කුමුදු කුමාරසිංහගේ ‘කොළඹ මතක’ ගැන මංජුල වෙඩිවර්ධන ලියු‘ආදරණීය විග්‍රහයක’ මෙන්න මේ වගේ කොටසක් තිබෙනවා.

‘මං ඒ කතාව මෙතැන කියන්න හේතු දෙකක් තියෙනවා. එක, ඔබ දැනටමත් දන්න කුමුදුව මතකයට එන බරපතළ ම රංගනය ඒ වේදිකා නාට්‍ය නිසා (එනම් , විසාකේසා චන්ද්‍රසේකරම්ගේ ‘තහනම් අඩවිය’ වේදිකා නාට්‍ය) දෙක, විෂාකේශ ඇතුළු තවත් දකුණේ ජාතිකවාදී වම විසින් නඩත්තු කරගෙන යන දෘෂ්ටිවාදය කුමුදු තුළත් පැළපදියම් වෙලා තිබුණු බව මගේ නිරීක්ෂණය නිසා. මං එහෙම කියන්නෙ මේකයි. කුමුදුට ඒ දෘෂ්ටිවාදය එන්නෙ ඇය ජීවත් වුණු, සහ මේ මතක කෘතිය හරහා ඇය ගොඩනඟන්නට ඉඩ ඇතැයි මා අනුමාන කරන දෙමටගොඩ ‘89 වත්ත’ ආශ්‍රිත පරිසරය තුළින් එහෙම දෘෂ්ටිවාදයක් කාන්දු වෙන්න ඉඩ නැති නිසා. ඒ දෘෂ්ටිමය හික්මීම එන්නෙ ඇගේ බුද්ධිමය රස්තියාදුව ඇතුළේ. මම මේ රටේ තිබුණු තිස් අවුරුදු යුද්ධයක වින්දිතයෙක්. ඒ තිස් අවුරුද්ද පුරා ලංකාවෙ හිටපු හැම මනුස්සයෙක්ට ම අත්විඳින්න සිදුවුණු කොයිවෙලේ මොන විදිහට මැරෙයිදෝ කියන මරණ බිය මමත් අත් වින්දා කියලා ඇය ලියන්නෙ ඒකයි.’

හඬ කැවීම් ශිල්පිනියක, රංගනයේ ගැඹුර හඳුනාගත් රංගනවේදිනියක ලෙස අප හඳුනාගෙන සිටි කුමුදු කුමාරසිංහගේ ‘කොළඹ මතක’ ගැන ඊටත් වඩා සාරවත් කියැවීමක් අප දුටුවේ නැත.

මංජුල වෙඩිවර්ධන වැඩි දුරටත් මෙහෙම කියනවා….

කුමුදු කියන්නෙ මගේ අද්දැකීම් ඇතුළෙ මොකෙක්ටවත් මොකකටවත් බය නැති කෙල්ලක්…

ඇය අව්වට බය නෑ.
ඇය වැස්සට බය නෑ.
ඇය පිරිමින්ට බය නෑ.
ඇය රණ්ඩුවෙන්න බය නෑ.
ඇය ආදරය කරන්න බය නෑ.
ඇය රාත්‍රියට බය නෑ.
ඒ හින්දම ඇය අන්ධකාරයට බය නෑ.

එහෙම බය නැති කෙනෙක් බෝම්බ පුපුරන භීතියෙන්, මරණයට බියෙන් ඉන්න විදිහක් නෑ. ඒ භීතිය ඇය තුළ ඓන්ද්‍රීය නෑ. ඒ අදහස බාහිරින් ඇය තුළ පැළපදියම් කෙරුණු දෙයක්.

මේ, කොළඹ මතක ගැන ‘ ඇය’ සමග කළ කෙටි සංවාදයකි.

‘කොළඹ මතක’ ලිවීමේ ඔබේ අරමුණ කුමක්ද?

මට මාව ප්‍රකාශ කරන්න මාධ්‍යක් අවශ්‍ය වුණා.මම කලින් හඬ කැවීම් ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් ලෙස වැඩ කළා. මම ඒ දේවල් නැවැත්තුවාට පසු මට අවශ්‍ය වුණා වෙනස් විධියකය මාව ගොඩනඟන්න සහ මාව සොයා ගන්න. ඊට අමතරව මට අවශ්‍ය වුණා මම සහ ප්‍රජාව අතර සම්බන්ධය ගොඩනඟන්න. එතැනදී මම මාව ප්‍රකාශ කිරීමේ මාධ්‍ය වශයෙන් තෝරා ගත්තේ ලිවීම. ඒක තමයි මගේ අරමුණ වුණේ.

එදා සහ අද දෙමටගොඩ 89 වත්ත ඔබ දකින්නේ කොහොම ද?

අපට අමතක කොළඹ මතක

එදා එක්ක බලද්දි ඇත්තට ම දැන් වෙනස්. පරිසරය සම්පූර්ණයෙන්ම වෙනස්. එදා තිබුණ ගෙවල් කඩලා තම තමන්ට ඕන විධියට ගෙවල් හදාගෙන. ඉස්සර අපිට ඉඩ තිබුණා එළිමහන. දැන් එහෙම නැහැ. පුළුවන් උපරිම ඉඩ ප්‍රමාණයන් අල්ලගෙන ගෙවල් හදලා. ඉස්සර තිබුණ පිට්ටනි ඒවායෙත් ගෙවල් හදලා. සමහර ඉඩම් අතයට ගනුදෙනු තියාගෙන විකුණලා. ඉඩම් මංකොල්ල කාලා වගේ දේවල් වෙලා තිබෙනවා. පිටින් ආව අය මෙහේ ඉඩම් අල්ලගෙන ගෙවල් හදලා. ඉතින් ඒ වගේ දේවල් සිද්ධ වෙලා අද වෙනකොට පවතින්නේ ඒ වගේ තත්ත්වයක්. එක්දාස් නවසිය හැත්තෑ අටේ ඇති වුණ විවෘත ආර්ථිකයත් එක්ක තව ගොඩක් දේවල් වෙනස් වුණා. කාන්තාවත් විදේශ ගත වෙන්න පටන් ගැනීමත් සමග ආහාර, ඉලෙක්ට්‍රොනික බඩු වගේ ගොඩක් දේවල් විදේශ රටවලින් ගෙනෙන දේවල් පරිභෝජනයට මිනිස්සු හුරු වුණා. සමහර වෙලාවට එහෙම රටින් පිටට ගිය අයගේ පවුල් විනාස වුණා. සමහර අය විවිධ රෝගවලට ගොදුරු වෙලා නැවත ලංකාවට පැමිණියා. ඒකත් එක්තරා වෙනසක්.

ඊට අමතරව එක්දාස් නවසිය අසූ තුනේ ජූලි කලබල එක්ක තව ගොඩක් දේවල් වෙනස් උනා. එතැනදි මම දකින දෙයක් තමයි ඒ කාලේ කඩපු කඩවලින් තරුණ පිරිස් මංකොල්ල කෑම් සිදුකළා. ඉතින් ඒ සිදුවීමෙන් එයාලගේ අතේ මුදල් ගැවසීමත් සමග තරුණ පිරිස් මත්ද්‍රව්‍ය භාවිතයට යොමුවුණා. අපි එක්ක එකට සෙල්ලම් කරපු තරුණ පිරිස් බලාගෙන ඉද්දිම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණා. ඒ ඇබ්බැහිය මේ දක්වා ම සමාජ උවදුරක් ලෙස වර්ධනය වුණා. ඒ දෙයට මුල් වූ පියවරක් ලෙස මම දකිනවා එක්දාස් නවසිය අසූ තුනේ ජූලි කලබලය. ඒ වගේ ම මම ඒක දකින්නේ දේශපාලන කුමන්ත්‍රණයක් විධියට සහ මම තවම පාවිච්චි කරන්නේ ඒ වචනය. ඒ මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ අය නිකරුණේ මැරි මැරි ගියා. ඒකත් එක හේතුවක් එදා සහ අද සිදු වෙලා තිබෙන වෙනස්කම්වලට.

ඊට අමතරව විවිධ ආකාරයේ ගොඩනැඟිලි ඉදිවෙලා තිබෙනවා. තව විවිධ සමාජ ප්‍රශ්න නිර්මාණය වෙලා තිබෙනවා. තව අධ්‍යාපනය සඳහා පවතින තරගය විශේෂයෙන් ම ආනන්ද, නාලන්ද වගේ පාසල් නිසා සමහර අය ගෙවල් කුලියට අරගෙන මෙහේ පදිංචියට ඇවිල්ලා ඉන්නවා. ඔන්න ඔය වගේ විවිධ දේවල් අද වෙලා තිබෙනවා සහ එදාට වඩා අද ජීවිතය සංකීර්ණ වෙලා තිබෙනවා. ඒ තත්ත්වය හොඳ ද නරක ද කියලා ලකුණු කරන්න හරි අමාරුයි. ප්‍රශ්නත් එක්ක සියල්ල ම සංකීර්ණ වෙලා තිබෙනවා.

‘කොළඹ මතක’ ඔබ විසූ ප්‍රදේශය දිවි පෙවෙත ගැන සිතට නැඟුණු මතකයන් ලියා තැබීමකට වඩා එක්තරා ලාංකේය යුග නිමේෂයක ප්‍රාදේශීයකරණයක් කියලා මම කිව්වොත්?

ඔව්. ඒක හරි. මට ඇත්තට ම අවශ්‍ය වුණේ මේ පරිසරය නොදැකපු මේ පරිසරයේ ජීවත් නොවුණු අයට මේ පරිසරය ගැන අවබෝධයක් ලබාදීමට. විශේෂයෙන් ම මගේ අක්කගෙ දරුවෝ සහ ඔවුන්ගේ යහළුවෝ පුදුම වුණා අපි ඒ කාලයේ ජීවත් වුණු ඒ පරිසරය ගැන ඇහුවාම. එක පැත්තකින් මේක මගේ වටපිටාව. අනෙක් පැත්තෙන් රටේ තිබුණ දේශපාලනය, අපි මුහුණ දුන්න දේවල්, රටේ පැවැති අපි දැකපු තරුණ කැරලි වගේ දේවල් ගැන අවබෝධයක් දෙන්න පුළුවන්. තව දුරටත් පැවසුවහොත් මගේ යොවුන් විය පටන් ගන්නේ තරුණ කැරලිවලට පසුව. ඒ සමහර කාරණා ගැන කතා කරද්දි ගොඩක් අයට පුදුමයි. ඒගොල්ලො දන්නේ නැහැ අපි ඒ මුහුණ දුන්නු තත්ත්වය. ඊට පසුව ඉපදුණු සහ එය නොදැකපු අය වෙනුවෙන් ඒ තරුණ කැරලි, අසූ තුනේ කලබල ඇසින් දුටු කෙනෙක් විධියට මට අවශ්‍ය වුණා මම ඒ දැකපු දේ බෙදා හදාගන්න. මම ඒ පරිසරය තුළ ජීවත් වෙලා සහා ජීවත් වෙමින් මේක ලියපු නිසා වෙන කෙනෙක් ලියනවට වඩා වටිනාකමක් පවතිනවා කියලා මට දැනුනා. මගේ ප්‍රදේශයේ මිනිස්සු කොහොමද ඒ දේවල් එක්ක ගනුදෙනු කරේ කියලා කියවන කෙනෙක්ට අවබෝධයක් ලබාගන්න මම ම ලියන එක වැදගත් වෙයි කියලා මට හිතුණා.

ස්ත්‍රී ආත්මය මූලික කරගනිමින් ස්වයං චරිතාපදානයක් ලෙස මෙය ලිවීම සාර්ථකයි කියලා ඔබ හිතනවද?

ඒකට උත්තරයක් දෙන්න ඕන මම නෙමෙයි අනිත් අය. විශේෂයෙන් ම මගේ අම්මා දැන් එයාට අවුරුදු අසූවක්. මට අනුව එයා ගෑනු දරුවෝ කිපදෙනෙක් එක්ක එයාගේ ජීවිතේ ගත කරපු විදිය සහ මම අම්මා ඒ ගත කරපු ජීවිතය දැකපු විදිය ගැන කියන්න ඊට වඩා සාර්ථක ක්‍රමයක් නැහැ. කාන්තා විමුක්තිය ආදී එහෙම කිසිමදෙයක් නොමැති කාලෙක කාන්තාව කොහොමද ඒ ජීවිතයට මුහුණ දුන්නේ, ඒ ගොල්ලෝ කොහොමද දේවල් බෙදා ගත්තේ, කොහොමද දේවල් දැක්කේ කියන එක මට එළියට දාන්න අවශ්‍ය වුණා. මගේ වටපිටාව තුළ මම දැකපු කාන්තාව සහ ඔවුන්ගේ ශක්තිය එක්ක එයාලා කොහොමද ජීවත් වෙන්න පවුලත් සමග ඔට්ටු වෙන්නේ, පවුල ගොඩනඟන්නේ, දරුවෝ වෙනුවෙන් පවුල ගැට ගහලා තියාගන්නේ කොහොමද කියලා මට කියන්න ඕන උනා. මම විශේෂයෙන් ම මගේ අම්මට කරන ගෞරවයක් විධියට මෙය කාන්තාව මූලික කරගෙන ලිව්වා. මම හිතනවා මට ලැබෙන ප්‍රතිචාර එක්ක මට කියන්න අවශ්‍ය වූ දෙය එළියට ගියා කියලා සහ ඒ නිසා මම සාර්ථකයි කියලා.

එක තැනකදී ඔබ කියනවා ‘මම අයිති වත්තට ද මුඩුක්කුවට ද ඔබ කැමති ඕනෑම තැනක මාව ස්ථානගත කරන්න’ කියලා. එය සියුම් උපහාසයක් එල්ල කිරීමක් ද?

මෙහෙමයි, මම ජීවත් වුණ ඒ වත්තේ ඒ වෙනකොට ගෙවල් හතළිස් ගාණක් වගේ තිබුණා. මම ඉන්න පළාත එක පැත්තකින් රොස්මිඩ් ප්ලේස් අනෙක් පැත්තෙන් වෝර්ඩ් ප්ලේස් ඒ කියන්නේ ජේ.ආර්.ජයවර්ධන, සිරිමාවෝ බණ්ඩාරනායක වගේ දේශපාලන මර්මස්ථානවලින් මායිම් වෙලා තිබුණේ. සරලව ම කිව්වොත් පයින් ඇවිදගෙන එන දුර. ඉතින් එතකොට එක සමාජ කොට්ඨාසයක් මෙහෙම ජීවිතයක් ගත කරද්දි තව කොටසක් එයාලගේ ජීවිතයේ උපරිම සැප විඳිමින් ගත කරනවා. අදටත් යම් පිරිසක් දුක්ඛිත ජීවිත ගතකරද්දී තව පිරිසක් තමන්ට කොහෙන් හරි ලැබෙන සල්ලිවලට කරගන්න දෙයක් නැතුව ජීවත් වෙනවා. මේක මේ මිනිස්සුන්ගේ ඉරණම නෙමෙයි. යම්කිසි දේශපාලන කොට්ඨාසයක් ගත්ත තීන්දු තීරණවල වැරදි ප්‍රතිඵලයක් විදියට තමයි මම මේක දකින්නේ. දේවල් සමානව බෙදී නොයාම තමා මේකට කාරණය වෙන්නේ. එක පිරිසක් විශාල මන්දිරවල පහසුවෙන් ජීවත් වෙද්දී තව පිරිසක් මේ වගේ පුංචි තැනක අමාරුවෙන් හිර වෙලා ජීවත් වෙනවා. මම හිතන්නේ මට මතක විදියට මේ මුළු ඉඩම අක්කර තුනක වගේ ප්‍රමාණයක් පවතින්නේ. මේක අසමානතාවයකි. ගොඩක් වෙලාවට අදටත් මිනිස්සු දන්නේ නැහැ අපේ කතිරෙකින්නේ මේ මිනිස්සුන්ට බලය දෙන්නෙ කියලා.මිනිස්සු තාමත් ඇන්දෙනවා. වහලට සීට් එකක්, සල්ලි ටිකක් දුන්නම මිනිස්සු තාමත් කතිරේ ගහන තැන තමයි ඉන්නේ. ඒකට ලොකු ම හේතුව තමයි එතැනින් එහාට එන්න මිනිස්සුන්ට තවමත් දේශපාලන දැනුවත්භාවයක් නැති එක. තවත් හිතලා බැලුවොත් එහෙම පරම්පරාවෙන් පරම්පරාවට ආව දේශපාලන පක්ෂයයි, අපිට ප්‍රශ්න කරන්න තියෙන බයයි තමයි මේ විදියටම යන්න තිබෙන ලොකුම හේතුව.

කොළඹ කියූ පමණින් මැවෙන සුරපුරය ඔබ හාත්පසින්ම වෙනස් කරනවා. මේ වෙනස පාඨකයා කොහොම භාර ගනීවීද කියලා බලාපොරොත්තු උනාද?

නැහැ ඇත්තට ම එහෙම කිසිම දෙයක් හිතුවෙ නැහැ. මම මුහුණ දුන්න අත්දැකීම් එක්ක මට හිතුණේ මට පුළුවන් තරම් හොඳට අවංකව මම මේක ලියනවා කියන එක විතරයි. මට මේක එක්ක මොකක් වෙයිද, මට එළියට මුහුණ දෙන්න බැරි වෙයිද ඒ මොනවත් හිතුවේ නැහැ. මේ මම සහ මම වටේ සිටි පිරිස මුහුණ දුන් ඇත්ත ම තත්ත්වය. කොළඹ කියන්නේ සුරපුරයක් කියලා පේන්නේ වෙළෙඳ නගරයක් කියන අර්ථයෙන් ගත්තම. ඒකත් එක්තරා ආකාරයක ඛේදවාචකයක්. මීටත් වඩා දුක්ඛිත ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. මම දැනුවත්ව ම ඉන්නවා. ලස්සනට මවන ලෝකය අස්සේ ඉතාමත් දුක්ඛිත කතා තිබෙනවා කියන එක තමයි මට ඇත්තටම හිතෙන්නේ. ඒක තමයි මට එළියට කියන්න අවශ්‍ය වුණෙත්.

සරල භාෂාවකින් ලොකු කතාවක් කියලා තිබෙනවා. අද වෙනකොට ඔබට ලැබෙන පාඨක ප්‍රතිචාර මොන වගේ ද?

අපට අමතක කොළඹ මතක

ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එක එක්කෙනා මේක භාරගන්න විදිය වෙනස්. හැම කෙනාම තෝරගන්නේ තමන් කැමති කොටස. එක එක්කෙනාට මේක දැනෙන විදිය වෙනස්. මට වැඩියෙන්ම මේ ගැන කියන්න කතා කරලා තිබෙන්නේ තාත්තලා. ඒ ගොඩක් අය පවුල් වෙන්වෙලා ඉන්න තාත්තලා. මේ පොත මම නෙමෙයි මේ පොතේ කතා කරල තිබෙන්නේ ගැහැනු දරුවෙක්. ඒ ගැහැනු දරුවා කතා කරල තිබෙන දේවල් එක්ක මේ තාත්තලට එනවා මගේ දරුවා මොනවද මම ගැන අරගෙන යන්නේ, මගේ ඔළුවේ මම ගැන තිබෙනවා අදහස කුමක්ද කියන ප්‍රශ්නය. මම තේරුම් ගත්ත දෙයක් තමයි ඒකත් එක්ක ඒ තාත්තලට එන හැඟීම නිසා තමයි ඒ තාත්තල මට කතා කරන්නේ.

එක තාත්තා කෙනෙක් මට කතා කළා. ඒ තාත්තා රටේ ප්‍රසිද්ධ පිළිගත් වෛද්‍යවරයෙක්. එයා කොළඹ ආනන්දයේ ආදි ශිෂ්‍යයෙක්. එයා බුක් ෆෙයා එකේ ඇවිදගෙන යනකොට එයා දැකලා තිබෙනවා කොළඹ මතක කියලා පොතක් තිබෙනවා. එයා පොත අරගෙන පෙරළලා බැලුවලු. එයා සාමාන්‍යයෙන් සිංහල පොත් කියවන කෙනෙකුත් නෙමෙයිලු. හැබැයි පෙරළලා බලද්දි එයා කොළඹ ආනන්ද කෙනෙක් වීමත් එක්ක එයා දන්න දේවලුත් මේ පොතේ ඇති කියලා හිතලා එයා මේ පොත ගත්තලු. එයා එක දිගට ම පොත කියවලා ඉවර කරාලු. පොත කියෙව්වට පස්සේ එයාට ගොඩක් ඒක දැනුනලු. එයාට රිදුනලු. ඊට පස්සේ එයාට අවශ්‍ය වෙලා තිබෙනවා පොත ලියපු කතුවරියව දකින්න. කොහොම හරි එක දවසක් මම ගෙදර ඉන්න වෙලාවක මේ තාත්තා මගේ ගේ හොයාගෙන ආවා. දාඩිය දාගෙන මහන්සියෙන් එහෙම කෙනෙක් ආවම මට හිතා ගන්නත් බැරි වුණා. අපේ ගෙවල් ළඟ කෙනෙක් එයාව අපේ ගෙදරට ම ගෙනැල්ලා ඇරලවලා ගියා. එයාට ගොඩක් සන්තෝස හිතුණා මාව දැක්කම. එයා ඇහුවා මට පොඩ්ඩක් කතා කරන්න පුළුවන් ද කියල. මම හා කිව්වා. ඊට පස්සේ එයා වාඩිවුණා. ඊට පස්සේ එයා මට කිව්වා ‘මම ඉවසිල්ලක් නැතුව හිටියේ ඔයාව දකිනකම්. මට පොත කියවල ඉවර උන ගමන්ම ඔයාව බලන්න එන්න අවශ්‍ය වුණත් මට නිවාඩුවක් ගන්න නොහැකි වුණා. මම මේ නිවාඩුව ගන්න පුළුවන් උන ගමන් තමයි ඔයාව හොයාගෙන ආවේ.’ කියලා එයා ටිකක් කතා කළා. පාසල් ගිය කාලය ගැන එහෙම කිව්වා. එයා විවාහ වෙලා තිබෙන්නේ යෝජනාවකින් බොහෝ ධනවත් කාන්තාවක් සමග. මෙඩිකල් ෆැකල්ටි එකේ අවසාන වසරේ එයා විවාහ වෙලා තිබුණේ. එයා මට කිව්වා කවදාවත් ජීවිතේ මඟ ඇරගන්න නරකයි කියලා. එයා ඉන්නේ ලොකු ගෙදරක කිව්වා. දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා කිව්වා. දරුවෝ කාමරවලට වෙලා ඉන්නවා කිව්වා. ඔයාගේ මේ ගේ ඇතුළෙ ඔයයි ඔයාගේ සහෝදර සහෝදරියොයි අතර තිබ්බ සම්බන්ධය මගේ ගේ ඇතුළෙවත් මගේ දරුවෝ අතරවත් නැහැ කිව්වා. එයාට මඟඅරුණ මොනවා හරි දෙයක් නිසා එයාගේ හෘද සාක්ෂිය කතා කරන්න පටන් ගන්න ඇති කියලා තමයි මට හිතුණේ. ඉතින් ඒ වගේ ගොඩක් අත්දැකීම් මට හම්බණා. සමහර අය ඒ කතාව ගැන කතා කරනවා. සමහර අය මේ කතාවේ තිබෙන දේශපාලනය ගැන කතා කරනවා. ඇත්තට ම ඒක හරිම ලස්සන අත්දැකීමක්. ඒවට මම කැමතියි.

‘කොළඹ මතක’ ටෙලිනාට්‍ය මාලාවක් කරන්න කියලා යෝජනා එනවා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

මට දෙතුන් දෙනෙක් ම එහෙම කතා කරලා ඇහුවා. මේක ටෙලිනාට්‍යයක් කරන්න කැමති කියලා කිව්වා. එක හේතුවක් මම හිතන්නේ ඒ සාකච්ඡා එහෙම දිගට ගියේ නැහැ. මම එහෙම ඒක පස්සෙන් පන්න පන්න යන්නෙත් නැහැ. කවුරු හරි හරියට ම එකඟ වෙලා ඒ සම්බන්ධයෙන් දීර්ඝ සාකච්ඡාවකට ආවොත් මම කැමති කොළඹ මතක ටෙලිනාට්‍යයක් කරන්න. සමහර අය කියනවා මේක සීරියස් කතන්දරයක් නිසා ඒ කාලයට ගැළපෙන ලොකේෂන් නිර්මාණය සහ සොයාගැනීම අපහසු කාරණයක් වෙයි කියලා. කොහොම වුණත් හොඳ විධියට කතා බහකට ගියොත් මම එකඟ වෙනවා. දෙන්නන්වාලේ මේක දෙන්න බැහැ. මට ඒ ගන්න පුද්ගලයා ගැන විශ්වාසයක් තිබෙන්නත් ඕන. මෙයා මේ නිර්මාණයට හානි නොකර නාස්තියක් නොකර මේ වැඩේ නිවැරදිව කරයි කියන විශ්වාසය ගොඩනැඟෙන්නත් ඕන. නිවැරදි අවබෝධයකින් සහ උනන්දුවකින් නිවැරදි පුද්ගලයෙක් ඉල්ලුවොත් මම අනිවාරෙන් ම ලෑස්ති කොළඹ මතක ටෙලිනාට්‍ය මාලාවක් බවට පත් කරන්න දෙන්න.

‘කොළඹ මතක’වලින් පසු අලුත් නිර්මාණයක් පාඨකයන් අතරට පැමිණේවි ද?

ඔව්. අනිවාර්යයෙන් ම. මේ වසරේ මැයි මාසයේ මගේ ඊළඟ ග්‍රන්ථය එළිදක්වන්න සියල්ල සිදු කෙරෙමින් යනවා.

● චින්තනී වික්‍රමනායක


advertistmentadvertistment