දෙවැනි කොටස

අනෙකුත් පළාත් පාලන ආයතන මෙන්ම කොළඹ මහ නගර සභාව ද නාගරිකයන්ගේ උපතේ සිට මරණය දක්වා වූ සියලු කාර්යයන් වෙනුවෙන් දායක වෙයි. නගර සභාවට අයත් දේපල බදු දීමෙන් හා අනෙකුත් බදු අයකර ගැනීමෙන් ආදායම් උපයාගන්නා අතර ඒ අනුව නගර වැසියන්ගේ සුභ සාධනය වෙනුවෙන් වැය කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය ලෙස සැලකේ. එහෙත් නගරයේ ආර්ථිකයට සුවිශාල දායකත්වයක් ලබා දුන්නත්, වතු ආශ්‍රිත ජනාවාසවල ජීවත් වන්නන්ගේ නම් ආර්ථිකය එතරම් සරුසාර නොවේ. සෙවනත ආයතනයේ සමීක්ෂණයට අනුව මෙවැනි වතු නිවාසවල වෙසෙන සියයට 50 කට වඩා වැඩි නිවැසියන්ගේ මාසික ආදායම රුපියල් 20,000 කට අඩුය. සියයට 15 ක නිවැසියන් නඩත්තු වන්නේ දෙමාපියන් දෙදෙනාගෙන් එක් අයෙකු යටතේය. මෙම වතු ආශ්‍රිතව නිවාස බහුතරයක් අක්‍රමවත්ව මෙන්ම අනවසර ඉදිකිරීම් වේ. නිවස පිහිටි ඉඩමේ අයිතිය සහිත නිවාස ගණන සියයට 40 කි. 60% කට අධික නිවාස සංඛ්‍යාවක ජීවත්වන ජනතාවට ඔවුන් ජීවත් වන නිවසට නිශ්චිත සහ නිරවුල් අයිතියක් නොමැත.

රැකියා අවස්ථා පවතින්නේ ඉහළ වටිනාකමකින් යුත් නගර මධ්‍යයේ බැවින් කෙසේ හෝ දෛනිකව නගරයට ප්‍රවිෂ්ඨ වීම වැඩකරන ජනයාගේ අවශ්‍යතාවකි. මේ නිසා නගරයට ඔබ්බෙන් තරමක් ඈතින් පදිංචිව සිට දිනපතා නගරයට පැමිණීමේදී වැය වන ප්‍රවාහන ගාස්තු අඩු ආදායම්ලාභී ජනයාට දැරිය නොහැක. නාගරික දිළින්දන් දිවි ගෙවන අඩු පහසුකම්වලින් යුත් ජනාවාස බිහි වීමට ප්‍රවාහන ගාස්තු මෙන්ම, රැකියා ස්ථානයට පහසුවෙන් ළඟා වීම, නගර මධ්‍යයේ නිවාස මිල ඉතාමත්ම ඉහළ වීම ආදිය හේතුවී තිබේ.

නගරයේ ආර්ථිකයට දෛනිකව අවශ්‍ය ශ්‍රමය වගුරුවන්නේ මේ අඩු ආදායම්ලාභී දිළින්දන්ය.

මොවුන් වෙනුවෙන් අඩු ආදායම් මහල් නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක වුවද, අවශ්‍ය අයට ඒ නිවාස නොලැබීම, දේශපාලන හිතවත්කම් මත නිවාස ලබා දීම ආදියට අමතරව නිසි නඩත්තුවක් නොමැති වීම නිසා ද එම ව්‍යාපෘතිවල මූලික අරමුණු බිඳවැටේ.

දේශපාලන බලපෑම්, වංචා හා දූෂණ

වංචා හා දූෂණ ක්‍රියාවන් ගැන කාලයක සිට කොළඹ මහ නගර සභාවට චෝදනා එල්ල වෙමින් තිබිණි. ඉතාමත් මෑතක එවැනි මුදල් හා දේපොළ අවභාවිතාවන් ගැන හෙළිදරව් වූයේ ඉකුත් පෙබරවාරියේ රැස්වූ රජයේ ගිණුම් කාරක සභාවේ ඤඣඡ්% දීය. කොළඹ මහ නගර සභාවට අයත් බොරැල්ල සුසාන භූමියේ නිල නිවාසය හා ඉඩම අවභාවිත කරමින්, නගර සභාවේම සේවකයකු විසින් මල් ශාලාවක් අරඹා පවත්වා ගෙන යනු ලබන්නේ 1994 වසරේ සිටය. රත්නසිරි රාජපක්ෂ, කේ.ගනේෂලිංගම්, කරු ජයසූරිය, ඕමාර් කාමිල්, මොහොමඩ් ඉම්තියාස්, ඒ.ජේ.එම්. මුසම්මිල් සහ රෝසි සේනානායක යන නගරාධිපතිවරුන්ගේ පාලන කාලය ඔස්සේ නගර සභාවේ මෙම දේපොළ අවභාවිතාව සිදුව තිබේ. 2022 වසරේ හා 2023 වසරේ දී විගණකාධිපති වාර්තා මගින් මේ පිළිබඳව සඳහන් වේ. මල් ශාලාවක් පවත්වාගෙන යෑමට අවශ්‍ය නගර සභා අනුමැතිය සහිත බලපත්‍රයක් ද, පාරිසරික වාර්තාවක් ද නොමැතිව අනීතිකව මෙය ක්‍රියාත්මක වෙමින් තිබිණි. 1994 සිට 2020 දක්වා කාලය තුළ නගර සභාවට අයත් භූමිය හා ගොඩනැඟිල්ල මෙසේ අවභාවිත කිරීම නිසා සිදුව ඇති අලාභය රුපියල් මිලියන 41 කි.

අලුත් කොළඹකට සටනක්…රතු පාට කොළඹක්?
මෝදර

මේ අතර 2024 වන විට රථවාහන ගාල් කොන්ත්‍රාත්කරුවන්ගෙන් ලැබිය යුතු හිඟ මුදල රුපියල් මිලියන 580 කි. විගණන වාර්තාවන්ගෙන් හෙළිදරව් වී ඇති තවත් කරුණක් වන්නේ කොළඹ මහ නගර සභාවේ මන්ත්‍රීවරුන්ට වාහන නැවැත්වීමට වෙන්කළ භූමි ප්‍රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අලෙවි කර ඇති බවය. මෙහිදී නගර සභා මන්ත්‍රීවරයන්ට සම්ප්‍රදායිකව තමන්ගේ කාර්යාලය ආසන්නයේ වාහන නැවැත්වීම සඳහා ඉඩක් වෙන්කරනු ලැබේ. මෙලෙස ඔවුන්ට ලබාදුන් භූමි ප්‍රමාණයන් වෙනත් පාර්ශ්වයන්ට අලෙවි කර තිබේ.

මහනගර සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක වූ සුහුරු විදී ලාම්පු ව්‍යාපෘතිය, මුදල් වැය නොවන වියදම් රහිත ව්‍යාපෘතියක් ලෙස ආරම්භයේදී හැඳින්වුවද එමගින් නගර සභාවට සිදුව ඇති පාඩුව රුපියල් බිලියන 2.45 කි.

පාසල් අහිමි කොළඹ වතු දරුවෝ

කොළඹ නගරයට අයත් අධ්‍යාපන කලාප හතරකි. පාසල් 24 ක් පිහිටි බොරැල්ල අධ්‍යාපන කලාපය, උතුරු කොළඹ අධ්‍යාපන කලාපයට අයත් පාසල් 28 කි. දකුණු කොළඹට පාසල් 32 ක් අයත් වේ. වැඩිම පාසල් සංඛ්‍යාවක් පිහිටා ඇත්තේ මැද කොළඹ අධ්‍යාපන කලාපයේය. එනම් පාසල් 41 කි. මේවා බොහොමයක් භාෂා මාධ්‍ය, ආගමික හා වාර්ගික, පිරිමි හා කාන්තා මෙන්ම ජනප්‍රිය හා ජාතික පාසල් ලෙස වර්ගීකරණයන්ට ලක්ව ඇත.

කොළඹ නගරයේ පාසල්වල ඉගෙන ගන්නා සිසුන්ගෙන් බහුතරය පිටපළාත්වලින් පැමිණිවුන්ය. ප්‍රතිශතයක් ලෙස එය සියයට 60 කි. විශේෂයෙන් නාගරික දිළින්දන්ගේ දුවා දරුවන් දහස් ගණනකට යන්නට පාසලක් නොමැති බව වරක් කියා සිටියේ අන් කිසිවෙක් නොව යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ය. ළඟම පාසල හොඳම පාසල කීවාට කොළඹ නගරයේ පිහිටි ජනප්‍රිය පාසල් වෙත ප්‍රවිෂ්ඨ වීමට නාගරික දිළිඳු ජනයාගේ දරුවන්ට වරම් නොමැත.

කොළඹ සරසවිය, සෞන්දර්ය විශ්වවිද්‍යාලය, මරදාන කාර්මික විද්‍යාලය, නීති විද්‍යාලය වැනි රටේ පැරණිතම උසස් අධ්‍යාපන ආයතන කොළඹ නගරයේ පිහිටා තිබුණ ද, නාගරික දිළිඳු ජනයාගේ දරුවන්ගේ නියෝජනය අල්පය.

පොහොසත්ම නගරයේ අඩකට වඩා දිළින්දන්

ලංකාවේ පොහොසත්ම පළාතේ, පොහොසත්ම දිස්ත්‍රික්කයේ, පොහොසත්ම නගර සභාවේ ජනයාගෙන් සියයට 60ක් දරිද්‍රතාවෙන් පෙළෙති. එහෙත් නගරයේ භෞතික වශයෙන් යම් සංවර්ධනයක් සිදුව තිබුණ ද ජනතාව කේන්ද්‍ර කරගනිමින් සංවර්ධනයක් සිදුවී නොමැත. ඇතැම් නාගරික සංවර්ධන ව්‍යාපෘති ඔස්සේ මේ අඩු ආදායම් ලබන ජනයා නගරයෙන් පිටමං කිරීමේ සැලසුම් වුවද, ඒවා සාර්ථක නොවන්නේ නගරයේ ආර්ථිකයට දෛනික සේවා හා වෙනත් කාර්යයන් සඳහා වූ ඔවුන්ගේ දායකත්වය නිසාය.

වැඩිහිටි දීමනාව ලෙස රුපියල් 1000 ක් මාසිකව ලබා දෙන අතර විශේෂ අවශ්‍යතා ඇති අයකුට ද එම මුදල ලබා දේ, එමෙන්ම රුපියල් 2500 ක මුදලක් විශේෂ අවශ්‍යතා ඇති පවුල් සඳහා ගෙවනු ලබයි. එහෙත් දිනෙන් දින ඉහළ යන ජීවන වියදම හමුවේ මේ මුදල් මසක දිවිය සරි කරගන්නට ප්‍රමාණවත් ද යන්න ගැටලුවකි. කොළඹ නාගරිකයන්ගෙන් බහුතරයක් කලින් කලට ජනසවිය, සමෘද්ධිය හා අස්වැසුම වැනි සුබසාධනයන්ගෙන් යැපෙන්නෝ වෙති.

ප්‍රජා මධ්‍යස්ථාන 52 ක් ද, ක්‍රීඩා පිටි 32ක් ද ළමා උද්‍යාන 33 ක් ද, පෙර පාසල් 19 ක් ද, මංගල උත්සව ශාලා 30 ක් පමණ කොළඹ නගර සභාව යටතේ පාලනය වුවද, නගරයේ දුප්පතුන්ගේ වැඩි වීම ඉහල යෑම මගින් පෙන්නුම් කරන්නේ නගර සභාවේ සේවාවන්ගෙන් මොවුන්ට තිරසර සංවර්ධනයක් අත්පත් වී නොමැති බවකි. ඒ අනුව මෙතෙක් කොළඹ මහ නගර සභාවේ බලය හෙබවූ පාර්ශ්වයන්ට වගකීමෙන් ගැලවී යා නොහැක.

මත්ද්‍රව්‍ය උවදුර හා පාතාල ක්‍රියාකාරකම්

නගරයේ මත්ද්‍රව්‍ය භාවිතය බොහෝ සේ පැතිර පවතින්නේ මේ අඩු ආදායම් ලබන දිළිඳු ජනයා වෙසෙන ප්‍රදේශවලය. මහා පරිමාණ මත්ද්‍රව්‍ය වෙළඳාමක් නොවුණ ද, අන්ත දිළින්දන් මේවා භාවිතයට යොමු වීමේ ප්‍රවණතාවය ඉහළය. අන්තරායකාරී ඖෂධ පාලක ජාතික සභාවේ වාර්තාවන්ට අනුව හෙරොයින් ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන් 350 දෙනකු කොළඹ නගරයේ ක්‍රියාත්මක වේ. ඉන් 45 දෙනකු දෛනිකව මිලියන සිය ගණන් උපයන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයන්ය.

කොළඹ වතු ජනාවාසයන්හි දිවි ගෙවන දහස් ගණන් තරුණ තරුණියන්ට නිසි අධ්‍යාපනයක් හෝ වෘත්තීය පුහුණුවක් ලබා ගැනීමේ වරම් අහිමි වීමත්, ඒ නිසාම ඇතිව තිබෙන විරැකියාවත් හේතුවෙන්, ඕනෑම නීති විරෝධී ක්‍රියාවකට පොලඹවා ගැනීමේ හැකියාවක් පවතී. පාතාල ක්‍රියාකාරකම් වර්ධනය වීමට මෙම තත්ත්වය සෘජුව බලපානු ඇත. මේ කොළඹ වතු ආශ්‍රිත ජනයා සම්බන්ධයෙන් දේශපාලනඥයන්ගේ මෙන්ම පොලිසිය ඇතුළු රජයේ ආරක්ෂක අංශ ඇත්තේ ඉතාමත්ම සෘණ ආකල්පයකි. මනුෂ්‍යත්වයෙන් ඔවුන් කෙරෙහි සැලකිල්ලක් දක්වන්නට පෙලඹන තෙක් පාතාල ක්‍රියාකාරකම් මැඩලීම දුෂ්කර වනු ඇත.

නගර සභා දේපළ හා බදු එකතු කිරීම

විගණකාධිපතිවරායාගේ වාර්තාවන්ට අනුව කොළඹ මහ නගර සභාවට අයවිය යුතු හිඟ වරිපනම් ආදායම් ගණන රුපියල් කෝටි 500කට අධිකය. නගර සභාවේ ආදායම්වල වාර්ෂික වර්ධනයක් තිබුණ ද මෙලෙස හිඟ ආදායම් එකතු කරගැනීමේ නිසි වැඩපිළිවෙළක් නොමැතිවීම හේතුවෙන් අය විය යුතු හිඟ මුදල වසරින් වසර වැඩි වෙමින් තිබේ. මෙම තත්ත්වය නිරාකරණය කිරීමට නම් නගර සභාවට අයත් දේපළ මොනවාද යන්න හඳුනා ගත යුතුය. එමෙන්ම නගර සභාවට අයත් ඉඩම් පිළිබඳව ද නිරවුල් බවක් නොමැත. දේශපාලන බලපෑම් මත බලහත්කාරයෙන් අල්ලාගෙන අනවසර ඉදිකිරීම් කර ඇති ස්ථාන බොහොමයකි. මේවා සංවර්ධන කටයුත්තක යොදා එහි ප්‍රතිලාභ නගර වැසියන්ට ලබා දීම නගර සභාවෙන් කළ යුත්තකි. නිසි පරිදි බදු එකතු කරගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකළහොත් කිනම් පාර්ශ්වයක් බලයට පැමිණිය ද නගර සභා සේවාවන් කරගෙන යෑම දුෂ්කරය.

කොළඹ සටන සහ ස්ත්‍රී නියෝජනය

සාමාන්‍ය දේශපාලන ජනවහරේ කියවෙන්නේ කොළඹ කොළ පාටයි යනුවෙනි. ඒ නිදහස ලැබීමෙන් අනතුරුව ගතවූ කාලයෙන් වැඩි කොටසක් කොළඹ මහ නගර සභාවේ බලය එක්සත් ජාතික පක්ෂය සතු වීම නිසාය. එහෙත් මෙවර එක්සත් ජාතික පක්ෂය දෙකඩ වී ඇති අතර එහි බලවත් පාර්ශ්වය වනුයේ සමගි ජන බලවේගය යි. මෙවර නගරාධිපති අපේක්ෂකයා ලෙස ඔවුන් නම් කර ඇත්තේ පළමු වරට මැතිවරණයකට ඉදිරිපත් වන හනිෆා මොහොමඩ් නම් වෛද්‍යවරයෙකි. කොළඹ ප්‍රබල දේශපාලන පවුලක අයකු වන ඔහු, හිටපු කථානායකවරයකු, කැබිනට් ඇමැතිවරයකු හා කොළඹ පුරපතිවරයෙක් වූ එම්.එච් මොහොමඩ්ගේ දියණියගේ පුත්‍රයා ය. එම්.එච්. මොහොමඩ් ඔහුගේ සීයා වේ.

මෙවර කොළඹ මහ නගර සභාවේ බලය අත්පත් කර ගැනීමේ වැඩි විභවයක් පෙන්නුම් කරන්නේ ව්‍රායි කැලී බල්තසාර්ගේ නායකත්වයෙන් හෙබි ජාතික ජනබලවේගය කණ්ඩායම ය. ඒ ඉකුත් මහ මැතිවරණයේදී කොළඹ නගරය අයත් මැතිවරණ කොට්ඨාස පහම ඔවුන් ජයගැනීම සලකා බැලීමෙනි. එහෙත් නගර සභා මැතිවරණය ඊට හාත්පසින් වෙනස් වන අතර නියෝජිතයන් තෝරා ගැනීමේදී ද සලකා බලනුයේ ඉතා අඩු ඡන්ද ප්‍රතිශතයකි.

උපාධිධාරිණියක් වන ව්‍රායි මාධ්‍යවේදිනියක් ලෙසත්, මෝස්තර නිර්මාණ ශිල්පිණියක් ලෙසත් කටයුතු කර ඇත. ඉකුත් මහ මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ ඇය ද මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වන්නේ පළමු වරටය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී ද කාන්තා කෝටාව අනිවාර්ය සාධකයක් විය. ඊට අමතරව තරුණ පෙළට ද කෝටාවක් ලබා දුනි. මේ හේතුව නිසා බොහෝ දේශපාලන පක්ෂ හෝ කණ්ඩායම්වලට නාමයෝජනා දීමේදී මහත් වෙහෙසක් දරන්නට සිදුවිය. බොහෝ නාමයෝජනා ලැයිස්තු ප්‍රතික්ෂේප වීමට ද මෙය එක් හේතුවකි.

දේශපාලන අධිකාරියේ තීන්දු තීරණ ගන්නා තැන්වල කාන්තා නියෝජනය වැඩි කිරීම මෙම කෝටාවේ අරමුණ වුවත්, මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරවලදී මෙන්ම, දේශපාලන ආයතනවල දී මේ ස්ත්‍රී නියෝජිතයන් හිංසනයට ලක්වීම දක්නට ඇත. ජාතික ජන බලවේගයේ නගරාධිපති අපේක්ෂිකාවට එරෙහිව ස්ත්‍රියක් වීම හේතු කොට ගෙන සමාජ මාධ්‍ය හරහා දියත්ව තිබෙන අවලාද ව්‍යාපාරය ආසන්නතම නිදසුන වේ. මේ අවර ගනයේ ප්‍රවණතාවය පරාජය කළ හැකි ද යන්න තීරණය වන්නේ දශක ගණනාවක් දක්ෂිණාංශික පාලනයක් තිබුණු කොළඹ නගරයේ බලය වාමාංශික බලවේගයක් අතට පත්වන්නේ ද යන්න මතය.

ඉෂංඛා සිංහආරච්චි
[email protected]


advertistmentadvertistment