ප්‍රඥාව අත්හැර උගුලේ හිරවීම

738

පසුගිය 14 වැනිදා කැලණිය විශ්වවිද්‍යාලයට ආරාධිත දේශනයක් පැවැත්වීම සඳහා ගොස් සිටි ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා වෙත එල්ලවූ විරෝධයක් පිළිබඳව පුවතක් පසුදින පුවත්පත්වල පලවී තිබිණි. සිරිසේන මහතා වෙත විරෝධය පල කිරීමට පැමිණ සිටියේ එම සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සාමාජික පිරිසකි. රැවුල් කොණ්ඩා වවාගත් මේ පිරිස රටේ සහල් මිල වැඩි කරන, ජවාරම්කාරී ලෙස වෙළෙඳාම් කරන අයෙකු ලෙස ඩඩ්ලි සිරිසේන වෙත චෝදනා එල්ල කරමින් ඔහුගේ රථයේ මග අහුරාගෙන විනාඩි දහයක් පමණ ගත කර තිබිණි. පසුව එම විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු කිහිපදෙනෙක් පැමිණ මේ උණුසුම් තත්ත්වය සමනය කරන ලදී. ප්‍රකට දේශීය ව්‍යාපාරිකයකු ලෙස සිරිසේන මහතාට සිය අත්දැකීම් අනාගත පරපුරට කියාදීමට අනිවාර්යයෙන් අවස්ථාවක් තිබිය යුතුය. ප්‍රායෝගික ව්‍යාපාරිකයකු ලෙස ඔහු මෙරට සහල් මෙන්ම හෝටල් ව්‍යපාරයේද හිනිපෙත්තට නැගී ආකාරය දැනගැනීම අර්ථ ශූන්‍ය බව කියන්නේ කවුරුන්ද? එසේ කියන්නේ කුහකයින් පමණි. මේ විරෝධය පිටුපස ඉන්නේ පෙරටුගාමී කණ්ඩායමේ කට්ටියද? ඔවුන්ට අවශ්‍ය කුමාර් ගුණරත්නම්ගෙන් අරාජිකත්වය පැතිරවීම ගැන දැන ගැනීමට පමණක්ද? අන්තරේ දශක ගණනාවක සිට පාරේ පෙළපාලි ගියා පමණකි. නමුත් සිරිසේන මහතා දහස් ගණනකට රැකියා ලබා දුන් ව්‍යාපාරිකයෙකි. මීට වසර කිහිපයකට පෙර අන්තරේ පෙළපාලි ගිය අයත් දැන් අරලිය ව්‍යාපාරයේ සේවය කරති. සරසවියකට දේශන පැවැත්වීමට පැමිණිය හැකි වන්නේ එහි ශිෂ්‍ය සංගමයේ කැමති අයට පමණක් නොවේ. බොහෝ මහාචාර්ය ආචාර්යවරුන්ගේ නිදිමත දේශනාවලට වඩා ප්‍රායෝගික මිනිසකුගේ දේශනය ජීවිතය ජය ගැනීමට රුකුලකි. මේ විරෝධය නිසා හානියක් සිදුවූයේ කැලණිය සරසවියේ ප්‍රතිරූපයට මිස ප්‍රකට සහල් ව්‍යාපාරිකයාට නම් නොවේ. සමාජ විරෝධීන් සරසවි සිසුන් නොයෙක් විශ්වවිද්‍යාල වෙත පැමිණීම මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිහානියට හේතුවක් වී තිබේ. මොවුන්ට අවශ්‍ය උපාධිය ලබා ගැනීම නොව අරගල කිරීම පමණකි. එයින් මේ පුද්ගලයන්ට හෝ රටට ලැබෙන යහපතක් නැත. සරසවි සිසුන් ඉන්නේ පොලිසියෙන් කඳුළු ගෑස් කන්නට හෝ වතුර නාන්න නම් නොවේ.

ප්‍රඥාව අත්හැර උගුලේ හිරවීම

ඩඩ්ලි සිරිසේන මහතා තමන්ට මුහුණපාන්නට සිදුවූ විරෝධය ගැන සිය මුහුණුපොතේ මෙලෙස සටහන් කර තිබිණි. “කැලණිය විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමනාකරණ පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලාවේ ආරධිත දේශනය අතිශය සාර්ථක අයුරින් අද දිනයේදී මා විසින් සිදු කළා. මාගේ එම දේශනය අවසානයේ සිසුන් සමඟින් බොහෝ වේලාවක් සතුටු සාමිචියේ යෙදී ඔවුන් සමඟින් තේ පැන් සංග්‍රහයක්ද භුක්ති විඳීමට මා අමතක නොකළත්, අවසානයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් පිටතට ඒමේදී සිසුන් කිහිපදෙනකු විසින් මා යන මඟ අවහිර වන සේ බාධක යොදමින් මාගේ මඟ විනාඩි දහයක කාලයක් පුරාවට අවහිර කරමින් ඔවුන්ගේ සමාජ පීඩනය මා හරහා පිට කිරීමට පෙළඹුණා. මට විද්‍යාර්ථයකු වීමේ භාග්‍යය නොමැති වුවත් විශ්වවිද්‍යාලය යනු වාද සංවාද පවත්වන තෝතැන්නක් බවත්, ඇතැම් ශිෂ්‍ය සංවිධාන නියෝජනය කරන කිහිපදෙනකු විසින් විශ්වවිද්‍යාල පද්ධතිය දකින්නේ තම දේශපාලනයට පමණක් සීමා වූ මතවාදී සිරකඳවුරු නිසාත්, එවැනි සිර කඳවුරු තුළින් රට ගොඩනඟන්නට අවැසි පර්යේෂණ හෝ සංවර්ධන දායකත්වයක් ලබා දිය හැකිද යන පැණය මා ඔබ වෙත නඟනවා. ආදරණීය සහෘදයිනි, ස්වෝත්සාහයෙන් දියුණුවේ හිණිපෙත්තටම පැමිණි දේශීය ව්‍යවසායකයකු ලෙස සැඳෑ සමයේ විවේකීව නිවසට වී කල් ගත කිරීම පසෙකලමින් මාගේ වටිනා කාලය සහ පෞද්ගලික ධනය විය පැහැදම් කරමින් රටේ අනාගත පරපුර වෙනුවෙන් කරන්නා වූ මේ සමාජ සත්කාරය මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් කිසිලෙසකින්වත් නවතා නොදමන බවත්, මා හට අවශ්‍ය වූයේ සාම්ප්‍රදායික රජයේ සේවකයන් නිර්මාණය කිරීම වෙනුවට මා වැනි ව්‍යවසායකයන් රට තුළ වැඩි වැඩියෙන් බිහි කිරීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය කිරීම පමණක් බවත් මෙසේ අවධාරණය කරනවා. මා විසින් පුරා තෙවසරක කාලයක පටන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය හා නැගෙනහිර විශ්වවිද්‍යාලය ඇතුළු සරසවීන් බොහෝ සංඛ්‍යාවක ආරාධිත දේශන සිදුකරමින් රටේ අනාගත ව්‍යවසායකත්ව පරපුරක් බිහිකිරීම වෙනුවෙන් කළා වූ යුතුකම් කොටස මෙකී සුළුතරය විසින් වැරදියට හඳුනාගැනීම සම්බන්ධයෙන් මා කනගාටුවට පත්වන අතර, එම සිසුන් පිරිසට මෙහි සැබෑ අරමුණ සාක්ෂාත් වේවායි ඉතසිතින් යුතුව මා විසින් ප්‍රාර්ථනය කරනවා. ඒ නිසා දරුවනි එන්න. මා රට වෙනුවෙන් කර ඇති දේ සියැසින් දැකගන්න..!” (උපුටනය නිමි) ඇත්තෙන්ම පසුගිය 30 වැනිදා එන්.එස්.බී.එම්. හරිත සරසවියට ගිය සිරිසේන මහතා “ව්‍යාපාර කළමනාකරණය සහ ඔබේ මූල්‍ය විනය පවත්වාගැනීම මඟින් සාර්ථක ව්‍යවසායකයකු වන්නේ කෙසේද ?” යනුවෙන් දේශනයක් පවත්වා තිබිණි. එම සරසවියේ නම් මහා ශිෂ්‍ය සංගම් නැත. එනිසා ගොන් පාර්ට් නැත. දරුවෝ හොඳින් සිය අධ්‍යාපන කටයුතු කරති.

පසුගිය 31 වැනිදා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කැලණි සරසවියට ගොස් තිබුණේ ඩඩ්ලි සිරිසේන මහතාට විරෝධය දැක්වූ කණ්ඩායම විසින්ම “රනිල් පුළුවන්නම් කැලණියට වරෙන්” යනුවෙන් බිත්ති පුරා පෝස්ටර් ගසා තිබියදීය. රටේ නායකයා වශයෙන් වික්‍රමසිංහ මහතාට කැලණිය සරසවියට පැමිණීමට කිසිම බාධාවක් නැත. දේශපාලනය කවරක් වුවත් ඔහු රටේ විධායකයයි. මේ අර්බුදයකාරී තත්ත්වය නිසා ජනපතිවරයා කැලණියට නොපැමිණියේ නම් එය මේ විශ්වවිද්‍යාලයට නිග්‍රහයකි. මෙරට කිසිම සරසවියක් මුදා නොගත් ප්‍රදේශයක් නොවේ. තක්කඩි සිසු පිරිසක් කෑකෝ ගැසූ පමණින් රටේ විධායකය කලබල වන්නේ නැත. ඇත්තෙන්ම ජනපතිවරයා පැමිණ කැලණි සරසවියේ මහා ශිෂ්‍ය සංගමයට නිසි පිළිතුරු ලබා දුන් බව පැහැදිලිය. ජනපතිවරයා කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කර කතාවක්ද පවත්වා ආපසු යන තෙක්ම නිහඬව සිටි අන්තරේ කණ්ඩායම පසුව පැමිණි රණ ගී ගයා තිබිණි. එයින් සිදුවූයේ මේ කණ්ඩායම නිග්‍රහට ලක්වීම පමණි. පෝස්ටර් ගසා හෝ පෙළපාලි ගොස් රටේ නායකයා බය කළ හැකිද? ජනාධිපතිවරයාගේ පැමිණීමට විරෝධය පළ කරමින් කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ජනවාරි 29 වැනිදා රාත්‍රියේ විරෝධතාවක නිරතවූ අතර ඔවුන් කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගය අවහිර කරමින් සිදුකළ විරෝධතාවය විසුරුවා හැරීමට පොලිසියට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට සිදුවුණි. නමුත් ජනපති විශ්වවිද්‍යාලයට පැමිණෙන විට මේ අය පූස් පැටවුන් බවට පත්ව තිබිණි.

ප්‍රඥාව අත්හැර උගුලේ හිරවීම

පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ නව ගොඩනැඟිලි පරිශ්‍රය විවෘත කරමින් ජනපතිවරයා පැවසූ කතාවේ සඳහන් වූයේ අරගලය ජය ගන්නා මාර්ගය බුදු දහමේ තිබෙනවා යනුවෙනි. නමුත් මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිකම හොබවන ශිෂ්‍ය භික්ෂුන්වහන්සේ නම් ධර්ම මාර්ගය නොව පෙරටුගාමී මාර්ගය නොඑසේනම් මාක්ස්ගේ බණ අනුගමනය කරන අයකු බව පෙනේ. ධර්මය ඔවුනට මග වේවා යන්න පැතීම හැර අපට කරන්නට දෙයක් නම් නැත. ජනපතිවරයා කැලණි සරසවියට පැමිණීම බෙහෙවින් අගය කළ මහාචාර්ය පූජ්‍ය රළුවේ පද්මසිරි හිමියන් සඳහන් කර තිබුණේ විශ්වවිද්‍යාල යනු මුදා නොගත් ප්‍රදේශ නොවන බවයි. එය වැදගත් අදහසකි. රටේ නායකයාට හෝ ඕනෑම අයකුට විශ්වවිද්‍යාලයකට ඇතුල් වීමට හැකියාව තිබිය යුතු බවත් මහාචාර්ය හිමියන් පවසා තිබිණි. එසේම පාලි හා බෞද්ධ අධ්‍යයන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී එල්. ඒ. සුමිත් මහතා පවසා තිබුණේ ස්වාධීන ආයතනයක් වූ මෙම ආයතනයට පැමිණ එහි උන්නතිය වෙනුවෙන් දායකත්වය ලබාදී අපව දිරිමත් කිරීම පිළිබඳ රටේ නායකයා ලෙස ජනපති වික්‍රමසිංහ මහතාට ස්තුතිවන්ත වන බවයි.

කැලණිය විශ්වවිද්‍යාලයේ මුල්ම අවස්ථාව 1875 ආරම්භ කළ විද්‍යාලංකාර පිරිවෙනයි. පසු කලෙක විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය (1959-1970), ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයේ විද්‍යාලංකාර මණ්ඩපය (1971-1977) නමින් හැඳින්වූ මෙම සරසවිය 1978 සිට කැලණිය විශ්වවිද්‍යාලය ලෙස හඳුන්වනු ලැබීය. විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය උත්සවශ්‍රීයෙන් විවෘත කළේ 1959 ජූනි 17දා ප.ව. 4.15 ටය. එදා එම උත්සවයේ ප්‍රධාන අමුත්තා වූයේ ඉන්දීය ජනාධිපති ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද් ය. පිළිගැනීමේ කතාව පැවැත්වූයේ ප්‍රථම උපකුලපති වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක හිමියෝ වෙති.

“විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය මහා විහාරය, නාලන්දා, වික්‍රමශිලා, විජයබාහු ආදී කීර්තිධර විශ්වවිද්‍යාල මෙන්ම ආගම් භේද, කුල භේද, ජාති භේද විරහිතව නිදහස් අධ්‍යාපනයක් වශයෙන් බුද්ධිය හා විචාරය, සේවා හා පරිත්‍යාග, චරිතය හා ආදර්ශ මුල්තැන්හිලා පැවැත්වීමට අපි සෑමවිටම ප්‍රයන්ත දරමු.” යැයි ප්‍රඥාසාර හිමියෝ එම කතාවේ ලා පැවසූහ. විශ්වවිද්‍යාලයේ තේමා පාඨය “පඤ්ඤාය පරිශුද්ධති” (ප්‍රඥාව මගින් පාරිශුද්ධියට පත්වෙයි) යන්න සඳහන්ය. විශ්වවිද්‍යාලයේ මෙහෙවර ප්‍රකාශය වන්නේ ජීවිත අභිමානයට ගරුත්වයක් සහිතව ලෝකයට සේවය කිරීම සඳහා විද්‍යාර්ථින්ට ඥානය, ආකල්ප යන නිපුණතා සංවර්ධනය කර ගැනීමට අවස්ථාව සලසා දීමෙන් විශිෂ්ටත්වය සාක්ෂාත් කර ගැනීමයි. එහෙත් අද මෙහි මහා ශිෂ්‍ය සංගමය අනුගමනය කරන්නේ කවරකුගේ උපදෙස් ද? පෙළපාලි යන ශිෂ්‍ය ප්‍රජාවට ප්‍රඥාව ලබා දිය හැක්කේ කෙසේද? ප්‍රඥාව පහළ වන්නේ රටේ නායකයාට විශ්වවිද්‍යලය තහනම් කිරීම තුළින්ද? මේවා ගැන සියලු දෙනාම නැවත සිතන්නට කාලය එළඹ ඇත. ජනප්‍රිය සටන් පාඨ පස්සෙන් යෑමෙන් සිදුවන්නේ තමන්ගේ අනාගතය අඳුරු කරගැනීම පමණකි.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment