වැස්සෙන්, ආපදාවෙන්, විනාසයෙන් පාරවල් මුදාගන්නට අතිකාල නැතිව, සොච්චමට වැඩ කළ මිනිස්සු

ආපදා කටයුතු වෙනුවෙන්’ දවල් කියලා නෑ. අනිවාර්යයෙන් යන්න ඕනෑ. ගහක් කඩා වැටුණොත් පාර නිදහස් කරලා දෙන්න ඕනෑ. ඒකට ගෙදර ගිහිල්ලා ඉන්නවාද, කොහේ ඉන්නවාද කියලා නෑ. අදාළ නිලධාරීන් කතා කළොත් අපි යන්න ඕනෑ. ඒ වගේ සේවයක් අපි අතින් වෙනවා. දවසේ වැඩ ඉවරවෙන වෙලාවට ගහක් කඩා වැටුණොත් ගෙදර යන්න නෑ. ඒත්, අපට අතිකාල දීමනාවක් නෑ. පාරවල් හදන, අලුත්වැඩියා කටයුතු කරන්නේත් අපි. චන්දන අනුරුද්ධ කතා කරන්නට පටන් ගත්තේය. ඔහු මහව විධායක ඉංජිනේරු කාර්යාලය යටතේ මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන්නේය.

‘අපේ කණ්ඩායම බඳවා ගනිද්දී එතුමාගේ ලේකම් විදියට හිටියේ ලක්ෂ්මන් කිරිඇල්ල හිටපු ඇමැතිවරයාගේ දුව. ඇය කීවේ ගුරුවරුන්ටත් වඩා වැටුපක් තියෙන රස්සාවක් දෙනවා කියලයි. මාස හයෙන් ස්ථීර කරනවා කියලා කිව්වා. හුඟාක් හොඳයි කියලා කීවා. ඒත්, තවමත් අපි ඉතා අඩු වැටුපකට ස්ථීර නැති රස්සාවක් කරනවා. මැරීගෙන වැඩ කළත්, අපට ජීවිතේ ගැටගහගන්න බැහැ.’ ඒ කතා කළේ නිලන්තය.

ඔවුන් මේ කතා කළේ ජුනි 12 වැනිදා බත්තරමුල්ලේ මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයට ඉදිරිපිට පැවති විරෝධයට සමගාමීවය.

‘පහුගියදා අනුරාධපුර ප්‍රධාන පාරට කුඹුක්ගහක් කඩා වැටුණා. පහයි කාලයි අපි යන්න යනකොට. අපි වැඩ ඇරිලා යන්න ලෑස්තිවෙද්දී තමයි වැඩේට යන්න වුණේ. අපට පැය ගාණක් ගියා ඒක අයින් කරන්න. හැබැයි, රාජකාරී වෙලාවෙන් පස්සේ. අපි ඒක අයින් කළේ නැත්නම් අනුරාධපුර – පාදෙණිය මාර්ගය සම්පූර්ණයෙන් ගමනාගමනය අවහිර වෙනවා. කවදාවත් අපි ඒවා කරනකොට කොන්දේසි දාන්නේ නෑ. ඒ වගේ තමයි පාරේ වළක් හැදුණොත් පැච් වහන්නට සිද්ධ වෙන්නේ අපට’ නිලන්ත වැඩිදුටත් කීය.

ඔහු මේ කරුණු සිහිපත් කරන හදිසි මාර්ග පිළිසකර කිරීම්වල වැදගත්කම ආපදා පවතින සමයක ඕනෑ කෙනකුට වැටහෙනු ඇත. එහෙත්, මේ මිනිසුන්ගේ ශ්‍රමය අමු අමුවේ රජය විසින් සූරාකෑම දුකට කරුණකි.

එයට එරෙහිව පැමිණි මාර්ග සංවර්ධන අධිකාරියේ අනියම් කම්කරුවන් වූ උක්ත සේවකයන්, 12 වැනිදා එහි ගේට්ටු වසා ගත්හ. කිසිවකුට පිට වෙන්නට හෝ ඇතුළු වෙන්නට ඉඩ නොදෙන බව කීහ. ඔවුන්ට සාකච්ඡාවක්වත් ලබා නොදීමට මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් උත්සාහ කරන ලදී. ඉන්පසු ලබාදුන් සාකච්ඡාවේදී කීවේ, ජුනි 17 වැනිදා යළි සාකච්ඡාවක් දෙන බවය. එයට ප්‍රතිචාර ලෙස අනියම් කම්කරුවන් මාර්ග සංවර්ධන අධිකාරිය ඉදිරිපිට මාර්ගය වැසීමට උත්සාහ කළේය. අන්තිමේ, හවස 4ට සාකච්ඡාවක් ලැබුණි. මසක් ඇතුළත අනියම් සේවකයන්ගේ ප්‍රශ්න විසඳන බවට පොරොන්දු ලැබුණි. එහෙත්, ඔවුන්ට ඒවා විශ්වාස නැත. ඔවුන්ට ඕනෑ රටේ ජනතාව එක්ක තමන්ගේ අවනඩුව බෙදා ගන්නටය.

අනියම් යන වචනය සමාජය තුළ වැඩිපුර යෙදෙන්නේ රහසිගත පවුල් සම්බන්ධතා ගැන කතා කරද්දීය. එහෙත්, මේ කතාව ඒ ආකාරයේ රහසිගත සම්බන්ධතාවල සිටින පවුල් දහසක් ගැන නොවේ. එහෙත්, අපේ පාර හදන්නට වෙහෙස වී, හෙට මහපාරටම වැටෙන්නට සිදුවේදැයි සැකයෙන් බියෙන් සිටින සේවකයන් දහසකගේ පවුල්වල අනාගතය ගැන කතාවකි. එහෙත්, එන්නේ මැතිවරණ සමයක් නිසා මේ කතාව බොහෝ ඡන්ද දායකයන් සහ දේශපාලන පක්ෂ විශ්වාස කරන උදවියට පාඩමක් වනු ඇත.

කතාවට මූලාශ්‍රය මේකය. සංඛ්‍යාවෙන් දහසකට වැඩි මාර්ග සංවර්ධන අධිකාරියේ මාර්ග නඩත්තු සඳහා වන අනියම් සේවකයන් පසුගිය වසර කිහිපයක් තිස්සේ වරින් වර විරෝධතා පවත්වමින් එක් ඉල්ලීමක් ඉල්ලමින් සිටී.

අවුරුදු තුනකට වැඩි සේවා කාලයක් සපුරා ඇති අනියම් පදනමින් බඳවාගත් මෙම මාර්ග නඩත්තු කම්කරුවන්ගේ රැකියා ස්ථීර කර ගැනීම ඉල්ලීම වී තිබේ.

‘අවුරුද්දෙන් අවුරුද්ද තියෙන දෙයක් විකුණ විකුණා තමයි දැන් රෝල ගහගන්නේ. අපට පඩියෙන් ජීවත් වෙන්න බෑ. දුවා දරුවන්ට උගන්වන්න බෑ. ගේ දොර තියෙන කටයුතු කරගන්න අපහසුයි. ඒත්, මෙච්චර කාලයක් මේ රැකියාවේ නියැලුන නිසා අපට වෙන රැකියාවකට යන්න අපහසුයි. ඒ නිසා තවමත් අපි මේකේ නියැළිලා ඉන්නේ මෙච්චර කාලයක් වැඩ කරපු නිසා. ඒ නිසයි අපි ඉල්ලන්නේ මේක ස්ථීර කරලා දෙන්න කියලා.’ එසේ වැඩිදුරටත් කතා කළේ නිලන්තය. ‘අතෑරලා යන්න නිතර හිතෙනවා. ඒත්, කොහොමද රස්සාවක් හොයාගන්නේ’ ඔහු කියයි.

එක්සත් පොදු සේවක සංගමයේ හිටපු ලේකම් මෙන්ම, ප්‍රකට වෘත්තිය සමිති ක්‍රියාකාරිකයකු වූ නීල් විජේතිලක පසුගිය වසරේ සිය විප්ලවීය දිවියෙන් සමුගත්තේ වැඩකරන ජනතාව වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළාට පසුව. දැන් එහි ලේකම්වරයා වන්නේ නිහාල් අජිත්ය. ඔහු මෙසේ කියයි.

‘මේ සේවකයන් 2015 යහපාලන ආණ්ඩුවෙන් බඳවාගත් අය. අවුරුදු 9ක් අනියම් සේවකයන් ලෙස කටයුතු කරනවා. ඔවුන්ගේ දිනෙක වැටුප රුපියල් 825යි. මසකට රුපියල් තිස්දහසක පමණ මුදලක්. වතු කම්කරුවාට දෙනවා යැයි කියන ගණනටත් වඩා මෙම දෛනික වැටුප අඩුයි.

ඔවුන්ගේ සේවය ස්ථීර කරගැනීමට අපි ඇමැතිවරයා එක්ක කතා කළා. අවුරුදු තුනකටවත් එම පහසුකම් ලබා දෙන්න බෑ කියලා කියන්නේ. ’

‘අපි අටසිය විසිපහක වගේ අඩු වැටුපකට තමයි වැඩ කරන්නේ. රජයේ සේවකයන්ට, වෙනත් සේවකයන්ට ලබාදෙන නිවාඩු ලැබෙන්නේ නෑ. එදිනෙදා වැඩට නොගියොත් වැටුපක් ලැබෙන්නේ නෑ. බෝනස් නැහැ. අතිකාල දීමනා නෑ. මෙච්චර කාලයක් අඩු වැටුපට වැඩ කරපු කම්කරුවන් ස්ථීර කරලා දෙන්න කියලයි’ චන්දන වැඩිදුරටත් කීය.

අපි ගණන් හදමු. මේ සේවකයන් ස්ථීර කොට, ඒ සමග මුලින්ම ඔවුන් වෙනුවෙන් මාසයකට රුපියල් 10,000ක් අඩුම තරමේ වැටුප් වැඩිවීමක් ලැබුණා යැයි සිතමු. මෙතැන සිටින්නේ සේවකයන් දහසක් පමණි. ඒ අනුව දසදහසේ ඒවා දහසක් කෝටියකි. මාස දොළහට කෝටි 12කි. ඕනෑ නම්, එක් කෙනකුගේ වියදම දෙගුණ කළත් කෝටි 24කි. අව්වේ වැස්සේ පාරේ වැඩකරන කම්කරුවන් දහසක් වෙනුවෙන් අවුරුද්දට කෝටි දොළහක අතිරේක වියදමක් දරන්නට මාර්ග සංවර්ධන අධිකාරියට නොහැකිද? ඔය ගණන මෙන් කිහිප ගුණයක නාස්තියක්, පාඩුවක් සහ වංචා සහගත ක්‍රියාවන් පසුගිය දශක ගණන් තිස්සේ මෙම අධිකාරියට අනුබද්ධව සිදුවෙමින් පවතී. සේවකයන් සියලු දෙනාට අවුරුද්දකට දෙන වැටුප දිනකින් දෙකකින් සොරකම් කළ අය සිටී. ඉතින්, මේ සේවකයන් ස්ථීර කරන්නට බැරි අහේනිය යනු දේශපාලන මුග්ධභාවයක් මිස අනෙකක් නොවේ.

කාරණා දෙකක් සිහිතබාගන්නට ඕනෑය. එකක් මාර්ග සංවර්ධනය සහ මහාමාර්ග අපේ සමාජයීය, ආර්ථිකමය සහ අනෙක් හැම දේටම කෙතරම් වැදගත්ද කියාය. දෙවැන්න මේ අප කතා කරන පිරිස මහා සමාජයීය බලයක් හිමි, ඉහළ අධ්‍යාපන සුදුසුකම් සහිත සහතික අතැති පිරිසක් නොවන බවය. රුපියල් තිස්දාහක සොච්චම් වැටුපට සූරා කන්නේ ඒ මිනිසුන්ගේ මහන්සියය.

සූරාකෑම මදිවාට ඒ අයගේ සේවය ස්ථීර නොකිරීම තුළින් කොයි මොහොතේ රැකියාව අහිමිවේද යන සැකය සහ බියත් ඔවුන් තුළ දැන් ඇත. පවුල් පිටින් පාරට වැටෙන්නට වේදැයි ඔවුන් ඉන්නේ බයෙනි. පාරට වැටෙනවා යන යෙදුම ඔවුන්ට අදාළව බහු අර්ථ මවන්නේ, අන්තිමේ ඔවුන්ට වැටෙන්නට සිදුවනු ඇත්තේ ඔවුන්ම සකසා, ලේ දහදිය හළා වැඩ කරමින් නඩත්තු කළ පාරටම වීමය.

එක්සත් පොදු සේවක සංගමය යැවූ ලිපියක මෙසේ සඳහන් වේ.

‘මාර්ග සංවර්ධන අධිකාරියේ වසර 7කට වැඩි කාලයක් තිස්සේ අනියම් පදනම යටතේ සේවයේ යොදවා සිටින සේවකයන් සංඛ්‍යාව 1027ක් පමණය. මෙම සේවකයන් තවමත් අනියම් පදනම මත සේවයේ යොදවා සිටී. සේවකයන් 2015 වසරේ යහපාලන රජය යටතේ සේවයට බඳවාගත් සේවකයන් වේ.

මෙම සේවකයන්ට දැනට මාසික වැටුප වශයෙන් ලැබෙන්නේ රුපියල් 30,000කි. වර්තමාන ජීවන තත්ත්වය යටතේ ඔවුන්ට ජීවිත ගැට ගසා ගැනීම සඳහා මෙම මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවේ. දැනට මාර්ග සංවර්ධන අධිකාරියේ නඩත්තු සේවකයන්ගේ බරපතළ හිඟයක් පවතී. එබැවින් අනියම් පදනම යටතේ බඳවාගෙන ඇති සියලු සේවකයන් ස්ථීර කිරීම තුළින් එම ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි අප සංගමය අපේක්ෂා කරමු.’

‘මාස හයෙන් ස්ථීර කරනවා කියලයි බඳවාගත්තේ. ඒත්, අපට පස්සේ විවිධ කණ්ඩායම් කෙළින්ම ස්ථීර සේවයට බඳවා ගත්තත් අපව ස්ථීර කළේ නෑ.’ නිලන්ත එසේ කීය.

ඒ ඒ ඡන්ද කාලවලට බොහෝ ආයතනවල රැකියා දහස් ගණන් ලබා දෙයි. ඇතැම්විට හදිසියේ එසේ රැකියා ලබා දෙන අතර ඉදිරියේදී ස්ථීර කරන බව පොරොන්දු ආදියත් ලබා දේ. ඉදිරි මැතිවරණයේදීත් එබඳු පොරොන්දු ලබා දෙනු ඇත. එහිදී ජනතාවත් පාඩමක් ඉගෙනගත යුත්තේ, මේ මාර්ග සංවර්ධන අධිකාරියේ රැකියා මීට කලින් ලබා දී ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාගේම පක්ෂය බවය. අවුරුදු ගණනක් තිස්සේ සේවය ස්ථීර කරන බව කියමින් ඔවුන්ව රවටා ඇත්තේත් එම පක්ෂයම බවය.

මාර්ග සංවර්ධන අධිකාරියේ 2021 වාර්ෂික වාර්තාව මෑත දිනයක පාර්ලිමේන්තුවේ සභාගත කර තිබුණි. එම වාර්තාව අනුව එහි කම්කරුවන් ලෙස සේවය කිරීම සඳහා අනුමත කාර්ය මණ්ඩලය 4,034ක් සිටියේය. එහෙත්, ස්ථීර සේවක මණ්ඩලයට අයත්ව සිටින්නේ 2881ක් පමණි. තවත් පුරප්පාඩු විශාල ප්‍රමාණයක් ඇත. එහෙත්, අනියම් සේවකයන් 1267ක් ස්ථීර නොකර ඉතා අඩු පහසුකම් සහ අවදානම් සහගත තත්ත්වයන් යටතේ 2021 වර්ෂය වන විට සේවයේ සිටියේය. මේ සටහන ලියැවෙන මොහොත වෙද්දී වෘත්තිය සමිති විසින් කර ඇති ආසන්න ගණනය කිරීම් අනුව එම අනියම් සේවක සංඛ්‍යාව 1027ක් දක්වා අඩු වී තිබේ.

මාර්ග සංවර්ධන අධිකාරිය යනු ලංකාවේ ප්‍රධානම මහාමාර්ග අධිකාරිය වන අතර, ජාතික මට්ටමට අයත් වන මාර්ග පිළිබඳ සොයා බලන ආයතනයයි. එයට අමතරව පළාත් සහ ප්‍රාදේශීය සභා මට්ටමෙන්ද මාර්ග සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි. ඒ පන්තියේ සියලු මාර්ග සහ බී පන්තියේ මාර්ග අතරින් ප්‍රධාන ඒවා නඩත්තුව, පුළුල් කිරීම, ඉදිකිරීම ආදිය මෙම අධිකාරියේ වගකීමයි. ජාතික වශයෙන් මාර්ග පද්ධතිය පිළිබඳ ප්‍රතිපත්ති හා සැලසුම් සකස් කරන්නේත් මේ අධිකාරියයි. ඒ කියන්නේ, මේ රටේ අලුතින් හැදෙන මාර්ග සහ අධිවේගී මාර්ග ගැනත්, පාලම් හා ගුවන් පාලම් ආදිය ගැනත් තීන්දු ගැනීමට මෙම අධිකාරියට සිදු වේ. ජාතික මහාමාර්ග පද්ධතිය 2021 වාර්ෂික වාර්තාවේ සඳහන් ආකාරයට කිලෝමීටර් 12,496කින් සමන්විත විය. අධිවේගී මාර්ග කිලෝමීටර් 312.6ක් විය. පාලම් 4,250ක් විය. ඒ අනුව, මෙම ආයතනය ආවරණය කරන්නේ සුළුපටු පරාසයක් නොවේ. එයට හාරදහසක ස්ථීර කම්කරු සේවක පිරිසක් අවශ්‍ය වන්නේ අප යන පාර හරියට තබාගැනීම සඳහා මිස හුදු විනෝදයට රස්සා ලබා දෙන්නට නොවේ.

එහෙත්, දැන් ආණ්ඩුවේ අලුත් හපන්කම වී ඇත්තේ අනුමත කාර්ය මණ්ඩලය අඩු කර දැමීමය. ඒ අනුව හාරදහසක් පමණ වූ අනුමත කාර්ය මණ්ඩලය අඩු කිරීමට තැත් කරන අතර දේශගුණ අර්බුදය එන්න එන්නම දරුණු වෙන කාලයක කිලෝමීටර් 12,000ක් පමණ වූ මාර්ග පද්ධතිය නඩත්තු කිරීම සම්පූර්ණයෙන් අඩපණ වීමේ අවදානමක්ද තිබේ.

‘කිලෝමීටර් 3කට එක්කෙනෙක් ගාණේ තමයි ඉස්සර අනුමත කම්කරුවන් සංඛ්‍යාව හිටියේ. දැන් ඒක වෙනස් කරනවා කිලෝමීටර් 5කට එක කම්කරුවෙක් විදියට. එය දරාගන්න අසීරු තත්ත්වයක්. අපි ඉල්ලීම් කරලා තියෙනවා අනුමත කම්කරුවන් සංඛ්‍යාව අඩු කරන්න එපා කියලා. දැන් අලුත් අනුමත කාර්ය මණ්ඩලය අනුව සේවකයන් 2800ක් අනුමත කාර්ය මණ්ඩලය වෙනවා. එහෙත්, ස්ථීර සේවකයන් ඉන්නේ 2000ක් පමණයි. සුදුසුකම් සහිත සේවකයන් 800කට ආසන්න සංඛ්‍යාව ලෙහෙසියෙන් ස්ථීර කරන්න පුළුවන්.’ එක්සත් පොදු සේවක සංගමයේ සංවිධායක ලේකම් චමින්ද උදයකුමාර එසේ කීය.

‘මම වැඩට එනකොට බලල්ල යුනිට් එකේ හිටියා ස්ථීර සේවකයන් 20ක්. දැන් ඉන්නේ ස්ථීර සේවකයන් තුන්දෙනයි. අනියම් සේවකයන් තුන්දෙනා එක්ක හය දෙනයි’ නිලන්ත පෙන්වා දුන්නේ තමන් වැඩ කරන ස්ථානයේ තත්ත්වයයි.

අනුමත සේවක සංඛ්‍යාව 2021 වාර්ෂික වාර්තාව අනුව, 11,277ක් පමණ සිටියේය. එහෙත් සේවක සංඛ්‍යාව 10,000ක් පමණ විය. එහි ජ්‍යෙෂ්ඨ කළමණාකාර සේවයේ 88 දෙනකු, ඉංජිනේරු සේවයේ 777 දෙනකු සහ ඊට අමතරව පරිපාලන සේවා, තාක්ෂණික සේවාවන් සිට කම්කරු සේවය දක්වා විවිධාකාර සේවාවන්ට අයත් සේවක මණ්ඩල අනුමත කර ඇත.

කම්කරුවන් හැර අනෙක් සෑම සේවාවකම මෙන් අනුමත සේවක මණ්ඩලයට ඉතා ආසන්න පිරිසක් හෝ අතිරික්ත පිරිසක් සේවයේ යෙදී සිටී. කම්කරුවන් අතර, අනුමත කම්කරු සේවක සංඛ්‍යාවෙන් හතරෙන් එකක්ම ඉන්නේ අනියම් සේවකයන් ලෙසය. එයිනුදු බහුතරයක් සේවකයන් තමන්ගේ ජීවිතයේ වසර 10ක් පමණ අනියම් සේවකයන් ලෙස සිටී. රස්සාව ගැන අවිශ්වාසයත්, අඩු වැටුපත් සමග ඔවුන් තමන්ගේ ජීවිත ගැටගසා ගැනීමට පොරබදයි. අනුමත සේවක සංඛ්‍යාව ආවරණය කර නොමැත්තේ මේ කම්කරු සේවාවන්ගේය.

තව පැත්තකින් කීවොත් මාර්ග සංවර්ධන අධිකාරියේ සමස්ත සේවක සංඛ්‍යාව 10,000ක් වෙද්දී, එයින් සේවකයන් 1500ක් පමණ කොන්ත්‍රාත් හෝ අනියම් පදනමෙන් සේවයේ සිටින්නන්ය. ඒ අතරින් බහුතරය හෙවත් 1267ක් අනියම් සේවකයන්ය.

‘ඕනෑම ජාතියක සමාජ ආර්ථික සංවර්ධනය හා පසුකාලීන ආර්ථික වර්ධනය එහි ප්‍රවාහන යටිතල ව්‍යුහය සමග දැඩිව බද්ධව පවතී. තවද, ඕනෑම රටක ප්‍රවාහන පද්ධතිවල මට්ටම හා ගුණාත්මකභාවය දේශපාලන, ආර්ථික හා සමාජ ප්‍රගතියට බලපෑම් කිරීමේදී තීරණාත්මක වැදගත්කමක් ඇති අතර දේශීය, ජාතික හා කලාපීය සංවර්ධන සැලසුම්කරණයේ සෑම අදියරකදීම මේවා පිළිබඳව සලකා බැලිය යුතුය.’

මේ අපේ වචන නොවේ. මාර්ග සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාවකින් උපුටාගත් වචන වේ.

2021 වර්ෂය තුළ මාර්ග කිලෝමීටර් 77.5ක් වැලි තැවරීම් කර ඇත. ජාතික මාර්ග කිලෝමීටර් 280ක් ප්‍රතිසංස්කරණය කර ඇත. ග්‍රාමීය මාර්ග කිලෝමීටර් 4,580ක් ප්‍රතිසංස්කරණය කර ඇත. ඔය හදිය කළේ මොනතරම් දුරට කම්කරුවන්ව සූරාකමින්ද?

මහ පාරක යන හැම මොහොතකම රුපියල් තිස්දහසේ පඩියට කඹුරන කම්කරුවන් විඳින පීඩනය අපට දැනෙන්නට ඕනෑ නේද?

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා පහුගිය අයවැය කතාවේදී කීවේ මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතිව්‍යුහගත කරන බවය. මේ ආයතනය පුද්ගලික අංශයට විකුණනවාද? එසේ කළ හැකිද? යන්න වෙනම පැනයකි. කිසිදා විකුණන්නට සුදුසු නොවන මහජන සේවාවන් ‘ආණ්ඩුවට බිස්නස් කරන්න බැහැ’ කියමින් විකුණමින් සිටී. සේවාවන් සහ බිස්නස් අතර වෙනස නොහඳුනන ආණ්ඩුවක් මාර්ග සංවර්ධන අධිකාරියම සල්ලිවලට පාරවල් හදන ව්‍යාපාරිකයන් පිරිසක් අතට නුදුරේදී පත් කරන්නට ඉඩ ඇත.

දැනටමත් අධිවේගී මාර්ග ‘සහස්යා’ නම් පුද්ගලික වූ ආයතනයකට හරවා තිබේ. මහජනතාව තවමත් බදු මුදලින් අධිවේගී මාර්ගවල ණය පොළී ගෙවද්දී, ඒ අධිවේගී මාර්ගවල ටිකට් කඩා සල්ලි විකුණන්නට ව්‍යාපාරිකයෙක් ළඟදීම එනු ඇත. මෙවැනි පසුබිමක අනියම් සේවකයන් දහසක්, ඔවුන් අයත් වන පවුල් දහසක් බියෙන් සිටින්නේ රුපියල් තිස්දහසක වැනි සොච්චම් වැටුපක් ලබමින් වුව ජීවිතේ ගැටගසාගන්නට කරමින් සිටි රස්සාව අහිමි වනු ඇතිද කියාය. මේ රස්සා එක් පෑන් පහරින් විසි වී යා හැකිය. හිතක් පපුවක් නැති කපාදැමීම් හමුවේ තමන්ගේ ජීවිතයම, අනාගතයම විනාශ වනු ඇතිද කියාය.

ඒ නිසාම දැඩි පීඩනයකින් බත්තරමුල්ලට පැමිණි ඔවුන්, එක් වතාවක් ප්‍රධාන මාර්ගය වසා දැමීමටත් උත්සාහ කළ අතර එයට ප්‍රතිචාර ලෙස පොලිසිය විසින් කැරළි මර්දන ඒකකයත් කැඳවීය. අවසානයේ ජුනි මාසය අවසන් වීමට පෙර, විසඳුමක් ලබා දීමට එකඟ වුණේ දැඩි වේදනාවකින් සහ ආවේගයකින් යුතුව ජයග්‍රහණයක් ලබනතුරු නිවෙස්වලට නොයන බව සපථ කරමින් කම්කරුවන් සැලකිය යුතු පිරිසක් හවස් වනතුරුම රැඳී සිටි නිසාය. දැන් බලා සිටිය යුත්තේ, ඔවුන්ට ලබා දුන් පොරොන්දු ඉටු කරනු ඇතිද කියාය.

තරිඳු උඩුවරගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment