සුළු සේවකයකුට පහර දුන් කරාපිටියේ පිළිකා වාට්ටුවේ විශේෂඥ වෛද්‍ය 22දා තෙක් රිමාන්ඩ්

242

සේවක වර්ජනයක් පැවැති අවස්ථාවේ ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ සුළු සේවකයකුට සහ සේවිකාවකට පහර දී කලහකාරී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇති එම රෝහලේ පිළිකා වාට්ටුව භාර විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා ලබන 22 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගාල්ල මහෙස්ත්‍රාත්වරයා ඊයේ (18 වැනිදා) නියෝග කළේය.

ගාල්ල කරාපිටිය රෝහලේ පෙරේදා ඇතිවූ සිද්ධියෙන් පසුව වෛද්‍යවරයා පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණි.

අත්අඩංගුවට ගැනීමෙන් පසු විශේෂ පොලිස් ආරක්‍ෂාවක් යටතේ වෛද්‍යවරයා එම රෝහලේම ප්‍රතිකාර සඳහා නතර කිරීමට පොලිසිය කටයුතු කළ අතර පසුව ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

වෛද්‍යවරුන්ට දෙන රුපියල් තිස්පන්දහසක දීමනාව තමන්ට ද ඉල්ලා දිවයින පුරා රෝහල් ආරම්භ කළ වර්ජනයට සමගාමීව ගාල්ල කරාපිටිය රෝහලේ පිළිකා ඒකකයේ සුළු සේවකයෝ ද වර්ජනයට එක්ව සිටියහ.

වර්ජනයෙන් පසු ඔවුන් පෙරේදා දහවල් සේවයට වාර්තා කර සිටියදී කරාපිටිය රෝහලේ පිළිකා ඒකකය අසල දී වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා සහ රෝහල් සුළු සේවකයන් අතර උණුසුම් තත්ත්වයක් උද්ගත විය. එහිදී ක්‍රිශාන්ත පෙරේරා වෛද්‍යවරයා තමන්ට පහරදුන් බවට සුළු සේවකයන් දෙදෙනකු පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි.

මෙම පහර දීමේ සිද්ධිය මුල්කරගෙන කරාපිටිය රෝහලේ සුළු සේවකයෝ පෙරේදා සවස්වරුවේ සහ ඊයේ උදෑසන රෝහල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරවල නිරත වූහ.

ඊයේ උදෑසන සේවයෙන් ඉවත් වූ සුළු සේවකයෝ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා අත්අඩංගුවට ගන්නා තුරු තමන් සේවයට වාර්තා නොකරන බව කියා සිටියහ.

ඒ අනුව ඊයේ උදෑසන පොලිසිය විසින් වෛද්‍යවරයා අත්අඩංගුවට ගත් අතර සේවක විරෝධතාව ද ඉන්පසු නතර කෙරිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් රෝහල් සේවකයන් කියා සිටියේ වෛද්‍යවරයා බීමිතින් පැමිණ සේවකයන් සමග ආරවුලක් ඇතිකරගෙන මෙම පහර දීම සිදු කළ බවයි.

ගාල්ල පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු, ලලිත් චාමින්ද, එස්. කේ. කළුආරච්චි, රවින්ද්‍ර චන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment