විදේශයන්හි වෙසෙන පාකිස්තාන ප්‍රජාව වෙනුවෙන් සංවිධානය කර තිබූ විශේෂ සමුළුවක් අප්‍රේල් 13 සිට 16 දක්වා ඉස්ලාමාබාද් හිදී පැවැත්විණි. එවැනි සමුළුවක් එරට පැවති පළමු අවස්ථාව මෙයයි. මෙම සමුළුව අමතමින් පාකිස්තානයේ බලවත් පුද්ගලයා වන හමුදාපති ජෙනරාල් අසීම් මුනීර්, ඉන්දීය පාලිත කාශ්මීරය පාකිස්තානයේ කශේරුකා නහරය’ ලෙස හැඳින්වූ හින්දු සහ මුස්ලිම් ජාතීන් අතර වෙනස අවධාරණය කළේය. ලෝකයේ කිසිදු බලවේගයකට කාශ්මීරය පාකිස්තානයෙන් වෙන් කළ නොහැකි බව ද ඔහු අවධාරණය කළේය. “අපි එකක් නෙවෙයි, ජාතීන් දෙකක්. අපේ මුතුන් මිත්තන් විශ්වාස කළේ අපි හින්දු භක්තිකයන්ගෙන් සෑම අතින්ම වෙනස් බවයි. අපේ ආගම, සිරිත් විරිත්, සම්ප්‍රදායන්, සිතුවිලි සහ ඉලක්ක සියල්ල ඔවුන්ගේ ඒවාට වඩා වෙනස්” ජෙනරාල් මුනීර් පැවසීය. ඉංග්‍රීසි භාෂාවෙන් ඔහු මේ කතාව පවත්වන අතර කුරාන පාට කිහිපයක්ම එක්කර තිබිණි. ඉතිහාසයේ හමුදාපතිවරයකුට නොවූ කුරානය පිළිබඳ දැනුමක් ඔහුට ඇති අතර ඔහු කාලයේ අධ්‍යාපනය ලබා ඇත්තේ මද්‍රාසා පාසලකය. ඉන්දීය මාධ්‍ය පාකිස්තාන හමුදාපතිගේ කතාව පිළිබඳව දැඩි අවධානයක් යොමු කර තිබූ අතර ඔවුන් පවසන්නේ එතෙක් මෙතෙක් බිහිවූ දැඩි ඉස්ලාම් භක්තිකයක් ඇති හමුදාපතිවරයා මොහු බවයි. මීට පෙර වඩා දැඩි ඉස්ලාම් නැඹුරුවක් තිබුණු හමුදාපතිවරයා වූයේ කලක් එරට පාලකයා ලෙසද කටයුතු කළ ජෙනරාල් සියාඋල් හක් වේ. පාකිස්තාන හමුදාව මේ වන විට එරට ජනප්‍රිය නොවන තත්ත්වයක පසුවන නිසාත් ත්‍රස්ත ක්‍රියා වර්ධනය හේතුවෙන් රටේ පවතින ආරාජික භාවය නිසාත් හමුදාපතිවරයා මෙවැනි කතාවක් කර එරට වඩා ශක්තිමත් මෙන්ම ඉස්ලාමය ආරක්ෂා කරන්නේ හමුදාව පමණක් බව ලොවට ඒත්තු ගැන්වීමට මේ කතාව උපයෝගි කරගත් බව පෙනී යයි. ඉන්දීය ආණ්ඩුව ද මේ ප්‍රකාශ ගැන කලබල වූයේ පාකිස්තානයේ සිවිල් ආණ්ඩුව නොව තීරක බලය ඇත්තේ හමුදාවේ නිසාය.

පාකිස්තාන හමුදාපතිගේ ප්‍රකාශයෙන් දින පහක් යන්නට ප්‍රථම කාශ්මීරයේ පහල්ගම් අසල බයිසරන් නිම්නයේ ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය. මෙම ප්‍රහාරයෙන් සංචාරකයන් 28 දෙනෙක් මරුමුවට පත්ව ඇති අතර 2008 මුම්බායි ප්‍රහාරයට පසුව එරට සිවිල් වැසියන් ඉලක්ක කරගෙන එල්ලවූ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය මෙයයි. මේ නිසා වික්ෂිප්තවූ අගමැති මෝදි සිය සවුදි අරාබි සංචාරය අතරමග නවතා දමා නැවත දිල්ලියට පැමිණියේ ජාතික ආරක්ෂාව ගැන බලවත් ප්‍රශ්නයක් මතුව ඇති නිසාය. කාශ්මීර පොලිස් ඇඳුමින් පැමිණි ප්‍රහාරකයන් සය දෙනෙක් විසින් කාශ්මීරයේ ස්විස්ටර්ලන්තය නමින් හැඳින්වෙන මෙම නිම්නයේ නිවාඩුව ගත කරමින් සිටි පිරිමින් තෝරාගෙන හින්දු ද මුස්ලිම් දැයි අසමින් හිසට වෙඩි තබා ඝාතනය කර තිබේ. නමුත් කාන්තාවන් හා දරුවනට ප්‍රහාර එල්ල කර නැත.

කාශ්මීර ප්‍රහාරය ඉන්දියාව හා පකිස්තානය යුද ගැටුමක අභියස?

පූනේහි ව්‍යාපාරික සන්තෝෂ් ජග්ඩේල්ගේ දියණිය වන 26 හැවිරිදි අසවරි ජග්ඩේල්, මෙම මාරාන්තික සිද්ධියෙන් පැය කිහිපයකට පසු මාධ්‍ය වෙත සිදුවීම්වල වේදනාකාරී අනුපිළිවෙළ විස්තර කළාය. තුවක්කුකරුවන් විසින් තම පියාට කූඩාරමකින් එළියට එන ලෙස නියෝග කර ඉස්ලාමීය පදයක් කියන්නැයි ඉල්ලා සිටි මොහොත නැවත සිහිපත් කරන විට ඇගේ හඬ වෙව්ලන්නට විය – එය ඔහුට ඉටු කළ නොහැකි ක්‍රියාවකි. ප්‍රතිචාර වශයෙන්, ඔවුන් ඔහුට තුන් වතාවක් වෙඩි තැබූහ: එක් වරක් හිසට, එක් වරක් කන පිටුපසට සහ නැවත පිටුපසට වෙඩි තැබිණි. “අපි මගේ දෙමව්පියන් ඇතුළු පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක්. අපි පහල්ගම් අසල බයිසරන් නිම්නයේ සිටියා, වෙඩි තැබීම ආරම්භ වන විට මිනි ස්විට්සර්ලන්තය නම් ස්ථානයක හිටියේ. ඇගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු, ත්‍රස්තවාදීන් ඇය අසල වැතිර සිටි ඇගේ මාමා දෙසට හැරී ඔහුට පිටුපසට කිහිප වතාවක් වෙඩි තැබූහ. “මගේ මාමා මගේ ළඟ හිටියා. ත්‍රස්තවාදීන් ඔහුට වෙඩි උණ්ඩ හතරක් හෝ පහක් එල්ල කළා. ඔවුන් එම ස්ථානයේ සිටි තවත් පිරිමින් කිහිප දෙනකුට වෙඩි තැබුවා. උදව් කිරීමට කිසිවකු සිටියේ නැහැ. පොලිසියක් හෝ හමුදාවක් නැහැ පස්සේ පොලිසිය ආවේ මිනිත්තු 20 කට පස්සෙයි. ඇත්තටම වෙඩි තැබීම වුණේ සවස 3.30ට විතර. අසවරි, ඇගේ මව සහ තවත් කාන්තා ඥාතියකු දිවි ගලවා ගත්හ. ඇත්තෙන්ම ප්‍රහාරකයෝ මොවුන් ඉලක්ක කර නොගත්හ.

එසේම කාන්පූර්හි පදිංචි ශුභම් ද්විවේදි පෙබරවාරි මාසයේදී විවාහ විය. පවුලේ සාමාජිකයන් 11 දෙනකු කාශ්මීරය නැරඹීමට ගොස් තිබුණි. ශුභාම් පෝනියෙකු පිට නැඟී සිටියදී ත්‍රස්තවාදීන් ඔහුගේ හිසට වෙඩි තැබූහ. ඔහුගේ බිරිය සිය සැමියාගේ සිරුර අසල වාඩිලාගෙන හඬමින් සිටින සේයාරුව සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් පවතී.

“ශුභම් මේ අවුරුද්දේ පෙබරවාරි 12 වෙනිදා විවාහ වුණා. ඔහු තම බිරිඳ සමග පහල්ගම්වල හිටියා. සිද්ධියෙන් පස්සේ ඔහුගේ බිරිඳ මගේ මාමාට කතා කරලා කිව්වා ශුභම්ගේ හිසට වෙඩි වැදිලා කියලා. වෙඩි තැබීම ආරම්භ වුණේ පුද්ගලයන්ගේ නම් විමසීමෙන් පසුව කියලාත් කියනවා. සියලුම විධිමත් කටයුතු අවසන් වෙලා දින 2-3 කින් ශුභම්ගේ දේහය නිදහස් කරන බවට අපට තොරතුරු ලැබී තිබෙනවා,” ශුභම් ගේ ඥාතියකු ඉන්දීය මාධ්‍යයට පවසා තිබිණි.

කාශ්මීර ප්‍රහාරය ඉන්දියාව හා පකිස්තානය යුද ගැටුමක අභියස?

කොච්චර සටන්කාමීන් හිටියාද කියලා මට කියන්න බැහැ, ඔවුන් කුඩා තණබිමක් ළඟ තිබුණු වනාන්තරයෙන් එළියට ඇවිත් වෙඩි තියන්න පටන් ගත්තා,”

ඔවුන් පැහැදිලිවම කාන්තාවන් අතහැර දමා පිරිමින් පමණක් ඉලක්ක කර ගත්තා. සමහර පිරිමින් එක උණ්ඩයකින්, සමහරුන්ට බහු උණ්ඩවලින් මියගියා. ඒ ස්ථානය කුණාටුවක් හමා ආවා වගේ,” සිද්ධියට මුහුණ දුන් පල්ලවි රාඕ පවසයි. මේ ප්‍රහාරකයන් වෙඩි තබන විට අගමැති නරේන්ද්‍ර මෝදිට සහාය දක්වන අයට චෝදනා කළ අතර තමන් කිසිවිටක කාන්තාවන් හෝ ළමයින් ඝාතනය නොකරන බව කියා සිටියහ. ඇත්තෙන්ම 2018 දී පාකිස්තානයට ගිය කාශ්මීර ජාතිකයන් දෙදෙනකු සංචාරකයන් ඝාතනය කළ ත්‍රස්තවාදීන් අතර සිටින බව ඉන්දීය ආරක්ෂක අංශ සැකකරයි. අනෙක් අය ඉතා හොඳින් පුහුණුව ලැබූ පාකිස්තාන ජාතිකයන්ය.

මෙම ප්‍රහාරයෙන් පසුව පාකිස්තානය හා ඉන්දියාව අතර යුද උණුසුමක් මතුව තිබේ. අනිවාර්යයෙන්ම ඉන්දියාව පාකිස්තානයේ ත්‍රස්ත ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානම මතුව ඇත. මේ ප්‍රහාරය දැන් ලෝක බලවතෙක් බවට පත්ව සිටින ඉන්දියාවට නිග්‍රහයකි. දැන් ලැජ්ජාව මකා ගැනීම වෙනුවෙන් කුමක් හෝ කළ යුතුය. හින්දු ජාතිකවාදීහු දැනටමත් පාකිස්තානයට එරෙහි ක්‍රියාමාර්ගයක් ගත යුතු බව පවසමින් විථි බස තිබේ. නරේන්ද්‍ර මෝදී ආණ්ඩුව සෑමවිටම ප්‍රකාශ කළේ කාශ්මීරය වඩා හොඳින් ආරක්ෂිත බවයි.

මියගිය 26 දෙනාගෙන් 25 දෙනකු හින්දු භක්තිකයන් එනිසාම මේ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමට රජයට දැඩි පීඩනයක් එල්ල වේවි.” ඉන්දියාවේ උතුරු අණදෙන නිලධාරියා වූ විශ්‍රාමික ඉන්දීය හමුදා ජෙනරාල් ඩී. එස්. හූඩා පවසයි. ප්‍රහාරකයන් විසින් හින්දු භක්තිකයන් වෙනම තෝරා ඝාතනය කිරීම හරහා රජයට බලවත් පීඩනයක් එල්ලවන බවයි. 2019 දී ඉන්දීය අගමැතිවරයා කාශ්මීරය භුක්ති විඳි අර්ධ ස්වයං පාලනය ඉවත් කර දැමුවත් මේ ප්‍රහාරය හරහා දිස්වන චිත්‍රය සුබ නැත.

චතුර පමුණුව


advertistmentadvertistment