දේශපාලන විසඳුම: රට හදන සරල න්‍යාය

148

මෙය යථාර්ථවාදී දේශපාලන දැක්මකි. න්‍යාය පත්‍රයකි, නිර්මාණශීලී වැඩපිළිවෙළකි. දශක හතක් එකතැන පල් වුණ රට එම තත්ත්වයෙන් වහා මුදවා ගන්නා පෙරළිකාර වෙනසකි. කිසිදු භේදයකින් තොරව සෑම ජන කොටසකටම පිළිගන්නට හැකි දේශපාලන විසඳුමකි. අනායාසයෙන් මේ රට ගොඩ ගන්නා යාන්ත්‍රණයකි. මෙය අප්‍රමාදව රට ගොඩනගන හැරවුම් ලක්ෂයයි.

● හැරවුම් ලක්ෂය,

සෑම වෘත්තිකයකුටම දෛනික වැඩ මුරයක් සඳහා ඇ.ඩො. 100ක් පදනම් කරගත් වටිනාකමක් ලබාදීම. කය හෝ මනස වෙහෙසා කරනු ලබන ඕනෑම රැකියාවක, ස්වයං රැකියාවක, කුඩා මධ්‍යම හෝ මහා පරිමාණ ව්‍යාපාරයක, කර්මාන්තයක නියැළෙන්නා මෙම වෘත්තිකයාය. ඩො. 100 මෙහි පදනම වන අතර අවම වැටුප ඩො. 50ද උපරිම වැටුප ඩො. 250ද වන සේ 1-5 වෙනසකට සීමා වේ. අවම ආදායම ඩො. 50ද උපරිම ආදායම ඩො. 500ද වන පරිදි 1 – 10 වෙනසකට සීමා වේ. මේ පදනම ඩො. 100 ක් බවට පත් වන්නේ සමාජ සාධාරණය, ගෝලීය සාධාරණය ලෝක ප්‍රවණතාවය යන හේතූන් මතය. වැඩිම ඵලදායිතාවය වාර්තා වන ලෙසින් මුළු ශ්‍රම බළකායම තම හැකියාවන්ට සහ සුදුසුකම් මත ස්ව කැමැත්තෙන් රැකියා නියුක්තිකයන් බවට පත්කළ හැකි වන පහසුම සහ එකම ක්‍රමය ද මෙයයි. ශ්‍රම බළකාය මුළුමනින්ම වැඩබිම් තුළ නිරන්තරයෙන් රඳවා තබා ගන්නට සහ දේශීය ඵලදායිතාවය, නිෂ්පාදන ආර්ථිකය සවිමත් කර ගන්නට හැකි වන්නේ මෙලෙසිනි.

මෙහිදී වෘත්තිකයා යොදවන ශ්‍රමයට කරනු ලබන කැප කිරීමට සහ උසුලනු ලබන බරට අනුව වැටුප් සහ ආදායම් නිගමනය වනු ඇත. ඊට අමතරව සෑම භාණ්ඩයක්ම සහ සේවාවක්ම ප්‍රමිතිගත කර ඉල්ලුම් සැපයුම් න්‍යාය නොසලකා හරිමින් ලබාදිය යුතු අදාළ වටිනාකම නියම කෙරෙනු ඇත. ඒ සඳහා යාන්ත්‍රණය ද (Mechanism) සැකසෙනු ඇත. මෙපරිදි දේශීය වශයෙන් විවිධාංගීකරණය වන නිපැයුම් වලින් ස්වයංපෝෂිතව ආනයනය අවම කෙරෙන අතර අවතක්සේරුවකින් තොරව නියමිත වටිනාකම ලැබෙන භාණ්ඩ හා සේවාවන් පමණක් අපනයනය කෙරෙනු ඇත. මෙහි අවසන් අරමුණ සහ ඉලක්කය වන්නේ විරැකියාව, ආර්ථිකය, මානව හිමිකම්, සමාජ අරගල සහ බාහිර බලපෑම් ලෙස කියැවෙන ආරෝහණ ක්‍රමයට හටගැනෙන රට දැය සමය අභියස ඇති ප්‍රධාන අභියෝග 05 එලෙසින්ම ජය ගැනීම සහ දිනෙන් දින තැනින් තැන මතුවෙන අනෙකුත් සමාජ අර්බුද සහ ගැටලු නිරාකරණය කර දියුණු සහ සාධාරණ සමාජයක් අප මාතෘභූමිය තුළ ස්ථාපිත කර ගැනීමයි.

මේ සඳහා වැටුප් සහ ආදායම් විෂමතා අවම කිරීම, සෑම භාණ්ඩයක මෙන්ම සේවාවක මිල නිගමනය කිරීම, ආහාර වට්ටෝරු ඇතුළු සියලුම දේශීය නිපැයුම් සහ සේවාවන් ප්‍රමිතිගත කිරීම, පොලී ප්‍රතිශතය ශුන්‍ය කිරීම, අදාළ බදු පනත් සැකසීම, ආනයන අපනයන ප්‍රතිපත්ති සැකසීම, දෙපයින් නැගී සිටින පුරවැසියකු බිහිකර සියලු සහනාධාර කපා සුබසාධනය (රක්ෂණාවරණය) පමණක් සැපයීම, සංවර්ධනයේදී දායක කරගත යුතු සහ බැහැර කළ යුතු දේ යථාවාදීව වෙන්කර ගැනීම, රජයේ ආදායම සහ වියදම (අයවැය) යථාවාදීව වෙන්කර ගැනීම, රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යථාවාදීව වෙන්කර ගැනීම සාධාරණ සමාජයක පදනම සවිමත් වන බැවින් ජනතාව දැඩි පීඩනයට ලක් නොවන බලය නොබෙදෙන සහ සැමටම සෑම ජන කොටසකටම පිළිගන්නට හැකි සහ විනිවිද දැකිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොහොත් සැහැල්ලු නීතිරීති මාලාවක් සකසා ගැනීම වහා සිදු කෙරෙනු ඇත. ඒ සඳහා කිසිදු බාධාවකින් තොරව අනායාසයෙන් ගතයුතු අදාළ තීන්දු තීරණ කීපය වහා එකවරම ගැනෙනු ඇත. මෙය මේ රට ගොඩ නොනැගෙන්නට හේතු වී ඇති බාධක විනාශ කිරීමද වේ.

මේ මොහොත වනවිට ඇ. ඩො. 100ක් යනු රු. 30,000 – 35,000 පමණ වන තරම්ය. හෙට අනිද්ද වනවිට එය පනස් දහස ලක්ෂය ඉක්මවන්නටත් බැරි නැත. එහෙත් එය වසර 2000 දී රු. 7,000 කි, 1977 දී රු. 800 කි, 1950 දී රු. 100 කි. එම සංඛ්‍යාව කීයක් වුවද මුදල යනු මිනුම් ඒකකයක් පමණි. මිනුම ද යමෙකට සාපේක්‍ෂ විය යුතුය. විශේෂයෙන්ම එය ඉල්ලුම් සැපයුම් න්‍යායට නතුව සිදුවීම හෝ පාවෙන්නට ඉඩ හැරීම සදාචාර විරෝධීය. අප ගෝලීකරණයට නතු වූ එහි අනේක විධ බලපෑම්වලට හසුවූ රටකි, සමාජයකි. එනිසාම අපේ රුපියලට ස්ථාවරයක් නොමැත. එම මිනුම් දණ්ඩට ස්ථාවරයක් ලැබෙන තුරු කිසිවක් එයින් මැනිය නොහැක. එය සාධාරණ හෝ නිවැරදි නැත. අද සමාජයේ පවතින සියලු විකෘතිතාවයන්ට ද එය දැඩි සේ බලපා ඇත. එනිසා මිනුම් දණ්ඩ නොහොත් මුදල් ඒකකය ලෙස ඩොලරය ආදේශ කර ගැනීම සාධාරණය, කාලීනය, නිවැරදිය.

මෙම අරමුණු සහ ඉලක්ක පමණක් නොව ගනු ලබන තීන්දු තීරණ යාවත්කාලීන කරගැනීම නොහොත් යථාර්ථයක් බවට පත්කර ගැනීම පිණිස අදාළ දේශපාලන න්‍යායපත්‍රය ද මෙලෙස පෙළගැස්වෙනු ඇත.

● දැක්ම,

යථාර්ථවාදී බව සත්‍යවාදී බව ඇත්ත ඇති සැටියෙන් නොහොත් සද්දහමේ හරයට අනුව දැකීම වේ.

● පදනම,

දේශපාලනයේ උපත සහ හරය සාධාරණ සමාජය වන බැවින් සමාජවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය (සමාජ ප්‍රජාතන්ත්‍රවාදය) ආරක්ෂා කර ශක්තිමත් කෙරෙනු ඇත.

පංචවිධ මූලික ප්‍රතිපත්තිය,

ජාතික ධනය, ජාතික සම්පත්, රාජ්‍ය සේවය, රාජ්‍ය සුබසාධනය සාධාරණව බෙදෙන සහ මිනිස් මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කෙරෙන රාජ්‍ය ප්‍රතිපත්තිය වේ. (බලය නොබෙදෙන ඒකීය රට යන සංකල්පයට අනුව) මෙය පංච පුද්ගල කැබිනට් මණ්ඩලයක හෝ විධායක සභාවක ක්‍රියාකාරකමට ද සමකළ හැක. එය විiානුකූලය.

● අංශානුකූල වන ජාතික ප්‍රතිපත්තීන්,

ඉහත කී මූලික ප්‍රතිපත්තියට අනුකූලව යටත්ව පරස්පර නොවන පරිදි රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය ද සියලුම වෘත්තීය ක්‍ෂේත්‍රයන් සහ සමාජ ස්ථරයන් ද 100%ක් ආවරණය කර සෞඛ්‍ය, අධ්‍යාපන, මූල්‍ය සහ සුබසාධන යනාදී සීමිත කටයුතු පමණක් 100% ම රාජ්‍ය අංශය ලෙසින්ද, නිෂ්පාදන වෙළෙඳ නව නිපැයුම් හා ඉදිකිරීම් යනාදී කටයුතු 100% ම පෞද්ගලික අංශය ලෙසින්ද ආවරණය කර කොටස් 10 – 12 ට වෙන්කර ඊට සමාන වන පරිදි අංශානුකූල වන ජාතික ප්‍රතිපත්තීන් කීපය සකසා අමාත්‍යාංශ ක්‍රියාකාරකම් බවට පත්කෙරෙනු ඇත. එයද විද්‍යා නුකූල වේ.

● ව්‍යුහාත්මක සංශෝධන ත්‍රිත්වය,

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය යථාවාදීව වෙන්කර ගැනීම. මේ අනුව රාජ්‍ය අංශය 10% ක තරම් කුඩා වපසරියක පිහිටන බැවින් නඩත්තු කිරීම සහ පූර්ණ මෙන්ම අංගසම්පූර්ණ සේවාවන් ලෙස පවත්වාගෙන යාමද ඉතා පහසුය. පෞද්ගලික අංශය 90%ක තරම් පුළුල් පරාසයක් ගන්නා බැවින් පාඩු නොලබන කාර්යක්‍ෂම මෙන්ම ඵලදායී සංවර්ධනයක් ඉලක්ක කළ හැකිය. එලෙස පුළුල් රැකියා වෙළෙඳපොළක් ද නිර්මාණය වනු ඇත. මේ වනවිට පවතින අවිධිමත් දේශපාලනය හේතුවෙන් රාජ්‍ය අංශයේ ප්‍රමාණය ඉක්මවා ප්‍රසාරණය වී හොර මැරකම් දූෂණ වංචා ආදී සියලු නොපනත්කම් එතුළට රිංගාගෙන ඇත. පෞද්ගලික අංශය ප්‍රසාරණයවීමෙන් එය ද අවම වනු ඇත.

රාජ්‍ය ආදායම සහ වියදම (අයවැය) යථාවාදීව වෙන්කර ගැනීම.

සියලු බදු බලපත්‍ර ගාස්තු සහ මුද්දර ගාස්තු වැනි දෑ මගින් රාජ්‍ය ආදායම ආවරණය වන අතර ආදායම් අපේක්‍ෂාවෙන් නිෂ්පාදන වෙළෙඳ ආදී ව්‍යාපාර සඳහා රජය යොමු නොවනු ඇත. සේවා සහ යටිතල පහසුකම් සුබ සාධනය නොපිරිහෙලා සැපයීම ඇතුළු පරිපාලන කටයුතුවලට අමතරව රාජ්‍ය අංශයට වෙනත් වියදම් නැත.

සංවර්ධනයේදී දායක කරගත යුතු සහ නොගත යුතු දේ යථාවාදීව වෙන්කර ගැනීම.

පෞද්ගලික අංශය මගින් සිදු කෙරෙන නිෂ්පාදන සේවා සහ වෙළෙඳ කටයුතු මෙන්ම රාජ්‍ය අංශය මගින් සැපයෙන පරිපාලන සේවා සහ යටිතල පහසුකම් යනාදී සංවර්ධන අපේක්‍ෂා හරහා පමණක් දේශීය ඵලදායීතාවය වැඩිකර ගැනේ. නිෂ්පාදන ආර්ථිකය ශක්තිමක් කර මුළුමනින්ම වලකාලිය නොහැකි වුවද සංවර්ධන දායකත්වය පිණිස පස්පව යාකර නොගැනේ. දේශීය අනන්‍යතාවයන් කිසිවක් දියකර නොහරිනු ඇත. සංචාරක ව්‍යාපාරයද සංවර්ධනයේදී නොසැලකෙනු ඇත. දේශීය ආයෝජකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙනු ඇත.

රට දැය සමය අබියස ජය ගන්නට ඇති ප්‍රධාන අභියෝග 05.

● විරැකියාව

ඕනෑම රටක් රාජ්‍යක් හෝ සමාජ සංස්ථාවක් තුළ පළමුවෙන්ම නිර්මාණය වන අභියෝගය විරැකියාවයි. එය මුළුමනින්ම ජය නොගෙන අන් කිසිදු අභියෝගයක් ජයගත නොහැක. ශ්‍රම බළකාය යනු රටක වටිනාකම සම්පතයි. විවිධාංගීකරණ වූ නිපැයුම් වෙනුවෙන් සහ ශ්‍රමිකයාගේ හැකියාවට සහ සුදුසුකමට අනුව එය පරිහරණය කිරීම වැඩි ඵලදායීතාවයට ප්‍රධාන හේතුවයි. ශ්‍රමිකයකුට ස්වයං රැකියාව යනු ලොව තුළ ඇති නිවහල් නිදහස් සහ අගනාම රැකියාවයි. රටක සංවර්ධනයේදී සියලුම වෘත්තීන් එක හා සමාන වටිනාකමකින් යුතුය. ඉන් එකක් හෝ අවතක්සේරු කර හෝ බැහැර කර අපේක්‍ෂිත සංවර්ධනය සපුරා ගත නොහැක. එවන් සෑම වෘත්තිකයකුම තම රැකියාවේ දක්ෂයෙක් ප්‍රවීණයෙක් විශේෂඥයෙක් වන බැවින්ද එක හා සමාන ඇට ලේ මස් නහර වලින් නිර්මිත මිනිසුන් වන බැවින්ද වුවමනා එපාකම් සැමට සමාන වන බැවින්ද සෑම ශ්‍රමිකයකුටම ගෝලීය මට්ටමේ සාධාරණය ඉටුවිය යුතු වන බැවින්ද එසේ නොවන්නේ නම් ස්ව කැමැත්තෙන් අඛණ්ඩව මුළු ශ්‍රම බළකායෙන්ම වැඩගත නොහැකි වන හෙයින් ද ඇ.ඩො. 100 පදනම් කරගත් වටිනාකමක් දෛනිකව සෑම ශ්‍රමිකයකුටම ලබාදීම අත්‍යවශ්‍යම වේ. මුළුමනින්ම විරැකියාව ජය ගත හැකි වන්නේ එලෙසිනි.

● ආර්ථිකය,

විරැකියාව නොහොත් පළමු අභියෝගය එලෙසින්ම ජයගත් කල විවිධාංගීකරණය වූ දේශීය නිපැයුම් තුළින් ජාතික ඵලදායිතාවය ඉහළ නැංවේ. ආනයනය අවම කර ගන්නට සහ අපනයනය වැඩිකර ගන්නට හැකි වන අතර කෝකටත් තෛලය බඳු වූ නිෂ්පාදන ආර්ථිකය ද ශක්තිමත් වේ. දේශීය මුදලේ අගය ඇ. ඩොලරයට සාපේක්ෂව උපරිමය දක්වා වැඩිකර ගන්නට ද හැකි වේ.

● මානව හිමිකම්,

ඉහත අභියෝග දෙක එපිළිවෙළින්ම ජයගත් කල හැමෝටම ස්ව කැමැත්තෙන්ම නිරත වන්නට රැකියාවක්ද අතමිට සහ අටු කොටු පිරුණ ආර්ථිකයක්ද හිමි වේ. ධනය, සම්පත් සේවය සුබසාධනය සාධාරණව බෙදෙන සහ මිනිස් මූලික අයිතිවාසිකම් සුරැකෙන පංචවිධ මූලික ප්‍රතිපත්තියේ රට පිහිටන කල තම මූලික වුවමනා එපාකම් සැපිරෙනවා පමණක් නොව දෙපයින් නැගී සිටින නිදහස් නිවහල් ස්වාධීන පුරවැසියකු ද නිර්මාණය වේ. විවිධ සමාජ ස්ථරයන් තුළ පවතින විවිධ පරස්පරකම් අවම වී එකිනෙකා කෙරෙහි හටගන්නා සැකය අවිශ්වාසය ඉරිසියාව ක්‍රෝධය පහව යයි. සමාජය තුළ යහපත් ආකල්ප ද පෝෂණය වී මානව හිමිකම් කඩනොවීම පමණක් නොව අලුතෙන් හිතන්නට හැකි නිර්මාණශීලී දියුණු සමාජයක්ද බිහි වේ.

● සමාජ අරගල,

ඉහත අභියෝග තුන එපිළිවෙළින්ම ජයගත් සමාජයක සියලුම අසහනකාරී තත්ත්වයන් මගහැරී යයි. මිනිසුන් තම අයිතිවාසිකම් ඉල්ලා උද්ඝෝෂණ වැඩ වර්ජන පෙළපාලි හෝ අරගල නොකරයි. රට තුළ අභ්‍යන්තර යුද්ධ හට නොගනියි. එවන් දේශපාලන හෝ බෙදුම්වාදී අරමුණු පෙරදැරි කරගෙන අවස්ථාවාදී අන්තවාදී කණ්ඩායම්වලට අසරණයින් තව දුරටත් බිලිබා ගැනීමට නොහැකි වෙයි.

● බාහිර බලපෑම්,

ඉහත අභියෝග හතර එපිළිවෙළින්ම ජයගත් කල රටක් ජාතියක් ලෙස අප කොතරම් ශක්තිමත් වනවාද කියනවනම් මෙරට අභ්‍යන්තර කටයුතුවලට අත පෙවීමට කිසිදු බාහිර බලවේගයකට හෝ පරයකුට අවකාශ නොවනු ඇත. මෙවන් දේශපාලන න්‍යායපත්‍රයක් වැඩපිළිවෙළක් වේ නම් පෙරළිකාර වෙනසක් ද සහිතව අනායාසයෙන් මේ රට වහා ගොඩනගන එක කොතරම් සරල වේවිද.

බී. එම්. එස්. බාලසූරිය

advertistmentadvertistment
advertistmentadvertistment