ආරක්ෂක අංශවලටත් අභියෝග කරන ඉන්දීය ධීවර ආක්‍රමණය

මීට වසර 15 කට පෙර මුහුදු කොටි බලය තුරන් කළ නමුත් නාවික හමුදාව පවා උතුරු මුහුදේ අනාරක්ෂිත ය. තමිල්නාඩුවේ දේශපාලන හයිය අතට ගෙන ඇති ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකා මුහුදු තීරය තුළ යකා නටති. ඇත්ත වශයෙන්ම නාවික හමුදාවත් අසරණය. වෙරළාරක්ෂක බලකායට කළ හැකි දෙයක් නොමැත.

ඉන්දියානු මධ්‍යම රජය මෙම තත්ත්වයට වගකිව යුතුය. නාවික යාත්‍රා සහ පිරිස් බලයෙන් අනූන ඉන්දීය නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට මෙම ධීවර ආක්‍රමණය පාලනය කළ හැකිය. නමුත් දිනපතා සිදු කරන ආක්‍රමණය නොදැක්කා සේ සිටීම කිසිසේත්ම අනුමත කළ නොහැක. එය දේශපාලනික තීන්දුවකි.

ඉන්දියාව සහ ඇමෙරිකාව විශේෂයෙන්ම නාවික සහ ගුවන් හමුදාවට නොයෙකුත් ආධාර සපයමින් කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමට ශ්‍රී ලංකාවේ වගකීම යළි යළිත් අවධාරණය කරයි. ඔවුන්ට කලාපීය ආරක්ෂාව යනු චීන යුද නාවික යාත්‍රා කොළඹට පැමිණීම වැළැක්වීමයි. චීනය පකිස්ථානය, මාලදිවයින සහ ශ්‍රී ලංකාව සමග පවත්වන සම්බන්ධතාවලට අවහිර කිරීම ඔවුන්ගේ පොතට අනුව කලාපීය ආරක්ෂාව තහවුරු කිරීමයි.

මේ මාසය තුළදී ඇමෙරිකාව සහ ඉන්දියාව පිළිවෙළින් ඇමෙරිකානු ඩොලර් මිලියන 3 ක් සහ 1.2 වටිනා උපකරණ ලබා දුන් බවට ප්‍රකාශ විය.

කලාපීය ආරක්ෂාව තහවුරු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ වගකීම අවධාරණය කරන ඇමෙරිකාවට ඉන්දියානු ධීවර නැටුම පෙනෙන්නේම නැත. ඉන්දියාව දේශපාලනික වශයෙන් අන්ධය. තම අසල්වැසියාගේ මුහුදු තීරය ආක්‍රමණය කරන ධීවර ප්‍රජාව වෙනුවෙන් තමිල්නාඩු බලධාරීන් පෙනී සිටිති. ඊට විශේෂ හේතුවක් ඇත. ඒ ශ්‍රී ලංකා මුහුදු පතුල හිත්පිත් නොමැතිව සූරණ යාත්‍රා සිය දහස් ගණනක අයිතිය හිමි දකුණු ඉන්දීය දේශපාලනඥයින්ට නිසාය.

තිත්ත ඇත්ත එයයි.

පසුගියදා පැවැත්වුණු ඉන්දීය මහ මැතිවරණයේදී දකුණු ඉන්දියාවේ එකම ආසනයක්වත් දිනාගැනීමට නරේන්ද්‍ර මෝදි නායකත්වය දෙන භාරතීය ජනතා පක්ෂයට නොහැකි විය. 2019 මහ මැතිවරණයේදී පාවිච්චි කළ ජන්දයෙන් 3.66 ජන්ද ප්‍රතිශතයක් එම පක්ෂය ලබා ගත් අතර මෙවර එම ප්‍රතිශතය 10.69 දක්වා වැඩිකර ගැනීමට සමත් විය. නමුත් තමිල්නාඩුවේ ආසන 39 එකක්වත් දිනා ගැනීමට මෝදිට නොහැකි විය.

මේ වසර තුළ මේ දක්වා ඉන්දීය යාත්‍රා 30 පමණ සහ 215 පමණ මුහුදු දඩයම්කරුවන් ශ්‍රී ලංකා මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන ඇත. දිනකට ධීවර යාත්‍රා සිය ගණනක් අප මුහුදු තීරය ආක්‍රමණය කරන තත්ත්වය තුළ ජනවාරි 1 සිට ජුනි 25 දක්වා යාත්‍රා 30 පමණ අත්අඩංගුවට ගැනීම අවධාරණය කරන්නේ උතුරු -නැගෙනහිර මුහුද අනාරක්ෂිත බව නොවේද?

විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධීකරණයේ දැඩි අවධානයට ලක්විය යුතු සිදුවීමක් පේදුරුතුඩුවට ප්‍රදේශයට ඔබ්බෙන් වූ මෙරට මුහුදු ප්‍රදේශයේ ජුනි 25 දින අලුයම් කාලයේදී සිදුවිය.

අනතුරුදායක හා කලහකාරී ලෙස ඉන්දීය ධීවර යාත්‍රාවක් හැසිරවීම හේතුවෙන් නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණයේ ජ්‍යෙෂ්ඨ නාවිකයෙකු වූ රත්නායක බරපතල තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත් විය. එම නාවිකයා අනුයුක්ත කර සිටි ශ්‍රී ලංකාවේ ඉදිකළ වේග ප්‍රහාරක යාත්‍රාවේ (පී 420) බඳ කොටසටද සැලකිය යුතු හානියක් සිදුවිය. මෙය ඉතාමත් බරපතල සිදුවීමකි. මියගිය නාවිකයා මිට 17 වසරකට පමණ පෙර හතර වන ඊළාම් යුද්ධය සමයේ නාවික හමුදාවට බැඳී ඇති අතර ඉහළ නිලධාරියෙකු පැවසුවේ විදේශීය පුහුණුව ලබා ඇති ඔහු දක්ෂ කිමිදුම්කරුවකු බවයි.

නිරතුරුවම ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අප මත්ස්‍ය සම්පත කොල්ලකන ඉන්දීය ධීවර ප්‍රජාව නව අභියෝගයක් රජයට එල්ල කර ඇත. අනවසර ධීවර කටයුතු සිදුකරන ඉන්දීය ධීවර යාත්‍රා අනතුරුදායක හා කලහකාරී ලෙස හැසිරුණු පළමුවන අවස්ථාව මෙය නොවේ. නමුත් මෙවැනි සිදුවීම්වලදී මීට පෙර වේග ප්‍රහාරක යාත්‍රාවලට හානි වී තිබූ නමුත් කිසිවකු ජීවිතක්ෂයට පත්වී නැත. මෙම සිදුවීම පේදුරුතුඩුවට ඊසාන දිගින් නාවික සැතපුම් 10-12 අතර දී සිදු විය.

වික්‍රමසිංහ-රාජපක්ෂ රජයට මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කළ නොහැක. නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයාගේ තෙවැනි ධුර කාලය ආරම්භයේදීම සිදු වූ මෙම නාවික හමුදා මරණයට වගකිව යුත්තේ කවුරුද? ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවට ද කන්කසන්තුරය මුහුදේදී ගොඩබිමට ආසන්නව සිදු වූ එම සිදුවීම සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැක.

ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉවක් බවක් නොමැතිව උල්ලංඝනය කිරීම මගින් ඉන්දියානු ධීවර ප්‍රජාව ශ්‍රී ලංකාවට බලහත්කාරකමක් කරන බව අමුතුවෙන් කිවයුතු නැත. රාජ්‍ය අනුග්‍රහය නොමැතිව මහා පරිමාණයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරය මෙලෙස කිසිසේත් උල්ලංඝනය කළ නොහැක. මත්ස්‍ය සම්පත කොල්ලකෑමට වඩා වැඩි තර්ජනකාරී තත්ත්වයක් උතුරු සහ නැගෙනහිර මුහුදේ ඇතිවී ඇත. ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර වසර 15 කට පසුව මෙවැනි තත්ත්වයක් උද්ගතවීම සම්බන්ධයෙන් රජය දැඩි අවධානය යොමු කළ යුතුය.

ආක්‍රමණකාරී ඉන්දීය ධීවර ප්‍රජාව සම්බන්ධයෙන් කටයුතු කරන ආකාරය පිළිබඳව ආරක්ෂක අමත්‍ය ධුරයද දරන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරාට සුදුසු උපදෙස් ලබා දිය යුතු නොවේද?

මෙම ජ්‍යෙෂ්ඨ නාවිකයා ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ජීවිතක්ෂයට පත්වීම හේතුවෙන් ඔහු සමූහ ප්‍රධාන සුළු නිලධාරි තරාතිරමට උසස් කිරීමට නාවික හමුදාධීපති විසින් කටයුතු කළ අතර, ඔහුට හිමිවන අනෙකුත් සියලුම වන්දි සහ දීමනා හිමිගැන්වීමට අවශ්‍ය කටයුතු නාවික හමුදාව විසින් සිදු කර ඇත. නමුත් එම ක්‍රියාමාර්ගය ප්‍රමාණවත්ද? ඉන්දීය ධීවර ආක්‍රමණය මැඬපැවැත්වීමට ගත හැකි ඉහළම රාජ්‍ය තාන්ත්‍රික ගැන යුතු නොවේද? වර්ධනය වෙමින් පවතින මෙම ප්‍රශ්නයට එකම විසඳුම ඉන්දීය රජය ධීවර ආක්‍රමණය නතර කිරීමට අවශ්‍ය පරිදි තම නාවික හමුදාව සහ වෙරළාරක්ෂක බලකාය යෙදවීමයි.

‘මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදාභාරයට‘ යන සිරස්තලය යටතේ නාවික හමුදාව ජුනි 25 දින දහවල් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනය උතුරු මුහුදේ අතිශය අන්තරාකාරී තත්ත්වයක් අවධාරණය කළේය. ඇත්ත වශයෙන්ම එම සිරස්තලය උතුරු මුහුදේ සැබෑ තත්ත්වය වසන් කළ බව කීවත් වරදක් නැත. නමුත් එහි අන්තර්ගතය අතිශය ආන්දෝලානාත්මක සහ භයානක විය. ඊට පසුදින නාවික හමුදා මූලස්ථානය නිකුත් කළ නිවේදනය හෙළිදරව් කළේ එම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ගත් ඉන්දීය ධීවර යාත්‍රාව සහ එහි සිටි ඉන්දීය ධීවරයින් දස දෙනා කන්කසන්තුරය වරාය වෙත 2024 ජුනි මස 25 වැනි දින රැගෙන ඒමෙන් අනතුරුව, ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය පොලිස් ස්ථානය වෙත භාර දුන් බවයි.

කන්කසන්තුරය පොලිස් ස්ථානය මගින් මෙම ඉන්දීය ධීවරයින්ට එරෙහිව; මෙරට මුහුදු සීමාව තුළ නීති විරෝධී ධීවර කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන්, මෙහෙයුමේදී නාවික හමුදා පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් සහ නාවික හමුදා දේපලකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ‘බී’ වාර්තාවක් මගින් යාපනය, මල්ලාකම් උසාවිය වෙත කරුණු ඉදිරිපත් කර ඇත.

මෙරට මුහුදු සීමාව තුළට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකරනු ලබන ඉන්දීය ධීවර යාත්‍රා, මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා නාවික හමුදාව විසින් සිදුකරනු ලබන මෙහෙයුම්වලට එරෙහිව, ඉන්දීය ධීවරයින් විසින් ඔවුන්ගේ යාත්‍රා නාවික හමුදා යාත්‍රාවන්ට හා නාවික හමුදා පුද්ගලයන් හට අනතුරු සිදුවන අයුරින් අනතුරුදායක හා කලහකාරී ලෙස හසුරවනු ලබයි. එවැනි කලහකාරී ප්‍රතිරෝධයන් හමුවේ විශේෂයෙන් රාත්‍රී කාලයේ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමට ඉතා දුෂ්කර හා අවදානම් සහගත අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ දෙමින් නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි. උද්ගතවී ඇති තත්ත්වය හමුවේ රජය නිවැරදි රාජ්‍ය තාන්ත්‍රික පිළිවෙතක් අනුගමනය කිරීමට මැලිවුවහොත් කන්කසන්තුරය මුහුදු තීරයේ ඇති වූ තත්ත්වය සහ සමාන සිද්ධීන් නැවතත් ඇති විය හැක.

උතුරු මුහුද අනාරක්ෂිතයි:

රජයේ ස්ථාවරය කුමක්ද?

ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් ජුනි 20 වැනි දින මෙරට කළ සංචාරය සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශය නිකුත් කළ මාධ්‍ය නිවේදන දිගුකාලීන ධීවර ගැටලුව සම්බන්ධයෙන් කිසිදු සඳහනක් කළේ නැත. ඒ ඉතාමත් සංවිධානාත්මක ආකාරයට ශ්‍රී ලංකා මුහුද ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් දෙරට අතර සාකච්ජා නොවූ නිසාද? නැතහොත් ඉන්දීය හෝ ශ්‍රී ලංකා න්‍යාය පත්‍රවල මෙම මාතෘකාවට නිසි තැනක් නොලැබී ඇති නිසාද? ඉන්දියාවේ ක්‍රියා පිළිවෙත සාධාරණ නැත. කිසිසේත්ම සාධාරණ නැත.

උතුර සහ නැගෙනහිර දිස්ත්‍රික්ක පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මෙවර ද කොළඹදී හමු වූ අවස්ථාවේදී ධීවර ගැටලුව සම්බන්ධව යම්කිසි කරුණු විමසීමක් කළාද? කෙසේවෙතත් වික්‍රමසිංහ-රාජපක්ෂ රජය වැඩිකල් නොයවා කන්කසන්තුරය මුහුදේදී ඇති වූ සිදුවීම සම්බන්ධයෙන් තමන් ගැනීමට බලාපොරොත්තු වන පිළිවෙත සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කළ යුතුය.

වර්ධනය වෙමින් පවතින ධීවර ගැටලුව 2024 ඔක්තෝම්බර් මාසය අවසන් වීමට පෙර පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී සාකච්ජාවට බඳුන්විය යුතු ප්‍රධානතම මාතෘකාවක් විය යුතුය. ඉබ්බාගමුව ප්‍රදේශයේ ජීවත් වූ මියගිය 40 හැවිරිදි ජ්‍යෙෂ්ඨ නාවිකයාට ගෞරව කිරීමට යාපනය දිස්ත්‍රික්කයෙන් බස් කීපයක් පුරවා ධීවරයින් පැමිණීම රටේ අවධානයට යොමු විය යුතුය. නාවික හමුදාව ආරක්ෂා කරන්නේ තමන්ගේ අයිතිය බව ශ්‍රී ලංකා ද්‍රවිඩ ධීවර ප්‍රජාව අවධාරණය කර ඇත.

ඉන්දියාව අසල්වැසි රටවල්වලට මූලිකත්වය (Neighbourhood First Policy) දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා නම් තම ධීවර යාත්‍රා සමූහයට දිනපතා මේ ආකාරයට ශ්‍රී ලංකා මුහුදු තීරය කිසිසේත් ආක්‍රමණය කිරීමට අවස්ථාව ලබා දෙන්නේ නැත.

ඉන්දීය නාවික හමුදාවට සහ වෙරළාරක්ෂක බලකායට අවශ්‍ය නම් මෙම ධීවර ආක්‍රමණය මැඬපැවැත්විය හැකිය. නමුත් කවුරු බලයේ සිටියත් නවදිල්ලිය අනුගමනය කරන ආන්දෝලනාත්මක ප්‍රතිපත්තිය මත ධීවර යාත්‍රා සිය දහස් ගණනින් ඉන්දු-ලංකා නාවික මායිම උල්ලංඝනය කරන බව රහසක් නොවේ. අද වනතුරු එම මායිම උල්ලංඝනය කරන ධීවර යාත්‍රා කිසිදිනක ඉන්දීය අත්අඩංගුවට පත්වී නැත. අනාගතයේ එසේ වන්නේ ද නැත.

ඉන්දියාව ස්ථාපිත කළ ද්‍රවිඩ ත්‍රස්තවාදය සමයේ (1983-2009) ත්‍රස්තවාදීන් ඉන්දීය ධීවර යාත්‍රා තම මෙහෙයුම්වලට යොදාගනු ලැබූ ආකාරය අපට අමතක නැත. යම් අවස්ථාවලදී ඉන්දීය ධීවර යාත්‍රාවලට මුවාවී නාවික හමුදාවට ප්‍රහාර එල්ල කිරීමට ද මුහුදු කොටි ක්‍රියා කළේය. ඒ ත්‍රස්තවාදය නිම කර ඇත. ධීවර ‘ත්‍රස්තවාදය’ තවදුරටත් ක්‍රියාත්මක බව කනගාටුවෙන් හෝ පෙන්වා දිය යුතුව ඇත.

වගකීම් විරහිත විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ වරදින් අප රට බංකොලොත් විය. එම තත්ත්වය නිල වශයෙන් පිළිගත්තේ 2022 අප්‍රේල් මාසයේදීය. එයින් පසුව ඇති වූ තත්ත්වය තුළ ද්‍රවිඩ ත්‍රස්තවාදය පරාජය කර එක්සේසත් කළ රට ජාත්‍යන්තර බලපෑම්වලට දැඩි ලෙස යටත් වී ඇත. නොනවතින ඉන්දීය ධීවර බලහත්කාරකම ද සමස්ත බලපෑමේම කොටසකි. ධීවර ගැටලුව සම්බන්ධයෙන් ඉන්දියාවේ අවශ්‍යතාවය සහ දේශපාලන වුවමනාව තේරුම් ගැනීම අපහසු නැත. ඉන්දියාවට අවශ්‍ය තම ධීවර යාත්‍රා සමූහයට නිදහසේ ශ්‍රී ලංකා මුහුදු තීරයේ මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට අවස්ථාවයි. උතුරේ ධීවර ප්‍රජාව තම දේශපාලන නියෝජිතයින්ට මෙම අසාධාරණය සම්බන්ධයෙන් දැඩි බලපෑම් කළ යුතුය. මෝදි ගේ රජය තමිල්නාඩු බලහත්කාරය සම්බන්ධයෙන් කිසිවක් කරන්නේ නැත. කෙසේ හෝ දකුණු ඉන්දියාවේ තම ඡන්ද ගොඩ වැඩි කරගැනීමට වෙර දරන මෝදි ධීවර ත්‍රස්තවාදය නැවැත්වීමට ක්‍රියා කරන්නේ නැත. එම තත්ත්වය තේරුම් ගැනීම අපහසු නැත.

නාවික හමුදාව ජුනි 25 සහ 26 නිකුත් කළ නිවේදනවලට අමතරව රජය කිසිදු ප්‍රකාශයක් කළේ නැත. අවුරුදු 11 සහ 5 වයස දරුවන් දෙදෙනකුගේ පියකු වූ රත්නායක මරණයට පත්වන විට ඉබ්බාගමුව ප්‍රදේශයේ ජීවත් විය. ඔහුගේ දේහය ජුනි 26 දින අලුයම අවසන් කටයුතු සඳහා ළඟම ඥාතියා වෙත භාරදුන් අතර අවසන් කටයුතු ඉබ්බාගමුව ප්‍රදේශයේදී නාවික හමුදාවේ පූර්ණ උත්තමාචාර සහිතව ඊට පසුදින සිදු කළේය.

ඉන්දියාව අතිශය විනාශකාරී මුහුදු පතුල සූරන ක්‍රමය (bottom trawling) තහනම් කර ඇත. ඒ තමන්ගේ මත්ස්‍ය සම්පත ආරක්ෂා කර ගැනීමට ගෙන ඇති ප්‍රධානතම ක්‍රියා මාර්ගයයි. ඉන්දියාව ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කිසිසේත්ම පසුබට නොවේ. නමුත් එම නීතිය ඉන්දියානු ධීවර යාත්‍රා සමුහය ඉවක් බවක් නොමැතිව උල්ලංඝනය කරයි. පසුගියදා සිද්ධීය ගොඩබිමට නාවික සැතපුම් 10-12 දුරකින් සිදුවීම කෙතරම් අවාසනාවන්ත තත්ත්වයක්ද?

ඩග්ලස් දේවානන්ද නිශ්ශබ්ද ඇයි?

යාපනය දිස්ත්‍රික්කය තුළ චීන සමාගම්වලට මුහුදු කූඩැල්ලන් වගාවට අවසර නොදෙන බවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මෑතකදී ප්‍රකාශයක් කළේය. ඒ අනිවාර්යෙන්ම චණ්ඩි ප්‍රකාශයකි. දේශීය ආයෝජකයින් කණ්ඩායමක් සමග පැවැති සාකච්ජාවකදී අමාත්‍යවරයා අවධාරණය කළේ යහපාලන සමයේදී චීන සමාගමකට නිකුත් කළ බලපත්‍රය අවලංගු කිරීමට තමන් දැනටමත් කටයුතු කර ඇති බවයි.

නමුත් ඉන්දීය ධීවර බලහත්කාරය හේතුවෙන් රටට අහිමි වූ විශේෂ යාත්‍රා බලඝණයේ නාවිකයා සම්බන්ධයෙන් ධීවර අමාත්‍යාංශය ජුනි 25 හෝ 26 කිසිදු ප්‍රකාශයක් කළේ නැත. ධීවර කර්මාන්තය තම ජීවිකාව කරගත් ද්‍රවිඩ ප්‍රජාව ඉන්දීය බලහත්කාරයට එරෙහිව දැඩි විරෝධතා ව්‍යාපාරයක් වහාම දියත් කළ යුතුයි. උතුරේ ඡන්දවලට කෙළ හලන කිසිදු දේශපාලන පක්ෂයක් (ද්‍රවිඩ පක්ෂ පමණක් නොවේ) මුහුදු පතුල සූරන ක්‍රමය සම්බන්ධයෙන් නිහඬය. ඉන්දීය විදේශ අමාත්‍යවරයාගේ මෙවර එක්දින සංචාරය තුළදී මෙම ගැටලුවට නිසි අවධානයක් යොමු වූයේ නැත. උතුරේ ජනතාව පිනවීමට 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන බවට ප්‍රතිඥා දෙන දකුණ කේන්ද්‍ර කරගත් කිසිදු පක්ෂයක් ඉන්දීය මුහුදු ආක්‍රමණය සම්බන්ධයෙන් කටයුතු කිරීමට උනන්දුවක් දක්වන්නේ නැත.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මුණගැසුණු ද්‍රවිඩ පක්ෂ නායකයන් හෝ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය එම ප්‍රශ්නය සම්බන්ධයෙන් ගනු ලැබූ ස්ථාවරය දැන ගැනීමට ජනතාවට අයිතියක් ඇත.

ඉන්දීය බලහත්කාරය සම්බන්ධයෙන් නිවැරදි ක්‍රියාමාර්ගයක් ගත යුතුය. ආර්ථික අර්බුදයට මුහුණ දීමට ශ්‍රී ලංකාවට ඉන්දියාව කළ සැලකිය යුතු උදව් උපකාර සහ රට තුළ ක්‍රියාත්මක කර ඇති අනෙකුත් සංවර්ධන වැඩකටයුතුවලට ශ්‍රී ලංකාව නවදිල්ලියට ස්තුතිවන්ත විය යුතුය. නමුත් ඊට හිලව් වීමට ශ්‍රී ලංකා මුහුදු තීරය තමිල්නාඩු ධීවරයන්ට කිසිසේත් භාර කළ නොහැක.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment