දෙමළ ජනයත් වඳින පුදන මුරුගන් කෝවිලේ බොදු පුදබිම
සංඝමිත්තා බෝධිය පුරාවිද්‍යාත්මක ස්මාරකයක් විදිහටත් ගැසට් කරලා…
දඹකොළ පටුනේ බෞද්ධ නටබුන් විශාල ප්‍රමාණයක් විනාශ කරලා…
උතුරේ පුරාවිද්‍යා ස්ථාන ආරක්‍ෂා කරන්න පිරිස් බලය මදි…
පවුල් 300ක් ජීවත් වෙන වේරපිටිය ගමට පානීය ජලය නෑ…
උතුරේ සැඟවුණ ඉතිහාසය – 01
මෙරට කෙළවරක පිහිටි ‘දඹකොළ පටුන’ ඓතිහාසික පින් බිමකි. සංඝමිත්තා මහරහත් තෙරණිය ඇතුළු දූත පිරිස ඉන්දියාවේ සිට ශ්‍රී මහා බෝධින් වහන්සේ වඩම්මවාගෙන පැමිණ මෙරටට ගොඩ බැස ඇත්තේ දඹකොළ පටුන මුහුදු තීරයෙනි. දැන් අප සිටිනුයේ එම ඓතිහාසික ස්ථානයේ ය. සංඝමිත්තා මහරහත් තෙරණියගේ පිළිරුව ඉදිරියේය. කාලය වේගයෙන් ගෙවී යන්නේ ය. පොසොන් සඳ මෝදුවීමට තව ඇත්තේ හෝරාවකටත් අඩු කාලයකි. එහෙත් නිල්වන් මුහුදු තීරයට යොමු වූ දෑස් මොහොතකට හෝ ඈත් කිරීමට නොසිතේ. බැස යන හිරුගෙ වියරු කිරණින් දිලිසෙන තල් අරඹ යටින් ගලා එන අඳුර ගැන මොහොතකට හෝ නොසිතිනි.
වෙලාව ගත වෙනවා තේරෙන්නෙ නෑ නේද? පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු කථිකාචාර්ය සමීර ප්‍රසංග මහතාගේ කටහඬින් මගේ දැහැන බිඳිණි. අත බැඳි ඔරලෝසුව දෙසට දෑස් ඉගිළිණි. වේලාව සවස 6 පසු වී විනාඩි 10 කි. සුදුවතින් සැරසුණු බැතිමතුන්ගෙන් අවට පිරී ගොස් ය. දඹකොළ පටුන විහාර භූමිය ද අතුරු, සිදුරු නොමැතිව බැතිමතුන්ගෙන් පිරී ඇති අයුරු පෙනේ.
“මෙතැන පුදුම තැනක්. සිතට දැනෙන සැනසීම කියන්න බැරි තරම්. යාපනයේ පැමිණි බොහෝ අවස්ථාවල මමත් මේ ස්ථානයට ඇවිත් පැය ගණන් වාඩි වෙලා ඉන්නවා. අර පේන බෝධීන් වහන්සේ සමීපයෙහි හිඳගෙන ඉන්නකොටත් සිත පුදුම විදිහට නිවෙනවා…” සමීරගෙ මුවින් අවසාන වචන කිහිපය ගිලිහෙන සුනංගුවට මගේ දෑස් විදිලියක් මෙන් බෝධීන් වහන්සේ දෙසට ඉගිළිණි. මහා වංශයේ සඳහන් ආකාරයට දේවානම්පියතිස්ස මහ රජු විසින් ඉදිකර සම්බුද්ධ ශාසනයට පූජා කර ඇති දඹකොළ පටුන විහාරස්ථානය අදට ද සියලු විහාරාංගවලින් අංගසම්පූර්ණය. අතිරමණීය පරිසරයක පිහිටි දඹකොළ පටුන විහාරස්ථානය වන්දනා කිරීමට මෙන්ම දැක බලාගැනීමට දෙස් විදෙස්, බෞද්ධ අබෞද්ධ බැතිමතුන් මෙන්ම සංචාරකයන් නිතර පැමිණෙන බව ද වාර්තා වේ.
“දඹකොළ පටුන විහාරස්ථානය ඉදිකර තියෙන්නෙ සමුද්‍රශාලා ගොඩනැඟිල්ල තිබූ ස්ථානයේ. සමුද්‍රශාලා ගොඩනැඟිල්ල ඉදිකළෙත් දේවානම්පියතිස්ස රජතුමා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවීමේ මහා පින්කමට අනුරාධපුරය සරසා සංඝමිත්තා මහරහත් තෙරණිය ඇතුළු පිරිස ලංකාවට ගොඩබසින තෙක් දේවානම්පියතිස්ස රජු බලා සිටියේ සමුද්‍රශාලාවේ ඉඳගෙන. ඒත් ලංකා භූමියේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ ප්‍රථම වරට තැන්පත් කර තියෙන්නෙ ප්‍රාචීනාරාමය කියන ස්ථානයේ කියල තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නෙ. දේවානම්පියතිස්ස රජු විසින් එම ස්ථානයේත් විහාරස්ථානයක් ඉදිකර තියෙන බව ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒත් එම විහාර භූමිය තවම හඳුනාගැනීමට බැරිවෙලා තියෙනවා. ඒ වගේම මහා වංශයේ සඳහන් ආකාරයට දේවානම්පියතිස්ස රජු විසින් වාලිකාරාමය නමින් තවත් විහාරස්ථානයක් දඹකොළ පටුනේ ඉදිකර ඇති බව සඳහන් වෙනවා. ඒ කිසිදු පූජා භූමියක් හඳුනාගැනීමට දැන් කිසිදු සාධකයක් නෑ. දඹකොළ පටුන විහාරස්ථානයේ වැඩ සිටින බෝධීන් වහන්සේත් පසුකාලීනව රෝපණය කළ බවක් තමයි ඉතිහාස කරුණුවලින් සනාථ වෙන්නෙ. දඹකොළ පටුන, චුල්ලිපුරම් පාරාරේ ගමේ මුරුගන් කෝවිල ඇතුළෙ තියෙන පැරැණි බෝධීන් වහන්සේ පුරාවිද්‍යා ස්මාරකයක් හැටියට 2023 පෙබරවාරි මස 01 වැනිදා ගැසට් කරලා තියෙනවා. එම ගැසට් එකට අනුව සංඝමිත්තා මහරහත් තෙරණිය දඹකොළ පටුනට ගොඩ බැස විවේක සුවයෙන් සිට අනුරාධපුරය දක්වා ගමන් ආරම්භ කළ ස්ථානයේ රෝපණය වූ බෝධිය හැටියට තමයි එම බෝධීන් වහන්සේ හඳුනාගෙන තියෙන්නෙ…” කථිකාචාර්ය සමීර ප්‍රසංගයන් පෙළගැසෙන කතාවට අලුත් මාතෘකාවක් එකතු කළේය.
තල්අරඹ අන්ධකර වුවද අපගේ ඉලක්කය වූයේ චුල්ලිපුරම් මුරුගන් කෝවිල තුළ පිහිටි ඉපැරැණි බෝධීන් වහන්සේ වන්දනා කිරීමය. කුඹුරු යායක් මැදින් වක ගැසුණු පටු මාර්ගයෙහි වෑන් රථය ඉදිරියට ධාවනය කරවීමට ගූගල් සිතියම ඔස්සෙ මාර්ගය පෙන්වා දුන්නේ නීතිඥ සමිත් කල්හාර ලියනගේ ය. එහෙත් ගමන පහසු නොවිණි. මඟ වැරැදුණු අවස්ථා දෙකකි. පටු මගෙහි බෝක්කු මත රස්තියාදු වන තරුණ පිරිස්වලට වාහනයේ නලා හඬ නොඇසෙන තරම් ය. වෑන් රථය අයින් කරගෙන ගිය ද එම තරුණයන් හිටි තැන්වලින් නොසෙල් විය. අසීරු ගමනකින් පසු චුල්ලිපුරම් පාරාරේ ගමේ මුරුගන් කෝවිල් භූමියට අපි පැමිණියෙමු. පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ කථිකාචාර්ය නේෂන් දමිළ බසින් අපගේ අවශ්‍යතාවය කෝවිල් භූමියේ සිටි කිහිපදෙනාට පැහැදිලි කළේය. නේෂන් දෙමළ බසින් කතා කරන විට කෝවිල් භූමියේ සිටි කෙනෙක් පැහැදිලි සිංහල භාෂාවෙන් කතා කළේ ය. හේ එම කෝවිලේ ප්‍රධාන පූජකතුමා ය. ඔහු 1983 වර්ෂයට පෙර කොළඹ වැල්ලවත්තේ පලතුරු වෙළෙඳසැලක් පවත්වාගෙන ගිය ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකි.
“මහත්තයා හැර මේ කණ්ඩායමේ ඉන්න සේරම සිංහල කියලා අපිට තේරුණා. කිසිම ප්‍රශ්නයක් නෑ. මම කෝවිල ඇරල දෙන්නම් ඔයලා ගිහින් බෝධීන් වහන්සේ වන්දනා කරගන්න. සිංහල, දෙමළ, ඕනෑම ජාතිකාරයෙක් ඇවිත් මේ බෝධීන් වහන්සේ වන්දනා කරගන්නවාට අපේ අකමැත්තක් නෑ. අපිට ඕන සමගියෙන් එකට ඉන්න. ප්‍රශ්න ඇති කරගන්න අපි කැමැති නෑ. ජාතිවාදී ප්‍රශ්නවලින් හොඳටම බැට කෑවේ උතුරේ ඉපදුණු අපි. නැවත එවැනි යුගයක් හීනෙන්වත් දකින්න අපි කැමැති නෑ…” ඉනේ ගසාගෙන සිටි යතුරු කැරැල්ල අතට ගෙන කෝවිල දෙසට ගිය ඔහු විසල් යකඩ දොර විවෘත කර බෝධීන් වහන්සේ වන්දනා කරගැනීමට අපට අවසර ලබා දුන්නේ ය.
“හරිම හාස්කම් තියෙන බෝධීන් වහන්සේනමක්. අපේ මිනිස්සුත් අසීමිත භක්තියෙන් වැදුම්, පිදුම් කරනවා…” වන්දනා කරලා ඉවරවෙලා මට කතා කරන්න…” සුහදශීලී මනුෂ්‍යයෙකි. මඟ දිගට මුණගැසුණු ප්‍රදේශවාසීන්ට හාත්පසින් වෙනස් සමකාමී පුද්ගලයෙකි. කෝවිල ඇතුළත එළිමහනේ විසල් පොකුණ අසල පිහිටි පැරැණි බෝධීන් වහන්සේ හොඳින් ආරක්‍ෂා කරගෙන සිටින බව ද පෙනේ. කතරගම දෙවියන්ගේ පිළිරුවක් සහිත එම ස්ථානයේ පිහිටි බෝධීන් වහන්සේට විවිධ ආගමික වත්පිළිවෙත් කරන බව ද පෙනේ. එම භූමියේදී සිතට අමුත්තක් දැනෙන බව ද සැබෑය.
වලිකාමන් උතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ චුල්ලිපුරම් ප්‍රදේශයේ සමීපයෙහි පිහිටි කෝවිල් දෙකකි. එකක් මුරුගන් කෝවිලය. අනෙක පිල්ලෙයාර් කෝවිලය. පුරාවිද්‍යාවේ සඳහන් සංඝමිත්තා බෝධීන් වහන්සේ පිහිටා ඇත්තේ මුරුගන් කෝවිල තුළය. පුරාවිද්‍යා ස්මාරකයන් ලෙස ගැසට් කර ඇති එම බෝධීන් වහන්සේ ගැන 1987 වර්ෂයේදී යාපනයේ පුරාවිද්‍යා ස්ථාන ගවේෂණය කළ යාපනය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ ආචාර්ය පොන්නම්බලම් රඝුපති මහතා ද ‘සංඝමිත්තා බෝධීන් වහන්සේ’ ගැන වාර්තා කර තිබේ. නාගදීප විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩ සිටි කඩවැද්දුවේ නන්දාරාම නායක හාමුදුරුවෝ රචනා කර ඇති ‘සැඟවුණ උතුර’ ග්‍රන්ථයේ ද මේ බෝධීන් වහන්සේ ගැන දීර්ඝ විස්තරයක් සඳහන් කර තිබේ. එම ග්‍රන්ථයේ සඳහන් ආකාරයට සංඝමිත්තා මහරහත් තෙරණිය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වඩම්මවාගෙන පැමිණ විවේකී සුවයෙන් ගත කර ඇත්තේ මේ ස්ථානයේ ය. එම ස්ථානයේ තැන්පත් කර තිබූ ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් රෝපණය වී ඇති මේ බෝධීන් වහන්සේ ‘සංඝමිත්තා බෝධිය’ ලෙස ප්‍රසිද්ධ ය. එම බෝධීන් වහන්සේට පැන් පූජා කිරීම සඳහා සමීපයෙහි ඇති පඩි පේළි 14 ක් සහිත විසල් පොකුණ ඉදිකර ඇත්තේ දෙවන පෑතිස් රජු විසින් බව ජනප්‍රවාදයයි. එමෙන්ම එම බෝධීන් වහන්සේ සමීපයේ පුරාණ බහිරව රූප ආදී පැරැණි නටඹුන් රාශියක් තිබුණ ද දැන් ඒවා අතුරුදන් වී ඇති බව එම ග්‍රන්ථයේ සඳහන් ය. බෝධිමළු විහාරය නමින් මෑතක් වන තෙක් තිබූ විහාර ගොඩනැඟිලි ද අතුරුදන් වී ඇති බව සඳහන් වේ.
සරුසාර පොළවක් සහිත එම ප්‍රදේශයේ ජීවත්වන බහුතරයකගේ ජීවනෝපාය ගොවිතැනය. ධීවර කටයුතුවල මෙන්ම තල් ආශ්‍රිත නිෂ්පාදන කටයුතුවල නිරත පිරිස් ද බොහෝ ජීවත්වන බව වාර්තා වේ. ඒ සියලු වැසියන්ට දුකක්, කරදරයක් පැමිණි කල පිහිට පතාගෙන පැමිණෙනුයේ සංඝමිත්තා බෝධිය අසලට බව ප්‍රසිද්ධ කතාවකි. රාත්‍රිය මෝරමින් තිබූ බැවින් වැඩි කාලයක් එහි ගත කිරීමට අප සමඟ සිටි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සුමේධ වීරවර්ධනයන් අකමැති විය.
“කෝවිලේ පූසාරි හොඳ කෙනෙක් වුණාට මේ ගමේ මිනිස්සු හරි අමුතුයි. මඟ දිගට මුණුගැසුණු අයගෙ මුහුණක හිනා පොදක් නෑ. කතා කළත් නොඇසුණු ගානට හිටියා. පුරාවිද්‍යා ස්මාරකයක් විදිහට මේ බෝධීන් වහන්සේ ගැසට් කරපු එකට විරුද්ධවත් ප්‍රදේශයේ දේශපාලනඥයන්, ප්‍රදේශවාසීන් උද්ඝෝෂණය කරලා තිබුණා. මේ ස්ථානය ඉපැරැණි බෞද්ධ සිද්ධස්ථානයක් ලෙස හඳුන්වනවට මේ ගම්වල මිනිස්සු කැමැති නෑ. ඒ නිසා ප්‍රශ්නයක් ඇති වෙන්න පෙර අපි පිටත් වෙමු…” සුමේධ වීරවර්ධනයන්ගේ කතාව සැබෑය. නොදන්නා ප්‍රදේශයක මහා රෑක ගැටලුවක් මතු වුණොත් අනතුර බරපතළය. එහෙයින් එම ප්‍රදේශයේදී දැක බලාගැනීමට තවත් පුරාවිද්‍යා ස්ථාන තිබුණ ද අඳුරේ අතපත ගෑම අනතුරකට අත වැනීමක් බැවින් මුරුගන් කෝවිල් භූමියෙන් අපි පිටත් වීමු.
මිහිඳු මහරහතන් වහන්සේ බුදු දහම රැගෙන මෙරටට වැඩම කළ පොසොන් පෝහය දින ඇස ගැටෙන එකදු නිවසක් ඉදිරිපිට හෝ පහනක් පත්තු නොවුණ ද පොසොන් සඳ තල් අරඹට ම පහනක් වී තිබේ. එය නෙත් පිනවන චමත්කාර දර්ශනයකි. සඳරැස් වැටුණු කළපුව දෙස බලාගෙන යන විට උතුරේ පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධයෙන් තිබෙන අනතුර ගැන කතාබහක් මතු විය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු කථිකාචාර්ය, දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සංවර්ධන නිලධාරියෙක් ලෙස සේවය කරන සමීර ප්‍රසංග පවසන ආකාරයට දකුණේ පුරාවිද්‍යා නිලධාරීන් උතුරට පැමිණීමට අකමැතිය. උතුර, නැගෙනහිර දැන, උගත් තරුණ පිරිස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සම්බන්ධ වී රැකියා කරගෙන යෑමට වැඩි කැමැත්තක් නැත. එහෙයින් උතුර, නැගෙනහිර ප්‍රදේශවල පුරාවිද්‍යා නිලධාරීන් අඩු ය. එම ප්‍රදේශවල පුරාවිද්‍යා ස්ථාන නඩත්තු කරගෙන යෑමේදී දැඩි ගැටලුකාරී තත්ත්වයක් මතු වී තිබේ. එමෙන්ම භාෂා ගැටලුව, ප්‍රවාහන ගැටලු දැඩිව බලපා තිබෙන බව ද සමීර ප්‍රසංග අප සමඟ පැවසුවේය. එවැනි ගැටලු නිසා උතුර, නැගෙනහිර පුරාවිද්‍යා ස්ථාන රාශියක් දැඩි අනතුරට පත්ව තිබේ. අපගේ මේ සංචාරයේ ප්‍රධාන අරමුණ තල් අරඹේ විනාශ වී යන හෙළ උරුමය ගැන වාර්තා කිරීම ය. ඒ සඳහා ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය සහිතව එම නිලධාරීන්ගේ මඟපෙන්වීම ද ලැබී තිබේ. පේරාදේණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරුන් දෙපළක් සහ බෞද්ධ මහා සම්මේලනයේ සාමාජිකයන් කිහිපදෙනෙක් ද සංචාරයට එකතු වී සිටිති.
උතුරේ සැඟවුණ ඉතිහාය සොයා යෑම දඹකොළ පටුනෙන් ආරම්භ කිරීමට අදහස වූයේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම වූ එම ප්‍රදේශය අතිශය ඓතිහාසික ප්‍රදේශයක් වන බැවිනි. එහෙත් සිරිමා බෝ වැඩි මඟ ඔස්සේ අපට ගමන් කිරීමට නොහැකි විය. අපගේ දෙවැනි නැවතුම වූයේ වේරපිටිය ගමය.
වේරපිටිය ගමේ මිනිස්සු නොසන්සුන් වෙයි…
ඉතිරි කොටස ලබන සතියට.
තරංග රත්නවීර