චෞර වළල්ලට එරෙහිව රටට නව ජාතික පිබිදීමක් අවශ්‍යයි – ජාජබ නායක අනුර කුමාර

105

චෞර වළල්ලට එරෙහිව රටට නව ජාතික පිබිදීමක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා එහි මහනුවර ආසන සමුළුව අමතා පැවසීය.

එහිදී වැඩිදුරටත් කතා කළ දිසානායක මහතා මෙසේද පැවසීය.

දීර්ඝ කාලයක් අපේ රට පාලනය කළ පාලකයන්ට රට පිළිබඳ දැක්මක් තිබුණේ නැහැ. රට තිබෙන්නේ කොතැනද? රට තුළ තිබෙන ශක්‍යතාවයන් මොනවාද? ලෝකයේ සිදුවෙමින් තිබෙන වෙනස්කම් මොනවාද? එයට අනුරූප වන පරිදි අපේ චින්තනය, දැක්ම සකස් විය යුත්තේ කෙසේද යන්න පිළිබඳ දැක්මක් අපේ පාලකයන්ට තිබුණේ නැහැ. එහි ප්‍රතිඵලයක් ලෙස අද ආර්ථිකයේ පතුලටම වැටුණු රටක් බවට පත්වෙලා තිබෙනවා.

අපේ රටට වැට් බද්ද හඳුන්වාදී වසර 21ක් වෙනවා. මෙතෙක් කාලය තුළ ක්ෂේත්‍ර ගණනාවකට (භාණ්ඩ 138කට) වැට් බද්ද නිදහස් කර තිබුණා. එම ක්ෂේත්‍ර ජන ජීවිතයට ඉතා සමීප, ආර්ථිකයත් සමග ෂමීප ක්ෂේත්‍ර. උදාහරණයක් ලෙස, පාසල් පොත් හා උපකරණවලට වැට් බදු ගැසුවේ නැහැ. දරුවෙකුට උගන්වන එක, පාසල් පොතක්, උපකරණයක් මිලදී ගන්න එක බද්දකට යටත් විය යුතුද? ජනවාරි මාසයේ සිට එම ද්‍රව්‍යවලට වැට් බදු එකතුවෙනවා. බද්දෙන් නිදහස් කර තිබූ සෞඛ්‍ය උපකරණ, බෙහෙත් නිපදවන්න ගන්නා අමුද්‍රව්‍ය, හාල්, හාල් පිටි, කිරි, යෝගට් ආදී ආහාර, ඩීසල් ආදී මිල වැඩි වීමෙන් ආර්ථිකයට අහිතකර ලෙස බලපාන ද්‍රව්‍යවලට ජනවාරි මාසයේ සිට බදු පැනවෙනවා. මේ වැට් බදු ඇතුළු ආදායම්වලින් බිලියන 4164ක් අපේක්ෂා කරනවා. නමුත් ආණ්ඩුව අරගෙන තිබෙන ණයවල වාරිකය, එසේ අරගෙන තිබෙන ණයවල පොලී වාරිකය මේ සියල්ල එකතු කළ විට රජයේ වියදම රුපියල් බිලියන 11,277යි. භාණ්ඩාගාරයට එන්නේ රුපියල් බිලියන 4164යි. මෙයින් පෙන්නුම් කරන්නේ කඩා වැටුණු, බංකොලොත් වුණු රටක් බව.

මහ බැංකු වාර්තාවක කියනවා ජනගහනයෙන් 68%ක් එක්කෝ කන වේල් ගණන අඩු කරනවා. එක්කෝ වේල් තුන ටික ටික කනවා. එක්කෝ වේල් තුන රුචි නොවන ආහාර කනවා. සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පසුගියදා ඉදිරිපත් කළ වාර්තාවකින් දරුවන්ගෙන් 54%පාසල් පොත් හා උපකරණ මිලදී ගැනීම නතර කරලා, එක්කෝ අඩුකරලා. ජනගහනයෙන් 7%ක බෙහෙත් ගන්න එක නතර කරලා. ජීවිත මැරෙන්න ඉඩ හැර තිබෙනවා. දරුවන්ගෙන් 19%ක් අමතර පංති යෑම නවත්තලා. මේ පෙන්නුම් කරන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, ආහාර කඩා වට්ටලා. ජනතාවගේ ජන ජීවිත පොඩිපට්ටම් කරමින් තිබෙනවා. සියලු‍ රාජ්‍ය ආයතන, පාලන ව්‍යුහයන් විනාශ වෙලා ඉවරයි. අවුරුද්දක් තිස්සේ ස්ථිර පොලිස්පතිවරයෙක් නැහැ. පොලිසියේ සිටින ඉහළින්ම සිටින පස් හයදෙනාටම නඩු. අපේ සාමය රකින්න සිටින අයට නඩු. මේ ආයතන කඩා වැටී තිබෙන්නේ. මෑතකදී සිංගප්පූරුවෙ අග්‍රමාත්‍යවරයා කිවුවා “අපට තිබෙන සම්පත විදෙස් සංචිත හා ශක්තිමත් රාජ්‍ය සේවාව” කියලා. අපේ ආයතන සියල්ලම නිසි පරිදි ක්‍රියාත්මක නොවෙන තරමට රාජ්‍ය ආයතන පද්ධති කඩා වැටී තිබෙනවා.

ලෝකයේ පිළිනොගන්නා රාජ්‍යයක් බවට අපේ රට පත්වී තිබෙනවා. රට බංකොලොත් වෙලා. එවන් අවස්ථාවක ජනාධිපතිවරයා දීර්ඝතම සංචාරයක යෙදෙනවා. මේ රටේ ජනතාව මේ ඔක්තෝබරයේදී ජනාධිපතිවරයාගේ අවසන් සංචාරය බවට පත්කරනවා. ලෝකයේ අපකීර්තිමත් රටක් බවට අපේ රට පත්කරලා. තක්කඩින්, හොරුන්, දූෂිතයන් රට පාලනය කරමින් තිබෙනවා. රටේ සමාජයේ මිනිස්කම කඩා වැටී තිබෙනවා.

චෞර වළල්ලට එරෙහිව රටට නව ජාතික පිබිදීමක් අවශ්‍යයි - ජාජබ නායක අනුර කුමාර

ඔක්තෝබර් 01 වැනිදා රත්නපුරේ චොකා මල්ලි මිනිසෙක් වෙඩි තබා ඝාතනය කළ වරදට එල්ලු‍ම් ගහට නියම කළ බවට මහාධිකරණයෙන් නඩු තීන්දුව ලැබුණා. 05වැනිදා පැවැති ඡන්දයෙන් ඔහු අංක එකට ඡන්ද ලබාගත්තා. මේ සමාජය කොතනකද තිබෙන්නේ? මෙය ප්‍රශ්නයක් නොවෙයිද? මහනුවර උඩතලවින්නේ මිනිස් ඝානතනයට හවුල් වූණාය කියන මහාධිකරණයේ අවුරුදු ගණනක් නඩු තිබුණු රිමාන්ඩ් බාරයේ සිටි කෙනා මන්ත්‍රී වෙනවා, ඇමැතිකම් දරනවා, රෑට පිස්තෝල කරකව කරකව සිරකරුවන්ගේ ඔලු‍වට තියනවා.

පසුගිය කාලයේ පාර්ලිමේන්තුවට කප්ගසා පැමිණියේ කවුද? කුරුණෑගලින් ජොන්ස්ටන්, මහනුවරින් මහින්දානන්ද, රත්නපුරෙන් චෙකා මල්ලි, කළුතරින් රෝහිත අබේගුණවර්ධන, ගම්පහෙන් ප්‍රසන්න රණතුංග, අනුරාධපුරෙන් එස්.එම්. චනද්‍රසේන එනවා. මේ අය පැමිණියේ ජනතා ඡන්දයෙන්. මේ අපේ රටේ ජනතාවගේ මිනිස් චින්තනය කඩා වැටීමට ලක්වී තිබෙනවා. අප ඇස් ඉදිරිපිට තිබෙන්නේ විශාලා මහනුවරක් බවට පත්වූ රාජ්‍යයක්. අපට තෝරාගත යුතු මාවත් දෙකක් තිබෙනවා. මේ ගමන් මගේ ඉදිරියට ගිහිල්ලා අපි එක්ව වැනසෙනවාද? නැතිනම් එක්ව නැගිටිනවාද?

නේරු, පාතෙල්, ගාන්ධි, සුබාෂ් චන්ද්‍රබෝස් එකට එකතු වෙලා ජාතික ව්‍යාපාරයක් ගොඩනැගුවා. ඒ ජාතික ව්‍යාපාරය මුල් අවස්ථාවේදිම ඉන්දියාව කවර දිශාවකට යා යුතුද කියා සැලැස්මක් ඉදිරිපත් කළා. ඔවුන්ට නිදහස් අරගලයක්, චින්තනයක් හා දැක්මක් තිබුණා. බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් ගියාට පසුව ඒ ලබාගන්නා ලද ජයග්‍රහණයේ පිම්ම කෙතරම්ද යත් අද ඉන්දියාවට හඳට යාමට හැකිවී තිබෙනවා. ලෝකයේ පස්වෙනි ආර්ථිකයට හිමිකම් කියනවා. එතැන පාලනයේ ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් සියලු‍ භේද පසෙක තබා ජාතිය එකට පුබුදුවන්නට සමත් වුණා.

අපට ජාතික ව්‍යාපාරයක් තිබුණේ නැහැ. ජාතික ඒකමතිකයකට ගේන්න පාලකයන් සමත්වුණේ නැහැ. අපේ නායකයන් ඒ ගොල්ලන් මත යැපෙන නායකයන් බවට පත්වුණා. 1949 පුරවැසි පනත ගෙනැවිත් වතුකර ජනතාව පැන්නුවා. එතනදි චෙල්වනායම් වෙනම දෙමළ රාජ්‍ය පක්ෂය හදන්නෙ. ඒ චින්තනය මහා බෙදුම්වාදයක් දක්වා වර්ධනය වෙනවා. 1956දි භාෂා ප්‍රශ්නයක් පටලවා ගන්නවා. 1958දි සිංහල, මුස්ලිම් කෝලාහලයක් ඇති වෙනවා. බි්‍රතාන්‍ය ජාතිකයන් ගියාට පසුවවත් අපට ජාතියක් විදිහට ඒකාග්‍රතාවයකට ගේන්න බැරිවෙනවා. රට ඉදිරියට ගෙනයාම සඳහා දැක්මකට ගේන්න බැරිවුණා. අපේ පාලකයන් ඉතිහාසයේ ශ්‍රී විභූතියේ නෂ්ටාවශේෂ මත යැපෙන්න පටන් ගත්තා. විසිවන සියවසේදි ඉතිහාසය පුනරුච්ඡාරණය කරමින් ජීවත් වුණා.

1918දී විමලසුරේන්ද්‍ර මහතා ලක්ෂපාන බලාගාරය යෝජනා කරනවා. එතුමාගේ යොජනාවේ තිබුණේ ලක්ෂපාන බලාගාරයේ අතිරික්ත විදුලියෙන් විදුලි කෝච්චි දුවන්න. ඒ මහා සංවාද යටපත් වෙලා පැරණි, දැක්මක් නැති දේශපාලන අධිකාරිය බලය අත්පත් කර ගන්නවා. එදත් අදත් අපේ රටේ ආර්ථිකය තේ, රබර්, පොල් මත යැපුණා. අපේ නායකයන්ගේ දැක්ම තේ, රබර්, පොල් තරමටම පැරණියි. ඒ නිසාම අපේ පාලකයෝ විසිවැනි ශතවර්ෂය අත්හැරියා. ඒ වගේම කුලවාදය, ජාතිවාදය තවමත් අවුස්සනවා. ලෝකය පිමි පනිමින් ඉස්සරහට යනවා. නව චින්තනයකට, නව දැක්මකට ශ්‍රී ලංකාව කැඳවාගෙන යා යුතුයි. පැරණි, අසාර්ථක, ගෝත්‍රිකවාදී, මේ නායක පෙළැන්තියෙන් අපේ රට මුදා ගන්න ඕනෑ. අපේ රට නව යුග පරිවර්තනයක් ඇති කළ යුතුයි. මේ චෞර වළල්ලට එරෙහිව නව ජාතික පිබිදීමක් අපට අවශ්‍යයි.

චෞර වළල්ලට එරෙහිව රටට නව ජාතික පිබිදීමක් අවශ්‍යයි - ජාජබ නායක අනුර කුමාර

ඒ සඳහා අවස්ථාවක් තමයි නුදුරේ එන ජනාධිපතිවරණය. එය ජයග්‍රහණය කිරීම තමයි අත්‍යවශ්‍ය ආරම්භය. ආරම්භයේදී අපි සහතික කරන්නම්, පුරවැසියාට ආහාර, දරුවන්ට අධ්‍යාපනය, පුරවැසියන්ට සෞඛ්‍යයත් අපි ආරම්භය ලෙස තහවුරු කරනවා. අනතුරුව දිගු දේශපාලන, ආර්ථික පර්වර්තනයකට මේ රට පරිවර්තනය කරන්න ඕනෑ.

මහනුවර දිස්ත්‍රික් විධායක සභික, දේශපාලන විද්‍යා ආචාර්ය ආනන්ද විජේරත්න, ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් විධායක සභික, පේරාදෙණි විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රිමාල් ෆ්‍රනෑන්ඩු, ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික ආචාර්ය හරිනි අමරසූරිය යන මහත්ම මහත්මීන් කතා කළහ.

සිරිමන්ත රත්නසේකර, සිරිල් විමලසුරේන්ද්‍ර සහ සමන්තී වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment