පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුව ඇති වකවානුවක අප රට ඊට විරුද්ධ දිශාවකට ගමන් කරමින් සිටින බවට හොඳටම පැහැදිලි වන්නේ සූර්ය විදුලි බල උත්පාදනය සහමුලින්ම අඩාළ කිරීම සඳහා අමාත්‍යවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මගිනි. පසුගිය බදාදා මේ ගැන පැහැදිලි කිරීමට රජයේ රූපවාහිනී නාලිකාවක වැඩසටහනක් සම්පාදනය කොට තිබිණ. විදුලිබල අමාත්‍යාංශයේ ලේකම්වරයා, හිටපු සාමාන්‍යාධිකාරීවරයෙක් සහ තවත් විද්වතුන් දෙපලක් ඊට සහභාගි විය. පුනර්ජනනීය බලශක්තියේ වැඩිම පංගුවක් සහිතව රටේ බලශක්තිය මෙහෙයවිය යුතු ක්‍රමය සම්බන්ධව මීට වසර 20කට පෙර වාර්තාවක් සකස් කර දුන් අයුරු, ඒ මගින් රටට ඉන්ධන ගෙන්වීමට යන විදේශ විනිමය ඉතිරි වන අයුරු හා රටට වන වාසිය ගැන පෙන්වාදුන් බව ඉන් පැහැදිලි කරදී තිබුණි. එහෙත් විදුලිබල අමාත්‍යාංශයේ බලධාරීහු එම යෝජනා විසිකර දමා ඒවා ඉදිරිපත් කළ ඉංජිනේරුවන් ද එම තනතුරුවලින් ඉවත්කොට පිළිකන්නට දැමූ බව මෙහිදී අපූරුවට පැහැදිලි කළේය. පුනර්ජනනීය බලය විදුලිබල මණ්ඩලයට වහකදුරු බව ඉන් මැනවින් පෙනී ගිය අතර ඔවුන් ලවාම එම කටයුතු කරවා ගැනීමට යම් රජයක් උත්සාහ කරයි නම් එයද මෝඩ ක්‍රියාවක් බව තේරුම් ගැනීමට එතරම් උගත්කමක් අවශ්‍ය නොවේ.

මෙහිදී ලේකම්වරයා අපූරු උදාහරණයක් මගින් පුනර්ජනනීය විදුලිබලය ගැන පැහැදිලි කිරීමක් කරමින්, අප හාල් මිලදී ගන්නා විට කිලෝ පහක මල්ලක් ගන්නා විට ගෙවන මුදලට වඩා වැඩි මුදලක් කිලෝ එක බැගින් මලු පහක් ගන්නා විට විට ගෙවිය යුතු බව පෙන්වා දුන්නේය. මින් අදහස් කළේ වහල මත පවත්වාගෙන යන කුඩා සූර්යබල පද්ධතිවලින් කුඩා ප්‍රමාණයෙන් විදුලිය ගන්නවාට වැඩිය විදේශ සමාගම් විසින් ලංකාවේ ස්ථාපනය කරනු ලබන විශාල බලාගාරවලින් ඩොලර් ශත 7 කට විදුලිය ලබා ගැනීම විදුලිබල මණ්ඩලයට ලාභ ගෙන දෙන්නාක් මෙන්ම ඉන් මහජනතාවට ද අඩු මිලට විදුලිය ලබාදීමට හැකිවනු ඇති බවයි. එබැවින් වහලය මත ඉදිකරන බලාගාරවලින් ද එවන් මුදලකට විදුලිය ලබා ගන්නවා මිසක වැඩි මුදලක් ගෙවීම අනවශ්‍ය බවයි.

නමුත් එතුමාට නොපෙනුණ පැත්ත නම් රටේ මහජනතාවට විදුලිය විකුණා ඉන් එකතුකර ගන්නා මුදල් විදේශීය සමාගම් හරහා පිටරටට ගෙනයන බවය. අපේ ඉඩම් පිරිනමා අප රටට වැටෙන හිරු එළියෙන් පිටරටට විදේශ විනිමය ගෙවා විදුලිය ලබාගැනීම ලංකාවේ පුද්ගලයින්ට මුදල් ගෙවා විදුලිය ලබාගැනීම හා සමකිරීමට ලේකම්වරයා උත්සාහ කළේ ඒ ගැන නොදන්නාකමට ද නැතහොත් ලංකාවේ මිනිසුන්ට කොළේ වහන්නටදැයි අපි නොදනිමු. කෙසේ වෙතත් වහලය මත ඉදිකළ බලාගාරවලට අමාත්‍යවරයා යෝජනා කර ඇති ඒකකයක් සඳහා ගෙවන මුදල යටතේ තවදුරටත් එම බලාගාර ඉදි නොවනු ඇත. එවිට කැමති පරිදි පිටරටට මුදල් ගෙවා විදුලිය ලබාගත හැකිය.

අඩු මිලට පිටරටින් ගෙනවිත් කන්නට දී රට ණය කළ ක්‍රමය යළිත් ගෙන එන්නට තනන විදුලි ලොක්කෝ

විදුලිබල ලේකම්වරයා පවසන පරිදිම වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම්වරයා ද කටයුතු කළොත් පාරිභෝගිකයා ආරක්ෂා කිරීම පිණිස විදේශවලින් අඩු මිලට සහල්, ඇඟලුම්, පලතුරු ආදිය ද ගෙනවිත් මෙහි බෙදාහරිනු ඇත. එවිට ලංකාවේ නිෂ්පාදනය නැතිවී විදෙස් නිෂ්පාදනයන්ගෙන් රට පිරෙනු ඇත. ලංකාවේ නිෂ්පාදකයා තම කටයුතු අත්හැර දමනු ඇත. ජේ. ආර්. ජයවර්ධන රජය ලංකාවේ ස්වයංපෝෂිතව තිබූ ආර්ථිකය විනාශ කළේ එසේය. අද අප විශාල ණය උගුලක හිරවුණේ එපරිද්දෙනි. විදුලිබල අමාත්‍යාංශය පෙරගමන් සකසන්නේ එයටද?

ලේකම්වරයා කියා සිටින තවත් කරුණක් නම් වහලය මත ඉදිකරන බලාගාර හේතුවෙන් පද්ධතිය යම් යම් අවස්ථාවල සමතුලිත කරගැනීමේ අපහසුතා ඇතිවිය හැකි බවයි. පසුගිය රජයන් ඒ සඳහා කටයුතු කර නැති බව එතුමා ප්‍රකාශ කරන අතර මීට කලින් පැවති සියලුම රජයන් ද කියා සිටියේ එයමය. පද්ධති සමතුලිත කිරීමේ එතරම් අපහසු නොවන කටයුත්ත සඳහා ජාත්‍යන්තරව ආධාර දීමට නොයෙකුත් ආයතන ඉදිරිපත් වුවත් පසුගිය රජයයන් මෙන්ම මෙම රජය ද මේ වනතෙක් ඒ සඳහා ක්‍රියාත්මක වී නැත.

පද්ධතිය සමතුලිත කරගැනීමට මහජනතාවගේ සහය පහත දැක්වෙන පරිදි ලබාගත හැකි බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

  1. සෝලා විදුලිය වැඩිපුර නිපදවෙන කාලය තුළ එනම් දවල් 11.00 සිට සවස 2.00 දක්වා ගෘහස්ථ විදුලිය වැඩිපුර භාවිතය සඳහා රයිස් කුකර්, ඉස්තිරික්ක, හීටර, ගීසර, වතුර මෝටර ආදිය භාවිතා කිරීම
  2. විදුලි මෝටර් රථ, මෝටර් සයිකල් ආදිය මේ වෙලාව තුළ ආරෝපණය කිරීම.
  3. මින් ඉදිරියට විද්‍යුත් වාහන පමණක් මිලයට ගැනීම සඳහා ක්‍රමවේද සකස් කිරීම.
  4. හැකි සැම දෙනාටම බැටරි සවිකර දිවාකාලයේ විදුලිය එක්රැස් කර රාත්‍රී කාලයේ භාවිතා කිරීමට කටයුතු සැලැස්වීම හා බැටරි අඩුමිලට ගෙන්වා ගැනීමට ආධාර හා අනුබල දීම.
  5. ඉහත කාරණා නිසි පරිදි සිදුවන්නේදැයි නියාමනය කිරීම.

චිත්‍රාන් ගමගේ


advertistmentadvertistment