2007 රූපවාහිනියට කඩාවැදීම: අත්අඩංගුවට ගත් මර්වින් ඇප නැතිවම ගෙදර යවයි  

215

පාතාල මැරයන් ඇතුළු ආධාරකරුවන් පිරිසක් සමග මීට වසර 15කට පෙර, එනම් 2007 වසරේදී ජාතික රූපවාහිනි සංස්ථාවට කඩාවැදී එහි සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු බලපෑම් එල්ල කිරීම ඇතුළු චෝදනා කීපයක් සම්බන්ධයෙන් හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (18 දා) දහවල් අත්අඩංගුවට ගැනුණි.

ජාතික රූපවාහිනියේ ප්‍රචාරය වූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් උරණ වූ මර්වින් සිල්වා මහතා ඉකුත් 2007 වර්ෂයේදී රූපවාහිනි සංස්ථාවට බලහත්කාරයෙන් ඇතුළු වී එහි විශාල කලබලයක් ඇතිකර තිබිණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පුළුල් විමර්ශනයක් පැවැත්වූ අතර ඉදිරි විමර්ශන සඳහා නීතිමය උපදෙස් ගැනීම සඳහා පරීක්‍ෂණ වාර්තා නීතිපතිවරයා වෙත භාරදී තිබිණි.

මෙම සිද්ධිය පිළිබඳව චෝදනා එල්ල වී සිටි මර්වින් සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

ඒ අනුව ඊයේ (18 දා) දහවල් බත්තරමුල්ල ප්‍රදේශයේ පිහිටි නිවස වෙත ගිය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් මර්වින් සිල්වා මහතා අත්අඩංගුවට ගත්හ.

මෙම සිද්ධිය වාර්තා වී තිබුණේ මහින්ද රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාව සිටි කාලසීමාවේය. මෙහිදී මර්වින් සිල්වා මහතා ද රූපවාහිනි සංස්ථාවේදී ප්‍රහාරයකට ලක්වූ අතර ඒ මහතාගේ හිසට තුවාල සිදුවී තිබිණි.

මර්වින් සිල්වා මහතාට එරෙහිව ජාතික රූපවාහිනි සංස්ථාව තුළදී විරෝධය දැක්වූ මාධ්‍යයට සම්බන්ධ කිහිප දෙනකුම මෙම සිද්ධියෙන් පසු විවිධ අවස්ථාවලදී මැරයන්ගේ ප්‍රහාරයන්ට ලක්වී තිබිණි.

අත්අඩංගුවට ගත් මර්වින් සිල්වා මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත ඊයේ දහවල් රැගෙන ආ අතර ඊයේ (18 දා) පස්වරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් පවතින නඩු කටයුත්තෙන් මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.

එම නඩු කටයුත්ත ඉතා පැරණි නඩුවක් බවත් අවශ්‍ය විටක යළි කැඳවීමේ කොන්දේසිය මත විමර්ශන නිලධාරීන්ගේ ඉල්ලීම පරිදි බහා තැබූ නඩුවක් බැවින් සිය සේවාදායකයා ඇපමත මුදාහරින ලෙස මර්වින් සිල්වා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර සැකකරුට ඇප නියම කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ලබන නොවැම්බර් 16 වැනිදා යළි අධිකරණය හමුවේ පෙනීසිටීම ප්‍රමාණවත් බවත් පෙන්වා දුන් අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

හේමන්ත රන්දුණු සහ ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment