මැයි 06 මැතිවරණ ප්‍රතිපලය ආණ්ඩුව ලබන පළමුවන ප්‍රගති වාර්තාවයි
ඡන්දය දැමීමට සුදුසුකම් ලබා ඇති මිලියන 17.2 න් අවම වශයෙන් මිලියන 6 ඡන්දය පාවිච්චි නොකිරීමේ අවස්ථාවක් ඇත
අසෝක රන්වල නාටකය, වෙඩි පිට වෙඩි සහ පවුල් දේශපාලනය සැලකිය යුතු සාධකද?
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මෑතකදී අත්සන් කරන ලද ආරක්ෂාව සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම ඇතුළු අනෙකුත් ගිවිසුම් තවමත් රටට හෙළි කර නැත. මෙම ක්‍රියාමාර්ගය තුළ ශ්‍රී ලංකාව අනවශ්‍ය ආකාරයකට ඉන්දියාව සමග බැඳී ඇති බවට සැක පළවේ. ඊට එරෙහිව ජාතික සංවිධාන එකමුතුව ජනතාව ඒකරාශී කිරීමට කරන උත්සාහය අගය කළ යුතුය. නමුත් විපක්ෂය බෙලහීනය. එම ප්‍රශ්නය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. පළාත් පාලන ඡන්දයේදී අවම වශයෙන් ඒ සම්බන්ධයෙන් අදහසක් පළ කිරීමෙන් පවා විපක්ෂය වැළකී සිටියේය. තවමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නොමැති මෙම ගිවිසුම් සම්බන්ධයෙන් මැතිවරණයට යම් බලපෑමක් කළ හැකි තත්ත්වයක් ඇති කිරීමට ප්‍රධාන විපක්ෂයට සැබෑ අවශ්‍යතාවයක් තිබුණේ නැත. එය අතිශය කනගාටුදායක තත්ත්වයකි. ඊට එරෙහිව හඬක් නැගුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය පමණි.
ජාතික ජන බලවේගය (ජාජබ) ආණ්ඩුවේ සමස්ත ඉදිරි වැඩපිළිවෙළ අනිද්දා (මැයි 06) පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපලය මත තීරණය වනු ඇත. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දියත් කරන ලද දේශපාලන-ආර්ථික-සමාජීය වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජනතාවගේ ප්‍රතිචාරය රජයට දැන ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාලය තුළ ජාජබය සහ විපක්ෂය අතර සිදුවෙන දැවැන්ත ගැටුම දේශපාලන පොරපිටියේ නැතහොත් දේශපාලන භූමියේ සැබෑ තත්ත්වය පිළිබිඹු වෙනවාදැයි දෙපාර්ශ්වයටම දැන ගත හැකිය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දැනට ලියාපදිංචි පක්ෂ දෙකක නායකයා ය. ඒ ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) සහ වසර හතක වයසැති ජාජබයි. පසුගිය වසරේ සැප්තැම්බරයේ පැවැත්වූ ජනාධිපතිවරණය අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරන බවට කිසිදු සැකයක් තිබුණේ නැත. සමගි ජන බලවේගයේ (සජබ) නායක සජිත් ප්‍රේමදාස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කළ එම මැතිවරණය ජවිපෙ/ජාජබ නායකයාට අභියෝගයක් නොවීය. නමුත් ඔහුට සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් 50% ගැනීමට නොහැකි විය. ඔහු 42.31% ඡන්දය ලබා ගත් අතර දෙවැනි ස්ථානයට පත්වූ ප්‍රේමදාසට 32.76% ඡන්දය හිමිවිය. ජනාධිපතිවරණ ඉතිහාසයේ පළමුවරට දෙවන වටයේ ඡන්දය (මනාප) ගණනය කිරීමට සිදුවිය. දිසානායකට මනාප 105,264ක් සමග ඡන්ද 5,740,179 ලැබුණ අතර ප්‍රේමදාසට මනාප 167,867 ක් සමග ඡන්ද 4,530,902 ලැබිණි.
ඡන්දය පාවිච්චි හිමිකම ඇති මිලියන 17.1 ඡන්දදයකයින්ගෙන් මිලියන 3.5 ඡන්දය දමා තිබුණේ නැත. ඊට මාස තුනකට පසුව පැවැත්වූ මහ මැතිවරණය ඉතිහාසයේ පළමුවරට ආසන 159 ලබා ජාජබ අසමසම ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුවත් ඡන්දය පාවිච්චි නොකළ සංඛ්‍යාව මිලියන 5.3 දක්වා ඉහළ ගිය බව අවධාරණය කළ යුතුය. පළාත් පාලන ඡන්දයේදී ඡන්දය නොදුන් සංඛ්‍යාව මිලියන 6 හය ඉක්මවා යනු ඇත.
පළාත් පාලන ඡන්දයට මිලියන 17.2 ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා ඇත. දිසානායක ආණ්ඩුව පසුගිය මාස 8 ක කාලය තුළ ක්‍රියාකළ ආකාරය පිළිබඳ ජනතාවගේ ප්‍රතිචාරය මහ මැතිවරණයෙන් මාස 6 ක් තුළ දැනගැනීමට අවස්ථාව ලැබීම එක්තරා ආකාරයකට වාසනාවකි. පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල අනුව තම දේශපාලන-ආර්ථික-සමාජීය වැඩපිළිවෙළ යම්කිසි වෙනසකට ලක් කළ හැකිය. ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පත්වන්නේ වසර 5 කටය. මැයි 06 ඡන්දයේ ප්‍රතිපල අනුව භූමියේ තත්ත්වය තේරුම් ගත හැකිය. සමාජ මාධ්‍ය තුළ කරන සංදර්ශන තුළින් රටේ/ජනතාවගේ සැබෑ අවශ්‍යතා කිසිසේත්ම පිළිබිඹු වන්නේ නැත.
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන 340 මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා අතරින් අති බහුතරය ආණ්ඩු පක්ෂය ජය ගන්නා බවට සැකයක් නැත. නමුත් ඡන්දය ඉහළ-පහළ යන ආකාරය අනුව සමාජ මතය තේරුම් ගැනීමට හැකිය. ජනාධිපති දිසානායකගේ ආණ්ඩුවට මෙම ඡන්ද ප්‍රතිපලය අතිශය තීරණාත්මක වනු ඇත.
පසුගිය මාස 8 තුළ රජය ක්‍රියාත්මක කළ වැඩසටහන සම්බන්ධයෙන් පළාත් පාලන ඡන්දය හරහා ලැබෙන ප්‍රගති වාර්තාව අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් තත්ත්වය මාරාන්තික විය හැකිය. දිසානායක ජනාධිපතිවරයා පළාත් පාලන මැතිවරණ සටන පෞද්ගලිකව මෙහෙයවීම අවධාරණය කළේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ මැයි 06 ප්‍රතිපලය හරහා අනුමත කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයයි. මහ මැතිවරණයේදී මඩකලපුව මැතිවරණ දිස්ත්‍රික්කය හැර යාපනය ඇතුළුව අනෙකුත් සියලු දිස්ත්‍රික්ක ජයග්‍රහණය කළ ජාජබට එම වාර්තාව රැක ගැනීමේ වුවමනාවක් තිබිය යුතුය. පසුගිය වසරේදී උතුරු -නැගෙනහිර ජාජබ මැතිවරණ ජයග්‍රහණය එලෙසෙම රැක ගැනීම සුළුපටු අභියෝගයක් නොවේ. දිසානායක ජනාධිපතිවරයා පුංචි ඡන්ද ව්‍යාපාරයේදී උතුරු-නැගෙනහිරට වැඩි අවධානයක් යොමුකළ බව අමුතුවෙන් කිවයුතු නැත. මහ මැතිවරණයේදී ජාජබයට ජයගැනීමට නොහැකි වූ මඩකලපුවේදී දිසානායක ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් ප්‍රධාන රැලියක් සංවිධානය කිරීමට ආණ්ඩු පක්ෂය අමතක නොකළේය. පසුගිය අප්‍රේල් 12 වැනි දින පැවැත්වූ එම රැලිය ඉහළ ජනතා සහභාගිත්වයකින් පැවැත්විණි. අවසන් ජාතික මැතිවරණයේදී ජයග්‍රහණය කිරීමට නොහැකි වූ මඩකලපුව හිමිකර ගැනීමට ආණ්ඩු පක්ෂය උත්සාහ කරනු බව පැහැදිලිය.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමෙන් පසුව ජනතාවගේ අවධානය යොමු වූ ආණ්ඩු පක්ෂයට අවාසි විය හැකි සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමු කරමු: (1) ආණ්ඩු පක්ෂය කථානායකවරයා ලෙස පත්කර ගනු ලැබූ ජවිපෙ සාමාජික අසෝක රන්වලගේ ඉහළ අධ්‍යාපන සුදුසුකම් පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත අභියෝගයට ලක්වීම තුළ ජාජබ හෑල්ලුවට ලක්විය. ආණ්ඩු පක්ෂයේ ප්‍රතිරූපයට දැඩි සහ ස්ථිර හානියක් සිදුවිය. රන්වලට එල්ලවූ චෝදනාව නොසලකා කටයුතු කිරීමට ආණ්ඩු පක්ෂය කළ උත්සාහය ඊට කළ හානිය සුළුපටු නොවේ. අවසානයේදී රන්වල කථානායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ ආණ්ඩු පක්ෂයට මහ මැතිවරණයෙන් පසුව අත්වූ පළමුවන පසුබෑම හිමිකර දෙමිනි. අසෝක රන්වල සිද්ධිය පාවිච්චි කරමින් සමස්ත ආණ්ඩු පක්ෂයම බොරු කියන බවට මතවාදයක් ඇති කිරීමට විපක්ෂ ක්‍රියාකාරීන් තවමත් දැඩි උත්සාහයක යෙදේ.
(2) අලුත්කඩේ උසාවි සංකීර්ණය තුළ සංජිව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ලේ සංජිව පසුගිය පෙබරවාරි 19 දින විනිසුරුවරියක ඉදිරියේ වෙඩි තබා ඝාතනය කිරීම ආණ්ඩුව දැඩි අපහසුතාවකට සහ ලජ්ජාවකට පත් කළේය. ජාජබ/ජවිපෙ විපක්ෂයේ සිටියා නම් කරන සියලුම චෝදනා ආණ්ඩු පක්ෂය ලෙස ඉවසීමෙන් අසා සිටීමට රජයට සිදුවිය. ගනේමුල්ලේ සංජිව ඝාතනයෙන් පසුව අලුත්කඩේ උසාවි සංකීර්ණයට පැමිණි මහජන ආරක්ෂාව සහ පාර්ලිමේන්තු කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල තමන්ගේ රියදුරුට ‘බුරුවා’ කියා කෑ ගැහීම ජාජබ අවමානයට ලක් කළේය. මීට පෙර ආණ්ඩුවලට ජාතික ආරක්ෂාව සහ මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි චෝදනා කළ ජාජබ/ජවිපෙ බස්නාහිර පළාතේ සිදුවෙන මිනීමැරුම්/වෙඩි තැබීම ඉදිරියේ අසරණවී ඇත. පොහොට්ටු ක්‍රියාකාරික පොහොට්ටු ලැයිස්තුවෙන් කොළොන්නාව ප්‍රාදේශීය සභාවට තරග කරන ඩෑන් ප්‍රියසාද් මීතොටමුල්ල ලක්සඳ සෙවණ නිවාස සංකීර්ණයේ උඩු මහලකදී වෙඩි තබා ඝාතනය කිරීම මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් නැවතත් ප්‍රශ්නයක් මතු කර ඇත.
(3) පොලිස් අත්අඩංගුවේදී සැකකරුවන් මරණයට පත්වීම ද නොකඩවා සිදුවීම ආණ්ඩුවට හොඳ නැත. ජවිපෙ/ජාජබ පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන් මරණයට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත දැඩි හඬක් නැඟුවා බව අමතක කළ නොහැකිය. විශේෂයෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස් අත්අඩංගුවේ දී සැකකරුවන්ගේ ජිවිත ආරක්ෂාව සම්බන්ධයෙන් මීට පෙර රජය යටතේ ඍජු මැදිහත්වීමක් කර තිබෙන පසුබිමේ රජය මෙම තත්ත්වය වහාම වෙනස් කිරීමට අවශ්‍ය දේශපාලන මැදිහත්වීම කළ යුතුය.
(4). පවුල් දේශපාලන සම්බන්ධයෙන් අනෙකුත් පක්ෂවලට ජවිපෙ/ජාජබ දැඩි ප්‍රහාර එල්ල කර ඇති පසුබිමක පක්ෂ ප්‍රබලයකු වූ බිමල් රත්නායකගේ බිරිඳ ජවිපෙ මධ්‍යම කාරක සභාවේ සභික සමන්මලී ගුණසිංහ කොළඹින් තරග කර පාර්ලිමේන්තුවට පත්වීමේ අවධානයට ලක්විය. ආණ්ඩුවේ ප්‍රධාන සංවිධායක බිමල් පාර්ලිමේන්තුවට පත්වූයේ ජාජබ ජාතික ලැයිස්තුවෙනි. ඔහුට උතුරු -නැගෙනහිරින් පිට ඕනෑම දිස්ත්‍රික්කයකින් තරග කර එම දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස වුවද පාර්ලිමේන්තුවට ඒමට හැකියාව තිබිණි. කෙසේවෙතත් අනෙකුත් පක්ෂවලට පවුල් දේශපාලනය සම්බන්ධයෙන් චෝදනා කරන පක්ෂයකට එසේ කළ නොහැක. ඊට අමතරව ජාජබ ලේකම් දොස්තර නිහාල් අබේසිංහ සහ ඔහුගේ පුත්‍ර චතුරංග අබේසිංහ පිළිවෙළින් කළුතර සහ කොළඹ දිස්ත්‍රික්කවලින් තරග කර පාර්ලිමේන්තුවට ඇතුළු විය.
(5) මාර්ගගත ආරක්ෂාව පිළිබඳ පනත තවමත් සංශෝධනය කිරීම ප්‍රමාද වීම සහ තමන් ද විරුද්ධ වූ එම නීතිය යටතේ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම හේතුවෙන් එක්තරා ආකාරයකට ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වී ඇත. ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිදුකරන අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ද ජවිපෙ/ජාජබ ප්‍රතිපත්තිය තමන් විපක්ෂයේ සිටින විට ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශවලට හාත්පසින්ම වෙනස්ය.
පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් පිළිබඳව දිසානායක ජනාධිපතිවරයා මාර්තු 30 වැනි දින දෙයියන්දර දී කළ ප්‍රකාශය අතිශය ආන්දෝලනාත්මකය. මීට වසර හයකට පෙර සිදුකළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට වගකිවයුතු පුද්ගලයින් ගණනාවක් එම අපරාධය කළ අප්‍රේල් 21 ට පෙර හෙළිදරව් කරන බවට දිසානායක ජනාධිපතිවරයා දුන් පොරොන්දුව ඉටු වූයේ නැත. එම ප්‍රකාශයෙන් පසුව TMVP පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් අත්අඩංගුවට ගනු ලැබූ අතර පාස්කු ඉරිදා කළ අපරාධය සම්බන්ධයෙන් විමර්ශනය නාටකයක් බවට පත් කළේය. ආණ්ඩුව ජනතා විශ්වාසය සමග සෙල්ලම් කිරීම අන්තරාදායක විය හැකිය. වසර 2005 නත්තල් දින ද්‍රවිඩ ජාතික සන්ධානයේ මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් මඩකලපුවේදී කතෝලික දේවස්ථානයක් තුළ වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් 2015 දී අත්අඩංගුවට ගෙන වසර 2020 වනතුරු මඩකලපුව බන්ධනාගාරයේ රඳවා සිටි පිල්ලෙයාන් 2019 පාස්කු ප්‍රහාරය එල්ල කර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට කටයුතු කළ බව සැක කිරීම වෙනමම සොයා බැලිය යුතු කරුණකි. මුස්ලිම් අන්තවාදීන් සිංහල අන්තවාදියකු ලෙස හඳුන්වන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කරවීමට දිවි පූජා කළ බවට චෝදනා කරන වුන් වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කළ යුතු නොවේද?
පසුගිය ජාතික මැතිවරණවලදී මෙන්ම පළාත් පාලන මැතිවරණයේදී ද ජාජබ වැඩි බරක් දුන්නේ පසුගිය ආණ්ඩුවල දූෂණ, වංචා, අක්‍රමිකතා සහ නාස්තිය සම්බන්ධයෙන් වගකිවයුතු පුද්ගලයින් තරාතිරම නොබලා අධිකරණ ක්‍රියාමාර්ගයට ලක් කිරීමයි. ආණ්ඩුව බලාපොරොත්තු වූ වේගයෙන් පරීක්ෂණ සිදු නොවන නමුත් ඒ සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇත. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සම්බන්ධයෙන් ක්‍රියාත්මක පරීක්ෂණය තීරණාත්මක අවස්ථාවකට පත්වී ඇත. දූෂණ චෝදනා සම්බන්ධයෙන් තමන්ට එල්ලවූ විශ්වාසභංග යෝජනාව 113 ට 72 ක් ලෙස 2023 සැප්තැම්බර් 08 වැනි දින පොහොට්ටු පක්ෂයේ පිහිටෙන් පරාජය කර තමන්ගේ අමාත්‍යධුරය රැක ගත් කෙහෙළිය රඹුක්වැල්ල අධිකරණ ක්‍රියාවලිය තුළ සිරවී ඇත. මීට පෙර එජාපය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ද නියෝජනය කර අවසන් වරට පොහොට්ටු පක්ෂයෙන් කැබිනට් මණ්ඩලයට පත්වූ රඹුක්වැල්ල නීතියට කොටුවී ඇත. හිටපු අමාත්‍යවරයා පමණක් නොව ඔහු වෙනුවෙන් විශ්වාස භංගයට එරෙහිව ඡන්දය පාවිච්චි කළ සියලුම මන්ත්‍රීවරු ජනතාව ඉදිරියේ වරදකරුවන් වෙනු ඇත. පොහොට්ටු පක්ෂය සමග එජාපය සහ ශ්‍රීලනිපය ද එකතු විය.
ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පවතින නඩුකරය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගන්නා ලෙස නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
එම ලිපිය තුළින් නීතිපතිවරයා අවධාරණය කර ඇත්තේ මෙම නඩුකරයට පාදක වන ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය තුළින් රටට විශාල ආර්ථික පාඩුවක් සිදුවී ඇති බවය.
මේ තුළින් රාජ්‍යයට සිදුවී ඇති පාඩුව සහ මහජනයාට සිදුවූ හානිය යන කරුණු සැලකිල්ලට ගෙන 2018 අංක 9 දරණ විශේෂ පනත යටතේ මෙම නඩුකරය විශේෂ නඩුකරයක් සේ සලකා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරිය වෙත යොමුකර තිබෙන එම ලිපිය තුළින් ඉල්ලා තිබේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි සැකපිට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් පිරිසක් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදාහැරීමට මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය කටයුතු කර ඇත.
එදා පාර්ලිමේන්තුවේදී රඹුක්වැල්ල වෙනුවෙන් පහත සඳහන් මන්ත්‍රීවරු පෙනී සිටියේය. පවිත්‍රා වන්නිආරච්චි (හිටපු සෞඛ්‍ය ඇමැතිවරියෙකි), නිමල් සිරිපාල (හිටපු සෞඛ්‍ය ඇමැතිවරයෙකි), මහින්ද රාජපක්ෂ, ප්‍රසන්න රණතුංග, සුසිල් ප්‍රේමජයන්ත, දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්ද, බන්දුල ගුණවර්ධන චෝදනාවට ලක්වී සිටින කෙහෙළිය රඹුක්වැල්ල, මහින්ද අමරවීර, විජයදාස රාජපක්ෂ, වෛද්‍ය රමේෂ් පතිරණ (වැඩේ වැරදුනු පසුව කෙහෙළිය රඹුක්වැල්ල ඉවත් කර ඔහුව පත්කරන ලදී), අලි සබ්රි, විදුර වික්‍රමනායක, කාංචන විජේසේකර, නසීර් අහමඩ්, මනූෂ නානායක්කාර, අජිත් රාජපක්ෂ, ටිරාන් අලස්, නලින් ප්‍රනාන්දු, රොෂාන් රණසිංහ, ජීවන් තොන්ඩමන්, ජගත් පුෂ්පකුමාර, රංජිත් සියඹලාපිටිය, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ජානක වක්කුඹුර, ෂෙහාන් සේමසිංහ, කනක හේරත්, තේනුක විදානගමගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ලසන්ත අලගියවන්න, රෝහණ දිසානායක, ප්‍රේමලාල් ජයසේකර (රත්නපුර මහා අධිකරණයෙන් 2015 සිදුකළ මිනිස් ඝාතනයකට මරණ දඬුවමට යටත් කළ පුද්ගලයෙකි.), අරුන්දික ප්‍රනාන්දු, විජිත බේරුගොඩ, ලොහාන් රත්වත්තේ, සනත් නිශාන්ත (මෑතකදී අනතුරකින් මරණයට පත්විය.), තාරක බාලසූරිය, ඉන්දික අනුරුද්ධ හේරත්, සිරිපාල ගම්ලත්, අනුරාධා ජයරත්න, එස්. වියලේන්ද්‍රන්, ඩී. වී. චානක (වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි.), සිසිර ජයකොඩි, පියල් නිශාන්ත ද සිල්වා, ප්‍රසන්න රණවීර (කිරිබත්ගොඩ රජයට හිමි ඉඩමක් සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන පරීක්ෂණයකට අවශ්‍ය කර ඇති අතර නීතියෙන් සැඟවී සිටි), ඩී.බී. හේරත්, ශෂේන්ද්‍ර රාජපක්ෂ, වෛද්‍ය සීතා අරඹේපොල, ශාන්ත බණ්ඩාර, කේ. කාදර් මස්තාන්, අසෝකා ප්‍රියන්ත, ඒ. අරවින්ද් කුමාර්, ගීතා කුමාරසිංහ, ආචාර්ය සුරේන් රාඝවන්, සිවනේසතුර චන්ද්‍රකාන්තන් (2006 දී නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාව අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් රඳවා ගෙන ප්‍රශ්න කරයි), ඩයනා ගමගේ, චාමර සම්පත් දසනායක (රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් නව ප්‍රජාතන්තවාදී පෙරමුණෙන් තරග කර මෙම පාර්ලිමේන්තුවට පත්විය. දූෂණ සහ අක්‍රමිකතා චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇත.), අනුප පස්කුවල්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ගාමිණී ලොකුගේ, වජිර අබේවර්ධන (පාර්ලිමේන්තුවේ සිටි එකම එජාප මන්ත්‍රීවරයා. එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂය විසින් ජනාධිපති පුටුවේ තැබූ පසුව එම හිස්තැන වජිර අබේවර්ධන පිරවිය.), සී. බී. රත්නායක (ඔහුගේ සහෝදරයකු ද කෙහෙළියට එරෙහි නඩුවේ විත්තිකරුවෙකි.), එස්. එම්. චන්ද්‍රසේන, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන (රනිල් වික්‍රමසිංහ නායකත්වය දුන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරග කර මෙම පාර්ලිමේන්තුවට පත්විය.), නාමල් රාජපක්ෂ (දූෂණ චෝදනා සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාමාර්ගවලට මුහුණ දී ඇත.), සරත් වීරසේකර, විමලවීර දිසානායක, කපිල අතුකෝරාල, ගයාෂාන් නවනන්දන, ජයන්ත කැටගොඩ, සම්පත් අතුකෝරල, තිස්ස කුට්ටිආරච්චි, සුමිත් උඩුකුඹුර, ප්‍රදීප් උඳුගොඩ, සංජීව එදිරිමාන්න, අකිල එල්ලාවල, ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි, කරුණාදාස කොඩිතුවක්කු, කෝකිලා ගුණවර්ධන, මිලාන් ජයතිලක, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, උදයකාන්ත ගුණතිලක, කුලසිංහම් ධිලිබන්, සුදර්ශන දෙනපිටිය, ඉසුරු දොඩන්ගොඩ, නීතිඥ ප්‍රේමනාත් සී. දොලවත්ත, එච්. නන්දසේන, මුදිත ප්‍රිශාන්ති, සුදත් මංජුල, චින්තක අමල්, නිපුන රණවක, කුමාරසිරි රත්නායක, ගුණතිලක රාජපක්ෂ, උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ, එම්. රාමේශ්වරන්, රජිකා වික්‍රමසිංහ, සහන ප්‍රදීප් විතාන, සමන්ප්‍රිය හේරත්, නීතිඥ සාගර කාරියවසම් (පොහොට්ටු පක්ෂයේ මහලේකම්), යදාමිනි ගුණවර්ධන, මංජුලා දිසානායක, මහාචාර්ය රංජිත් බණ්ඩාර සහ ජයන්ත වීරසිංහ, ඒ. එල්. එම්. අතාවුල්ලා, අලි සබ්රි රහීම් (කටුනායක ගුවන් තොටුපළින් මිලියන 80 කට ආසන්න වටිනා රත්‍රන් සහ ජංගම දුරකථන රට තුළට ගෙන ඒමට උත්සහ කළ), නිමල් ලන්සා, ලලිත් වර්ණකුමාර සහ ජගත් සමරවික්‍රම.
පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 න් එම විශ්වාසභංගයට ඡන්දය ගනු ලැබූ අවස්ථාවේ මැති සබයේ සිටියේ මන්ත්‍රීවරු 184 ක් පමණි. පාර්ලිමේන්තුවේ නොසිටි කණ්ඩායම ද විශ්වාසභංගයට එරෙහි කණ්ඩායමක් ලෙස හැඳින්වීමේ වරදක් නැත.
රට බංකොලොත් කළ තට්ටු මාරු ක්‍රමයට එරෙහිව සාර්ථකව ක්‍රියාත්මක කළ අරගලයෙන් පසුව පාර්ලිමේන්තුව හරහා පත්කර ගත් වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව ප්‍රමිතියෙන් තොර ඉමියුනෝග්ලොබියුලින් ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ ගත් ක්‍රියාමාර්ගය අවධාරණය කළේ ඔවුන් සම්බන්ධයෙන් ජනතාවට විශ්වාසයක් තබා ගත නොහැකි බවයි. විශ්වාසයක් තබා ගැනීමෙන් පලක් නැති බවයි.
ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ