ඔබ ප්‍රංශයේ සිනමාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය අසා තිබේද? ප්‍රංශයේ ඇති උසස් සිනමා උළෙලවල් ගැන සහ ඒ ආශ්‍රිතව පවතින උසස් සංස්කෘතික සමාජයීය ජීවිතය ගැන නම් අසා ඇතිවාට සැක නැත. ප්‍රංශයේ ඒ උසස් කලාත්මක, රසවින්දනාත්මක ජීවිතය සැකසී ඇත්තේ සීඑන්සී හෙවත් සිනමාව පිළිබඳ ජාතික මධ්‍යස්ථානය නිසාය. එය ආණ්ඩුවේ දේශපාලන බලපෑම්වලින් ඈත්ව තිබුණත් එය සමාගමක් හෝ සංස්ථාවක් නොව රජය සතුව සංස්කෘතික අමත්‍යාංශයේ පවතින ආයතනයකි. ප්‍රංශයේ උසස් සිනමාවේ කොඳුනාරටිය එයයි. එහි සුළු හෝ කොටස් අයිතියක් ලාභ හොයන පුද්ගලික අංශයට නැත. සීඑන්සී එක පුද්ගලික නිෂ්පාදකයන් සමඟ ගනුදෙනු කරන අතර, බදු මුදල් ඍජුව සීඑන්සී පැවැත්මට යොදාගනී.

ලංකාවේ චිත්‍රපට සංස්ථාවේ කොටස් විකිණීමට අගමැතිනි හරිනි අමරසූරිය පමණක් නොව සිනමා විචාරක හිනිදුම සුනිල් සෙනෙවි සාමාජිකයෙක් වූ කැබිනට් මණ්ඩලය තීන්දු කර ඇත.

ඔබ පොල්ගොල්ල සමුපකාර විශ්වවිද්‍යාලය ගැන දන්නේද? 1940 දී එය හැදුවේ ටී. බී. ඉලංගරත්න විසිනි. සමුපකාර විෂය පිළිබඳ දකුණු ආසියාවේ විශාලම පුස්තකාලය ඇත්තේ එතැනය. එකවර 260කට නේවාසිකාගාර පහසුකම්ය. සමුපකාර විෂය පිළිබඳ පාඨමාලා පැවැත්වීමට පහසුකම් ඇත. ඉන්දියාවේ අමුල් හෝ නවසීලන්තයේ ෆොන්ටෙරා වාගේ සමුපකාර සංකල්පයෙන් රටේ ධීවර, කෘෂි හා වැවිලි ආර්ථිකයන් ගොඩදාන්න සිතන පාලකයෙකුට ඇති මහඟු සම්පත මෙයයි. එයත් අධ්‍යාපනයෙන් ලාභ හොයන දේශීය හෝ විදේශීය පාර්ශ්වයකට විකුණා දැමීමට උඩ කී මණ්ඩලයම තීන්දු කර ඇත.

ක්‍රීඩාවටත් නිවනක් නැත. සුගතදාසයේත් ඉරණම විකිණීමමය.

මේ කතා පැනනගින්නේ අගමැතිනිය පසුගිය සතියක කැබිනට් මණ්ඩලයට දැමූ රජය සතු ආයතන 160ක් පිළිබඳ වූ වාර්තාවේ කතාවෙනි.

වාර්තාව

රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය කිරීමේ කමිටු වාර්තාව තුළ මෙම කරුණු සඳහන් වේ. 2025 පෙබරවාරි මාසය සහිතව මෙම වාර්තාව නිකුත් කර ඇත. මාර්තු මාසයේදී මෙය කැබිනට් අනුමැතිය ලැබීය. ප්‍රධානියා අග්‍රාමාත්‍ය ලේකම්ය. තවත් අමාත්‍යාංශ ලේකම්වරුන් කීපදෙනකු සහ ආයතන ප්‍රධානීන් සාමාජිකයන් වීය.

රජයට අයත් වාණිජමය නොවන ආයතන 115ක්, රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවතින ආයතන 34ක් සහ තවත් ආයතන 17ක් පිළිබඳ සමාලෝචනය කිරීමට 2024 දෙසැම්බර් 13 වැනිදා ජනාධිපති අනුර කුමාර දිසානායක කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ සංදේශයට මත උක්ත කමිටුව පිහිටුවා තිබුණි.

අප ඍජුවම මෙම වාර්තාවෙහි ආයතන කිහිපයක් ගැන දී ඇති නිර්දේශවලට යොමු වෙමු. අප මෙහිදී කිව යුතු කරුණක් ඇත. මේ වාර්තාව හිතුමතේට හැම ආයතනයක්ම විකිණීමට යෝජනා කර නොමැත. ඇතැම් ආයතන පිළිබඳ තීන්දුව ඇත්තේ සලකා බැලීම්, කාර්යක්ෂම කිරීම් ආදී වචන වේ. ඒ නිසා ඔබම ඒවා කියවමින් තීන්දුවක් ගත යුතුය. ඇතැම් ආයතන කාර්යක්ෂම කිරීම යනාදී වචනවලින් ඇත්තෙන්ම අදහස් වන්නේ ඒවා එතෙක් සැපයූ සේවය වෙනුවට ඒවා හුදු ලාභ ලබන තැනට පත් කිරීමද?

පී අකුරු ගොඩක්

පීපීපී යනු රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරීත්වයට කියන කෙටි නමකි. බොහෝ අය පෙන්වා දී ඇත්තේ මෙය විකුණා දැමීමට කියන තව නමක් බවය. මේ ආණ්ඩුව පීපීපී සහ පීපීපීපී යෝජනා කළ ආයතන කිහිපයක් ඇත. පීපීපීපී කියන්නේ, පෞද්ගලික සහ මහජන හවුල්කාරීත්ව ක්‍රමයක් කියා ආණ්ඩුව හඳුන්වා දෙන්නකි.

මෙතෙක් ඉතිහාසයේ සියලු පෞද්ගලිකකරණයන්ගේ ඉතිහාසය අපි දනිමු. පෞද්ගලික හවුල්කාරීත්වය කී විගස ඒවා පුද්ගලික අංශයේ ග්‍රහණයට නතු වූ හැටිත්, ඇත්තටම සිදු වූයේ පුද්ගලිකකරණය බවත් අපි දනිමු. ඒවායේ සේවාව වෙනුවට වාණිජ අරමුණු ඉහළට පැමිණීමත්, එයින් පසු ඒ ඒ ආයතනවලින් ජාතික වශයෙන් ඉටු කළ යුතු වගකීම සහ කාර්යභාරය යට යෑමත් අපි දැක ඇත්තෙමු. පුද්ගලික අංශයට කොටස් තිබුණා නම් අප ඉහත කී ප්‍රංශයේ සීඑන්සී පෙර කී කාර්යභාරය කරන්නේ නැත. ඉතින්, වාර්තාවේ පහත දැක්වෙන ආකාරයට ආයතන කිහිපයක් ගැන සඳහන්ය.

ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය – ආයතනය පිහිටුවීමේ අරමුණු ළඟාකර ගැනීම සඳහා සුදුසු ව්‍යාපාරික ආකෘතියක් ක්‍රියාත්මක කිරීමට ආයතනයේ පූර්ව සූදානම පිළිබඳ වසරක කාලයක් අධීක්ෂණය කර ආයතනයේ ඉදිරි පැවැත්ම තීරණය කිරීම.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ විජය කුමාරතුංග අනුස්මරණ රෝහල – ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලෙහි කළමනාකරණ ආකෘතිය අසාර්ථක බව තහවුරු වී ඇති අතර, සාපේක්ෂව කුඩා රෝහලක් වන විජය කුමාරතුංග අනුස්මරණ රෝහලෙහි ද සේවාවන් සීමිත බව නිරීක්ෂණය වේ. එම තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, මෙම රෝහල් 02 හි ධාරිතාව, සේවාවන්හි තත්ත්වය, කළමනාකාරීත්වය හා අනාගත සැලසුම් පිළිබඳ ගැඹුරින් අධ්‍යනය කර මෙම රෝහල් 02 එක් පරිපාලන යාන්ත්‍රණයක් යටතේ හෝ පවතින සම්පත් ප්‍රශස්තව උපයෝජනය කළ හැකි සුදුසු ව්‍යාපාරික ආකෘතියක් යටතේ ගුණාත්මක සේවාවක් සපයන තත්ත්වයට පත්වීම.

ශ්‍රී ලංකා පදනම් ආයතනය – භාණ්ඩාගාර ප්‍රතිපාදන මත තවදුරටත් යැපීම අවම කරමින් ස්වයං ආදායම් මත කටයුතු කළ හැකි ආයතනයක් බවට පත් කිරීම සඳහා රාජ්‍ය පුද්ගලික හවුල්කාරීත්වය සඳහා ක්‍රමවේදයක් හඳුනාගෙන ඒ අනුව අභිලාෂ කැඳවීම.

සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය – සුගතදාස ක්‍රීඩාංගණ සංකීර්ණයේ උපායමාර්ගික පිහිටීම, ඒ හා බද්ධව පවතින අනෙකුත් පහසුකම්, ක්‍රීඩා කටයුතුවලට පමණක් නොව ජනතාවගේ විනෝදාස්වාදය සඳහා යොදා ගැනීමට හැකිවීම යනාදී හේතු මත මෙම පහසුකම වාණිජමය වශයෙන් ඵලදායී ලෙස භාවිත කිරීමට හැකි වන පරිදි ඒවායේ සංවර්ධනය හා කළමනාකරණය සඳහා සුදුසු පාර්ශ්වයක් සමඟ රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්ව (පීපීපී) ගිවිසුමකට එළැඹීම.

වී අලෙවි මණ්ඩලය කෙටිකාලීන පියවරක් ලෙස දැනට ආයතනය සතු භෞතික සම්පත් පිළිබඳ කඩිනම් ඇගයීමක් සිදුකර ඒවා යථාවත් කර වී ගබඩා කළ හැකි මට්ටමට පත් කිරීම. මැදිකාලීනව ආයතනය ප්‍රතිසංවිධානය කර නව කළමනාකාරීත්ව ආකෘතියක් අනුව පවත්වාගෙන යෑම. ඒ සඳහා උසස් තාක්ෂණික යෙදවුම් සඳහා ආයෝජනය කළ හැකි පාර්ශ්ව සමඟ රාජ්‍ය – පෞද්ගලික – මහජන සහයෝගීතා ආකෘතියක් ක්‍රියාත්මක කිරීම.

රන්මිහිතැන්න මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානය – මෙම ආයතනය මේ වන විට එය පිහිටුවන ලද ප්‍රධාන අරමුණින් අපගමනය වීමක් දක්වන අතර, එම තත්ත්වය තුළ අක්කර 235 වපසරියකින් යුත් සිනමා ගම්මානය ඌණ උපයෝජනය හේතුවෙන් එය නඩත්තු කිරීම භාණ්ඩාගාරයට වැය බරක්ව ඇති බැවින්, එහි උපයෝගීතාව වැඩි කිරීම හා ආදායම ඉහළ නැංවීම සඳහා සුදුසු වාණිජමය ආකෘතියකට අනුගතව ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ අභිලාෂ කැඳවීම.

ජාතික සමුපකාර සංවර්ධන ආයතනය පොල්ගොල්ල – නව රජයෙහි ප්‍රතිපත්තිමය ප්‍රමුඛතාවක් ලෙස සමුපකාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සිදු කළ යුතු බැවින් ඒ සඳහා මෙම ආයතනය පවත්වාගෙන යා යුතු අතර, එහි සම්පත් නිසි කළමනාකාරීත්වයක් තුළ ඵලදායීව උපයෝජනය ද අරමුණු කරගනිමින් ආයතනයෙහි ගොඩනැගිලි හා ආශ්‍රිත යටිතල පහසුකම් ද පරිහරණය නොකරන ලද භූමිය ද වෙන් වෙන්ව සලකා සුදුසු දේශීය පුද්ගලික අංශයේ හෝ විදේශීය පුහුණු හෝ උසස් අධ්‍යාපන ආයතනයක් සමඟ සහයෝගීතා ආයෝජනයක් සඳහා අභිලාෂ කැඳවීම.

ඉහත සඳහන් වූ ආයතනවල කාර්යය වඩාත් තරගකාරීව සහ රජයට වැය බරක් නොවන අයුරින් සිදු කරන පෞද්ගලික ආයතන දේශීයව හා විදේශීයව ව්‍යාප්ත වී ඇති බැවින් රජයේ ප්‍රතිපත්තිවලට අනුගත වන ශක්තිමත් ගිවිසුම් ඇති කර ගැනීම කමිටුව පොදුවේ යෝජනා කර ඇත.

සමාලෝචන අවශ්‍ය ආයතන

ක්ෂේත්‍රයේ අත්දැකීම් සහිත විද්වත් කමිටුවක් මගින් අධ්‍යනය කර හෝ ආංශික සමාලෝචනයක් සිදු කර නිර්දේශ ලබාදිය යුතු ආයතන ලැයිස්තුවක් ද එහි ඇත. ඒවා පිළිබඳ කමිටුවෙන් නිර්දේශ ඉදිරිපත් කර ඇති නමුත් සමාලෝචනයකුත් ඉල්ලා සිටී. ඒවා ගැන වාර්තාවේ සඳහන් වෙන්නේ මෙසේය.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව – කර්මාන්තයේ නව ප්‍රවණතාවන්ට ගැළපෙන අයුරින් ක්‍රියාත්මක කිරීම මගින් මහා භාණ්ඩාගාරයේ ප්‍රතිපාදන මත යැපුම් මට්ටම් අවම කිරීමට සුදුසු රාජ්‍ය, පෞද්ගලික හවුල්කාරීත්ව උපායමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව පිළිබඳව සුදුසු විද්වත් කමිටුවක් මගින් සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කර නිර්දේශ ලබා දීම.

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක රෝහල – මෙම රෝහල ස්ථාපනය කිරීම හා පවත්වාගෙන යෑම සඳහා වන පිරිවැයට සාපේක්ෂ සේවාවක් හෝ ආදායමක් නොලබන බැවින් එය මහා භාණ්ඩාගාරයට වැය බරක් වී ඇත. එබැවින් මෙම පහසුකම ඵලදායී ලෙස භාවිතයට ගත හැකි ආකාරය අධ්‍යනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා සුදුසු කමිටුවක් පත් කිරීම.

ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය, ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය, ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාව යන ආයතන තුන – ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනය රටෙහි ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා අතිශයින් වැදගත් වන බැවින්, මෙම ආයතන තුන ද ඇතුළුව මෙම ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක වන සියලු ආයතන සමාලෝචනයට ලක්කරන ආංශික සමාලෝචනයක් සිදු කර මෙම ආයතන පිළිබඳ තීරණ ගැනීම සුදුසුය. එහිදී පහත කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම.

මෙම කමිටුව මගින් නිර්දේශ කරන පරිදි, රටේ සියලුම ක්ෂේත්‍රවල දැනට වෙන් වෙන් වශයෙන් ක්‍රියාත්මක වන පර්යේෂණ ආයතන සියල්ල එක් කළමනාකාරීත්වයක් යටතට පත් කරමින් ස්ථාපනය කිරීමට යෝජිත ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක විය යුතු පර්යේෂණ ආයතනයේ විෂයපථය තුළට නාරා ආයතනයේ පර්යේෂණ කටයුතු ද ඇතුළත් කිරීම.

ධීවර ක්ෂේත්‍රයේ වාණිජ කටයුතුවලට පුළුල්ව හා ඵලදායීව ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ නියාමනය යටතේ මෙහෙයවිය හැකි රාජ්‍ය – පෞද්ගලික – මහජන සහයෝගීතා ආකෘති හඳුනාගෙන ක්‍රියත්මක කිරීම.

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ කාර්යසාධනයට බාධාකාරීව පවතින පරිපාලන ගැටලු සඳහා තිරසර විසඳුම් ලබාදීම.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව – දේශීය උසස් අධ්‍යාපන ආයතන මෙන්ම විදේශීය විශ්වවිද්‍යාල හා අනුබද්ධව පාඨමාලා පවත්වන දේශීය පෞද්ගලික ආයතනවල තත්ත්ව ආරක්ෂණය එම පාඨමාලා අනුගත කිරීම, සහතික කිරීම සඳහා බලයලත් නියාමන ආයතනයක් වශයෙන් ශක්තිමත් කිරීම.

ඒ අනුව රාජ්‍ය විශ්වවිද්‍යාලවල කොඳුනාරටිය වූ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට SLS වැනි සහතිකයක් ලබාදෙන ප්‍රමිති නියාමන ආයතනයකට සීමා කර ඇත.

වහන ආයතන

සුගතදාස, චිත්‍රපට සංස්ථාව විකුණන්න තීන්දු කළ කඩිමුඩි වාර්තාවේ කතාව

අනෙකුත් ලැයිස්තුව කළමනාකරණය සඳහා රජයේ මැදිහත්වීම ඉවත් කළ යුතු සහ ඈවර කළ යුතු ආයතන ලැයිස්තුවයි. ඒවායේ ඇතැම් ආයතන ඇත්තෙන්ම බෝඩ් ලෑලි පමණක් බව තර්ක කළ හැක. ඇතැම් ආයතන ගැන කතාව ඊට වඩා සංකීර්ණය. ඒ ලැයිස්තුව මෙසේය.

ගාලු උරුමය පදනම, ශ්‍රම වාසනා අරමුදල, ජාතික සමුද්‍ර කටයුතු කාරක සභා ලේකම් කාර්යාලය, පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය, මානව සම්පත් සංවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා ජාතික සභාව, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (අයිසීටීඒ), ජාතික කෘෂිකාර්මික විවිධාංගීකරණය හා ජනාවාස අධිකාරිය (හදබිම අධිකාරිය), ශ්‍රී ලංකා ජාතික සාගිනි නිවීමේ ව්‍යාපාර මණ්ඩලය, ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය. ශ්‍රී ලංකා කජු සංස්ථාව, කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලය, වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය එම ආයතන වේ.

මීට අමතරව, පසු අස්වනු කළමනාකරණ ආයතනය යටතේ ඇති නූඩ්ල්ස් නිෂ්පාදන ආයතනය රාජ්‍ය මැදිහත්වීමකින් තොරව ක්‍රියාත්මක කිරීම සුදුසු බැවින් පෞද්ගලික ආයෝජකයෙකු වෙත පවරාදීම නිර්දේශ කර ඇත.

කජු සංස්ථාවේ ඇති කජු වගාව සඳහා සුදුසු, ආයතනය සතු ඉඩම් කුඩා, මධ්‍යම හෝ විශාල පරිමාණයෙන් එම කර්මාන්තයේ නියැලීමට හා ඒ සඳහා ආයෝජනය කිරීමට කැමැත්ත හා සුදුසුකම් සපුරාලන පුද්ගලයන්ගේ හෝ ආයතන වෙත දිගුකාලීන පදනම මත නිදහස් කිරීමට තීන්දු කර ඇත.

මීට අමතරව රජයේ දෙපාර්තමේන්තු සහ අරමුදල් පිළිබඳ නිර්දේශ ද ඇත. ඒවා ගැන වෙනම කතා කළ යුතුය.

සීමා

මෙම වාර්තාව ගැන කතා කරද්දී වඩා වැදගත්ම දේ ලැබී තිබුණු කෙටි කාලසීමාවයි.

අමාත්‍ය මණ්ඩල තීරණය අනුව ආයතන 166ක් සමාලෝචනය කර සවිස්තරාත්මක වාර්තාවක් මාස 02ක් ඇතුළත අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීම සඳහා කමිටුව විසින් සකස් කළ යුතු විය.

ඒ කියන්නේ රජයේ අමාත්‍යාංශ ගණනාවක ලේකම්වරුන් ප්‍රමුඛ පිරිසක් විසින් තමන්ගේ සියලු කාර්යභරයන් තිබියදී රටේ නූතන ඉතිහාසය පුරා පැවති, රටේ පැවැත්ම වෙනුවෙන් විවිධ අවස්ථාවල නිර්මාණය කෙරුණු ආයතන ගණනාවක ඉරණම තීන්දු කර තිබුණි. ඔවුන්ට ලැබුණේ මාස දෙකකි.

ඒ ඒ අමාත්‍යාංශවල තිබෙන ඒ ඒ ආයතන යනු විද්‍යාව, පර්යේෂණ, අධ්‍යාපනය, සමාජ සුබ සාධනය, ප්‍රවාහනය, වැවිලි, ඛනිජතෙල්, සිනමාව, සමුපකාර, ක්‍රීඩාව ආදී එකිනෙකට වෙනස් විෂයයන් ගණනාවකට ආයතන ගණනාවක් වන අතර ඒවා ගැන තීන්දු ගැනීමේදී විෂයන් ගැන දැනුමත් අත්‍යවශ්‍ය විය. ඒත්, කමිටුවට තිබුණේ ටෙස්ට් මැච් එකක ලකුණු ප්‍රමාණය ඕවර් විස්සෙන් රැස් කිරීමේ අභියෝගයකි. ඉතින්, කමිටුවේ පිතිකරුවන් හතර අතේ පිත්ත වනනවා හැර කුමක් කරන්නද?

මාස දෙකෙන් මේ කාර්යබහුල කුඩා කණ්ඩායම කර ඇත්තේ කුමක්ද? ආයතන සීයකට වඩා පිහිටවීමට පාදක වූ අරමුණු හඳුනාගැනීමත්, ඒවායේ වලංගුභාවය සහ අවශ්‍යතාව නිශ්චය කර ගැනීමත්, ඒ ඒ ආයතනවල නිමැවුම්වලට අදාළ වාර්ෂික හා මැදකාලීන ඉලක්ක, කාර්යසාධන දර්ශක හා පසුගිය වසර තුනක් තුළ එම ඉලක්ක ළඟා කර ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කරගැනීම ඔවුන්ගේ කාර්යභාරයක් වී ඇත.

වාර්තාවේ එම කාර්යභාරය ඉටු කිරීම ගැන මෙසේ ලියා ඇත.

“මෙම කාර්යභාරය ඉටු කිරීමේදී මාස 02ක් වැනි කෙටි කාලසීමාවක් තුළ අමාත්‍යාංශ 24ක් යටතේ පවතින වාණිජමය නොවන ආයතන නිවැරදිව හඳුනා ගැනීමත්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා අවසන් වශයෙන් තහවුරු කරගත් ආයතන 160ක ප්‍රධානීන් සම්බන්ධීකරණය කරගනිමින් ආයතන පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමත්, ඒවා විශ්ලේෂණය කර නිර්දේශ ඉදිරිපත් කිරීමත් අභියෝගයක් විය. ආයතන මගින් ලිඛිතව ඉදිරිපත් කළ තොරතුරු තහවුරු කර ගැනීමට හා එම ආයතනවල මෙහෙයුම්වලට අදාළ ගැටලු පිළිබඳ ඍජු සාක්ෂි ලබාගැනීමට එම ආයතන භෞතිකව නිරීක්ෂණය කිරීමට කාලය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් නිර්දේශ ලබා දීමේදී මතුවිය හැකි ගැටලු හා දුර්වලතා අවම කිරීම සඳහා මහජන අදහස් විමසීමටත් අවශ්‍ය අවස්ථාවල ආයතන ප්‍රධානීන් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත කැඳවා සාකච්ඡා කිරීමටත් පියවර ගන්නා ලදි.”

මෙම කමිටුව විගණන විමසුම්, රජයේ ගිණුම් කාරක සභාවේ සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ කමිටුවලින් ලබා දී ඇති නිර්දේශ, අනාගත සංවර්ධන සැලසුම්, වර්තමානයේ මුහුණදෙන ගැටලු සහ අභියෝග යනාදී කරුණු රැස්කර තිබුණි. මෙහි රැස්වීම්වලට කැඳවා වැඩිදුර කරුණු විමසා තිබුණේ ආයතන 160න් 17ක ප්‍රධානීන් පමණි. මෙම කමිටුවට මහජන අදහස් විමසීමක් කර තිබුණත්, ඉදිරිපත් වූ යෝජනා 1703ක් අතරින් 1399ක්ම ඇවිත් තිබුණේ එක ආයතනයක් ගැනය. ඒ, ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන උපාධි ප්‍රදානය කරන තත්ත්වයට උසස් කරන ලද ඉල්ලීම්ය. තව 209ක් ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය සහ තවත් 29ක් වෘත්තීය හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සම්බන්ධ අදහස් දැක්වීම්ය.

නිර්ණායක

ආයතන පිහිටුවීමේ අරමුණ සහ වර්තමාන කාර්යභාරයත්, ආයතනය පවත්වාගෙන යෑම සඳහා මහා භාණ්ඩාගාරයේ අරමුදල් මත යැපුම් ස්වභාවය මෙහිදී සැලකිල්ලට ගෙන තිබුණු ප්‍රධාන නිර්ණායක දෙකකි. වාර්ෂික මෙහෙයුම්, ආයතන සතු වත්කම්, ආයතනයෙහි වගකීම්, කාර්යාල පරිශ්‍ර පවත්වා ගැනීම, කළමනාකරණය යනාදී අනෙකුත් නිර්ණායක ද එහිදී සලකා බලා තිබුණි.

එහෙත් ඇත්තටම රටේ ආයතන පිළිබඳ තීන්දු ගැනීමේදී ඉන් එහා ගිය නිර්ණායක සලකා බැලීමක් අවශ්‍ය නැතිද? විශේෂයෙන් නූතන ලෝකයෙහි ඇති විය හැකි ගෝලීය යුද්ධ, වෙළෙඳ යුද්ධ, දේශගුණ අර්බුදය මෙන්ම ඇතැම්විට වසංගත ආදිය නිසාත් ආනගත ලෝකයෙහි හදිසි ආර්ථික උවදුරු ඇති විය හැකි බව සිහියට ගත යුතු නැද්ද? 1978 සිට නව වතාවක් අයිඑම්එෆ් ගොස්, හයවතාවක්ම ඒ වැඩසටහනේ නිර්දේශිත දේවල් සම්පූර්ණ කරමින් දැවැන්ත පෞද්ගලිකකරණයක් සිදුකළ ලංකාව කිසිදු ක්ෂේත්‍රයක වර්ධනයක් පෞද්ගලික අංශය හරහා අත්පත් කර නොගත් බවත්, දැන් අවශ්‍ය වන්නේ පුළුල් රාජ්‍ය මැදිහත්වීමක් සහිතව කාර්මික, වැවිලි, කෘෂි, ධීවර, අධ්‍යාපනික, සෞඛ්‍යමය මෙන්ම කලාත්මක මෙන්ම ක්‍රීඩාමය යනාදී සංවර්ධනයක් බව මේ ආණ්ඩුවට අවබෝධයක් නැතිද? මේ ආණ්ඩුව හැත්තෑ ගණන්වල සිට අයිඑම්එෆ් සහ නව ලිබරල් මාවතේ විවේචකයෙක් නොවී ද?

මෙවැනි ආයතන ගැන තීන්දු ගැනීමේදී මේ කමිටුව සැලකිල්ලට ගෙන ඇති වොෂිංටන් එකඟතා මත පදනම් වූ අයිඑම්එෆ් විසින් නිර්දිෂ්ඨ සාධකවලට එහා ගොස් රටේ ජනතාවගේ පැත්තෙන් වූ සාධක මත තීන්දු ගැනීමේ අත්‍යවශ්‍යතාව අප අවධාරණය කළ යුතුය. ආණ්ඩුවට නිලධාරී කමිටුවක වාර්තාවක් මත තනිව තීන්දු ගත නොහැකි බවත් සිහිපත් කළ යුතුය. මේ ආයතන පද්ධතියම අයිති ජනතාවට වන නිසා මින් එහා ගිය විවෘත සහ පුළුල් සංවාදයක් කළ යුතුමය.

තරිඳු උඩුවරගෙදර


advertistmentadvertistment