31රෑ කොළඹ

130

දැන් කොළඹ හරි හැඩය. වසර ගණනාවකට පමණ පසු කොළඹට මෙතරම් මිනිසුන් ප්‍රමාණයක් එක්වුණු පළමු වතාවය. හැම තැනම විදුලි බුබුළුවලින් වර්ණවත් වී තිබේ. ඒ චමාත්කාරය කොළඹ රැයක් පහන් කරන්නට කරන ආරාධනාවක් බඳුය. වර්ණ ගැන්වුණු ගොඩනැගිලි අතරින් වෛවර්ණ ඇඳුම් වලින් හැඩ වුණු මිනිස්සු කොළඹ විදී දිගේ ඇවිදගෙන ගිය හැටි හරි අපූරුය. ඔවුන්ට 31 රෑ විනෝදවීමට ඇති තරම් ඉසව් ද සංවිධානය කර තිබේ. මුළු කොළඹම එකම සැණකෙළියකි. පදික වේදිකාවේ මිනිසුන් ඇවිද යන්නේ සීරුවෙනි. තමා සමග පැමිණි කෙනා මඟ හැරෙන තරමේ සෙනඟක් සතුටෙහි ගිලෙමින් සිටිති. මහ මාර්ග වාහනවලින් පිරී ගොස්ය. එක රොත්තට නවතා සිටින කුලී රථ රියැදුරන්ගෙන්ද මහා මාර්ගය වසා ගෙන ඇත. වාහනවලින් නැඟෙන නළා හඬ පරයමින් මාර්ගයේ වාහන හසුරවන පොලිස් නිලධාරීන්ගේ නළා හඬ අවට දෝංකාර දෙයි. අපිදු ඒ සෙනඟ අතරට වැදුනෙමු.

ගාලුමුවදොර භූමියේ එක පෙළට නවතා ඇති කුලී රථ රියැදුරන්ටනම් මෙදා අවුරුද්ද එතරම් සරුබවක් පෙනෙන්නට නැත. මිනිසුන් තෙරපි තෙරපි හෝ පොදු ප්‍රවාහන සේවාවවන්වල සහාය පතයි. කුලී රථ රියැදුරෙක් හා යන්නේ එහෙමත් කෙනෙකි. අප කාගෙත් වාහන ත්‍රීවීල් රථ රියැදුරෙක් අපත් සමග පැවසුවේ මෙවැන්නකි.

“කතා කරලා වැඩක් නෑ. ජීවත්වෙලා ඉන්න එකත් දැන් තිත්ත වේලා තියෙන්නේ. දැන් බිස්නස් ඇත්තෙම නැති තරම්. කවුරුත් යන්නෙ බස්වල. ලෝඩ් වෙලා තියෙන බස් එකක හරි ගොඩවෙන්න තමයි කවුරුත් බලන්නේ. ඒකට මිනිස්සු වැරදි නෑ. කාටත් සල්ලි නෑනේ. අපිව මේ තත්ත්වෙට දාපු උන්දැලනම් ලොකු පුටුවල අදටත් සතුටින් අපේ ජීවිත ආපයක් වෙලා. අද දවසටම සෙට් වුණේ බිස්නස් 3යි. ගෙදර පොඩි උන්ට කන්න ගෙනිහිල්ලා පෙට්‍රල් ටික ගහගන්නවත් ඒ සල්ලි මදි. අද පෙට්‍රල් ගැහුවේ නැත්තම් හෙට දුවන්න බෑ. අද පෙට්‍රල් ගැහුවොත් දරු පවුල හාමතේ.”

31රෑ කොළඹ

සැණකෙළි අසිරිය විඳින මිනිසුන් අතරේ ජීවිතය යදින මිනිසුන්ද බොහෝය. තොර තෝංචියක් නැතුව කෑ ගහන සාර විට විකුණන්ගෙන්ද, විවිධ ආහාර පාන අලෙවිසල් වලින්ද ගොල්ෆේස් පිටියේ කලබලකාරී බව තවත් ඉස්මතු වේ. මුහුදු රැල්ලට නෙකවර්ණ විදුලි එළි වැටී සුළඟත් සමග ඉහළට පහළට නටන්නේ අලුත් වසරට ආසිරි ගෙන එන්නෙමි යි, පවසන අයුරිනි. 31 රෑ නොව සිය ජීවිත කාලයම පාට කරන්න හීන දකින මිනිසුන් අතර අපිද එහේ මෙහේ ඇවිද්දෙමු.

“අපි ආවේ පොළොන්නරුවේ ඉඳලා. මේ ළමයින් දෙන්නට කොළඹ බලන්න ඕනේ කියලා ගෙදර රණ්ඩු කරනවා. ඒක නිසා ඉතින් එක්කන් ආවේ. මම කරන්නේ මේසන් වැඩ. මේ දවස්වල එහෙමට කියලා ආදායමකුත් නෑ. දවස් අටක් එකදිගට වැඩ කරලා තමයි මුන්වත් එක්කන් කොළඹ ආවේ. දවස් අටක් වැඩ කරලත් හම්බුනේ රුපියල් 5000යි. අපි ආවේ ඊයේ. මෙහේ කෑම ගිනි ගණන්. මෙහෙන් බඩ කට පිරෙන්න කන්න බෑ. බඩ රවට්ටන්න තමයි බත් කටක් බඩට දාගන්න වෙන්නේ. අපි බස් එකෙන් කොළඹින් බහිනකොට ගොම්මන වෙලා තිබ්බේ. අපි ගෙදරින් උයාගෙන ආපු බත්කාලා ස්ටෑන්ඩ් එකේම නිදාගත්තා. අද උදේ නැගිටලා තමයි කොළඹ වටේ ඇවිද්දේ. උදේට ටී බනිස් ගෙඩියක් කාලා කහට කෝප්පයක් බිව්වා. රෑට අර ඉස්සරහින් ඉන්න නෝනා බත් පාර්සල් 2ක් දුන්නා. අද රෑට මෙතනම ඉඳලා හෙට උදෙන්ම ගෙදර යනවා. “

ශාන්ත කොළඹට පැමිණි විස්තරය කියන්නේය. දරුවන්ට නිවාඩුවට ඩිස්නිලන්තය පෙන්වන්නට ඇමෙරිකාවේ ගෙනයන ඇති හැකි මව්පියන් සිටින රටක ශාන්ත දරුවන් සමග කොළඹට එන්න පනං හතර හොයාගෙන ඇත්තේ අමාරුවෙන්ය. එහෙව් මිනිසුන්ගේ දිවිය වර්ණ ගැන්වෙන දවස කවදාදැයි සොයන්නට කිසිවෙකුටත් ඉස්පාසුවක් නැත.

මුහුදු සුළඟත් සමග මුසු වී එන තරු පහේ හෝටලයක කුස්සියේ කෑම සුවඳ පරයන සුවඳක් හමන්නේ කදිරවේලුගේ වඩේ කරත්තය දෙසිනි. අපිත් සුවඳට ඉව අල්ලමින් ඒ දෙසට ගියෙමු. ජනාකීර්ණ ගොල්ෆේස් පිටියේ වඩේ කරත්ත වරදින්නේ නැත. කදිරවේලුට ගොල්ෆේස් පිටියේ වෙළඳාම මගහැරුණු වසර කිහිපයක් තිබිණි. ඒ පහුගිය කොවිඩ් සමයයි. අරගල සමයේ ද කදිරවෙලුට බිස්නස් වැරදි නැත. ඊට පසු ටික කලක් සංක්‍රාන්ති කාලයකි.

31රෑ කොළඹ

“වැලේ වැල් නැතුව හිටියේ. එත් මේ දෙසැම්බර් මාසේනම් අපේ බිස්නස්වලට ටිකක් විතර සරුයි. වන් ගෝල්ෆේස් එකේ ලොකු නත්තල් ගහක් තියෙනවා. නත්තල් දවස් වල ඉඳලම ඒක බලන්න එන ගමන් මිනිස්සු අපේ කරත්තවලටත් ගොඩ වෙලා යනවා. එක නිසා ටිකක් විතර සරුයි. එත් අද තමයි බිස්නස් වැඩිම මම මේ ගෙනාවේ 4 වෙනි වඩේ මිශ්‍රනේ. අලුත් අවුරුද්දේ පටන් ගැන්ම අපට නරකක් නෑ.”

බොහෝ ආයතනවල මේ වන විට බෝනස් කියා දෙයක් නැත. වැටුප ගෙවන්නේද අසීරුවෙනි. තවත් සමහරකට අතමිට සරු කාලයකි. එහෙත් සමහරුන් කොළඹ තරු පහේ හෝටල් සාදයන්ට සහභාගි වන්නේ තමන්ගේ මාසික වැටුපටත් වඩා වැඩි මුදලක් වියදම් කරමිනි. සමාජයේ ඇති හැටි අය මෙන්ම මධ්‍යම පාන්තික පවුල්වල උදවියවද 31 නයිට් සාදයන්ට සහභාගි වේ. තරු පහේ හෝටලයක 31 රෑ සැමරීමට අවම රුපියල් ලක්ෂයකට ආසන්න හෝ ඊට වැඩි මුදලක් වැය වේ. තරු පහේ හෝටල් මෙවැනි උත්සව සඳහා ලක ලැස්ති වන්නේ නොවැම්බර් මාසයේ පටන්ය. එවැනි සාදයන් සඳහා නොවැම්බර් මායේ මුල සිටම දුරකථන ඇණවුම් සහ online booking ලැබෙන බව ප්‍රධාන පේලේ හෝටලයක කළමනාකරුවෙක් අප සමග පැවසීය . “එතරම් මුදලක් වැය කොට ඔවුන්ට ලැබෙන්නේ කුමක්ද” යනුවෙන් ඔබ සිත තුළ කුකුසක් පැනනඟිනු නිසැකය. ඇත්තෙන්ම එතරම් මුදලක් වැය කිරීමෙන් ඔවුන්ට ලැබෙන්නේ අනිකක් නොව ඉහළ සමාජ තත්ත්වයේ ඉහළ පිළිගැනීමයි. රාත්‍රියක වරු කිහිපයක් කොළඹ සුපිරි හෝටලයක සංගීත සුවය විඳිමින් හා ආහාර කිහිපයක රස බලමින් මධුවිත සමගින් නර්තන ආලිංගන පෑමට එතරම් මුදලක් අය කෙරෙන්නේ එම සාද සමාජයේ සුවිශේෂී පිරිසක් වෙනුවෙන්ම විවෘත වන හෙයිනි.

මේ සාද සඳහා ඇදගෙන ඒමට ඩ්‍රස් කෝඩ් (dress code) එකක් නියම වේ. බොහෝ විට මේ ඇඳුම් වල වර්ණය රතු සහ කළු වර්ණයන්ගෙන් යුක්ත වේ. දෙසැම්බර් 31 රාත්‍රි 7ට පමණ ආරම්භ වෙන මෙම සාද සඳහා ඉහළ වටිනාකමකින් යුත් මධුවිත සහ රාත්‍රි කෑම වේලද ඇතුළත්ය. බුෆේ ක්‍රමයට ලැබෙන මෙම රාත්‍රි ආහාරය, දේශීය, ඉන්දියන්, ඉංග්ලිෂ්, තායිලන්ට්, ඉතැලියන්, කොරියන් වැනි දෙස් විදෙස් ආහාර සියයකට ආසන්න ප්‍රමාණයන්ගෙන් පරිපූර්ණ වී තිබේ. රාත්‍රි ආහාරයෙන් පසුව මත්පැන් සාද, ඩී. ජේ. හෝ සංගීත කණ්ඩායම් සහ නැටුම් ගැයුම් වලින් හැඩවේ.

31රෑ කොළඹ

දිවයිනේ ප්‍රසිද්ධියක් උසුළන බොහෝ සංගීත කණ්ඩායම් මේ සාදයන් සඳහා සහභාගි වේ. ඒ ඉහළ මිල ගණන් වලටය. කොළඹ, මීගමුව, හික්කඩුව, මහනුවර වැනි සෑම තැනකම පැවැත්වෙන මෙම සාද සඳහා තරුණ පිරිස් බොහෝ විට ඒ සඳහා සහභාගි වන සංගීත කණ්ඩායම අනුව හෝටලය තීරණය කරයි. ඉංග්‍රීසි ආරයේ ගීත වලින් හැඩ වෙන මෙම සාද හැත්තෑව අසූව දශකයේ ජනප්‍රිය ගීත මෙන්ම නව පරපුරේ ජනප්‍රිය ගීතද ගායනා කරනු ලබයි. ඊට හේතුව විවිධ වයස් සීමාවන් නියෝජනය කරමින් පිරිස් මේ සඳහා සහභාගි වීමයි. සංගීතයත් සමගින් මධුවිත තොලගාගත් කාන්තා පිරිමි භේදයකින් තොරව නැටුම් බිමට පිවිස හති වැටෙනකම් එකිනෙකා සමගින් අලුත් ආකාරයේ නර්තන වින්‍යාසයන් හඳුන්වා දෙමින් නටා ගයා සතුටු වෙති. වේලාව 11.59 කනිසම වැදීමත් සමග රාත්‍රි 12 වී නව වසර උදා වීමට ඇති තත්පර ගාණ සියලු දෙනා එක්ව එක හඬින් ගණනය කරයි. 12 කනිසම වැදීමත් සමග ෂැම්පෙන් වීදුරුවක් අහසට ඔසවමින් සියලු දෙනා එක්ව සවුදිය පුරයි. නැවතත් සංගීතය එකතු වෙන මේ සිල්ලම අවසන් වන්නේ ජනවාරි පළමුවැනිදා උදෑසන ආහාරයත් සමගිනි. මේ සඳහා බොහෝ හොටල් කිරිබත් ඇතුළු තවත් ආහාර රැසක් පිළිගැන්වීමට සූදානමින් සිටියි.

31 සාද සිනහා අතර ගෙවන මිනිසුන් අතර බඩගින්දර වෙනුවෙන් සටන් වැද හෙම්බත් වන මිනිසුන්ද බොහෝය. මේ සාදවල කිසිදු වරදක් අපට දකින්නේ නැත. එහෙත් අලුත් අවුරුද්ද යනු රටේ බහුතරයකට නිකම්ම නිකං දවසක් වූ කල ඒ සතුටින් ඇති පලය කිම…

මල්මී රාජපක්ෂ

advertistmentadvertistment
advertistmentadvertistment