RMV නීතිපද්ධතියේ හිල් ගොඩක්

මීට පෙරත් සිදුවූ දූෂණ රැසක් විගණනයෙන් එළියට

දූෂණයට කප් ගැසූ ආයතනයක්

රටට සිදුවූ අලාභය මිලියන 300ක්

මේ කතාව තවමත් වාහනයක සිහින මවන ඔබටද, මේ වන විට දුක්මහන්සියෙන් මුදල් උපයාගෙන ඒ මුදලින් අධික මුදලකට වාහනයක් ගෙන වාහනයක හිමිකරුවෙකු වූවකුටද, එසේත් නොමැති නම් වාහන රැසක හිමිකරුවකුටද බෙහෙවින් වැදගත්ය. කතාව මෙසේය. අද වනවිට වාහනයක හිමිකරුවකු වීමද ලෙහෙසි පහසු කාරණයක් නොවන බව ඔබ අප සියල්ලෝම දනිති. ඒ රජය මගින් අධික බදු මුදලකට යටත්කොට ඇති වාහනයක් මිලට ගෙන එය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට, ආදායම් බදු ද ගෙවා, රක්‍ෂණාවරණයක්ද ලබාගෙන, වැඩි මිලට ඉන්ධන ගසමින් වාහනයේ ගෙවෙන අමතර කොටස් යෙදීම යන කාරණා බෙහෙවින්ම අසීරුය. එනමුත් මේ කියූ කාරණා සියල්ලම පවතින නීති පද්ධතියට අනුව මෙරට බොහෝ ජනයා සිදුකරගෙනද යන්නාහ. එහෙත් මේ වනවිට රටේ පවතින නීති පද්ධතිය සාමාන්‍ය ජනයාට වලංගු වුවද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එම නීතිය වලංගු නොවන්නේය. කොටින්ම කිවුවොත් ආණ්ඩුවේ මෙම ආයතනවල පුටුවල ඉන්නා නිලධාරීන්ට පවතින නීති රීති අදාළ නැති වගක් පෙනෙන්නට ඇත. අප මේ කියන්න යන්නේ වාහන සම්බන්ධව ඇති මෙරට ප්‍රධානතම ආයතනයක් වන (RMV) මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඉහළ පුටුවේ සිට පහළම තැන හොබවනා නිලධාරීන්ගේ අනීතික, වංචනික, දූෂිත වැඩපිළිවෙළ හා එයින් රටටත් ජනතාවටත් සිදුවන අලාභ ගැනය.

නීතියට පිටින් වාහන ගෙන්වා මිලියන 300 ක් රටට අහිමියි

රට ආර්ථික අර්බුදයට මුහුණදීමත් සමඟ විදේශ මුදල් රට තුළ ඉතිරි කරගැනීමට ගත් පියවරක් ලෙස මෙරටට වාහන ආනයනය සීමා කරන්නට රජය පියවර ගත්තේය. එහෙත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවටද වංචා කරමින් පවතින නීති පද්ධතියට පිටින් මෙරටට වාහන ආයනයනය කරනු ලැබූ පුවතක් පසුගිය දිනක වාර්තා විය. එසේ මෙරටට ගෙන්වා ඇති වාහන සියල්ලම හොර රහසේම ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇති පරිගණක පද්ධතියේ දත්ත පවා මකා දමමින් නීති විරෝධීව ලියාපදිංචි කළ ඒවාය. මේ අන්දමින් කූට ලෙස අදාළ වාහන ලියාපදිංචිය සිදුකොට මේ වනවිට මිලියන 300 ක රේගු බදු රටට අහිමිවී ඇති බවද වාර්තා වේ. ආසන්නතම සිද්ධිය වන්නේ නීති විරෝධී ලෙස මෙරටට ගෙන ආ මෝටර් රථ හයක සිද්ධිය ය. ඒ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ අනීතිකව ලියාපදිංචි කළ කෝටි 60 කට අධික වටිනාකමක් ඇති අතිසුඛෝපභෝගී ජීප් රථ 06 ක් ගැනය. මේ පිළිබඳව අල්ලස් කොමිසම පැමිණිලි හයක් ගොනුකරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පසුගිය 31 දා කියාසිටියේ එම වාහන වහාම අල්ලස් කොමිසමට භාර දෙන ලෙස ය.

මෙසේ ආනයනය කළ වාහන අතර මොන්ටෙරෝ වර්ගයේ ජීප් රථ 03 ක් හා ලෑන්ඩ් කෲසර් වර්ගයේ ජීප් රථ 03 කි. මේ අන්දමින් රජයට අයවියයුතු බදු මුදල් රටට අහිමිකරමින් මෙම නීති විරෝධී වාහන ආනයනය කිරීමේ සිද්ධියට අදාළ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ මෙම ජාවාරමට සම්බන්ධ වූ සියලු පුද්ගලයන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයිද මහෙස්ත්‍රාත්වරයා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රහසිගත හා බුද්ධි විමර්ශන ඒකකයට නියෝග ලබාදී ඇත. අදාළ නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අල්ලස් කොමිසම ප්‍රකාශ කොට ඇත්තේද මෙම වාහන සඳහා නීති විරෝධී අංක තහඩු නිකුත් කිරීම සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිපදෙනකුද සිටින බවය. අදාළ ජීප් රථ මේ වනවිට ගාල්ල, අවිස්සාවේල්ල, කුරුවිට, ත්‍රිකුණාමලය සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචිකරුවන් සතුව තිබෙන බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.

වාහන තොරතුරු පරිගණක පද්ධතියෙන් මිසින් වාහන ලියාපදිංචියට ව්‍යාජ දත්ත

නීති විරෝධීව මෙරටට ආනයනය කළ මෙම වාහන සියල්ලම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට නිවැරදි තොරතුරු වෙනුවට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ශ්‍රී ලංකා රේගුවෙන් නිසි පරිදි නිෂ්කාශනය නොකොට මෙරටට ගෙන්වා ඇති ඒවාය. මෙම වාහන නිෂ්කාශනය කොට ඇත්තේද වෙනත් භාණ්ඩ ගෙන්වන මුවාවෙන් බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම්දී ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ ජිල්මාට් වැඩ ගැන මින් පෙරද අධිකරණයට වාර්තා වී ඇති කරුණුද බොහෝය. අල්ලස් කොමිසම ප්‍රකාශ කරන පරිදි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කොට ශ්‍රී ලංකා රේගුවෙන් නිවැරදි ලෙස නිෂ්කාශනය නොකොට ගෙන්වා ඇති වාහන සංඛ්‍යාව 200 කි. මේ පිළිබඳව අල්ලස් කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කොට තිබුණේද පසුගිය වසරේ දෙසැම්බර් 08 දාය. එමෙන්ම ත්‍රිරෝද රථයක දත්ත ඉවත්කොට ඒ වෙනුවට ‘මිනිකූපර්’ වර්ගයේ මෝටර් රථයක් ලියාපදිංචි කොට රජයට අදාළ බදු මුදල් අහිමි කොට සිදුකළ දූෂණ චෝදනා ලැබූ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හත්දෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකරනු ලැබුවේද පසුගිය වසරේ දෙසැම්බර් 22 දාය.

ආනයනය තහනම් කළ වාහන හොර පාරෙන් ආ හැටි

පසුගිය කාලය තුළ රටෙහි උද්ගත වූ ආර්ථික අර්බුදයත් සමඟ මෙරට දැඩි විදේශ විනිමය අර්බුදයකට මුහුණ පෑ බව අප කාටත් හොඳින් මතකය. මෙයට විසඳුමක් ලෙස රජය මගින් මෙරටට ආනයනය කරනු ලබන රථ වාහන ඇතුළු අයිතම් 1200 ක් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය. එහෙත් රජය මගින් පනවා තිබූ ආනයන සීමා උල්ලංඝනය කරමින් පසුගිය කාලය තුළ වාහන 240 ක් මෙරටට ආනයනය සිදුකොට තිබිණි. එසේ නීති විරෝධීව ගෙන්වනු ලැබූ වාහන ශ්‍රී ලංකා රේගුව විසින් රඳවාගෙන තිබූ අතර එලෙස නීති විරෝධීව ආනයනය කළ වාහන වෙන්දේසි කිරීමේ කටයුතුද සිදුකෙරිණි. එහෙත් අද අපි කතාකරන්නේ නීති විරෝධී ලෙස ගෙන්වූ වාහන පිළිබඳ හා එයට සම්බන්ධ රජයේ නිලධාරීන් ගැනය. ආනයන සීමා නොතකා මෙරටට ගෙන්වා තිබූ වාහන සම්බන්ධව කතාකරන අපට මෝටර් රථ දෙපාර්තමේන්තුව ගැනද කතා කිරීමට සිදුවන්නේ එසේ ගෙන්වූ වාහන බොහෝමයක පොත හැදීමටත් රේගුවට හොරෙන් වාහන ගෙන්වීමටත් වැඩිවශයෙන් දායක වන්නේ RMV දෙපාර්තමේන්තුවේ නිලධාරීන් නිසාය. එමෙන්ම ශ්‍රී ලංකා රේගුව හා මෝටර් රථ දෙපාර්තමේන්තුවද වාහන ආනයනය සම්බන්ධව එකිනෙකට බැඳී ඇති ආයතන වන්නේය. පසුගිය කාලය මුළුල්ලේද සිදුවූ නීති විරෝධී ලෙස රථවාහන ලියාපදිංචිය සම්බන්ධවද මේ කියන දෙපාර්තමේන්තු නිලධාරීන් කප් ගසා ඇත්තේය.

විගණනයෙන් හෙළිවන RMV නිලධාරීන්ගේ පැටිකිරිය

ලංකාවේ මෝටර් රථ දෙපාර්තමේන්තුව ගැන බොහෝ දෙනෙක් පවසන්නේ දූෂණය, නාස්තිය, වංචාව, පගාව, අල්ලස මෙකී කාරණා වලින් සපිරි තැනක් ලෙසය. තවත් විදියකින් කිවහොත් වාහනවලට ජිල්මාට් දමා බොහෝ වංචනික ක්‍රියාවන්ට සම්බන්ධ නිලධාරීන්ගෙන් සමන්විත වූ දූෂණයට කප් ගැසූ ආයතනයක් ලෙසය. මේ කියන ආයතනය සම්බන්ධවද තවත් එකී නොකී කරුණුද බොහෝ පවතින්නේය. මේ අප ලියන්නේද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධ වූ වංචා, දූෂණය සම්බන්ධව හෙවත් වාහන අනීතිකව ලියාපදිංචි කිරීම, මෝටර් වාහන ලියාපදිංචි කිරීම සඳහා කූට ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධව පසුගිය කාලයේ විගණනය මගින් අනාවරණය වූ තොරතුරුය.

එනම් 2022 වර්ෂයේ අවස්ථා හතරකදී ව්‍යාජ ලියාපදිංචි කිරීම් හා කූට ලේඛන ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් විගණන නිරීක්‍ෂණ ඉදිරිපත්විය. එහෙත් එකී වාහන පැවරුම්ලාභී ව්‍යාජ හා කූට ලේඛන යොමුකරනු ලැබූ අදාළ පාර්ශ්වයන්ටද එරෙහිව කිසිදු නීත්‍යනුකූල ක්‍රියාමාර්ගයන්ද සිදුනොවූ වගක් පෙනෙන්නට තිබිණි. නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරනු ලැබූ වාහන වංචනිකව මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කිරීම පිළිබඳව විගණනය මගින් පසුගිය වසර කිහිපය තුළ විගණන වාර්තා මගින් අනාවරණය කළේය. මේ තුළින් රජයට අහිමි වන්නේද රුපියල් කෝටි ගණනකි. එවන් එක් සිද්ධියක් වන්නේ ප්‍රතිඅපනයනය කිරීමේදී ලියාපදිංචිය අවලංගු කරනු ලැබූ විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හා රාජ්‍ය නොවන සංවිධාන සඳහා ආනයනය කර තිබූ වාහන 06 ක් මෝටර් රථ දෙපාර්තමේන්තුව තුළ වංචනික ලෙස ලියාපදිංචි කිරීම නිසා රුපියල් දොළොස්කෝටි විසිදෙලක්‍ෂ අසූදෙදහස් නමසියයක (122,282,900) බදු ආදායමක් වංචනිකව අවභාවිත කොට ඇත. විගණනය මගින් පෙන්වා දෙන්නේ නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කරන ලද හෝ මෙරට එකලස් කරනු ලැබූ මෙකී වාහන වංචනික ලෙස RMV තුළ ලියාපදිංචි කිරීමෙන් ශ්‍රී ලංකා රේගුව මගින් අයකරගත යුතු බදු ආදායම අවභාවිත කොට ඇති බවය. තවද විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හා රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් තීරු බදු රහිතව නිෂ්කාශනය කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කොට තිබුණද, නැවත එම වාහන ප්‍රතිඅපනයනය කිරීමේදී මෙකී වාහන 06 හි ලියාපදිංචිය අවලංගු කර එයට සාවද්‍ය ලෙස වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක හා එන්ජින් අංක ඇතුළත් කර වෙනත් පුද්ගලයන්ගේ නමට ලියාපදිංචි සහතික නිකුත් කිරීමටද අප කියන RMV නිලධාරීන් කටයුතු කොට ඇති බවද විගණන වාර්තා මගින් පෙන්වා දී ඇත. තවද රේගුවේ දත්ත පද්ධතියට අනුව වංචනික ලෙස ලියාපදිංචි කළ මේ කියන වාහන සඳහා රේගු සටහන්කරයක් නිකුත් කරද නැත. මේ හේතුවෙන් සුඛෝපභෝගී වාහන නීති විරෝධී ලෙස ආනයනය කරමින් රේගු පනත ප්‍රකාරව ගෙවිය යුතු ආනයන තීරුබදු කිසිවක්ද නොගෙවා ඇති බවද විගණනය මගින් පෙන්වාදී ඇත.

නීතියට පිටින් ගෙන්වූ යතුරු පැදි

ඔට්ටු තියා නීතියට වෙට්ටු දමන ලයිසන් කන්තෝරුවේ පැටිකිරිය මිලියන ගණනින් රටට පාඩුයි!

විගණන වාර්තා පෙන්වා දෙන අන්දමට පසුගිය කාලය තුළ සුඛෝපභෝගී වාහන මෙන්ම යතුරු පැදි ද ගෙන්වා ඇත්තේ වංචනික ලෙස ය. මෙරටට නීති විරෝධී ලෙස හා රේගු සටහන්කරයකින් තොරව ආනයනය කරන ලද යතුරු පැදි 91 කින් රුපියල් පන්කෝටි පනස්දෙලක්‍ෂ හත්දහස්හාරසිය හැත්තෑපහක (55,207,475) රේගු ආදායමක් රජයට අහිමි වී ඇත. මේ කියන යතුරු පැදි 91 ද අධිභාර මුදල් අයකරගැනීමකින් තොරව වංචනිකව පැරණි අංක යටතේ ලියාපදිංචි සහතික නිකුත්කිරීම නිසා අධිභාරගාස්තු හා අලුතින් ලියාපදිංචි කිරීමේ ගාස්තුවක් අය කරගැනීමේ අවස්ථාවද නොමැතිවීමෙන් රුපියල් දෙකෝටි දාහතරලක්‍ෂ හැත්තෑහය දහසක් (21,476,000) රජයට අහිමිවී ඇත. එහිදී මෙම යතුරු පැදි ආනයන කර ඇත්තේද මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දත්ත පද්ධතියේ පෙර ලියාපදිංචි චැසි හා එන්ජින් අංක ව්‍යාජ ලෙස වෙනස් කරමිනි. පසුව එම යතුරුපැදිවල චැසි හා එන්ජින් අංක ඇතුළත් කොට ලියාපදිංචි සහතික නිකුත් කර ඇත.

හොර පොත් හැදිල්ලෙන් සිදුවූ පාඩුව

අප මේ කියන මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීහු වාහනවලට හොර පොත් හදා දී ගතමනාවක් සොයා ගනිති. ව්‍යාජ තොරතුරු යොදා පොත් හදාදීමෙන් වාහන විකුණුම් කරුවන් හා මේ කියන නිලධාරීන්ට ඇත්තේ මනා හැඳුනුම්කමකි. මේ කියන අන්දමින් සිදුකළ පොත් හැදිල්ලක් ගැනද එයින් රටට සිදුව ඇති පාඩුවද විගණන වාර්තා මගින් පෙන්වාදුනි. එනම් සාවද්‍ය ලෙස වෙනස්කොට මෝටර් රථ ලියාපදිංචි සහතිකයක් වංචනිකව නිකුත් කිරීම හේතුවෙන් රජයට තුන්කෝටි පනස්දෙලක්‍ෂ නිෂ්පාදන බදු ආදායමක් හා හත්ලක්‍ෂ පනස්හත්දහස් පන්සියයක සුඛෝපභෝගී බදු ආදායමක් අහිමිව ඇත. එමෙන්ම තවත් මෝටර් රථයක දත්ත වෙනස්කොට ව්‍යාජ දත්ත ඇතුළත් කොට එයට ලියාපදිංචි සහතිකයක් නිකුත් කිරීම තුළින් රජයට අහිමිවී ඇති බදු ආදායම රුපියල් පනස්පස් ලක්‍ෂ දහතුන්දහසකි. තවද පෙට්‍රල් මෝටර් රථයක් ලෙස ලියාපදිංචි කළ මෝටර් රථයක් ඩීසල් මෝටර් රථයක දත්ත ඇතුළත්කොට සහතිකයක් නිකුත් කිරීමෙන් රජයට අහිමි වූ නිෂ්පාදන බදු ආදායම රුපියල් කෝටි පහකට ආසන්න බවද විගණන වාර්තා මගින් පෙන්වාදී ඇත.

වංචාවට මං තනන පරිගණක පද්ධතියක්

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවන වාහන වංචාවලින් වැඩිමනක් වංචා සිදුවන්නේ පරිගණක දත්ත තොරතුරු වෙනස් කිරීමෙන් හෝ ඊට ව්‍යාජ තොරතුරු ඇතුළත් කිරීමෙන් බව පසුගිය දිනවල නිරන්තරයෙන් වාර්තාවිණි. එහෙත් එම වංචා වැළැකීමට අභ්‍යන්තර පාලන ක්‍රම ශක්තිමත් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වැඩපිළිවෙළක් දියත් නොකිරීමද ප්‍රශ්නයකි. සැබවින්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇති පරිගණක දත්ත පද්ධතිය අනවසරයෙන් හා ව්‍යාජ ලෙස වෙනස්වීමකද ලක්වුවහොත් එය මහජන ආරක්‍ෂාවට හා රටේ ආර්ථිකයටද හානිදායක වන්නේය. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් වාහන ලියාපදිංචිය හා ඊට අනුශාංශික කරුණු සඳහා රාජකාරි කටයුතු සිදුකරන නිලධාරීන්ට පරිගණක මුරපද ලබාදුන්නද මේ වනවිට එම ආයතනයෙන් වෙනත් කාර්යාලවලට හෝ විශ්‍රාම ගිය නිලධාරීන්ට නිකුත් කර තිබූ මුරපද තවමත් සක්‍රීය තත්ත්වයෙන් පවතින බවද විගණනය පෙන්වා දී ඇත. එපමණක් නොව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් අවලංගු කරනු ලැබූ වාහන ලියාපදිංචි අංක නැවත භාවිතයට ගත නොහැකි පරිදි පරිගණක තොරතුරු පද්ධතිය මගින් අවහිර කර නැති බවටද තොරතුරු ලැබී ඇත. තවද මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් වාහන ලියාපදිංචි කිරීමේදී සිදුකළ වංචා හා දූෂණ රැසක්ද විගණනය මගින් හෙළිකළේය.

එනම් මෝටර් රථ පනතට අනුව මෝටර් රථයක පංතිය වෙනස් කිරීමේදී චැසි අංකය හැර අනිකුත් උපාංග වෙනස් කළ හැකි වුවද එහෙත් පෙට්‍රල් වාහන ඩීසල් වාහන බවට පරිවර්තනය සිදුකිරීමේදී චැසි අංකය වෙනස් කළ අවස්ථා 27 ක් තිබූ බවද විගණන මගින් පෙන්වාදී ඇත. ඒ අනුව වාහන පංතිය වෙනස්කරන මුවාවෙන් නීති විරෝධී ලෙස ආනයනය කර තිබූ වාහන 27 ක් ලියාපදිංචි කර ඇති බවද විගණනය පෙන්වා දෙයි. එසේ වාහනයක් පරිවර්තනය කිරීමේදී පැරණි මෝටර් රථ අංකය පද්ධතියෙන් ඉවත් කළ යුතු වුවද, පරිවර්තනය සිදුකළ අවස්ථා 130 කදී එම වාහන වල ලියාපදිංචි අංක පද්ධතියෙන් ඉවත්කර නොතිබුණ බවද විගණනයෙන් අනාවරණය විය. තවද වෙනත් වාහන පංතියකට අදාළව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී ඇති වාහන 31 ක චැසි අංක හා එන්ජින් අංක වෙනස් කිරීමටද ඔවුන් කටයුතු කර ඇත. ඉන්පසු වංචනිකව ආනයනය කොට තිබූ යතුරු පැදිවල එන්ජින් අංකය හා චැසි අංක ඇතුළත් කර එහි දත්ත පද්ධතියෙහි තිබූ පැරණි දත්ත මකාදැමීමටද ඔවුන් ක්‍රියාකොට ඇත.

එමෙන්ම ලියාපදිංචිකොට තිබූ වාහන 29 ක චැසි හා එන්ජින් අංක වෙනස්කොට නීති විරෝධීව ආනයනය කළ වාහනවල එම චැසි හා එන්ජින් අංකද ඇතුළත් කොට ඇත. මේ අප සටහන් කරන්නේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ සිටින වංචනික නිලධාරීන් සිදුකළ වංචාවන්ගෙන් අතලොස්සක් පමණි. තවද මේ ගැන කිවයුතු බොහෝ දෑ ද ඇත. මේ ආකාරයට ආයතන නිලධාරීන්ට අක්‍රමිකතා හා වංචා සිදුකිරීමට සුදුසු පරිසරයක් මේ කියන ආයතනය තුළ පිහිටා තිබීම නිසා එදා සිට මේ දක්වාම එහි සිදුවන්නේ වංචා දූෂණයන්ය. මේ ආයතනයේ දූෂිත නිලධාරීන්ගේ ක්‍රියාපිළිවෙත නිසා රජයටද ලැබිය යුතු විශාල ආදායමක් අහිමි වන්නේය. එමෙන්ම අප මෙසේ හෙළිකරන ලද සියලු තොරතුරු පසුගිය විගනන වාර්තා මගින් පෙන්වාදුන් ඒවා බවද සඳහන් කළ යුතුය. තවද එම ආයතනයට මෙවැනි චෝදනාවන් එල්ල වන්නේද එහි සිටින අතළොස්සකගේ ඇතැම් වැරදි ක්‍රියාකළාප නිසාය.

අප මේ සම්බන්ධව කළ සොයාබැලීමකදී දැනගැනීමට හැකිවූයේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස් ජෙනරාල්වරයා පවතින ගැටලු පිළිබඳව සොයා බැලීමක් කරන බවය. සැබැවින්ම එතුමාගේ එම ක්‍රියාවද අපි අගය කරන්නෙමු.

රමින්ද මාවතගේ

advertistmentadvertistment
advertistmentadvertistment