අයවැය දෙවැනි වරටත් පරදී ඇල්පිටිය සභාපතිට පුටුව අහිමි වෙයි

195

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2024 අයවැය දෙවන වරටත් වැඩි ඡන්දයෙන් පරාජය වීම නිසා වත්මන් සභාපතිවරයාට සභාපති තනතුර අහිමි විය.

දැනට දිවයිනේ පවතින එකම ප්‍රාදේශීය සභාව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවයි. එහි බලය හිමිව ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටයි.

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් අයවැය ඡන්ද විමසීම ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. සභාපතිවරයා විසින් 2024 වර්ෂය සඳහා වූ අයවැය පසුගිය 5 වැනිදා ප්‍රථම වරට සභාවට ඉදිරිපත් කළ අතර ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරුන් රැසකගේ සහයෙන් වැඩි ඡන්ද 9 කින් අයවැය පරාජයට පත්විය. ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු 7 දෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මන්ත්‍රීවරු 3 ක් සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ද විපක්‍ෂය සමග එක්ව සභාපතිවරයාගේ දූෂිත අදූරදර්ශී ක්‍රියාකලාපය සහ සභාපති තනතුර අවභාවිත කරමින් කටයුතු කරන ආකාරය හෙළා දකිමින් අදහස් ප්‍රකාශ කළහ. මෙම අවස්ථාවේදී සභාවේ උණුසුම් තතත්වයක් ද ඇතිවිය. අනතුරුව සභාපතිවරයා විසින් අයවැය පිළිබඳ ඡන්ද විමසීම පවත්වන ලෙසට, සභා ලේකම් බී. පී. අනුශා සුජානි ප්‍රියදර්ශනී මහත්මියට දැනුම් දෙන ලදි. ඒ අනුව අයවැයට පක්‍ෂව ඡන්ද 10 ක් සහ විරුද්ධව ඡන්ද 19 ක් ප්‍රකාශවී ඇති බවත්, ඒ අනුව වැඩි ඡන්ද 9 කින් අයවැය පරාජයට පත්වූ බව ලේකම්වරිය ප්‍රකාශ කළාය.

මේ අතර ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ දූෂිත ක්‍රියාකලාපයට එරෙහිව විරෝධය පළ කරමින් සභාවේ ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් විපක්‍ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද සමග ප්‍රාදේශීය සභා ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කළුපටි පැළඳ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් පසුගිය 17 දා පෙරවරුවේ විරෝධතාවක් දැක්වූහ. ප්‍රාදේශීය සභාවේ 2024 වර්ෂය සඳහා වූ අයවැය පිළිබඳ විශේෂ සභා රැස්වීම සභාපති කරුණාසේන පොන්නම්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම විරෝධතාව, රැස්වීම පැවැත්වීමට පෙර පැවැත්වීය.
ඇල්පිටිය- – — විදානආරච්චි කීර්තිරත්න

advertistmentadvertistment
advertistmentadvertistment