ඉන්දියාවෙන් බෙහෙත් ගේන්න ආණ්ඩුව කටයුතු කිරීම සෞඛ්‍යයට මරු පහරක් – ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර

16

අහිතකර තත්ත්ව පාලනය යටතේ තිබෙන ඖෂධ ඉන්දියාවෙන් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කිරීම රටේ සෞඛ්‍යයට මරු පහරක් එල්ල කරන බව සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසීය. එම පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කීය.

ඖෂධ වර්ග 700 ක් ඉන්දියාවෙන් ආනයනය කිරීම සඳහා ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවා. මේ ගිවිසුම පිළිබඳව බරපතළ ගැටලුවක් තිබෙනවා. දැනට සෞඛ්‍ය අමාත්‍යාංශය රුපියල් බිලියන 60 ත් 80 ත් අතර මුදලක් වැය කර අමාත්‍යාංශයට අවශ්‍ය ඖෂධ, ඖෂධ නීතිගත සංස්ථාව හරහා මිලදී ගැනීමට කටයුතු කරනු ලබනවා. ඒ වගේම මෙම බෙහෙත් වර්ග රටවල් විශාල ප්‍රමාණයකින් ලංකාවේ සිටින අලෙවි නියෝජිතයන් මාර්ගයෙන් තමයි ගෙන්වාගනු ලැබුවේ. ඒ වගේම ඖෂධ නියාමන අධිකාරිය නියාමනය හරහා තමයි මේ වැඩපිළිවෙළ සිද්ධ වුණේ. (G2G) ක්‍රමවේදය යටතේ ඉන්දියාවෙන් ගෙන්වන්න කටයුතු කරන මෙම ඖෂධවල තත්ත්ව පාලනය සහ වගකීම ගන්නේ කවුද කියන ප්‍රශ්නය මතුවෙනවා. ඒ වගේම MOH සෞඛ්‍ය වැය ශීර්ෂය රුපියල් බිලියන 400 ක් දක්වා වැඩි කරලා තිබෙන්නේ මේ ගිවිසුමේ තිබෙන එකඟතා අනුවද කියලා අපි රජයෙන් අහන්න කැමැතියි.

ඒ වගේම මේ දක්වා ඖෂධ ආනයනය කරපු ආනයනකරුවන් 800 ක් පමණ සිටිනවා. මෙම ආනයනකරුවන් එක් ඒක් ඖෂධ සඳහා වෙන වෙනම ලියාපදිංචි විය යුතුයි. ඖෂධ වර්ග 900 කට පමණ මෙම ආනයනකරුවන් ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වෙලා තිබෙනවා. මේ ආනයනකරුවගේ මුදල් නැවත ලබාදෙන්න කටයුතු කරනවද? ඒ වගේම කෙහෙළිය රඹුක්වැල්ල සහ රමේෂ් පතිරණ කරන්න උත්සහ කළෙත් මේ කටයුත්තමයි. ඔවුන්ට කරගැනීමට නොහැකි වුණ වැඩේද මේ ආණ්ඩුව සිදුකරන්න උත්සහ කරන්නේ. ඒ වගේම කෙහෙළිය ඇතුළු පිරිසට විරුද්ධව අධිකරණයේ නඩුවක් තිබෙනවා. බාල ඖෂධ ගෙන්වීමේ චෝදනාව නිසා තමයි කෙහෙළිය ඇතුළු පිරිසට විරුද්ධව අධිකරණයේ නඩු පවරලා තිබෙන්නේ.

ලංකාවට බෙහෙත් ගෙන්වීමේදී BP සහ USPI USFDA තත්ත්ව පාලනයට අයත් ඖෂධ තමයි ගෙන්වලා තිබෙන්නේ. රාජ්‍යයන් අතර එකඟතාවයෙන් IP කියන තත්ත්ව පාලනය යටතේ ඖෂධ ලංකාවට ගෙන්වීමට අවසර ලබාදීලා තිබෙනවා. ඒ වගේම 40 දශකයේ අපේ රටේ ජනතාවගේ ආයුකාලය තිබුණේ වසර 50 ක්. නමුත් මේ වනවිට පුද්ගලයන්ගේ ආයු කාලය දැන් වසර 70 දක්වා වැඩි වෙලා තිබෙනවා. ආයුකාලය වැඩිවුණේ රටේ තිබුණ නිදහස් සෞඛ්‍ය සහ සෞඛ්‍ය පද්ධතියේ තිබුණ උසස් තත්ත්වය වගේම සෞඛ්‍ය පද්ධතියේ තිබුණ ගුණාත්මක භාවය නිසා. ඒ වගේම ලෝකයේ සෞඛ්‍ය කාර්ය සාධනයේ අපි සිටින්නේ ඉහළ මට්ටමක.

ඒ වගේම IP තත්ත්ව සහතිකය යටතේ ඉන්දියාව ඖෂධ යවන්නේ අප්‍රිකානු රටවලට වගේම දුප්පත් රටවලට. IP තත්ත්ව පාලනය යටතේ ඖෂධ භාවිත කරන රටවල සෞඛ්‍ය කාර්යය සාධානය ඉතාමත්ම අඩුයි. ලංකාවේ ජනතාව ගේ උසස් සෞඛ්‍ය තත්ත්වය, කාර්යය සාධනය පසෙකට දමා IP තත්ත්ව සහතිකය යටතේ ඇති බෙහෙත් ලංකාවට ගෙන ඒමට රජය කටයුතු කරන්නේ ඇයි, ඉන්දියාවෙත් BP සහ USP, තත්ත්ව පාලනය යටතේ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් තිබෙනවා. නමුත් IP තත්ත්ව පාලනයේ බෙහෙත් ලංකාවට ආවේ නෑ. පසුගිය කාලයේ කෙහෙළිය ඇතුළු පිරිස ගෙනාපු බාල ඖෂධ නිසා ලංකාවේ අහිංසක රෝගීන් විශාල ප්‍රමාණයක් අගතියට පත් වුණා.

ඒ වගේම BP සහ USP, තත්ත්ව පාලනය යටතේ ඖෂධ ගෙන ඒමට කටයුතු කළහොත් අපිට දිගටම ලංකාවට තත්ත්වයෙන් උසස් ඖෂධ ගෙන ඒමට හැකියාව තිබෙනවා. ඒ වගේම G2G ක්‍රමවේදය යටතේ බෙහෙත් ගෙන්වනවා නම් සෞඛ්‍ය වැය ශීර්ෂය වැඩිකරන්න ආණ්ඩුව කටයුතු කළේ ඇයි? ඒ වගේම G2G ක්‍රමවේදය හරහා බෙහෙත් ගෙන්වීමේදී බෙහෙත් ගෙන්වන ආයතනය කුමක්ද? ඒ ආයතනය සම්බන්ධයෙන් තවම සෞඛ්‍ය අමාත්‍යාංශය කතා කරලා නෑ. දැනට දේශීය ඖෂධ නිෂ්පාදනය කරන සමාගම් 20 ක් පමණ තිබෙනවා. යහපාලන රජය තුළ ඖෂධ සමාගම් ගණනාවකට රජයට ඖෂධ සපයන්න අවස්ථාව ලබාදුන්නා. ඒ ආයෝජකයන් මේ හරහා දැඩි අපහසුතාවයට පත් වෙනවා.

ලංකාවේ ඖෂධ නිෂ්පාදනය කරන සමාගම්වල නිෂ්පාදනවලට සිදුවන දේ පිළිබඳව බරපතළ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ වගේම කර්මාන්තශාලාවල වැඩකරන සේවකයන්ගේ රැකියාවලටත් මෙම තත්ත්වය බලපානවා. මේ තත්ත්වයන්ට රජය වගකියනවද?


advertistmentadvertistment