රටේ පවතින ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාව මේ වනවිට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්ද පීඩාවට ලක්ව සිටිති. අධික වර්ෂාපතනය, දැඩි සුළං, නායයෑම් වැනි ආපදා තත්ත්වයන් නිසා ජනතාවගේ ජන ජීවිතවලට දැඩි බලපැමක් එල්ල වී තිබේ. ගස්කොළන් කඩාවැටීම නිසා දුම්රිය මාර්ග, නිවාස, පාසල් ගොඩනැඟිලි හා ජනතාවගේ දේපලවලට හානි වී ඇත. අධික වර්ෂාවත් සමග ඇති වූ සුළි කුණාටුවක් හේතුවෙන් මුහුදු රළ ගොඩගැලීමත් සමග මන්නාරම, නානාට්ටාන් සහ සිලාවතුර යන ප්‍රදේශවල ධීවර ප්‍රජාව ද ගැටලු රැසකට ලක්ව සිටිති. මුහුද ගොඩ ගැලීම නිසා ධීවර නිවාස හා ධීවර වාඩි මුහුදු ජලයෙන් යටවී තිබුණි. අයහපත් කාලගුණික තත්ත්වය නිසා දැඩි බලපැමක් එල්ල වී ඇත්තේ ධීවර ප්‍රජාවට වන අතර නැවත දැනුම්දෙන තුරු මුහුදු යෑමෙන් වැළකී සිටින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මගින් ධීවර කාර්මිකයින්ට දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු තීරය තුළ ඉදිරි දින කිහිපය තුළ ඇති විය හැකි දැඩි වර්ෂාපතනය හා දැඩි සුළං තත්ත්වය නිසා මුහුදු රළ ඉහළ යා හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබේ. එම නිසා කුඩා ධීවර යාත්‍රා හා බහුදින යාත්‍රාවලට සිදුවිය හැකි අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගෙන ධීවර කාර්මිකයින්ට නැවත දැනුම් දෙන තුරු ධීවර රක්ෂාවට යෑමට අවසර ලබා නොදෙන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේය. මන්නාරම, පුත්තලම, කළුතර, ගාල්ල, මාතර හම්බන්තොට, අම්පාර යන දිස්ත්‍රික්කවල පොතුවිල් දක්වා වූ මුහුදු කලාපය විටින් විට ඉතා රළු තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් දැනුම් දී තිබේ. මේ වනවිට දේශීය හා ජාත්‍යන්තර මුහුදු තීරයේ බහුදින යාත්‍රා 2000ක පමණ සංඛ්‍යාවක් ධීවර රැකියාවේ නිරතව සිටිති. අයහපත් කාලගුණික තත්ත්වය නිසා යළි ගොඩබිමට පැමිණීමේ දී ආරක්ෂිත ප්‍රදේශය හරහා ගමන් කිරීමට කටයුතු කරන ලෙස ධීවර කාර්මිකයින් දැනුවත් කිරීමට පියවරගෙන ඇත. මේ වනවිට වෙළඳ පොළ තුළ මත්ස්‍ය අස්වැන්නේ හිඟයක් නිර්මාණය වී ඇති අතර එම නිසා මාළු මිලද ඉහළ ගොස් තිබේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබූ කාලගුණ විද්‍යා නිවේදනයට අනුව නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වීම හේතුවෙන් පවතින වැසි සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවට නිවේදනය කොට ඇත. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් ඉකුත් 23 වැනි දින උදෑසන 9.00ට නිකුත් කරනු ලැබූ වාර්තාවට අනුව අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරට දිස්ත්‍රික්ක 18ක පවුල් 8944කට අයත් පුද්ගලයන් 33960 දෙනකු විපතට පත්ව ඇත. අධික වර්ෂාපතනය, ගංවතුර, නායයාම්, පස්කඳු හා ගස්කොළන් කඩා වැටීම නිසා මෙම පිරිස පීඩාවට ලක්ව සිටිති. මෙකී ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනකු මියගොස් ඇති අතර දහ දෙනකු තුවාල ලබා තිබේ. නිවාස 973ක් අර්ධ වශයෙන් හානියට පත්ව ඇති අතර පූර්ණ වශයෙන් හානියට පත් නිවාස සංඛ්‍යාව 03කි. ආරක්ෂිත ස්ථානවල පවුල් 74කට අයත් පුද්ගලයින් 246 දෙනකු රඳවා සිටින අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ස්ථාන 03කට අලාභහානි වී ඇත. මෙකී ආපදා තත්ත්වයෙන් දැඩි බලපැමක් එල්ල වී ඇත්තේ පුත්තලම් දිස්ත්‍රික්කයට වන අතර පවුල් 3503කට අයත් 12150 දෙනකු විපතට පත්ව තිබේ. පුත්තලම් දිස්ත්‍රික්කයෙන් මරණ 02ක් වාර්තා වී ඇත. එමෙන්ම ධාරානිපාත වර්ෂාව, ගස් කඩාගෙන වැටීම, ගංවතුර හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 4210කට අයත් පුද්ගලයන් 17073 දෙනකු විපතට පත්ව තිබේ. ගංවතුර හේතුවෙන් වත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශය තුළ පවුල් 3659කට අයත් පුද්ගලයන් 14743 දෙනකු පීඩාවට ලක්ව සිටිති.

කොටින්ම කිවහොත් මෙරට සෑම වසරකම පාහේ විශාල පිරිසක් ස්වාභාවික ආපදාවලට ලක්වෙති. මේ නිසා සිදුවන දේපල හානි ද ඉතා ඉහළ මට්ටමක පවතී. සංවර්ධන කටයුතුවලදී සිදුවන මානව ක්‍රියාකාරකම් මෙන්ම මධ්‍ය කඳුකරය ආශ්‍රිතව සිදුවන නායයෑම් මෙම තත්ත්වයට හේතුවී තිබුණි. ස්වාභාවික ආපදාවලින් රට්ටුන්ගේ ජනජීවිතවලට, දේපළ හා ස්වාභාවික පරිසරයට වන බලපෑම් අවම කිරීම සඳහා මෙරට රාජ්‍ය ආයතන කිහිපයක් ස්ථාපිත කොට තිබේ. මේ සඳහා ආරක්ෂක අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ අංශය මෙන්ම ඒ යටතේ ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය, ජාතික ආපදා සහනසේවා මධ්‍යස්ථානය යන ආයතන ස්ථාපිත කොට ඇත්තේය.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය ආපදා කළමනාකරණ කටයුතු සඳහා මැදිහත් වන ප්‍රධාන සංවිධානයකි. ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති වාර්තාවේ සඳහන් වන ආකාරයට මෙකී සංවිධානය පිහිටුවා වසර 38ක් ගතවී තිබේ. එම ආයතනයට නීතිමය තත්ත්වයක් ලබාදීම සඳහා පනතක් සම්මත කරගැනීමට මේ වනතෙක් නොහැකි වී ඇත. මෙකී සංවිධානය පවත්වාගෙන යෑම සඳහා අන්තර් කළමනාකරණ කමිටුවක් පිහිටුවා තිබුණි. ඒ අනුව ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය පවත්වාගෙන යෑමට අනුමැතිය ලැබී වසර 15ක් ගතවී තිබුණ ද අදාළ පනත සම්මත කරගැනීමට නොහැකි වීම නිසා ආසන්න වශයෙන් වසර 05ක් තුළ අන්තර් කළමනාකරණ කමිටු සාමාජිකයින් වෙත රුපියල් මිලියන 3.5ක ගෙවීම් කර තිබුණි.

ඒ විතරක් නොව මෙකී ආයතනය මගින් නායයෑම් කලාප සිතියම් ගත කිරීමේ දී අදාළ ස්ථානවල නායයෑම් අවදානම් මට්ටම, අධි, මධ්‍යම හා අවම ලෙස හඳුනා ගැනීමට කටයුතු කර නොතිබුණි. නායයෑම් කලාප සිතියම්ගත කිරීම ආරම්භ වසර 10ක කාලයක් ගතවී ඇත්තේය. නායයෑම් අවදානම් දිස්ත්‍රික්කවල සිතියම්ගත කිරීමෙ කටයුතු ඉතා මන්දගාමීව සිදුකොට තිබුණි. එමෙන්ම මානව ජනාවාස, යටිතල පහසුකම් හා වතු ආශ්‍රිත නායයෑමේ අවදානම හඳුනාගැනීම මගින් ජීවිත දේපලවල ආරක්ෂාව සඳහා නායයෑම සම්බන්ධ විශේෂ විමර්ශන සිදුකිරීම ප්‍රමාණවත් අයුරින් ඉටුකර නොතිබුණි.

ඒ විතරක් නොව අවදානම් තක්සේරු වාර්තා ලබාදීම, නායයෑමේ සමීක්ෂණ වාර්තා ඉල්ලුම් කිරීම වැනි කාර්යයන් ප්‍රමාණවත් පරිදි ඉටුකිරීමට ද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධනය මගින් කටයුතු කර නොතිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

2022 වර්ෂයේ අගෝස්තු මස 31 වැනි දින වනවිට නායයෑම් සමීක්ෂණ සඳහා ඉල්ලුම් පත් 2045ක් ලැබී තිබූ අතර නිර්දේශ ලබා දී ඇත්තේ ඉන් ඉල්ලුම් පත් 333ක් සඳහා පමණි. තවදුරටත් නිර්දේශ ලබාදිය යුතු ඉල්ලුම් පත් සංඛ්‍යාව 1415කි. 2022 වර්ෂය තුළ ලැබී තිබූ ඉල්ලුම්පත් ප්‍රමාණයෙන් සියයට 69ක ප්‍රතිශතයක් සඳහා අදාළ සමීක්ෂණ සිදුකර නිර්දේශ ලබා දී නොතිබුණි. මෙකී ඉල්ලුම් පත් ලබාදී සති දෙකක කාලයක් තුළ නිර්දේශ ලබාදිය යුතු වුවද මාසයකට වැඩි කාලයක් නිර්දේශ ලබාදීමෙන් තොරව පැවැති ඉල්ලුම් පත් සංඛ්‍යාව 1103ක් බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

එමෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මගින් සුනාමි හා සුළි සුළං පිළිබඳ පූර්ව දැනුම් දීමේ කුලුනු 77ක් දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කොට තිබුණි. මෙකී කුලුනුවල පුනරුත්ථාපන සහ නඩත්තු කටයුතු කිරීම සඳහා 2016 වර්ෂයේ දී එවකට පැවැති ආපදා කළමනාකරණ අමාත්‍යාංශය විසින් පුද්ගලික සමාගමක් සමග වර්ෂ 05ක් සඳහා වැට් බදු සහිතව මිලියන 135ක මුදලකට ගිවිසුමක් අත්සන් කරනු ලැබීය. මේ වනවිට මෙකී කුලුනුවලින් 55ක් අක්‍රිය වී ඇති අතර ක්‍රියාත්මක තත්ත්වයෙන් ඇත්තේ කුලුනු 22ක් පමණි. මෙකි කුලුනු නඩත්තු කිරීම සඳහා අදාළ පුද්ගලික සමාගම වෙත 2016 වර්ෂයේ සිට මේ දක්වා ගෙවා ඇති මුදල රුපියල් මිලියන 90කි. එකී කුලුනු ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වූ අරමුණු ඉටුකරගැනීමට නොහැකි වී තිබුණි.

කන්න බොන්න ඉන්න හිටින්නවත් හරිහැටි නැති මිනිස්සුන්ට කාලගුණෙනුත් අපලයි…

ඒ විතරක් නොව කාලගුණ විද්‍යා අනාවැකිකරණයේ දී ඩොප්ලර් රේඩාර් පද්ධතියක දැඩි අවශ්‍යතාවයක් පැවතුණි. මෙකී පද්ධතිය තුළින් දිවයිනට බලපාන වැසි තත්ත්වය හා අනුබද්ධ කාලගුණ තත්ත්වය වඩාත් හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවන අතර අයහපත් කාලගුණය පිළිබඳ පූර්ව අනතුරු ලබාදීමට මේ තුළින් ලැබෙන්නේ දැඩි පිටිවහලකි. ඒ අනුව ඩොප්ලර් රේඩාර් පද්ධති දෙකක් පුත්තලම හා පොතුවිල් කාලගුණ මධ්‍යස්ථාන භූමියේ ස්ථාපනය කිරීම සඳහා ජයිකා ආයතනය මගින් ජපන් යෙන් මිලියන 2503ක ප්‍රදානයක් ලබා දී තිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා ගිවිසුම්ගත වී (2017-2021) වසර හයක් ගතවී ඇතත් රේඩාර් පද්ධතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භකොට නොතිබුණි. මෙකී ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 513.78ක ප්‍රතිපාදන වෙන්කොට තිබුණි. උපකරණවල මිල ගණන් ඉහළ යෑම නිසා ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීම මත ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොතිබූ අතර ප්‍රසම්පාදන ක්‍රියාවලිය ද අතරමග නතරකොට දමා ඇති බව විගණන වාර්තාවේ සඳහන් වේ.

අනික් කාරණය වන්නේ මෙකී ඩොප්ලර් රේඩාර් පද්ධති ස්ථාපිත කිරීම සඳහා තෝරාගත් ස්ථානය පිළිබඳව ද ගැටලු රැසක් පැනනැගී තිබේ. මෙම පද්ධතිය ස්ථාපිත කිරීම සඳහා භූමිය තෝරාගැනීමේ දී ආර්ථික හා තාක්ෂණික, භු විද්‍යාත්මක සාධක කෙරෙහි අවධානය යොමු වී නොතිබුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කාලගුණ විද්‍යා අනාවැකිකරණයේ දී ඩොප්ලර් රේඩාර් පද්ධතියක දැඩි අවශ්‍යතාවයක් පැවතිය ද වර්ෂ 15ක ආසන්න කාලයක සිට එම පද්ධතිය නොමැතිව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් කාලගුණ විද්‍යා අනාවැකි හා පුරෝකථන ලබා දී තිබුණි. මේ නිසා වඩාත් නිවැරදිව හා විශ්වසනීයත්වයෙන් යුතුව කාලගුණ අනාවැකි පුරෝකථන නිකුත් කිරීමට කටයුතු සැලසේද යන්න පිළිබඳ මේ නිසා තහවුරුකරගැනීමට නොහැකි වී ඇති බව විගණනය මගින් අනාවරණය කොට ඇත. කෙසේ වුවද 2022 වර්ෂයේ මැයි මාසයේ දී ජයිකා ආයතනය විසින් රේඩාර් පද්ධති 02ක් වෙනුවට එක් පද්ධතියක් පමණක් ස්ථාපනය කිරීමට එකඟතාවය පළකොට ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් සඳහන් කළ ද එය නිල වශයෙන් දන්වා ඇති බවට සාක්ෂි විගණනයට ඉදිරිපත් නොවූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ජපන් ආධාර යටතේ රුපියල් මිලියන 570ක මුදලක් වැයකොට ස්ථාපිතකොට ඇති ස්වයංක්‍රීය, කාලගුණ විද්‍යා පද්ධති 38න් 11ක් බැටරිවල ආයුකාලය අවසන්වීම නිසා ක්‍රියාවිරහිතව පැවතුණි..

මහඉලුප්පල්ලම, වාගොල්ල, සෙවණගල, පොලොන්නරුව, අරලගංවිල, බලංගොඩ, සිරිකඳුර, අඟුණුකොළපැළැස්ස, දෙනියාය, තවලම, කුඩව යන ස්වයංක්‍රීය කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන 11ක් බැටරිවල ආයුකාලය අවසන්වීම නිසා ඉකුත් වර්ෂයේ (2023) ජුලි මස 11 වැනි දින වනවිට ක්‍රියාවිරහිතව පැවතුණි. මෙකී කාලගුණ විද්‍යා මධ්‍යස්ථාන 2019 වර්ෂයේ සිට 2022 දක්වා පිළිවෙළින් නියමිත පරිදි නඩත්තු නොකළ වාරගණන සියයට 69ක්, සියයට 93ක්, සියයට 92ක් හා සියයට 85ක් පැවතුණි. එමෙන්ම 2019 හා 2021 අතර කාලසීමාව තුළ ස්වයංක්‍රීය කාලගුණ මධ්‍යස්ථානවල කිසිදු නඩත්තු කිරීමක් සිදුනොකළ අවස්ථා 47කි. මෙකී උපකරණ පද්ධති අමතර කොටස් සඳහා 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා කාලය තුළ රුපියල් මිලියන 123ක වියදමක් දරා තිබුණි.

එමෙන්ම මෙරට අවදානම් දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කොට ඇති ස්වයංක්‍රීය වර්ෂාමාන 330 අතුරින් ඉකුත් වර්ෂයේ 2023 අගෝස්තු මාසය වන විට ඉන් වර්ෂාමාන 109ක් අක්‍රියව පැවතුණි. වර්ෂාමාන ක්‍රියාවිරහිතවීම හේතුවෙන් නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම කල්තියා හඳුනාගැනිීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇති බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. මෙකී වර්ෂාමාන නඩත්තු කිරීමේ කටයුතු ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් විසින් සිදුකරන අතර සීමිත නිලධාරීන් සංඛ්‍යාවක් සිටීම නිසා දිස්ත්‍රික්ක 14ක ස්ථාපිත කොට තිබු වර්ෂාමාන පද්ධති නඩත්තු කිරීමේ ගැටලු පවතින බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

ස්වයංක්‍රීය වර්ෂාමානවල අභ්‍යන්තර උපාංග නිසි ලෙස නඩත්තු නොකිරීම නිසා මෙකී වර්ෂාමාන නිරන්තරයෙන් අක්‍රියවීමට බලපා තිබුණි. එමෙන්ම ස්වයංක්‍රීය වර්ෂාමාන පද්ධතිවල දත්ත සම්ප්‍රේෂණයට සිදුවන අවහිරතාවන්ද නිවැරදි පූර්ව නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කිරීම කෙරෙහි බලපෑම් ඇතිකොට තිබූ බවද විගණනය මගින් අනාවරණය කොට තිබුණි.

වර්ෂාමාන පද්ධති 330ක් පැවතියද ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් පර්යේෂණ හා අවදානම් කළමනාකරණ අංශය විසින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය හා සම්බන්ධ කර තිබුණේ ස්වයංක්‍රිය වර්ෂාමාන පද්ධති 251 කින් ලැබෙන දත්ත පමණක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත රුපියල් මිලියන 22ක් වටිනා ආපදා මෙහෙයුම් රථයක් 2010 වර්ෂයේ දී ලබා දී තිබුණි. එමෙන්ම 2009 වර්ෂයේ දී රුපියල් මිලියන 3.8ක් වටිනා ජංගම ප්‍රදර්ශන රථයක් ලබාදී තිබුණි. මෙකී රථ දෙකම වසර 11ක් තිස්සේ අව් වැසි ආවරණයක් තුළ ගාල්කර තැබීමට කටයුතු කර නොතිබුණි. ජංගම ප්‍රදර්ශන රථය මහජනතාව දැනුවත් කිරීමේ කාර්යය සංවර්ධනය කිරීමේ අරමුණින් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන මගින් පරිත්‍යාග කොට තිබුණි. එහෙත් එම රථය යොදාගෙන ඇත්තේ භාණ්ඩ ප්‍රවාහනය කිරීම සඳහා බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.

අනික් කාරණය වන්නේ කාලයක සිට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පවතින සේවක හිඟය නිසා මෙකී ආයතනවල අරමුණු හා කාර්යයන් කාර්යක්ෂම ලෙස පත්වා ගෙන යෑමට නොහැකි වී තිබුණි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අනුමත තනතුරුවලින් තුනෙන් එකක් පුරප්පාඩුව පැවතුණි. මෙහි අනුමත කාර්ය මණ්ඩලය 465කි. එහෙත් දැනට සේවයේ නියුතු කාර්යමණ්ඩලය 288කි. පුරප්පාඩු සේවක සංඛ්‍යාව 177කි. මෙකී පුරප්පාඩුවලින් ද්විතික මට්ටමේ පුරප්පාඩු සංඛ්‍යාව 138කි.

ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනයේ පුරප්පාඩු 86ක් පැවතුණි. මෙකී සංවිධානයේ ජ්‍යෙෂ්ඨ මට්ටමේ තනතුරු 04ක් සඳහා පුරප්පාඩු 38ක් පැවතුණි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඇති පුරප්පාඩු සංඛ්‍යාව 117කි. එය පුරප්පාඩු වූ තනතුරු සංඛ්‍යාවෙන් සියයට 76ක් විධායක, තෘතියික, ද්විතියික මට්ටමේ නිලධාරීන් වේ. වසර ගණනාවක සිට මෙකී දෙපාර්තමේන්තුව තුළ පවතින සේවක හිඟය ආයතනයේ කාර්යසාධනයට ද දැඩි ලෙස බලපා තිබේ. තාක්ෂණික නිලධාරීන්ගේ හිඟය, කාලගුණ විද්‍යාඥයින් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම, කාලගුණ විද්‍යා පශ්චාත් උපාධි ලබාගැනීම සඳහා මෙරට තුළ හැකියාවක් නොමැතිවීම නිසා දෙපාර්තමේන්තුවේ කටයුතු කරගෙන යෑමේ දී ගැටලු රැසකට ලක්ව තිබේ. මේ නිසා කාලගුණික හා දේශගුණික තොරතුරු, අනාවැකි සැපයීමේ සේවාවන්, කෘෂිකර්ම හා ජල කළමනාකරණ කටයුතු සේවාදායකයින්ට තොරතුරු සැපයීමේ සේවාවන් හා නිකුත් සේවාවන් නිසි ලෙස පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

රටක සිදුවන ස්වාභාවික ආපදාවන් රටේ සංවර්ධන කටයුතුවලට දැඩි බාධාවක් එල්ල කරන අතර මේ නිසා ජනතාව ද දැඩි පීඩාවන්ට ලක්වේ. ඒ අනුව 2030 තිරසර සංවර්ධන ඉලක්ක යටතේ දේශගුණික විපර්යාස හා එමගින් ඇතිවන බලපෑම්වලට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම සඳහා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය හා ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය අරමුණු 13ක් යටතේ ඉලක්ක හා දර්ශන සකස්කොට තිබුණි. ආපදාවලින් මෙරට ජනතාවට ආර්ථිකයට ඇතිවන බලපෑම අවම කරගැනීම සඳහා ජාත්‍යන්තර් සෙන්දායි ආකෘතිය ප්‍රකාරව අදාළ ආයතන විසින් සැලසුම් සකස් කිරීම, ක්‍රියාත්මක කිරීම හා ප්‍රගතිය නියාමනය කිරීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශ කොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment