ඔලිම්පික් ශ්‍රේණිගත කිරීම් අනුව නදීෂා දිල්හානි ලොව 23 වැනි තැනට

137

ප්‍රංශයේ පැරිස් අගනුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ්‍රී ලාංකේය මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් තෝරා ගැනීම උදෙසා විශේෂ තෝරා ගැනීමේ පරීක්ෂණයක් ඊයේ (30දා) හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

ජවන ඉසව් 03 ක් සහ එක් පිටිය ඉසව්වකින් සැදුම්ලත් වූ මෙම පරීක්ෂණය සඳහා 102 වැනි ජාතික ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ලාභී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනාම අදාළ ඉසව්වට සහභාගි වී සිටීම කැපී පෙණුනි. එම ඉසව් නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබා සිටී ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් තරග බිමට අවතීර්ණ වී නොසිටීම කැපී පෙණුනි. එහි ප්‍රතිඵලයක් ලෙස තරුෂි කරුණාරත්න, අරුණ දර්ශන සහ එන්. දිල්හානී ලේකම්ගේ ඔලිම්පික් වරම් සොයා හුදෙකලා සටනක නිරත වන ආකාරයක් ඊයේ (30දා) දියගම දී දිස් විය.

මීටර් 800 වෙනුවට නම් කරන ලද කාන්තා මීටර් 600 තරග ඉසව්වට සහභාගි වූ තරුෂී ඩිල්සාරා කරුණාරත්න මිනිත්තු 1.26.99 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තාය. පිරිමි මීටර් 100 ඉසව්ව ජය ගැනීම උදෙසා චමෝද් යෝධසිංහ වාර්තා කළ තරග නිමි කාලය තත්. 10.63 කි.

පිරිමි මීටර් 400 ඉසව්ව ජය ගත් එස්. අරුණ දර්ශන ට නියමිත දුර ප්‍රමාණය නිමා කිරීම උදෙසා වැය වූ කාලය තත්.45.49 කි.

මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි විය හැකි මට්ටමේ දක්ෂතා ප්‍රදර්ශනය කර ඇති නදීෂා දිල්හානී ලේකම්ගේ තම ප්‍රියතම ඉසව්වට සහභාගි වෙමින් ඊයේ (30දා) පෙරවරුවේ පළමු ස්ථානය තහවුරු කර ගත්තේය. ඒ, හෙල්ල විසි කිරීම ඉසව්වේ දී ප්‍රදර්ශනය කළ මීටර් 55.88 ක දක්ෂතාව සමගිනි. ඔලිම්පික් ශ්‍රේණිගත කිරීමට අනුව නදීෂා දිල්හානි ලේකම්ගේ ලොව 23 වැනි ස්ථානයට පත්ව සිටින බව වාර්තා වේ. ලොව දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට තෝරා ගැනීම ඊයේ (30දා) අවසන් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව පියවර ගත්තේය. ඒ අනුව ලොව අසිරිමත් ක්‍රීඩා උළෙලට එක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉදිරියේ දී නම් කෙරෙනු ඇත.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment