උත්සව සමය ඉවර වුණත් මාළු තවමත් ගිනි ගණන්

513

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ අඩුපාඩු රැසයි

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල මේ දිනවල ඉතා අධික ලෙස ඉහළ නැඟ ඇතැයි මාළු ව්‍යාපාරිකයෝ පවසති. මෙම තත්ත්වය තුළ මාළු අලෙවි කරගැනීමේ දැඩි ගැටලුවකට තමන් මුහුණපා ඇතැයි ද ඔවුහු කියා සිටියහ.

ඒ අනුව ලින්නා තොග කිලෝවක් රුපියල් 1000කට ද, සාලයා තොග කිලෝවක් රුපියල් 700කට ද, බලයා තොග කිලෝවක් රුපියල් 1100කට ද, කෙලවල්ලා තොග කිලෝවක් රුපියල් 1800කට ද, කොප්පරා තොග කිලෝවක් රුපියල් 2000කට ද, තලපත් තොග කිලෝවක් රුපියල් 1800කට ද, කුම්බලාවා තොග කිලෝවක් රුපියල් 1000කට ද, දැල්ලො තොග කිලෝවක් රුපියල් 1700කට ද, ඉස්සො තොග කිලෝවක් රුපියල් 2200කට ද, තෝරු තොග කිලෝවක් රුපියල් 2500කට ද, ගල්මාළු තොග කිලෝවක් රුපියල් 2200කට ද අලෙවි වූ බව ද ඔවුහු කීහ.

අප මේ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපතිවරයා නියෝජනය කරමින් මොහොමඩ් අස්මි මහතාව සම්බන්ධ කරගත්තෙමු. සංගමයේ සභාපති ජයසිරි මහතා අත්‍යවශ්‍ය කටයුත්තකට විදෙස් ගතවෙලයි ඉන්නේ. එතුමාගේ වැඩ ආවරණය කරන්නේ මම.

මේ දිනවල මාළු මිල ඉතා අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. හේතුව මේ දිනවල මුහුදේ ඉන්න මාළු ප්‍රමාණය අඩුකම. අනිත් එක පසුගිය අවුරුදු සමයේ ධීවරයන් මුහුදු ගියේ නැහැ. අර අවුරුද්දට කලින් ගිය ධීවරයෝ තමයි දැන් ගොඩබිමට එන්නේ. ඒ අය ගේන සුළු මාළු ප්‍රමාණය තමයි මේ ඉහළ ගිහින් තියෙන්නේ.

වෙනදට මුහුදෙන් දවසකට මාළු කිලෝ 1000කට වැඩි ප්‍රමාණයක් අපේ ධීවරයන් අල්ලනවා. නමුත් දැන් අපේ ධීවරයන්ට දවසකට අල්ලන්න වෙන්නේ මාළු කිලෝ 300ක් විතරයි.

වෙනදාට දවසට රට වටේම ඉන්න ධීවරයන් අල්ලන මාළු කිලෝ ලක්ෂයක් විතර පෑලියගොඩ මාළු මාර්කට් එකට එනවා. නමුත් දැන් දවසකට මාර්කට් එකට එන්නේ කිලෝ ලක්ෂ 35,000ක් විතරයි. මෙම තත්ත්වය තුළ මාළු මිල අධික ලෙස ඉහළ ගිහින් තියෙනවා. ඒ තත්ත්වය තුළ මාළු මිලදී ගන්න එන පාරිභෝගික ජනතාවගේ අඩුවක් තියෙනවා. ඒ නිසා මාළු ව්‍යාපාරිකයන්ගේ ආදායම පහත බැහැලා තියෙනවා.

උත්සව සමය ඉවර වුණත් මාළු තවමත් ගිනි ගණන්

මේ තත්ත්වය තුළ මාළු ව්‍යාපාරිකයන් හා සේවකයන් දැඩි අපහසුතාවට පත්වෙලා ඉන්නවා.

ධීවර බෝට්ටුවලට ඉන්ධන සහනාධාරය ලැබී තිබෙනවා. නමුත් මාළු මාර්කට් එකේ ව්‍යාපාරිකයන්ගේ වාහනවලට ඉන්ධන සහනාධාරයක් ලැබෙන්නේ නැහැ. අපේ මාළු මාර්කට් එකේ ඉන්න ව්‍යාපාරිකයන්ටත් ඒ ඉන්ධන සහනාධාරය දෙනවා නම් ලොකු දෙයක්.

අනිත් කාරණාව තමයි මාළු මාර්කට් එකට හොඳ බස් සේවාවක් ලබාදෙනවා නම් ලොකු දෙයක්. කොටුව ඉඳලා නුවර පාරේ, පුත්තලම පාරේ යන බස් රථ මේ මාළු මාර්කට් එක හරහා යනවා නම් මාළු මිලදී ගන්න එන ජනතාවට පහසුවක්.

එහෙම නැතිව සමහර ජනතාව ත්‍රිරෝද රථවලට අධික කුලී මුදලක් ගෙවා ඒමෙන් දැඩි අපහසුතාවට පත්වෙනවා. ත්‍රිරෝද රථ රියැදුරන් පාරිභෝගික ජනතාවගෙන් හූරාගෙන කනවා. මේවා අසාධාරණයි. මේවා නතර කරන්න. පෑලියගොඩ මාළු මාර්කට් එකට හොඳ බස් සර්විස් එකක් දානවා නම් හොඳයි. ඒ සේවාව අත්‍යවශ්‍යමයි. මේ ගැටලු ප්‍රශ්න ගැනත් වගකිවයුතු බලධාරීන් සොයා බලනවා නම් ඉතා වැදගත්.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment