වැඩි මිලට බෙහෙත් දුන් පෞද්ගලික රෝහලට නඩු

108

රු.187 සේලයින් බෝතලයට රු.1685ක් අය කරලා

රජය මගින් නියම කර තිබෙන උපරිම සිල්ලර මිල නොතකා වැඩි මිල ගණන් යොදා ඖෂධ සඳහා බිල්පත් නිකුත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඖෂධ නියාමන අධිකාරිය විසින් බොරැල්ල, නාරාහේන්පිට ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට එරෙහිව මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරා තිබේ.

නුගේගොඩ, මද්දුවත්ත ප්‍රදේශයේ පදිංචි රෝගී කාන්තාවකගේ පුත්‍රයකු වන සනත් අතුකෝරල මහතා විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව ඖෂධ නියාමන අධිකාරිය මෙම නඩුව ගොනුකර තිබේ.

ඉකුත් 2023 පෙබරවාරි 07 වැනිදා සිට පෙබරවාරි 19 දා දක්වා මෙම රෝගී කාන්තාව මෙම පෞද්ගලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබාතිබෙන අතර එහිදී ඇයට ලබාදුන් එන්නත් ඇතුළු ඖෂධ එකොළහක්ම රජය අනුමත කර තිබෙන මිලට වඩා වැඩි මිල ගණන් බිල්පතට ඇතුළත් කර ඇතැයි මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත.

රුපියල් 187ක් වන සේලයින් බෝතලයක් සඳහා රුපියල් 1685.20 ක මිලක්ද, Lyortam 1 GINJ (ERTATENEM) එන්නත උපරිම මිල වන රුපියල් 12,264 සඳහා රුපියල් 33447.30ක මුදලක් ද රුපියල් 6696.50 වන MERONES 1 G (MEROPENMEM) එන්නත සඳහා රුපියල් 17,730ක මුදලක් ද ආදී වශයෙන් නියම කරමින් ඖෂධ එකොළහක් සඳහා උපරිම සිල්ලර මිලට වඩා වැඩි මුදලක් අයකර ඇතැයි මූලික විමර්ශනවලදී හෙළිවී තිබිණි.

ඒ අනුව ඖෂධ නියාමක අධිකාරිය විසින් අගතියට පත් අයට යුක්තිය ඉටුකරලීම සඳහා මෙලෙස අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment