කුඩා මදුරුවෙක් විශාල අභියෝගයක්

36

ඩෙංගු වෛරසය හා අපගේ වගකීම

ඩෙංගු වෛරසය දිවයිනේ බොහෝ ප්‍රදේශයන්වල විශේෂයෙන්ම වඩාත් නාගරීකරණය වූ හා ජනාකීර්ණ වූ ප්‍රදේශවල වසර මුළුල්ලේම පැතිරයෑමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. මෙහිදී වැඩි රෝගීන් සංඛ්‍යාවක් වසර මැද නිරතදිග මෝසම් වැසි ආශ්‍රිතවත් වසර අගදී ඊසාන දිග මෝසම් වැසි සහිත කාලගුණය ආශ්‍රිතවද වාර්තා වේ.

ඩෙංගු වෛරසය ඊඩිස්ඊජිප්ටයි නම් මදුරුවන් දෂ්ට කිරීම හරහා පැතිරෙන වෛරස් රෝගයක් වන අතර ලොව පුරා මහජන සෞඛ්‍ය ගැටලුවක් බවට මෙය පත්ව ඇත. ඊඩිස් මදුරුවාගේ බිත්තරවලට අහිතකර පාරිසරික හා දේශගුණික තත්ත්වයන් දරාගෙන මාස ගණනාවක් වුවද නොනැසී සිටීමේ විශේෂ හැකියාවක් තිබෙන අතර මේ හේතුවෙන් මදුරුවාගේ කීට අවස්ථා පිලා අවස්ථා සහ සුහුඹුල් අවස්ථාවන් විනාශ කළද මදුරු බිත්තර රැඳී ඇති බඳුනකට ජලය වැටුණු විගස බිත්තර පුපුරා නැවත මදුරුවන් බෝවීමේ හැකියාව ඇත.

ඩෙංගු මදුරුවන් බෝවෙන ස්ථාන කිහිපයක් මෙහිදී හඳුනාගත හැකි වේ. ඉවතලන ප්ලාස්ටික්, මැටි හා ලෝහ බඳුන්, වතුර ටැංකි, ශීතකරණ තැටි, වියළි fඅපාල් කෝම්බ හා වැහිපීලි, විසිතුරු මල් බඳුන් වැනි ජලය රැඳෙන ස්ථානවල මෙම මදුරුවන් බිත්තර දමයි.

ඩෙංගු වෛරසය සහිත මදුරුවකු දෂ්ට කිරීමෙන් ඕනෑම පුද්ගලයකුට රෝගය වැළඳෙන්න පුළුවන්. ඩෙංගු වෛරස් රෝගය ආසාදනය වූ ආසාදිතයකු පෙන්වන රෝග ලක්ෂණ කිහිපයක් පවතී. මුල් දින තුන තුළ ඩෙංගු රෝගයත්, සාමාන්‍ය වෛරස් උණත් අතර ලොකු වෙනසක් පෙන්නුම් කරන්නේ නැත. ඩෙංගු රෝගයේ ලක්ෂණ කිහිපයක් පවතී. අධික උණ, හිසරදය, ඇස් යට වේදනාව, වමනය, මස්පිඬු වේදනාව සහ හන්දි වේදනාව මූලික ලක්ෂණ කිහිපයකි. මුල් දින දෙක තුන පසුවීමත් සමග ඩෙංගු රෝගය ආකාර දෙකකින් පවතින්නට පුළුවන. එක ඩෙංගු උණ වශයෙන් දිගටම තිබීම සහ දෙක ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් බවට පත්වීම.

කුඩා මදුරුවෙක් විශාල අභියෝගයක්

මේ දෙකෙන් උණ පමණක් තියෙනවා නම් මුලින් සඳහන් කළ ලක්ෂණ තියෙන්න පුළුවන. ඩෙංගු රක්තපාත උණ තත්ත්වයට පත් වුණොත් රුධිරයේ පට්ටිකා විශාල වශයෙන් අඩුවීම නිසා සමේ ලේ යෑම් ඇති වීමට පුළුවන. ඒ වගේම රුධිර පීඩනය අඩුවීමද සිදු වේ. ඒ හේතුවෙන් ක්ලාන්ත ගතිය ආදී දේවල් ඇති වීමට හැකියාව තිබේ.

මෙම වෛරසය ශරීරයට ඇතුළු වී ඇද්දැයි දැනගැනීමට විවිධ හේතු මඟින් හැකියාව ලැබේ. නොනවත්වා වමනය කිරීම, බඩේ කැක්කුම, තද පිපාසය, අධික නිදිමත බව හා සිහි මඳ ගතිය, ආහාර අරුචිය, අත් පා සුදුමැලි හා සීතල වීම, සමේ පැහැය වෙනස්වීම ආදී රෝග ලක්ෂණ පෙන්වනවා නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය.

ඩෙංගු රෝගය කලින් හඳුනාගෙන නිසි ප්‍රතිකාර ලබාදීම මගින් ඩෙංගු රෝගයේ සංකූලතා හා ආසාද්‍යභාවය අවම කළ හැකිය. නැතිනම් ඩෙංගු රක්තපාත තත්ත්වයක් දක්වා මෙය ගමන් කරයි. මෙම වෛරසයේ රෝග ලක්ෂණ දැනුණු විගස ගර්භනී කාන්තාවන්, වයෝවෘද්ධ රෝගීන්, ළදරුවන් සහ ස්ථූල බව සහිත රෝගීන් හැකි ඉක්මනින් රෝහල් ගතවී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය. ඩෙංගු රෝගය වැළඳීමෙන් පසු රෝගියාට විවේකය ලබාදීම, දියර වර්ග බීමට දීම, රෝගියාට මුත්‍රා පිටවන වාර ගණන ගැන සැලකිලිමත් වීම, පැරසිටමෝල් නියමිත මාත්‍රාව පැය හයකට වරක් ලබාදීම වැනි කරුණු පිළිබඳ සැලකිලිමත් විය යුතුය.

මාරාන්තික ඩෙංගු උවදුරින් වැළකීම සඳහා අපට කළ හැකි දෑ වන්නේ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන ශුද්ධ පවිත්‍රකොට පිරිසිදුව පවත්වාගෙන යෑමයි. පාසල් අවට, නිවෙස් අවට, ජලය රැඳෙන ස්ථාන විනාශ කිරීම හෝ විකල්ප ක්‍රම භාවිත කළ යුතුය. ඉවතලන අපද්‍රව්‍ය, පොල් කෝම්බ, යෝගට් කප්, ඉවතලන මැටි බඳුන් යනාදිය ජලය රැඳිය හැකි ද්‍රව්‍ය නිසි ලෙස බැහැර කිරීම තුළින් මදුරුවන් බෝවීම වළකාගත හැකිය. මදුරුවන් වැඩි වශයෙන් ක්‍රියාකාරී වන කාල පරාසයන්වලදී ශරීරය ආවරණය වන පරිදි ඇඳුම් ඇඳීම, රාත්‍රියට මදුරු දැල් භාවිත කිරීම ආදිය තුළින් මදුරු උවදුරෙන් තරමක් දුරට හෝ වැළකී සිටිය හැකිය.

එබැවින් මෙම මාරාන්තික රෝගයෙන් තම සමීපතමයන් ගළවා ගැනීමට සමාජයක් වශයෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතුය.

හංසිනී හල්විතාන
ජනසන්නිවේදන අධ්‍යනාංශය
කැළණිය විශ්වවිද්‍යාලය


advertistmentadvertistment