නෙදුමාරන්ට ප්‍රභාකරන් ගේන්න තියෙන්නෙ අපායෙන් තමයි…

416

ප්‍රභාකරන් ජීවතුන් අතර බොරුවට රැවටී
ස්විට්සර්ලන්තයේ පදිංචි දෙමළ ජාතිකයෙක් යුරෝ එක් ලක්‍ෂ පනස්දහසක් දීලා…
නෙදුමාරන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගය ලංකාවේ ඊළම විකිණීම…

ලෝක දෙමළ සංවිධානයේ නායක පී. නෙදුමාරන් අමුතු කතාවක් කියන්නේය. තමිල්නාඩුවේ තංජාඌර්හිදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු එම ‘පයිතියන්’ ප්‍රකාශය නිකුත් කර තිබුණේ පසුගිය 13 වැනිදාය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන් ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාව අතින් ඝාතනය වී නොමැති බවත් හේ බිරිඳ සහ දරුවන් සමඟ සුව සේ කාලය ගත කරන බවය. ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළමක් පිහිටුවීම අරභයා ඔහුගේ නැවත පැමිණීම ස්ථිර බවත් නෙදුමාරන් පවසා තිබිණි. එකසිය ගාණට පිස්සු තද වී මෙසේ ද පවසා තිබිණි.

‘ප්‍රභාකරන් මිය ගිය පුවත අසත්‍යයක්. ඔහු සමඟ අපි සමීපව කටයුතු කරනවා. අද මම මේ මාධ්‍ය හමුව කැඳෙව්වෙත් එල්.ටී.ටී.ඊ. නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඉල්ලීම මතයි. ඔහු හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා. ඔහු විතරක් නෙමෙයි ඔහුගේ බිරිඳ, දියණිය ද සනීපෙන් ඉන්නවා. ප්‍රභාකරන් ජිවතුන් අතර සිටීම ඊළාම් දෙමළ ජනතාවට වගේම ලොව පුරා සිටින දෙමළ ජනතාවට සුබ ආරංචියක්….’ පට්ට කෙබර ඇද බාන නෙදුමාරන් සූස්තර පුංචෙකි.

‘සිහින ඊළමෙන්’ තවමත් යැපෙන නෙදුමාරන් මෙවර කරනුයේ කොන්ත්‍රාත්තුවකි. ‘ප්‍රභාකරන් ජීවතුන් අතර’ කෙබරය ඉන්දියාවේ සහ ලංකාවේ ප්‍රචලිත කිරීමේ වගකීම පැවරී ඇත්තේ ඔහුටය. ප්‍රභාකරන් ජීවතුන් අතර බොරුව ගොතමින් ප්‍රථම වරට සමාජගත කර ඇත්තේ ඊළමේ නාමයෙන් ඩොලර් ගරන ස්විට්සර්ලන්තයේ කොටි හිතවාදී සංවිධානයක සාමාජිකයන් කිහිපදෙනෙක් විසිනි. ‘ප්‍රභාකරන් ජීවතුන් අතර කෙබරය’ ඉන්දියාව, ලංකාවටත් වඩා ස්විට්සර්ලන්තය, කැනඩාව, බි්‍රතාන්‍යය, යුරෝපයේ ආදී බටහිර රටවල වේගයෙන් පැතිරෙමින් තිබෙන බව ද වාර්තා වේ.

නෙදුමාරන්ට ප්‍රභාකරන් ගේන්න තියෙන්නෙ අපායෙන් තමයි…
අරුන් සිද්ධාර්ථන්

‘ඊයේ රෑ ප්‍රභාකරන් අර ගෙදරට ඇවිත් කාලා ගියා… පෙරේදා අහවලාගේ ගෙදරට ඇවිත් ගියා… ප්‍රභාකරන් නැවත ලංකාවට යනවා… ඒත් දැන් එයාට ආර්ථික ශක්තියක් නෑ. අපි එයාට ශක්තියක් වෙන්න ඕනෑ…’ ඊළමෙන් යැපෙන සංවිධානවල ඇතැම් සාමාජිකයන් පතුරුවන බොරුවලට රැවටී ස්විට්සර්ලන්තයේ එක දෙමළ ජාතිකයෙක් යුරෝ එක්ලක්‍ෂ පනස්දහසක් ලබාදී ඇති බව ද වාර්තා වේ. ලොව පුරා සිටින ඇතැම් දෙමළ ජාතිකයන් විශාල වශයෙන් මුදල් ලබාදෙන බව ද එම රටවලින් ලැබෙන ආරංචි මාර්ගය. “1985 වර්ෂයේදී හොර රහසෙ ලංකාවට පැමිණි නෙදුමාරන් ප්‍රභාකරන් මුණගැහිලා එකට ඉඳලා පින්තූර අරගෙන, වීඩියෝ කරගෙන ලොව පුරා සංචාරය කරමින් ඒ පින්තූර දෙමළ මිනිසුන්ට පෙන්නලා ලංකාවේ ඊළම වෙනුවෙන් කියලා සල්ලි එකතු කරලා තිබුණා. යුද්දෙ අන්තිම කාලෙත් ‘උතුරේ දෙමළ මිනිස්සු මැරෙනවා. ඔවුන්ට බෙහෙත්, කෑම බීම ලබා දෙන්න ඕන’ කියලා ලෝකෙ වටේ ගිහින් කෝටි ප්‍රකෝටි ගණන් මුදල් එකතු කරලා තිබුණා. ඒත් රුපියලක ආධාරයක් උතුරේ දෙමළ මිනිසුන්ට ලැබිලා තිබුණේ නෑ. නෙදුමාරන්ගේ දේශපාලනයත්, ප්‍රධාන ආදායම් මාර්ගයත් දෙකම රඳාපවතින්නෙ ලංකාවේ ඊළම ලෝකයට විකිණීම මත. එම ජාවාරමට ඔහුගේ සභාපතිත්වයෙන් යුත් සංවිධාන තුනක් පිහිටුවාගෙන ඉන්නවා. ලෝක දෙමළ සම්මේලනය, දෙමළ ජාතික සංවිධානය, ලංකාවේ දෙමළ ඊළමක් පිහිටුවීමට උපකාර කරන පුද්ගලයන් මෙහෙයවන සංවිධානය. එම සංවිධාන පිහිටුවීමේ ප්‍රධාන අරමුණ ලංකාවේ දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න ලෝකයට කියලා මුදල් එකතු කිරීම. නැවතත් ප්‍රභාකරන් තවමත් ජීවතුන් අතර කියමින් ලෝකෙ වටේ ගිහින් මුදල් එකතු කරනවා. ඒ මුදල් යන්නෙ නෙදුමාරන්ගේ සාක්කුවට. එල්.ටී.ටී.ඊ.යට නැවත නැඟිටීමක් නෑ. ප්‍රභාකරන් දෙමළ ජනතාවට කරපු විනාශය උතුරේ මිනිස්සු හොඳට තේරුම්ගෙන තියෙනවා. ඒ වගේම නෙදුමාරන්ලා වගේ අය පතුරුවන බොරු බේගල් ගැනත් අපේ මිනිස්සු හොඳ අවබෝධයෙන් ඉන්නෙ. ප්‍රභාකරන් ඇතුළු එල්.ටී.ටී.ඊ. නායකයන් අවසාන යුද්දේ අන්තිම දවස් කිහිපයේදී මිය ගිය බවට උතුරේ මිනිසුන්ට ඇති වෙන්න සාක්‍ෂි තියෙනවා. නෙදුමාරන්ට ප්‍රභාකරන් ගේන්න තියෙන්නෙ අපායෙන් තමයි…” ඒ නිර්භීත දමිළ හඬ යාපනයේ පදිංචි අරුන් සිද්ධාර්ථන්ගේය. දෙමළ ඊළමක් නොව, ඉඩම්, පොලිස් බලතලවලින් හෝ මේ රට බෙදා කෑලි කිරීමට අකැමැති අරුන් උතුරේ දෙමළ මිනිසුන්ගේ ප්‍රශ්න වැළක් අපට කීවේය. එමෙන්ම කොටි ත්‍රස්තවාදී යුද්ධයත් සමඟ වැඩිහිටි වූ ඔවුන් දැන් නිදහසේ හුස්ම ගන්නා බවත්, තිස් අවුරුද්දක් පුරාවට තම ළමා කාලය කා දැමූ ත්‍රස්තවාදයේ වචනය හෝ උතුරේ අලුත් පරම්පරාවට ඇසීමට ඉඩ නොතබන බව හේ අපට සපථ කළේය.

උතුරේ දමිළ ජනතාව අතරින් ත්‍රස්තවාදයේ වචනය හෝ මතු නොවන බව අරුන් පවසන විට, 2009 වර්ෂයේ මැයි මස 18 වැනිදා අවසන් යුද්ධයේදී ප්‍රභාකරන් ඝාතනයට ලක් වූ බවට ඩී. එන්. ඒ. පරීක්‍ෂණ ඇතුළු සියලු සාක්‍ෂි තිබෙන බව යුද හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බි්‍රගේඩියර් රවී හේරත් මහතා ද පවසා තිබිණි. එමෙන්ම මෙවැනි ප්‍රකාශ සම්බන්ධයෙන් මෙරට ජනතාව කිසිදු බියක් ඇති කරගත යුතු නොවන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා තිබිණි. 2009 වර්ෂයේ මැයි 18 වැනිදා පෙරවරුවේ නන්දිකඩාල් කලපුවේ කඩොල් කැලය තුළ වෙඩි කා මැරී වැටී සිටි ප්‍රභාකරන්ගේ සිරුරේ 001 දරන ඊනියා ඊළාම් රාජ්‍යයේ හැඳුනුම්පත ද ගෙලෙහි බැඳි 001 දරන ටැගය ද තිබී සොයාගත් බව ලෝක ප්‍රසිද්ධ කතාවය. එමෙන්ම කාලයක් ප්‍රභාකරන්ට කීකරු ගෝලයෙක් වූ කරුණා අම්මාන් ද වෙඩි වැදී, මිය ගොස් සිටිනුයේ ප්‍රභාකරන්ම බව තහවුරු කළේය. සිරුර හමු වී සතියකට පමණ පසුව ප්‍රභාකරන් මිය ගොස් ඇති බව එල්.ටී.ටී.ඊ. ය විසින් ද තහවුරු කර තිබිණි. තිස් අවුරුද්දක් පුරාවට මේ රට තුළ වරින් වර බෝම්බ පුපුරවාහරිමින් දහස් සංඛ්‍යාත මිනිසුන් මරා දැමූ ‘මිනීමරු ප්‍රභාකරන්’ මිය ගොස් ඇති බවට සාක්‍ෂි එමටය. රටක් සතුටු වූ ඒ දිනය ගෙවී වසර දහහතරකට ආසන්න වන පහුගිය 13 වැනිදා ලෝක දෙමළ සම්මේලනයේ නායක පී. නෙදුමාරන් නින්දෙන් අවදි වූවෙක් ලෙස කතා කිරීම ගැන අපට අරුමයක් නැත.

නෙදුමාරන් යනු ඉන්දීය දේශපාලනඥයෙකි. කාලයක් ඉන්දීය අගමැතිනියක වූ ඉන්දිරා ගාන්ධිගේ අතිශය කිට්ටුවන්තයෙක් ලෙස සිටි දේශපාලනඥයෙකි. 1979 වර්ෂයේදී කොන්ග්‍රස් පක්‍ෂයෙන් ඉවත් වූ නෙදුමාරන් ජාතික දේශපාලනයෙන් ප්‍රාන්ත දේශපාලනයට පසු බැස ඇත. දීර්ඝ කාලයක සිට දේශපාලනයේ තෙම්පරාදු වෙමින් සිටින නෙදුමාරන්ට දැන් වයස අවුරුදු අසූ නවයකි. ගොඩක් වයසය. වළ පයයි, ගොඩ පයයි සිටින දේශපාලනඥයන්ට අමතකවීම සාමාන්‍ය දෙයකි. ජීවිත කාලය පුරාවට සැබෑ නොවුණු බලාපොරොත්තු ගැන සිහින දැකීම ඔවුන්ගේ සතුටය. අපේ රටේ ‘දේශපාලන සීයලාට’ ද එවැනි අසනීප තිබෙන බව අමුතුවෙන් කිවයුතු නැත. ‘ප්‍රභාකරන් ජීවතුන් අතර’ කියන ‘බයිලය’ නෙදුමාරන්ට අමතකවීමක්, එසේ නොවෙන්න සිහින දැකීමකින් ඔබ්බට ගිය ඩොලර් ගැරීමේ අලුත් රංගනයක් විය හැකිය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment