පයක් හොයන්නේ. හැබැයි ඒ විකල්පයටත් මගේ ඔළුවේ අදහසක් තිබෙනවා.

දිනේෂ් විතාන

සිනමාවේ ආදරණීය ආමන්ත්‍රණය සිහිනයකි ආදරේ
advertistmentadvertistment
advertistmentadvertistment