ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ, තුන්වන තැනට විශාලතම විදේශ විනිමය උපයනු ලබන්නේ සංචාරක කර්මාන්තයෙනි. කොවිඩ් වසංගතය හා පවතින ආර්ථික අර්බුදයේ ප්‍රතිවිපාක 2020 සිට මෙම අංශය අඩපණ කර ඇත (ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය -2022). වර්තමානයේ පවතින ඩොලර් හිඟය හා විදේශ විනිමය උපයා ගැනීමට හොඳම විසඳුමක් ලෙස රට තුළ සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සිදු කළ හැක. වර්තමානයේ නාගරික ආලෝකයෙන් රාත්‍රී අහසේ තාරකා විද්‍යාත්මක සිදුවීම් හා ආකාශ සංසිද්ධි අත්විඳීමට ඇති අවස්ථාව සීමා වෙමින් පවතින ලෝකයක ශ්‍රී ලංකාව, තාරකා විද්‍යාලෝලීන් සහ එහි අහසේ සැඟවී ඇති විස්මීය අරුම පුදුම දේ සොයා යන සංචාරකයන්ගේ අද්විතීයම තාරකා සංචාරක ගමනාන්තය බවට පත්වීමේ ඉහළ විභවතාවයක් පවතින බවට හඳුනාගත හැක.
සුප්‍රසිද්ධ සංස්කෘතික උරුමයන් සහ විස්මිත භූ දර්ශනවලින් ඔබ්බට තවමත් ප්‍රයෝජනයට නොගත් විභව සම්පතක් ලෙස හඳුනා ගැනෙන රාත්‍රී අහස නිරීක්ෂණය (තාරකා නිරීක්ෂණ ,උල්කාපාත වර්ෂා, ක්ෂීරපථයේ නිරීක්ෂණ ආදී..) කිරීමේ එනම් තාරකා සංචාරක කර්මාන්තය අප රටට හඳුන්වාදීම තරගකාරී ගෝලීය සංචාරක කර්මාන්තය සමග මුහු වීමට කදිම අවස්ථාවකි. සමකය ආසන්නයේ භූගෝලීය පිහිටීම හේතුවෙන් ශ්‍රී ලංකාව තාරකා සංචාරක කර්මාන්තය සඳහා සුවිශේෂී ගමනාන්තයක් ලෙස හඳුනා ගනී. එනම් උතුරු හා දකුණු අර්ධ ගෝල ද්විත්වයටම අයත් තාරකා නිරීක්ෂණය සඳහා තෝතැන්නක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇත. එමෙන්ම නිවර්තන කලාපීය රටක් වන ශ්‍රී ලංකාවේ සෘතුමය විචලනයන් ප්‍රබලව බලපෑම් නොකරන අතර, ඒ හේතුවෙන් රාත්‍රී අහස දිගු කාලයක් පැහැදිලිව නැරඹීමේ හැකියාව පවතී. ශ්‍රී ලංකාව, නාගරික ආලෝක දූෂණයේ අවම බලපෑමක් සහිත රටක් වීම හේතුවෙන් ද අඳුරු අහස නිරීක්ෂණයට, තාරකා සංචාරක කර්මාන්තය ඇති කිරීමට ඉහළ විභවතාවයක් පවතින බවට සාක්ෂි සපයයි.
තාරකා විද්‍යාව සහ තාරකා නිරීක්ෂණය පිළිබඳ දීර්ඝ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතු වන අතර සංස්කෘතිය සහ රාත්‍රී අහස අතර ගැඹුරු සම්බන්ධයත්, එහි සංස්කෘතික උරුමයන් ඒකාබද්ධ කිරීමෙන් තාරකා නැරඹීම සඳහා සුවිශේෂී ගමනාන්තයක් බවටත් ශ්‍රී ලංකාව පත් කළ හැක.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ යාල ජාතික වනෝද්‍යානය, විල්පත්තු ජාතික වනෝද්‍යානය, සීගිරිය ,දඹුල්ල, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, හෝටන්තැන්න, දානිගල, පුත්තලම ආදී ස්ථානයන්හි මෙම තාරකා සංචාරක කර්මාන්තය ඇති කිරීමේ ඉහළ විභවතාවයක් පවතින බව ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ මතයයි.
සාම්ප්‍රදායික සංචාරක කර්මාන්තයෙන් ඔබ්බට තාරකා සංචාරක ආකර්ෂණය. විශ්වීය දැනුම සොයා යන ගවේෂකයන්ට රාත්‍රී අහසේ විස්මයජනක ආශ්චර්යයන් සමග නැවත එක්වීමට අවස්ථාවක් සපයයි. විශාල පිරිවැයක් නොදරා තිරසර සංචාරක කර්මාන්ත සංකල්පයේ පදනම මත සිට තාරකා සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට හැක. ඒ ඔස්සේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය විවිධාංගීකරණය කිරීමට හැකි වේ. අඳුරු අහස ආරක්ෂා කිරීම හුදෙක් තේරීමක් නොව, සංස්කෘතික වගකීමක් වන අතර, පරම්පරා ගණනාවක් සඳහා සිත් ඇදගන්නා ආකාශ සංසිද්ධිවල පැවැත්ම මෙමගින් සහතික කරනු ඇත. පාරිසරික සංරක්ෂණවාදීන් සහ ප්‍රාදේශීය ප්‍රජාවන් අතර සහයෝගිතාවන්, තිරසර තාරකා සංචාරක කර්මාන්තයේ සහජීවනය සඳහා මඟපාදයි. දිවයිනේ සශ්‍රීක භූ දර්ශනය සහ විචිත්‍රවත් සංස්කෘතිය වැළඳ ගනිමින් සාම්ප්‍රදායික සංචාරක කර්මාන්තයෙන් ඔබ්බට විශ්වය සමඟ සම්බන්ධ වෙමින් ක්ෂිතිජයේ ආශ්චර්යයන් එළි දක්වද්දී විද්‍යාත්මක කුතුහලය, සංස්කෘතිය අගය කිරීම, පාරිසරික සංරක්ෂණය සහ ස්වභාවික සම්පත් අගය කරමින් තරු නැරඹීමට ලෝකයට ආරාධනා කිරීමට මෙමගින් හැකි වනු ඇත.
විසිඑක්වන සියවසේ විශ්වයේ රහස් සොයා යන තාරකා විද්‍යාඥයන්ට, පාරිසරික සංචාරකයන්ට මෙන්ම මානසික සුවය විඳින්නවුන්ට දේශීය සහ විදේශීය වශයෙන් සියලුම සංචාරකයන්ට මෙම තාරකා සංචාරක කර්මාන්තය ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ පෙරළියක් ඇති කිරීමට මෙමගින් හැකි වනු ඇත.
වර්තමානයේ මේ වන විටත් විවිධ ස්ථානයන්හි රාත්‍රී අහසේ තාරකා දර්ශනයන් ඡායාරූපගත කිරීම් සිදුකරන අතර, දේශීය හා ජාත්‍යන්තර වශයෙන් එම ඡායාරූප අවධානයට ලක්ව ඇත.එමෙන්ම ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය හා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ ප්‍රවීණයන් මෙන්ම ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වැඩිදුරටත් මෙම තාරකා සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාව තුළ ඇති කිරීමේ ඉහළ විභවතාවයක් පවතින බව පෙන්වා දී ඇත. මෙවන් පසුබිමක ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්ත ක්ෂේත්‍රයේ නව මානයකින් තාරකා සංචාරක කර්මාන්තය ඇති කිරීම උදෙසා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය, සංචාරක අමාත්‍යාංශය ඇතුළු වගකිවයුතු ආයතන මේ පිළිබඳ අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ.
රමෝදා නිමංශිකා,
භූගෝල විද්‍යා අධ්‍යයනාංශය,
කොළඹ විශ්වවිද්‍යාලය.