අවුරුදු 80ක් පරණ ගිලුණු සබ්මැරීනයක් සොයාගනී

93

දෙවන ලෝක යුද සමයට අයත්, යුද්ධය අතරතුර කාර්ය මණ්ඩලය ද සමග මහ සයුරේ ගිලීගිය සබ්මැරීනයක් වසර අසූවකට පමණ පසු සොයාගැනීමට “ලොස්ට් 52” නැමති ඇමෙරිකානු ව්‍යාපෘති කණ්ඩායම පසුගිය දා සමත් ව තිබේ.

දෙවන ලෝක යුද්ධය, රටවල් 30කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධ වූ ඉතිහාසයේ විශාලතම සහ මාරාන්තික යුද්ධයයි.

හිට්ලර් විසින් ක්‍රි. ව. 1939 සැප්තැම්බර් මස පළමු වන දා පෝලන්තය ආක්‍රමණය කිරීමත් සමග ජර්මනිය දෙවන ලෝක සංග්‍රාමය සඳහා පළමු පියවර තැබීය.

වසර හයක් පුරා පැවති යුද්ධයේ, මිත්‍ර පාක්ෂික ලෙස ප්‍රධානව ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය, රුසියාව, ප්‍රංශය සහ චීනය ක්‍රියා කළ අතර අක්ෂ පක්ෂය ලෙස ජර්මනිය, ජපානය, ඉතාලිය, හන්ගේරියාව සහ රුමේනියාව ප්‍රධාන වශයෙන් ක්‍රියා කර තිබුණි. ඉතිහාසය තුළ පැවති ඕනෑම යුද්ධයකට වඩා වැඩි ජීවිත සහ දේපළ හානියක් දෙවන ලෝක යුද්ධයෙන් සිදුව ඇත. ඇස්තමේන්තු කර ඇති පරිදි යුදෙව්වන් මිලියන 6 ක් නාසි කඳවුරුවල ඝාතනය කර තිබේ. එමෙන්ම යුද්ධය අතරතුර සිවිල් වැසියන් මිලියන 55 ක පමණ සහ හමුදාවේ මිලියන 25 කට ජීවිත අහිමි වූ බව ඇස්තමේන්තු කර ඇත.

පසුගිය දා සොයාගත් සබ්මැරීනය දෙවන ලෝක යුද සමයේ ජනප්‍රිය සබ්මැරීනයක් වූ යූඑස්එස් හාඩර් නම් සබ්මැරීනයයි.

අවුරුදු 80ක් පරණ ගිලුණු සබ්මැරීනයක් සොයාගනී

එක්සත් ජනපද නාවික ඉතිහාස සහ උරුම විධානය පසුගිය 23 වැනිදා නිවේදනයක් නිකුත් කරමින්, මෙම සබ්මැරීනයේ සුන්බුන් දකුණු චීන මුහුදේ උතුරු පිලිපීනයේ ලුසොන් දූපතේ වෙරළට ඔබ්බෙන් මුහුදු පතුලේ තිබියදී හමු වූ බව පවසා ඇත. එක්සත් ජනපද නාවික ඉතිහාස හා උරුම විධානයේ පුරාවිද්‍යා ශාඛාව පවසා තිබෙන පරිදි සබ්මැරීනය සොයාගෙන ඇත්තේ දකුණු චීන මුහුදු පතුලේ අඩි 3,000 කටත් වඩා ගැඹුරක තිබියදී ය. මෙම යූඑස්එස් හාඩර් සබ්මැරීනය 1944 වසරේ අගෝස්තු 29 වැනිදා යුද්ධය අතරතුර කාර්ය මණ්ඩලයේ 79 දෙනකු ද සමග ගිලී යෑමට ලක්ව ඇති අතර වාර්තා වන පරිදි ජපානය විසින් මෙම සබ්මැරීනය ගිල්වන ලදැයි සඳහන් වේ. ජපාන වාර්තාවන් හි සඳහන් වන පරිදි යූඑස්එස් හාඩර් සබ්මැරීනයේ කාර්ය මණ්ඩලය අවසන් නිමේෂය දක්වාම සටන් කර තිබෙන අතර ගිලී යෑමට පෙර ඔවුන්ගේ ප්‍රතිවාදීන්ට ටෝර්පිඩෝ තුනක් එල්ල කර තිබූ බව සඳහන් වේ. යූඑස්එස් හාඩර් සබ්මැරීනය 1944 වසරේ මැයි මස සිට ජූලි මස දක්වා පිලිපීනය වටා මෙහෙයුම් සඳහා සහභාගි වී තිබිණි. සතියකට අඩු කාලයකදී, එනම් ජුනි 6 වැනිදා සිට 11 දක්වා හාඩර් සබ්මැරීනය ජපාන බලඇණියේ කොටස් කිහිපයකට පහර දී ඇත. එය ජපාන යාත්‍රා තුනක් ගිල්වා දමා ඇති අතර තවත් යාත්‍රා කිහිපයකට දැඩි ලෙස හානි සිදුකර ඇත. ජූනි 10 වැනිදා එක් අවස්ථාවක යූඑස්එස් හාඩර් සබ්මැරීනයේ කමාන්ඩර් ඩීලි විසින් හාඩර් අසලට ළඟා වන සබ්මැරීනයකට කෙළින්ම ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කර ප්‍රතිප්‍රහාර වළක්වා ගැනීම සඳහා නැවත සයුරේ කිමිදුනු බව සඳහන් වේ. සබ්මැරීනයේ මෙම ක්‍රියාව ජපන් උපායමාර්ග බිඳ දමා ප්‍රදේශයේ ඇමරිකානු බලය තහවුරු කරමින් ජයග්‍රහණයට දායක විය. එයින් සති කිහිපයකට පසු එහි හයවන සහ අවසාන මුර සංචාරය අතරතුර, හාඩර් සබ්මැරීනය දකුණු චීන මුහුදේ, පිලිපීන ලුසොන් දූපත අසල ක්‍රියාත්මක වී තිබියදී තවත් යාත්‍රා දෙකක් සමග ජපාන පරිවාර නෞකා මාලාවකට ප්‍රහාර එල්ල කිරීමේ ක්‍රියාවලියක නිරතව සිට තිබේ.

අවුරුදු 80ක් පරණ ගිලුණු සබ්මැරීනයක් සොයාගනී

ඉන් පසු පතොරම් නැවත පිරවීම සඳහා පිටත්ව යද්දී යූඑස්එස් හාඩර් සබ්මැරීනයට සතුරු ජපාන නෞකා දෙකක් හමුවී තිබේ. සබ්මැරීනය ටෝර්පිඩෝ තුනක ප්‍රහාර එල්ල කර තිබුණ ද ඒවා මගහැර ජපාන නෞකා ගැඹුරු ආරෝපණ සමඟ එල්ල කර තිබූ ප්‍රතිප්‍රහාර හමුවේ යූඑස්එස් හාඩර් සබ්මැරීනය කාර්ය මණ්ඩලය ද සමග මුහුදු පතුලේ සදා නිහඬ විය.

මෙලෙස දෙවන ලෝක යුද්ධයේ දී එක්සත් ජනපදය වෙනුවෙන් දිවි පුද කරමින් සිදුකළ සේවය ඇගයීම සඳහා යූඑස්එස් හාඩර් සබ්මැරීනයේ නායක 38 හැවිරිදි (මියයන විට) කමාන්ඩර් සැමුවෙල් ඩීලිට මරණින් පසු එක්සත් ජනපදයේ ඉහළම හමුදා සම්මානය වන ගෞරව පදක්කම පිරිනමා ඇති අතර එහි කාර්ය මණ්ඩලයට ද පසුව යුද්ධයේදී සිදුකළ සේවය වෙනුවෙන් ගෞරව පුද කර තිබේ.

දකුණු චීන මුහුදේ අඩි 3,000 කටත් අධික ගැඹුරක පවතින සබ්මැරීනයේ ඡායාරූප ආදිය ලබා ගැනීමට උසස් ඡායාරූපකරණය සහ දිය යට රොබෝ තාක්ෂණය භාවිතා කිරීමට “ලොස්ට් 52” ව්‍යාපෘති කණ්ඩායමට සිදුවූ බව සඳහන් වේ. “ලොස්ට් 52” යනු ලෝක යුද්ධ සමයේ දී ගිලී ගිය එක්සත් ජනපදයට අයත් සබ්මැරීන 52 ම සොයා ගැනීමට සහ අනුස්මරණය කිරීමට කැප වූ ව්‍යාපෘතියකි.

කෙසේ වෙතත් යූඑස්එස් හාඩර් සබ්මැරීනය කිසිදු හේතුවක් මත පරීක්ෂා කිරීමකට ලක් නොකෙරෙන අතර එය එහි කාර්ය මණ්ඩලය සඳහා යුද සොහොන් බිමක් ලෙස ඉදිරියටත් එලෙසම පවතිනු ඇත.

අමායා උඩුවැරැල්ල

advertistmentadvertistment
advertistmentadvertistment