හදිසි මිලදී ගැනීම් තීරණයත් සමග විදුලි මාෆියාව ආයෙත් දිනුවා – විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික

51

එක ඩොලරයක් දීලා ඒස් ඇඹිලිපිටිය බලාගාරය දැන්වත් රජයට ගන්න

ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් හදිසි විදුලිය මිලදී ගැනීමට රජය තීරණය කිරීමත් සමගම විදුලිය මාෆියාව ජයග්‍රහණය කළේ යැයි විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ලේකම් සංජීව ධම්මික මහතා පැවසීය.

කොළඹ ඊයේ (18 දා) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කීවේය.

ඒ මහතා මෙසේද පැවසීය.

ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරයෙන් විදුලිය මිලදී ගැනීමට ආණ්ඩුවට වුවමනාව තිබ්බා. ඒ වුවමනාව ඉෂ්ට කරගත්තා. විදුලි මාෆියාව ඊයේ දිනයේ ජයග්‍රහණය කළා. හදිසි විදුලිය ගන්නෙ දිගුකාලීන ජනන සැලැස්මක් නැති හින්දා තමයි. දිගුකාලීන ජනන සැලැස්මක් ක්‍රියාත්මක කරන්න කැබිනට් මණ්ඩලය, මේ පාර්ලිමේන්තුව, කතා නායකයා ඇතුළු සියලු පිරිස අසමත් වෙලා තියෙනවා. ජනතාව වෙනුවෙන් අඩු වියදම් බලාගාර ඉදි කරලා ජනතාවට සහන දෙන්න පහුගිය රජයවල් දෙකම අසමත් වෙලා තියෙනවා. විදුලි පාරිභෝගිකයො හැටියට අපි ඔය කණ්ඩායමට දෝස්මුරේ දානවා. මේ ඇඹිලිපිටිය කියන පුද්ගලික සමාගම පළමුව 2005 පටන් අරන් දෙදහස් 2015 වන විට වසර දහයක් ගිවිසුම් ගතව හිටියා.

මේ ගිවිසුම අවසන් වුණාට පස්සේ කැබිනට් තීන්දුවක් ගත්තා ගිවිසුම නැවත වසරක් දික් කරන්න කියලා. හැබැයි ඒ කැබිනට් තීන්දුව ක්‍රියාත්මක නොකර තව වසරක් පමණ ගිහිල්ලා නැවත හදිසියේ ම විදුලිය මිලදී ගන්නවා. හැබැයි පනත අනුගමනය නොකර කටයුතු කරමින් තමයි මේ අය මිලදී ගත්තේ.

මේ බලාගාරය රජයට මිලදී ගන්න කියලා කමිටුවක් පත් කළා. ඒ කමිටුව මේ ගැන තක්සේරුවක් ගත්තා. රජයේ එම තක්සේරුකරුගේ මිල වුණේ රුපියල් මිලියන 2370යි. හැබැයි බලාගාර හිමිකරුගේ මිල වුණේ රුපියල් මිලියන 2446යි. නමුත් විගණකාධිපති කිව්වේ මේක හරියට තක්සේරු කළා නම් එම බලාගාරයේ සත්‍ය වටිනාකම මිලියන 4176 ක් කියලයි.

මේකෙන් පේන්නේ රජයේ තක්සේරුකරු හිතාමතාම මෙම බලාගාරයේ වටිනාකම රුපියල් මිලියන 1806ක් අවප්‍රමාණය කරලා තක්සේරු කරලා ඇති බවයි. ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරය මිලදී ගන්න පත්කරපු කමිටුවටත් වුවමනාව වී තිබුණේ මිලදී ගන්න නෙවෙයි ගිවිසුම දීර්ඝ කරන්න විතරයි. ඩීසල් මාෆියාව ඒ තරම් බලවත්.

දකුණේ විදුලි ප්‍රශ්නය අද ඊයෙ ආව එකක් නෙවෙයි. දකුණු පළාතේ සම්ප්‍රේෂණ පද්ධතිය ඉදිකිරීමට දළ ඇස්තමේන්තු දෙකක් තිබුණා.

එම ඇස්තමේන්තුවල සඳහන් වියදම මෙන් 13 ගුණයක් හා 11 ගුණයක් ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරයට හදිසි විදුලිය මිලදී ගැනීම් සඳහා ගෙවලා තියනවා. එසේ හදිසි මිලදී ගැනීම් කරන වෙලාවෙ මේ සම්ප්‍රේෂණ පද්ධතිය ඉදි කළා නම් කොතරම් මුදලක් ඉතිරි වෙනවද.

ඒස් පවර් ඇඹිලිපිටිය බලාගාරය ඇමරිකානු ඩොලර් මිලියන 61 ක ආයෝජනයක්. ආයෝජනයෙන් සියයට 70%ක් හෙවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 43 ක් ප්‍රාග්ධනයක් වෙනුවෙනුයි. ඉතිරි ඩොලර් මිලියන 18 ස්කන්ධ ප්‍රාග්ධනය හැටියට තමයි පෙන්නලා දීලා තියෙන්නේ.

මේ බලාගාරය පටන්ගෙන පළවෙනි අවුරුදු දහයේ විතරක් ලාභය බිලියන අටකට වැඩියි. 2021 මාර්තු දක්වා ලබා ඇති සමස්ත ශුද්ධ ලාභය බිලියන දාහතරකට වැඩියි. මේක ඔවුන් කරපු ආයෝජනයක් එක්ක බලනකොට සියයට 885 ක් වෙනවා.

මේවා මෙහෙම වෙන්නේ කොහොමද කියලා ජනතාව සිතාගත යුතුයි. වාහනයක නම් ලීසිං ගෙවලා ඉවර වෙනකොට ඒ වාහනය මුදල් ගෙවූ කෙනාට අයිති වෙනවා. ඒස් ඇඹිලිපිටිය බලාගාරය සම්බන්ධ කැබිනට් පත්‍රිකාවේ තිබුණෙත් එහෙම තත්ත්වයක්. ඒ කියන්නේ ඒ කාලය වෙනකොට ධාරිතා ගාස්තු සම්පූර්ණයෙන් ගෙවා අවසන් වෙනවා.

2018 කැබිනට් පත්‍රිකාවට අනුව ඩොලර් එකක් ගෙවා 2021 දී බලාගාරය රජයට ගත හැකියි. නමුත් කිසිම ආණ්ඩුවක් මේක කරන්නේ නෑ. ඩීසල් මාෆියාව නඩත්තු කරනවා විතරයි. අපි අදටත් කියන්නේ ඩොලර් එකක් ගෙවලා මේක රජයට පවරා ගන්න කියලයි. එවිට දැවිතෙල් යොදල අපට විදුලිය නිෂ්පාදනය කරන්න පුළුවන්. නැත්නම් හැමදාම වෙන්නේ මේ විදියට හදිසි විදුලිය මිලදී ගන්නයි.

විදුලිය පාවිච්චි කරන්නන් කරන්නන්ගේ සංගමයේ සභාපති එම්. ඩී. ආර්. අතුල මහතා ද මෙම මාධ්‍ය සාකච්ඡාවට එක් විය.

අනුරාධ හිරිපිටියගේ

advertistmentadvertistment
advertistmentadvertistment