ඉල්මනයිට් හාරන්න නැගෙනහිර වෙරළ කණපිට පෙරළයි…
ඉස්සන් වගාවට කඩොලාන හෙක්ටයාර් 1100 ක් කපයි…
සුරකිමු වාකරේ…
වෙඩිතලතිවු කඩොලාන (ස්වාභාවික) රක්ෂිතයෙන් කොටසක් ඉවත් කර ඉස්සන් වගාකිරීම සඳහා යම් සමාගමකට ලබාදීමට වත්මන් වනජීවී විෂය භාර අමාත්‍යවරිය විසින් ගන්නා ලද උත්සායක් ව්‍යර්ථ කරමින් පසුගියදා අධිකරණය තීන්දුවක් ලබාදුන්නේය. එය මෙරට පාරිසරික අංශ ලැබූ සුවිශාල ජයග්‍රහණයකි. එනමුත්, ශ්‍රී ලංකාවේ රට වටා මුහුදු බඩ කලාපයේ, විශේෂයෙන්ම උතුරු-නැගෙනහිර පළාතේ පවතින එවන් කඩොලාන සහිත තෙත් බිම්, කළපු, මෝය, ලවණ වගුරු යනාදී අතිශය වැදගත් පාරිසරික පද්ධති රාශියක් මේ ආකාරයෙන්ම ඉස්සන් වගාව ඇතුළු ජලජ ජීවී වගාවන් සඳහාද, නැඟෙනහිර වෙරළේ තවත් වටිනා ඛනිජ සහිත වෙරළ තීර ඉල්මනයිට් ඇතුළු ඛනිජ සම්පත් කැණීම සඳහා ද සමාගම් කිහිපයකට බදු දීමට මේ වන විට සැලසුම් සකස් කර ඇත. ඇතැම් සමාගම් සඳහා අදාළ අවසරය ද ලබාදී ඇත. නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතා ඇතුළු නැඟෙනහිර පළාත නියෝජනය කරන දේශපාලකයින් කිහිප දෙනකුගේ අවශ්‍යතාව පරිදි මෙසේ නැඟෙනහිර වෙරළ තීරයේ සහ ආශ්‍රිත ප්‍රදේශයේ පවතින රජයට අයත් ඉඩම්හි වෙරළ සහ කඩොලාන වගුරු බිම් විවිධ ධනෝත්පාදන කටයුතු සඳහා යොදාගැනීමට මේ දිනවල ලහි ලහියේ කටයුතු සිදුවෙමින් පවතී.
පළමුව මෙවැනි ව්‍යාපෘති පැමිණියේ මන්නාරම් දූපත සහ ආශ්‍රිත ප්‍රදේශයටය. දැනටමත් මන්නාරම් දූපතේ ඉල්මනයිට් ඇතුළු ඛනිජ වැලි කැණීම සඳහා ඔස්ටේ්‍රලියන් සමාගමක ව්‍යාපෘතියක් පැමිණ තිබේ. එම සමාගම නමින් ‘ජේම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම’යි. සමාගම මගින් මන්නාරම දූපතේ ස්ථානීය පරීක්ෂණ සිදුකර දැනටමත් වැලි සාම්පල් එක්රැස් කිරීම සිදුකර ඇත. එසේම, මෙම සමාගම විසින් නැඟෙනහිර වෙරළේ ස්ථාන කිහිපයක තවත් වැලි කැණීම් ව්‍යාපෘති සිදුකිරීමට නියමිතව ඇත. නැඟෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් මහතාගේ ප්‍රධානත්වයෙන් 2024 ජුනි මස 27 දින පැවැති ත්‍රිකුණාමල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී න්‍යායපත්‍රානුකූලව මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේද ආණ්ඩුකාරයා විසින්ම ය. එනම්, කමිටුවේ සම සභාපතිත්වය දරන ආණ්ඩුකාරවරයා විසින් ඉදිරිපත් කරන ලද එක යෝජනාවක දැක්වෙන්නේ කින්නියා සහ මුතූර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අතර රජයට අයත් වෙරළ තීරයේ මීටර් 300 ක පළලට ඛනිජ වැලි කැණීම සිදුකිරීම සඳහා දීර්ඝ කාලීනව ඉඩම් බදුදීමට අනුමැතිය ඉල්ලා සිටින බවයි. තවත් යෝජනාවක් ගෙන එමින් ආණ්ඩුකාරවරයා ඉල්ලා සිටින්නේ ත්‍රිකුණාමලය-නිලාවේලි සිට කුඹුරුපිටි (කුඹුරුපිඩ්ඩි) නැඟෙනහිර දක්වා වෙරළ සීමාවේ සිට මීටර් 300 ක පළල වපසරියකින් යුත් රජයේ ඉඩම් ‘ජේම්ස් ග්ලෝබල් පුද්ගලික සමාගම’ වෙත දීර්ඝ කාලීනව බදු දීමට අනුමැතිය ඉල්ලා සිටින බවයි.
මේ එක කතාවක් පමණි. ආණ්ඩුකාරවරයාගේ මැදිහත්වීම අනුවම නැඟෙනහිර වෙරළේ ත්‍රිකුණාමලයට ඉහළින් කෝකිලායි ප්‍රදේශයේ, ත්‍රිකුණාමලයට පහළින් පිහිටි මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වෙරුගල්-කතිරවෙලි-වාකරේ වෙරළ තීරයේ සහ අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුව ප්‍රදේශයේ මෙවැනිම ඛනිජ වැලි කැණීමකට (ජාවාරමකට) මේ වන විට රජය කටයුතු කරගෙන යන බව පරිසර යුක්තිය වෙනුවෙන් පෙනී සිටින දිවයිනේ ප්‍රකට පාරිසරික සංවිධානයක් වන ‘පරිසර යුක්ති කේන්ද්‍රය – Centre For Environment Justiceනය කරන දේශපාලකයින්ගේ අවශ්‍යතාව පරිදි දැනටමත් වාකරේ-කතිරවෙලි-වෙරුගල් ප්‍රදේශයේ මීටර් 30 ක පළලට, කිලෝමීටර් 8 ක දුරකට වෙරළ තීරයේ ඉල්මනයිට්, රූටයිල්, සර්කෝන් කැණීම සඳහා අදාළ මූලික කටයුතු සිදුකරගෙන යන බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ‘ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් අර්ත්’ ජාත්‍යන්තර සංවිධානයේ සභාපති හේමන්ත විතානගේ මහතා පවසයි.
දැනටමත් නැඟෙනහිර පළාත උණුසුම් කර ඇති මෙම ඛනිජ වැලි කැණීම මගින් ත්‍රිකුණාමලය සිට අක්කරපත්තු දක්වා මුහුදු වෙරළ කණපිට පෙරළා ඛණිජ වැලි ගොඩදැමීමට නියමිත බැවින් සහ ඒ ආශ්‍රිත කඩොලාන පිරි තෙත් බිම් වනසා ඉස්සන් වගාව ආරම්භ කිරීමට නියමිතව ඇති බැවින් ඉකුත් 05 වැනි සිකුරාදා දැවැන්ත විරෝධතාවක් වාකරේ ප්‍රදේශයේදී පැවැත්වුණේ ජනතා සහභාගිත්වයෙනි. ඊට ප්‍රදේශයේ පූජක පක්ෂයේද නොමද ආශීර්වාදය පළවී තිබිණි. වාකරේ-වෙරුගල්-කතිරවෙලි ජනතාවගේ එකතුවෙන් ‘වාකරේ සුරැකීමේ සංවිධානය’ මගින් මෙම විරෝධතාව සංවිධානය කර තිබූ අතර, පෙරවරුවේ වාකරේ-කඩ්ඩුමුරිව් මංසන්ධියට එක්වූ විරෝධතා පුවරු රැගත් වාකරේ ජනතාව “වාකරේ ජනතා අයිතිය සුරකිව්”, “වාකරේ අනතුරේ – බලධාරීන් තවමත් නිහඬයි”, “Natural Resources in Vakarai Under Threat” වැනි සටන් පාඨ කියමින් විරෝධතාවේ පැමිණ කතිරවේලි තැපැල් කාර්යාලයේදී මෙම පාරිසරික විනාශයට සහ වාකරේ ජනතාවගේ හඬට කන්දී වාකරේ උරුමය රැකදෙන ලෙස ඉල්ලා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලියාපදිංචි තැපෑලෙන් ලිපි තැපැල් කළහ.
මෙම අවස්ථාවට කතෝලික පල්ලියේ නියෝජනය, හින්දු පූජ්‍ය පක්ෂයේ නියෝජනය සහ සිවිල් සංවිධාන නියෝජනයද ඉහළින්ම ලැබී තිබිණි.
මෙම අවස්ථාවට එක්වූ හින්දු පූජක තවත්තිරු වේලන් ස්වාමිගල් – ප්‍රධාන සම්බන්දීකාරක (පීපල් අප්රයිසිං මූව්මන්ට්) කියා සිටියේ වාකරේ සහ කතිරවේලි ජනයා අද මෙම විරෝධතාව සංවිධානය කළේ වාකරේ ජනතාවගේ කෘෂිකාර්මික සහ ධීවර නිජබිම වනසා ක්‍රියාත්මක කෙරෙන නීති විරෝධී ඉස්සන් වගා ගොවිපළ ව්‍යාපෘතිවලට සහ ඉල්මනයිට් වැලි ඉවත්කිරීමේ පාරිසරික හානිදායක ව්‍යාපෘතිවලට එරෙහිව බවයි.
“රජය මේ ඉස්සන් වගා ව්‍යාපෘති සහ ඉල්මනයිට් ව්‍යාපෘති ක්‍රියාත්මක කළොත් අපේ ජනතාව පීඩාවට පත්වෙනවා. ඉල්මනයිට් සඳහා වෙරළ හැරීමේදී මුහුදු වතුර වාකරේ ජනතාව ජීවත්වන සහ ගොවිතැන් කරන ප්‍රදේශවලට පැමිණීම වළක්වන්න බැහැ සහ ස්වභාවික පරිසරය ඒ මගින් හානියට ලක්වෙනවා. එපමණක් නොව වාකරේ ජනයාගේ ආර්ථිකය ඒ මගින් හානියට ලක්වෙනවා. මෙම ව්‍යාපෘති දෙන්නේ අන්තර්ජාතික හෝ බහුජාතික සමාගම්වලට. එයාල මේකේ උපරිම වාසිය ගනීවි. මේ සඳහා ඇති රජයේ නියෝජනය ජනාධිපති, නැඟෙනහිර ආණ්ඩුකාර, ඇමැතිවරු හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හෝ වෙන යම් කවුරුන් වුවත්, මෙම ව්‍යාපෘතිවල ආර්ථික වාසිය රටට, ආගමකට, ජාතියකට, යුක්තියකට හිමිවන්නේ නෑ. ඒවා ලැබෙනු ඇත්තේ සම්බන්ධවන කවර අයකුට හෝ ඔවුන්ගේ පවුල්වලට පමණයි. එම නිසා අපි තදින් මෙම ව්‍යාපෘතිවලට එරෙහිව සිටිනවා, වගේම ශ්‍රී ලංකා රජය වහාම මෙම ව්‍යාපෘති නවතා දමන්නට කටයුතු කළ යුතුයි. එසේම, ජාත්‍යන්තර ප්‍රජාව අයි.එම්.එෆ්., ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව නැතහොත් එක්සත් ජාතීන්ගේ සංවිධානය හෝ එක්සත් ජාතීන්ගේ පාරිසරික ආයතන, යුනෙස්කෝ සංවිධානය වැනි ආයතන තමන් විසින් ශ්‍රී ලංකා රජයට මූල්‍යාධාර සපයන විට බලකර කියා සිටිය යුතුයි වහාම රටට අහිතකර මෙම ව්‍යාපෘති නවතා දමන්නට කියා රජයට බලකර කියා සිටිය යුතුයි. ශ්‍රී ලංකා රජය අපගේ මෙම විරෝධතාවලට කන් නොදෙන්නේ නම්, අපි මීට එරෙහිව අධිකරණයට යෑමට ක්‍රියාකරන බව කිව යුතුයි. අපි කිසිම ජාතියකට, කිසිම ආගමකට, කිසිම භාෂාවකට, කිසිම සංස්කෘතියකට හෝ කිසිම රටකට එරෙහිව නෙවෙයි මේ විරෝධතාව පළ කරන්නේ. මානව හිමිකම් ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන නායකයින් ලෙස අපි මේ කරන්නේ යුක්තිය පිණිසයි. එසේම උතුරු-නැගෙනහිර ජීවත්වන දෙමළ පුරවැසියන් බලාපොරොත්තු වෙනවා තමන් සඳහා යුක්තිය ඉටුවෙයි කියා.”
මෙහිදී අදහස් දැක්වූ පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ‘ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් අර්ත්’ ජාත්‍යන්තරයේ සභාපති පරිසරවේදී හේමන්ත විතානගේ මහතා කියා සිටියේ රජය මෙම පරිසර විනාශකාරී ව්‍යාපෘති නවතා නොදමන්නේ නම්, ඒ සඳහා අධිකරණයේ පිහිට අපේක්ෂා කරන බවයි.
“අපි පාරිසරික යුක්තිය වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක්. මේ දක්වා මෙවැනි පාරිසරික විනාශකාරී ක්‍රියාවලට එරෙහිව අපගේ ආයතනය අධිකරණ ක්‍රියාමාර්ග 44 ක් අරන් තිබෙනවා. ඉදිරි කාලය තුළ වාකරේ ඉල්මනයිට් හෑරීම සම්බන්ධයෙන්ද අපි අධිකරණයට නඩුවක් ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. අද අපි මෙම විරෝධතාවට එකවී සිටින්නේ වාකරේ ජනතාව තම පාරිසරික අයිතිවාසිකම් ඉල්ලා සිටිමින් කරන ඉල්ලීමකට සහ උද්ඝෝෂණයකට සහාය දක්වන්නට. ඉල්ලීම් දෙකක් තිබෙනවා, එකක් තමයි වාකරේ ප්‍රදේශයේ කිලෝමීටර් 8 ක දුරකට මීටර් 30 ක පළලින් යුක්තව වෙරළ කලාපය ඇල්කෙමි හෙවිමෙටල්ස් කියල දඹුල්ලේ පිහිටි ආයතනයකට ඉල්මනයිට් හෑරීම සඳහා ලබාදීල තියනවා. ඒ වගේම කින්නියා සිට මුතූර් දක්වා, නිලාවැලි සිට කුඹුරුපිටි දක්වා විශාල ප්‍රදේශයක මේ විදිහට හාරලා ඉල්මනයිට් ගන්නට මේ ප්‍රදේශයේ ආණ්ඩුකාරවරයා අවසර ඉල්ලලා තියනවා. තව අක්කරපත්තුව ප්‍රදේශයේ විශාල හෑරීමකට අනුමැතිය ලබාගෙන තිබෙනවා. මේ විදිහට ලංකාවේ බොහෝ ප්‍රදේශවල මෙහෙම හෑරීම කරන්න යනවා. ලංකාවේ ප්‍රතිපත්තිය මේ මෑත කාලයේ සිට සකස් කරගෙන තිබෙනවා රටේ සම්පත්වලින් තුනෙන් එකක ප්‍රමාණයක් කිසිම අගය එකතුකිරීමක් නැතිව රට පටවන්න පුළුවන් කියල. එහෙම වුණොත් රජයට හම්බවෙන්නේ රාජ්‍ය භාගය විතරයි. ඒ නිසා මේ ආකාරයට වැලි හෑරීම මගින් ලංකාවට හරි ආදායමක් ලැබෙන්නේ නෑ. එසේම, මේ මගින් ප්‍රදේශයේ ධීවර ජනයාට තම ධීවර රැකියාව කරන්නට තියන අයිතිය අහිමි වෙනවා. මුහුදු වතුර ගොඩ බිමට ගලාගෙන විත් පානීය ජලයට හානි වෙන්න පුළුවන්. එනිසා ප්‍රදේශයේ ජනතාව සහභාගි කරවාගෙන අපි අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්න බලාපොරොත්තු වෙනවා. අද වාකරේ ජනතාව තමන්ට සිදුවන අසාධාරණය කියල ජනාධිපතිවරයාට ලිපියක් තැපැල් කරනවා. ඒ නිසා තමයි අපිත් මෙම අවස්ථාවට සහභාගී වන්නේ.
දෙවැනි කාරණය තමයි වාකරේ කලපුව ආශ්‍රිතව හෙක්ටයාර් 1100 ක ප්‍රදේශයේ (අක්කර 3000 ක්) ඉස්සන් වගා කරන්න යනවා. නමුත් ඉස්සන් වගාවේ පෙර හානිය ගැන අපිට පුත්තලම් කලපුවෙන් උදාහරණ ගන්න පුළුවන්. එහි පවුල් 3000 ක් ජීවත්වුණු තැනක්. නමුත් අද වන විට පවුල් 100 කටවත් එහි ජීවනෝපාය නැහැ. ඒ තරමටම ප්‍රදේශයේ ඉස්සන් සම්පත, කඩොලාන සම්පත සම්පූර්ණයෙන්ම විනාශ කරලා තියනවා. රසායනික නිසා පුත්තලම් කලපුව අද මිය ගිහිල්ලා. මෙම ප්‍රදේශයටත් ඉස්සන් වගාව ආවොත් වාකරේටත් සිදුවන්නේ එකම තමයි.
ලංකාවේ හෙක්ටයාර් 12,000 ක් විතර තමයි කඩොලාන වනාන්තර තියෙන්නේ. එයින් හෙක්ටයාර් 1100 ක් විනාශ කළොත් අපට විශාල හානියක් වෙනවා. දේශගුණික විපර්යාස ගැන කතා කර කර කඩොලාන විනාශ කර ඉස්සන් වගාවකට යන්න පුළුවන්කමක් නෑ. ඒවගේම හරක් 27,000 කට ආසන්න ප්‍රමාණයක් මේ බිම්වල තණ උළා කනවා. මිනිස්සුන්ට විතරක් නෙමේ මේ සතුන්ගෙත් පරිසරය. ඒ වගේම මේ වාකරේ ජනතාවගේ ජීවිකාව. ඒ නිසා අපි මීට එරෙහිව කඩිනමින් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා” යයිද හේමන්ත විතානගේ මහතා මෙම විරෝධතා ව්‍යාපාරයේදී ප්‍රකාශ කළේය.
වාකරේ ජනතාව අපහසුතාවට පත් කරන මෙම ව්‍යාපෘති සඳහා තවමත් පරිසර බලපෑම් තක්සේරු වාර්තා පවා ලබාගෙන නැත. නමුත් පරිසර යුක්ති කේන්ද්‍රය පවසන්නේ මේ උදාවන සතිය තුළ හෝ නුදුරේදීම මෙම ව්‍යාපෘති සඳහා අවසර ලබාදීමට නියමිත බව දැනගන්නට ලැබී ඇති බවයි. ඉස්සන් වගා භූමි සඳහා වන ගැසට් පත්‍රය 2016 දී නිකුත් වී ඇති බවද, ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව හේතුවෙන් නතරවී තිබුණු මෙම ව්‍යාපෘති රටේ අවාසනාවකට රටේ සම්පත්, රටේ භූමිය විදේශවලට, සල්ලි තියන මිනිස්සුන්ට කොල්ලකන්නට දී ඇති මෙවන් අවස්ථාවක මෙම විනාශය බොහෝ ඉක්මනින් සිදුවීමේ අවදානමක් පවතින බවද පවසන පරිසර යුක්ති කේන්ද්‍රය කියා සිටින්නේ ප්‍රදේශවාසී ජනතාව මෙම ව්‍යාපෘති දෙකට විරුද්ධව නැගී සිටීම පරිසරය සහ ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් සිදුකරන වටිනා විරෝධතාවක් වන බවයි.
වාකරේ සංචාරක සටහන –
ජගත් කණහැරආරච්චි