ග්‍රාමීය ආර්ථිකයේ පරිවර්තනයක් සිදු නොකොට රටේ ආර්ථිකයේ පරිවර්තනයක් සිදු කළ නොහැකියි

ආණ්ඩුව මේ දිනවල දිවා රෑ වෙහෙසෙන්නේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාය. ඒ නිසාම පසුගිය මැයි මස 10දා ආණ්ඩුව විසින් ඉතා සුවිශේෂී පනතක් පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කළහ. ඒ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතයි. ඒ තුළින් ආණ්ඩුව බලාපොරොත්තු වන්නේ ආයෝජන මණ්ඩල පනත ඉවත් කර වඩාත් පහසුවෙන් විදේශ සෘජු ආයෝජන රට තුළට ගෙන ඒමට නීතිමය රාමුවක් ඇති කිරීමයි. මෙම පනත මොකක්ද? මෙම පනත තුළින් මේ රටට ඇතිවන ආර්ථික පරිවර්තනය කුමක්ද? මෙයත් පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ ආයතන මෙන්ම තවත් එක් සුදු අලියෙක්ද? මෙරට ජනතාවට ඒ තුළින් අත්වන ප්‍රතිලාභ කවරේද? ආදී ලෙසින් ජනතාව තුළ මේ වනවිට බොහෝ ගැටලු පැනනැගී තිබේ. එලෙස පැනනැගී තිබෙන බොහෝ ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් අප පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා සම්බන්ධ කර ගත්තේ මේ සඳහා සාධනීය පිළිතුරක් ලබාදීමේ අරමුණිනි. මේ ඒ මහතා ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පිළිබඳ දැක්වූ අදහස් කිහිපයකි.

ශ්‍රී ලංකාව තුළ ආර්ථික පරිවර්තනයක් ඇතිකිරීම සඳහා ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඇති කිරීමේ අරමුණින් රජය විසින් ආර්ථික පරිවර්තනය සඳහා ජාතික ප්‍රතිපත්ති සඳහා වූ ගැසට් නිවේදනය පසුගිය මැයි 10 වැනි දා නිකුත් කරනු ලැබුවා. මේ තුළින් ප්‍රධාන වශයෙන් අපේක්‍ෂා කරන කරුණ වන්නේ රට තුළ ආයතන ව්‍යුහයක් ගොඩනැගීමයි. ඒ තුළ ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාවක් පිහිටුවීම, ශ්‍රී ලංකා ආයෝජන කලාප නමින් ආයතන පද්ධතියක් නිර්මාණය කිරීම, ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා කාර්යාලයක් ස්ථාපිත කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාවක් ඇති කිරීම, ශ්‍රී ලංකා ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළෙඳ ආයතනය පිහිටුවීම ආදී ලෙසින් ආයතන පහක් නිර්මාණය කිරීමට සැලසුම් කොට තිබෙනවා.

ආණ්ඩුවේ අරමුණ මොකක්ද?

මෙම ආයතන පද්ධතිය නිර්මාණය කිරීම තුළින් රජය අපේක්ෂා කරන්නේ ප්‍රමාණවත් ආහාරපාන, ඇඳුම් පැළඳුම් හා නිවාස ජීවන තත්ත්වයෙහි නිරන්තර වර්ධනයක් ඇති කිරීම විවේකය හා සාමාජීය හා සංස්කෘතික ඉඩ ප්‍රස්ථා නිසි පරිදි ප්‍රයෝජනයට ගැනීම ඇතුළුව ප්‍රමාණවත් ජීවන මට්ටමක් සියලු පුරවැසියන්ට හිමිකර දීම ප්‍රථම අරමුණයි.

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආර්ථික ක්‍රියාකාරකම් තුළින් එකී ආර්ථික ක්‍රියාකාරකම් රටේ සමාජ අරමුණු හා පොදු අභිවෘද්ධියේ සඳහා මෙහෙයවීම සහ සම්බන්ධීකරණය පිණිස යෝග්‍ය වන සැලසුම් හා පාලනය නීතියෙන් නියම කිරීම තුළින් මුළු රටේම ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහාත් අනාගතයේදී ආර්ථික අර්බුද ඇතිවීම වැළැක්වීම සඳහාත් මේ මගින් මූලික වශයෙන් අරමුණු කොට තිබෙනවා.

2032 වර්ෂය වනවිට සහ ඉන් පසුව දළ දේශීය නිෂ්පාදනයට රාජ්‍ය ණය දක්වන අනුපාතය 95% කට වඩා අඩු මට්ටම්ක පවත්වා ගැනීමත් දළ දේශීය නිෂ්පාදනයට මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික දළ මුදල් සැපයීමේ අවශ්‍යතා අනුපාතය2032 වර්ෂය වනවිටත් ඉන් පසුවත් 13%ක් හෝ ඊට අඩු මට්ටමක පවත්වා ගැනීමත් රජයේ ඉලක්ක කොට තිබේ.

දළ දේශීය නිෂ්පාදනයට මධ්‍යම ආණ්ඩුවේ වාර්ෂික ණය සේවාකරණ අනුපාතිකය 2027 වර්ෂය වන විට සහ ඉන්පසු 4.5%ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමත් මේ තුළින් මූලිකවම අපේක්ෂා කරනු ලබනවා. ඒත් සමගම 2050 වන විට රටේ පාරිසරික ගැටලුව වන කාබන් විමෝචනය බින්දුවේ මට්ටමට ගෙන ඒමට කටයුතු කරන බවත් ඒ තුළ සඳහන් කොට තිබෙනවා.

ගෝලීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීම තුළින් ආර්ථික වර්ධනය ස්ථාපනය කර ගැනීමටත් ස්ථාවර සාර්ව ආර්ථික තුලනයක් හා තිරසාර ණය අරමුණු ඉටුකර ගැනීමටත් ගොවීන්ගේ ඵලදායිතාව හා ආදායම හා කෘෂිකාර්මික අපනයන ඉහළ නංවා ගැනීමටත් ඌණ ආර්ථික වර්ධනය හා සමාජ ප්‍රගතිය ළඟා කර ගැනීමටත් මෙම ආයතන පිහිටුවීම තුළින් බලාපොරොත්තු වෙන බව රජය විසින් සඳහන් කොට තිබෙනවා.

මෙම අරමුණු ඉටුකර ගැනීම සඳහා ආර්ථිකයේ තරගකාරීත්වයක් වර්ධනය කිරීම, අපනයන වර්ධනය කිරීම, ඩිජිටල් ආර්ථිකයක් බවට අපේ ආර්ථිකය පරිවර්තනය කිරීම වැනි අරමුණු රාශියක් මෙම පනත තුළින් දැකගන්නට පුළුවන්.

සේවා වියුක්තිය සැලකිය තුළ ලෙස අනාගතයේ අඩුකර ගැනීම කාන්තා ශ්‍රම බළකා සහභාගිත්වය 2030 වන විට 40% නොඅඩු මට්ටමක පවත්වාගෙන යෑම සඳහාත් 2040 වන විට 50% වැඩි මට්ටමක පවත්වාගෙන යෑම සඳහාත් ක්‍රියාකරන බව මේ තුළ සඳහන් වෙනවා.

දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස භාණ්ඩ හා සේවා අපනයනය 2025 වන විට 25% මට්ටමක පවත්වාගෙන යෑමටත් 2030 වන විට 40% කට නොඅඩු මට්ටමක පවත්වාගෙන යෑමටත් 2040 වන විට එය 60% මට්ටමක පවත්වාගෙන යෑමටත් අපේක්ෂා කරනවා.

දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස ශුද්ධ සෘජු විදේශ ආයෝජනයන් 2030 වන විට 5%කට නොඅඩු මට්ටමකට ළඟා කර ගැනීමත් 2030 වනවිට ශුද්ධ සෘජු විදේශ ආයෝජනවලින් අවම වශයෙන් 40% ක් වත් භාණ්ඩ අපනයන හා සේවා අපනයනය මත ළඟා කර ගැනීමට කටයුතු කරන බවත් සඳහන් කොට තිබෙනවා.

ලංකාවේ ගෙවුම් ශේෂයේ ප්‍රාථමික ගිණුම යම් ආකාරයකින් ධනාත්මක තත්ත්වයක් ඇතිකර ගැනීම සඳහා ක්‍රියා කරන බවත් විශේෂයෙන් 2027 වන විට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15% මට්ටමකට ළඟා කර ගැනීමටත් බහුමාන දරිද්‍රතා අනුපාතිකය 2027 වන විට 15% ට වඩා අඩු මට්ටමකට ගෙන ඒමටත් 2035 වන විට එය 10% වඩා අඩු මට්ටමකට ගෙන ඒම සඳහා සඳහාත් මේ තුළින් රජය අපේක්ෂා කරන බව සඳහන් කොට තිබෙනවා.

රට තුළ ක්‍රියාත්මක වූ ආර්ථික කොමිෂන් සභාව වෙනුවට ශ්‍රී ලංකා ආර්ථික කොමිෂන් සභාව යනුවෙන් වෙනස් කොට එයට අදාළ බලතල, සාමාජිකයන් පත් කිරීම, මුදල් පරිපාලනය සිදුවන ආකාරය කොමිෂන් සභාවේ අරමුණු මොනවාද විගණනයට ලක් කරන්නේ කෙසේද යන සෑම කරුණක්ම විස්තර කිරීමක් දක්නට ලැබෙනවා.

ඒ වගේම ආයෝජන කලාප ඇති කිරීම, ජාත්‍යන්තර වෙළඳාම සඳහා වන කාර්යාලය ඇති කිරීම, ජාතික ඵලදායිතා කොමිෂන් සභාව, ආර්ථික විද්‍යා හා ජාත්‍යන්තර වෙළදාම පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය ආදී සෑම ආයතනයකම සංයුතිය, අරමුණු සහ බලතල කුමනාකාරද, පත් කරන්නේ කෙසේද, ඉවත් කරන්නේ කෙසේද ඒ සඳහා මුදල් ලැබෙන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව දීර්ඝ කරුණු පැහැදිලි කිරීමක් දැකගන්න පුළුවන්. ආර්ථිකය පරිවර්තනය කිරීම සඳහා වූ ජාතික ප්‍රතිපත්ති මාලාවක් ගොඩනැංවීම අරමුණු කරගෙන රජය මගින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය හොඳ දෙයක් හැටියට දකින්න පුළුවන්.

තවත් සුදු අලියෙක් වෙයිද?….

අලුත් වෙවී එන පනතින්.. පලක් නොවන සුදුඅලි වැඩ…

අතීතයේදීත් මෙවැනි ආයතන පිහිටුවා අයවැය මගින් මුදල් විශාල වශයෙන් වෙන් කර දුන්නත් ඒ ආයතන මගින් කිසිදු ප්‍රයෝජනයක් රටට ලැබුණේ නැහැ. ඒවා නැවත නැවත ජාතික ධනය විනාශ කරන ආයතන බවට පත්වුණා විතරයි සිදුවුණේ. වර්තමාන රජය මෙසේ සත්‍ය වශයෙන්ම ලංකාවේ ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යෑම සඳහා වැඩපිළිවෙළක් යෝජනා කිරීම සහ එය ප්‍රායෝගිකව නිවැරදි දෘෂ්ටි කෝණයකින් ක්‍රියාත්මක කරනවා නම් රටේ ජනතාවටත් අනාගත ශ්‍රී ලංකාවටත් හොඳ තත්ත්වයක් ඇතිවේවි.

මෙම ආයතන පිහිටුවීමත් සමඟ තිබූ ආයතන අහෝසි වී යෑමක් සිදුවෙනවා. මෙතෙක් ක්‍රියාත්මක වූ ආයෝජන මණ්ඩලය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන ආකාරයක් දකින්නට ලැබුණේ නැහැ. ඒ වගේම නිලධාරි වාදය මෙරටට ආපු ආයෝජන බොහෝමයක් අහිමි වෙන්න හේතු වුණා. ශ්‍රී ලංකා ආයෝජන කලාප හරහා කාර්යක්ෂමව මෙම ක්‍රියාවලිය සිදු වේවි කියලා හිතනවා.

ඒ වගේම ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා වූ කාර්යාලයේ පිහිටුවීම. මෙතෙක් මේ ක්‍රියාවලිය ක්‍රියාත්මක වුණේ වාණිජ දෙපාර්තමේන්තුව යටතේ. විදේශ වෙළෙඳාම සම්බන්ධ තීරණ ගැනීම සහ ගිවිසුම් සකස් කිරීම ආදී ක්‍රියාවලදී දුටු දෙයක් තමයි රටට වාසියක් හිමි නොවීම. ලැබුණු වාසියත් අවම මට්ටමකයි තිබුණේ. එම අඩුපාඩුව මේකෙන් සපිරේවි කියලා හිතනවා.

මේ දක්වා පත්වූ හැම ආණ්ඩුවක්ම ආයතන වල ඵලදායිතාව ඉහළ නංවන්න මුදල් වෙන් කළත් ඵලදායිතාව මැනීමට හෝ ඵලදායිතාව ඉහළ නැංවීමට වැඩසටහනක් ක්‍රියාත්මක වුණේ නැහැ. නමුත් මේ තුළින් ඒ කෙරෙහි අවධානය යොමු කොට ඇති බව පෙන්නුම් කරනවා.

මෙම ආයතනවලට පුද්ගලයන් පත් කිරීමේදී ඒ සඳහා බලතල හිමිවී තිබෙන්නේ ජනාධිපතිවරයාට හෝ මුදල් විෂය සම්බන්ධ ඇමැතිවරයාටයි. එලෙස පත්වන නිලධාරීන් රටේ අවශ්‍යතාවයෙන් බැහැරව තමන් පත්කළ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාගේ අභිමතාර්ථයන් ඉෂ්ට කරන්නට පෙළඹවීමට තිබෙන ඉඩකඩ ඉතා වැඩියි. ඒ වගේම තමයි පත්වන ඇමැතිවරුත් බොහෝමයක් එවැනි තනතුරු දරන්නට තරම් අධ්‍යාපන සුදුසුකම් සහිත අය නොවීම. ලංකාව වැනි රටක් තුළ එවැනි ප්‍රායෝගික ගැටලු මතුවීම ස්වභාවිකයි.

න්‍යායාත්මකව මොනතරම් සාධනීය කරුණු ඇතුළත් වුණත් මෙම ක්‍රියාවලිය සාර්ථක වීමට නම් ප්‍රායෝගිකව රටේ අවශ්‍යතා හඳුනාගත හැකි නිලධාරීන් පිරිසක් මෙයට පත්විය යුතුමයි. දෙවනුව මෙම පරිවර්තනය ග්‍රාමීය මට්ටමේ පරිවර්තනයක් සඳහා අවශ්‍ය පසුබිම සකස් නොවීම ගැටලුවක්. දේශීය ආර්ථිකය ගොඩනැංවීමට ගමේ ජනතාවට වාසි සැලසීමට නම් ග්‍රාමීය මට්ටමින් ඉඩම් වෙළෙඳපළ තුළ, ශ්‍රම වෙළෙඳපොළ තුළ ප්‍රාග්ධන වෙළඳපළ තුළ පවත්නා බාධාවන් ඉවත් විය යුතුයි. එවැනි ඉවත් කිරීමක් සිදුකිරීම සඳහා අවශ්‍ය පසුබිම මේ තුළ පෙන්නුම් කරන්නේ නැහැ. ග්‍රාමීය ආර්ථිකයේ පරිවර්තනයක් සිදු නොකොට රටේ ආර්ථිකයේ පරිවර්තනයක් සිදු කළ නොහැකියි. ඒ කෙරෙහි රජයේ අවධානය යොමු කොට නැහැ.

ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයේ වැඩි හරියක් ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත ඇතුළු පළාත් කිහිපයක පමණයි. එය රට පුරාම ක්‍රියාත්මක විය යුතුයි. එහෙම වුණොත් පමණයි රටේ අනෙක් පළාත්වල දුගී ජනතාවට සෙතක් සැලසිය හැකි වන්නේ. වතුකරයට වාසි සැලසෙන්නේ. කෘෂිකර්මාන්තයේ නිරත පිරිසට වාසි සැලසෙන්නේ කෙසේද කියා මේ පරිවර්තන ආකෘතිය තුළ වැඩි අවධානයක් යොමුවී නැහැ. රටේ ආර්ථිකය සමස්තයක් ලෙස පරිවර්තනය කරන්නට නම් මේ පැවසූ ක්‍ෂේත්‍ර සඳහා විශේෂ අවධානය යොමු කිරීමේ අවශ්‍යතාව පවතිනවා.

ඵලදායිතාව නැංවීමට නම් රාජ්‍ය අංශය වගේම පෞද්ගලික අංශය කෙරෙහිත් ව්‍යාප්ත විය යුතුයි. ඩිජිටල්කරණය රටේ සෑම ක්ෂේත්‍රයක් කරාම ව්‍යාප්ත විය යුතුයි. එවන් තත්ත්වයක් කරා මෙම ආයතනවලට රට මෙහෙයවිය හැකිනම් හොඳ තත්ත්වයක් වනවා. නමුත් එසේ නොවුනහොත් සිදුවන්නේ අයවැයෙන් මේ ක්ෂේත්‍රවලට වැය කරන මුදල් අපතේ යෑමක් විතරයි.

මෙහි සාර්ථකත්වය තීරණය වන්නේ පවතින ආයතනවලට වඩා මේ ආයතන කොයි තරම් කාර්යක්ෂම ද රටේ ආර්ථිකයට කොයි තරම් පරිවර්තනයක් කරන්නට පුළුවන්ද කියන කාරණය මතයි.

මේ ඉදිරිපත් කර ඇත්තේ ඉලක්කයන්. ඒ ඉලක්කය සපුරා ගන්නට නම් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ යුතුයි. දළ දේශීය නිෂ්පාදනය වැඩි කර ගන්නේ කොහොමද, අන්තර්ජාතික වශයෙන් රට ඉහළට ඔසවා තබන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රායෝගික වැඩපිළිවෙළක් ඉදිරිපත් විය යුතුයි. ඒක තමයි ආර්ථික සැලසුම.

මේ වනවිට මෙම පනත් කෙටුම්පතට විවිධ පාර්ශ්වයන්ගෙන් දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී. ඒ මෙම පනත් කෙටුම්පත තුළින් ඕනෑම විදේශීය ආයෝජකයෙක්ට මේ රටේ ආයතනයක 100% කොටස් මිලදීගත හැකි බවත් එලෙස මිලදීගන්නා දේවල් නැවත පවරාගත නොහැකි බවත් එය ජාත්‍යන්තර ගිවිසුමක් බවට පත්වන බව පවසමින්. මේ සම්බන්ධවද මහාචාර්යවරයා අදහස් දැක්විය.

වර්තමාන ලෝකයේ මෙවැනි දේවල්වලින් රටේ ජනතාවට හානියක් වෙනවා කියන දේට එකඟ වෙන්න බැහැ. මුළු ලෝකයම යන්නේ ඒකාබද්ධ වීමක් සමග නිසා. ඇමරිකාවේ කොම්පැනි ලංකාවේ ඉඳන් පාලනය කරන කාලයක් මේක. එනිසා මෙවැනි නීති රටකට අවශ්‍යයි ආයෝජකයන් ගෙන්වා ගැනීමට. නමුත් අපට තිබෙන ගැටලුව තමයි එක පැත්තකින් නිදහස් කරනකොට තවත් පැත්තකින් ඒවා පාලනයට අවශ්‍ය නීති රට තුළ ගොඩනැගී නොතිබීම. එවැනි අවස්ථාවක් වුණොත් ඒවා අපේ පාලනයෙන් ගිලිහේවි. වෙළෙඳපොළ නිදහස් කරන්න කලින් ඊට අදාළ නීති සකස්විය යුතුයි.

සමීර කන්නංගර

advertistmentadvertistment
advertistmentadvertistment