පන්සල්වල සාමාන්‍යයෙන් කහ කොඩි මිස කළු කොඩි දමනු නොලැබේ. එහෙත් ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කෙරුණු දවසේ කොළඹ හුණුපිටියේ ගංගාරාම විහාරස්ථානයේ කළු කොඩි දමන ලදී. එය ලංකා ඉතිහාසයේ බෞද්ධ විහාරස්ථානයක කළු කොඩියක් දමනු ලැබූ මුල් වතාව විය යුතුය. ජේ. ආර්. ජයවර්ධන විසින් ඉන්දු – ලංකා ගිවිසුම අත්සන් කිරීමට එරෙහිව මේ කළු කොඩිය දමන ලද්දේ ගංගාරාමයේ සුප්‍රසිද්ධ පොඩි හාමුදුරුවන් වූ ගලගොඩ ඤාණිස්සර ස්ථවිරයන් වහන්සේ විසිනි. එම කළු කොඩි දැමීමෙන් ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ ජේ. ආර්. ජයවර්ධන සමග මතවාදීව ගැටුණාහ. ජේ. ආර්. හැප්පෙන්නට යෑම ලේසි කාරණයක් නොවේ. ඇතාගේ මතකය මෙන් සියුම් මතකයක් ජේ.ආර්.ට තිබුණු අතර ඔහු තමාට ලැබුණු පළමු වන අවස්ථාවේදීම පළි ගත්තේය. අප මෙහිදී ඇතාගේ මතකය ලෙස සඳහන් කරන ලද්දේ දුටුගැමුණු රජුගේ රාජකීය හස්තියා වන කණ්ඩුල ඇතුගේ මතකයය. කණ්ඩුල ඇතා ඇත් පැටවකුව සිටි සමයේදී දුටුගැමුණු රජුගේ හිත මිතුරු දස මහා යෝධයෙක් ඇතාගේ දළ දෙකින් අල්ලා බිම දණ ගැස්සවීය. මෙයින් බලවත් ලැජ්ජාවටත් කෝපයටත් පත් කණ්ඩුල ඇත් පැටවා ගල් කැටයක් ගෙන හක්කේ තබා ගත්තේ තමා දණ ගැස්වූ යෝධයාට ලැබෙන පළමු වන අවස්ථාවේදීම එම ගල් කැටයෙන් පහර දීම පිණිසය. විජිතපුර සටන පවතින විටද කණ්ඩුලගේ හක්කේ මේ ගල් කැටය තිබිණ. සටන කෙරීගෙන යන අතරතුර එළාරගේ සෙබළු කණ්ඩුල ඇතාගේ සිරුර මතට දැවයෙන් කළ යෝධ උලක් හෙලූහ. එම උල කණ්ඩුලගේ පිටේ වැදුණේ නම් ඒ සතා සිදුරු වීම ස්ථිර විය. මෙය දුටු කණ්ඩුල බිම දණ ගැස්වූ යෝධයා අහසට පැන ශක්තිමත් පාපහරක් දී එම දැව උල එළාරගේ බළකොටුව තුළට යෑමට සැලැස්වීය. එකල්හි කණ්ඩුල ඇතා තම හක්කේ තිබූ ගල හොඬින් ගෙන පසෙකට වීසි කළේ සියලු පැරණි තරහ අමතක කර පළිගැනීමේ චේතනාව නැති කර දමමිනි. තමාට රිදවූ කෙනාගෙන් පළිගැනීමේ ජේ. ආර්. ජයවර්ධන ව්‍රතය ගැන ගංගාරාමයේ පොඩි හාමුදුරුවන් ඉතා හොඳින් දැන සිටි නමුදු උන්වහන්සේ ස්වල්පයක් වත් බියපත් වූයේ නැත.
ගලබොඩ ඤාණිස්සර හාමුදුරුවෝ ජාතිවාදියෙක් නොවෙති. උන්වහන්සේ මේ රටේ ජාතික ඒකග්‍රතාවය සහ භෞමික අඛණ්ඩතාවය ගැන හුඟක්ම වද වූහ. ගංගාරාමයේ පිහිටි හුණුපිටිය ඉතාම සංවේදී ප්‍රදේශයකි. එහි ජන ඝනත්වය තුළ සෑම ජන කොටසක්ම ජීවත් වූහ. එවැනි තැනක ගංගාරාමය වැනි විශාල පන්සලක් ඉදිකොට පවත්වාගෙන යෑම මාර ගේමකි. මේ ගේම් එකේදී උන්වහන්සේ කාටවත් බිය වූයේ නැත. බණ දහමින් මෙන්ම අතින් පයින්ද හොඳ නරක කියා දීමට දැන සිටි උන්වහන්සේ සමග මිතුරුකමින් සිටීම ශරීර සෞඛ්‍යයට හේතුවිය හැකි බව උන්වහන්සේට විරුද්ධ වූ විවිධ ජනවාර්ගිකයෝ දැන සිටියහ. මේ නිසා ගංගාරාමයේ අවට ප්‍රදේශය අභය භූමියක් හා සම විය. ඉතාම පැරණි මුද්‍රණ යන්ත්‍ර සහ වෙනත් යන්ත්‍ර සූත්‍ර තැන්පත් කළ ප්‍රදර්ශන මැදිරි පේළියක් ගංගාරාමයේ ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ තිබේ. මේවාට කිසිම ආරක්ෂාවක් යොදා නැත. මේවාට තිබූ සහ තිබෙන එකම ආරක්ෂාව වන්නේ පොඩි හාමුදුරුවන්ගේ කටේ බලය පමණි. ඒ නිසා කිසිදු කුඩ්ඩෙක් කවදාවත් මේ යන්ත්‍ර සූත්‍ර පරණ යකඩවලට විකිණීම සඳහා කපාගෙන ගියේ නැත. ගංගාරාමය සතු ශ්‍රී ජිනරතන අධ්‍යාපන ආයතනය මගින් මේ තරුණ තරුණියන් ලක්ෂයකට පමණ වෘත්තීය පුහුණුව ලබාදී තිබේ. එම පුහුණුව පිළිබඳ සහතිකය ඉහළම මට්ටමින් පිළිගැනෙන සහතිකයකි. පොඩි හාමුදුරුවන් ගංගාරාම විහාරයත් ජිනරතන අධ්‍යාපන මධ්‍යස්ථානයත් සාදන ලද්දේ ගඩොලින් ගඩොල එකතු කරමිනි. පන්සලට අයත් ඉඩම උන්වහන්සේ විසින් පුළුල් කරගන්නා ලද්දේ වර්ග අඩිය බැගිනි. එනම් පන්සල ගොඩනැංවීම සඳහා ගඩොල් කිහිපයක් මිලට ගෙන දෙන්නැයි උන්වහන්සේ දායකයන්ගෙන් ඉල්ලා සිටියහ. එසේම පන්සලේ ඉඩමට වර්ග අඩියක් එකතු කර ගැනීම සඳහා එම වටිනාකමට පරිත්‍යාගයක් කරන්නැයි උන්වහන්සේ ජනතාවගෙන් ඉල්ලා සිටියහ. ගංගාරාමය යනු මේ රටේත් ධනවත්ම දායකයන්ගෙන් සහ දුප්පත්ම දායකයන්ගෙන් නිර්මිත වූ දායක සභාවක් ඇති විහාරයකි. ඒ අනුව ගංගාරාමයේ හැම බිත්තියකටම ධනවතුන්ගේ මෙන්ම දුප්පතුන්ගේද දහඩිය මුසු වී තිබේ.
ගලබොඩ ඤාණිස්සර හාමුදුරුවෝ මේ රටේ බලගතු දේශපාලනඥයන් සමග ඉතා කිට්ටුවෙන් ඇසුරු කළහ. ජේ.ආර්., ප්‍රේමදාස, රනිල් වික්‍රමසිංහ යනාදී වූ උන්වහන්සේගේ ඉතා හොඳ මිතුරෝ වූහ. මේ කිසිකෙනෙක් කවදාවත් උන්වහන්සේ සමග ගැටුම් ඇතිකර නොගත්හ. සමහරවිට එවැනි ගැටුමක් ඇති වී නම් එය හුණුපිටියේ ලෝක සංග්‍රාමය පටන් ගත්තාක් හා සමාන වීමට ඉඩ තිබිණ. උන්වහන්සේ පසුපස සෑම කල්හිම සිටි සෙන්පතියා ද අග්‍ර ශ්‍රාවකයාද ප්‍රධාන උපස්ථායකයාද වූයේ ආචාර්ය කිරින්දේ අස්සජි හාමුදුරුවෝය. ගලබොඩ ඤාණිස්සර හාමුදුරුවන් වහන්සේ අවුරුදු කිහිපයක් බලවත් සේ ගිලන්ව එක්තැන්ව සිටියද ඒ බවක් බැතිමතුන්ට නොදැනෙන සේ වැඩ කිරීමට අස්සජි හිමියෝ සිය ශක්තිය මුදාහළහ.