එල්.ටී.ටී.ඊ. ය අපේ මිනිස්සු 20ක් මැරුවා…

අපි ගෙවල්වලට යන්නෙ මාසෙ පෝයට…

මහ කැලේ ලැගගෙන රස්සාව කරන්නෙ පානමට ධීවර වරායක් නැති නිසයි…

මුහුදු ජාවාරම් වෙන හැටි කිව්වොත් අපිට මේ රස්සාව කරන්න බෑ…

වාඩියෙන් ගන්නෙත් පොකිරිස්සෝ කිලෝවක් රු.9500ටයි…

ඔකඳ දේවාලයට යන අතරමඟ තාවකාලික පැල්පත් පෙළක් දැක අපි නතර වීමු. පැල්පත් පේළි දෙක අතර වැලි පාරේ බට්ට ලොරියක් නතර කර තිබෙන අයුරු පෙනේ. එහෙත් මිනිස් රුවක් නොපෙනේ. විපරම් දෑස් අවට ට යොමු කළෙමි. පැල්පත් කෙළවරේ මුහුදු වෙරළ තීරයේ හෝ මිනිස් රුවක ඡායාවක් නොපෙනේ. ඉනිවැට වලින් වට කර ඇති පැල්පත් තුළට මම එබිකම් කළෙමි. එක නිවසක පිලේ පැදුරු කඩමලු මත දෙදෙනෙක් නිදා සිටිති. වේලාව දහවල් 12.00ට ආසන්නය. වැහි බීරම නොතිබෙන්න අවට ගිනියමින් දැවෙන වේලාවය. එදින පාන්දර කුමන වනපෙතට අනෝරා වැසි වැටුණු හෙයින් අවට ද සිසිල් ය. නිදා සිටින අය අවදි කිරීමට අපි අකමැති වීමු. තෙත බරිත වූ වැලි පාර දිගේ වෙරළ දෙසට අපි ඇවිද ගියෙමු. ‘ඔකඳ වෙරළ’ කුමන මහ වනපෙත මැද පිහිටි අතිසුන්දර වෙරළ තීරයකි. ස්වභාවික තොටුපළක් සහිත එම මුහුදු තීරය ගල්පර බහුල මසුන් බෝ කරන මුහුදු කලාපයක් බව දැනගැනීමට ලැබිණි.

‘අර වදුලෙ ඌරෝ රංචුවක් ඉන්නවා. ශබ්ද කරන්නෙ නැතිව ඉමු…’ ගමන් සඟයෙක් එසේ පවසා අසල පැල්පතකට වහං විය.

ඔයාලා කවුද…? එම පැල්පත තුළින් හඬක් මතු විය. එහෙත් රුවක් නොපෙනුණි.

‘ඔකඳ දේවාලයට යන ගමන්. මේ ගෙවල් පෙළ දැකලා නතර වුණේ…’ මම පිළිතුරු දුන්නෙමි.

‘මෙතැන ධීවර තොටුපළක්. අපි කණ්ඩායමක් මේ පැල්පත්වල නතර වෙලා ධීවර රස්සාව කරනවා…’ නිවස තුළ සිට සමීපයට පැමිණි කෙනෙක් එසේ කීවේය. අපගේ අවශ්‍යතාවය සහ අනන්‍යතාව පැහැදිලි කළවිට ඔහු සතුටින් කතා කළා පමණක් නොව, ඒ පැල්පත් තුළ නිදා සිටි අයව ද අවදි කර කතාවට සම්බන්ධ කර ගත්තේය. හේ සෝමසිරිය. වයස අවුරුදු 50කි. ගම පානමය. ධීවර රස්සාව වෘත්තීය කරගත් ඔහු තිදරු පියෙකි. වසර 35ක කාලයක සිට ධීවර රස්සාවේ නිරතව සිටින සෝමසිරි එම ධීවර තොටුපළේ පැරැණි සාමාජිකයෙකි.

“මේ තොටුපළේ රස්සාව කරන හැම කෙනාම පානම පදිංචිකරුවෝ. මාසෙ පෝයට තමයි ගෙදර යන්නේ. අඩුම, කුඩුම ගෙනැත් උයල, කාලා මේ මඩුවල නතර වෙලා රස්සාව කරනවා. අපි අල්ලන මාළු ගෙනියන්න ලොරි එනවා. මේ තියෙන්නෙ මාළු ගෙනියන්න ආපු ලොරියක්. ඩ්‍රයිවර් මල්ලිත් ටිකක් ඇලවිලා. උදේ මුහුදු ගිය බෝට්ටු ඇවිත් තියෙන්නෙ කිහිපයයි. තව එන්න තියෙනවා. මෙතැන සීයකට වැඩි පිරිසක් රස්සාව කරනවා. බෝට්ටුත් තිහ, හතළිහක් තියෙනවා. සේරම දවසෙ බෝට්ටු. ඩිංගි බෝට්ටු…” මුහුදු රස්සාවේ නිරතව සිටිය ද සෝමසිරිගේ හඬ හීන්ය. විටෙක කනට නොඇසෙන තරම් ය. වයසට වඩා පෙනුමක් සහිත ඔහුගේ කේඩෑරි ශරීරය අව්වට පිච්චී අවර්ණ වී ඇති අයුරු පෙනෙනවිට රැකියාවේ කටුක බව තේරුම් ගැනීමට අසීරු නැත. පැසුණු කටු රැවුල, විලිවැසෙන්න ඇඳගෙන සිටින ලේ පැල්ලම් සහිත කලිසම් කොටය දකිනවිට රූපය ගැන, ඇඳුම්, පැලඳුම් ගැන හේ නොහිතන බව පැහැදිලිය. අප වටා එක්රොක්ව සිටින සෙසු ධීවරයන් ද එසේමය. පානම නගරයේ සිට කිලෝමීටර් 20ක් පමණ දුරින් කුමන අභය භූමිය තුළ පිහිටි ඔකඳ ධීවර තොටුපළේ වාඩිවල ජීවත්වන ඔවුන්ව දකිනුයේ වනසතුන් සහ මුහුදේ මාළු පමණි. ඒ හැර ඔවුන් රස්සාවේ නිරතව සිටිය දී මිනිසුන්ට ඇස ගැටෙනුයේ කලාතුරකිනි. එවැනි හුදෙකලා මිනිසුන් රූපය, ඇඳුම් ගැන උනන්දු නොවීම පුදුම වියයුතු කාරණයක් නොවේ.

කුමන වන මැද ඔකද ධීවර ගම

‘අර වදුලෙ ඌරෝ රංචුවක් ඉන්නවා. උන්ගෙන් කරදරයක් නැද්ද…’ අපගේ ගමන් සඟයා ඌරෝ රංචුව අසලින් තවම දෑස් ඈත් කරගෙන නැත.

“මොකද නැත්තෙ… අපි නැති වෙලාවට ගෙවල් පෙරළලා කෑම හොයනවා. මෙලෝ හසරක් තියන්නෙ නෑ. සේරම කනවා…”

‘ඉතිං උන්ව ඔයාලා මරාගෙන කනවනේ…’ හිත තුළ කැකෑරෙන පැනය විහිළු බසින් මම එළියට දැම්මෙමි.

“අම්මෝ… කැලේ සත්තු මරාගෙන කෑවොත් අපිට මේ රස්සාව කරන්න ලැබෙන්නෙ නෑ. විහිළුවටත් එහෙම කතා නම් කියන්න එපා. අපි කන බොන හැටි මේ හැළි වළං දන්නවා. මේ අහිංසක සත්තු දැන් අපිට හරිම ලෙන්ගතුයි. ගෝන්නු ඇවිත් අපේ ඇඟේ දැවටෙනවා. අලින්ගෙන් වුණත් කරදරයක් නෑ. වලහා මගදි මුණගැහුණත් ගොරවලා කැලයට රිංගනවා. කොටියා බලන බැල්මට බය හිතෙනවා. ඒත් කිසිම දවසක අපිට පැනලා නෑ. කැස්බෑවෝ වෙරළෙ ඇවිත් බිත්තර දානවා, අපි බලාගෙන ඉන්නවා. කිසිම දවසක කැස්බෑවෙක්ට අනතුරක් කරලා නෑ. මේ ගම්වල මිනිස්සු කැස්බෑ බිත්තර කන්නෙ නෑ. ධීවරයෝ නම් කොහෙත්ම කැස්බෑ බිත්තර කන්නෙත් නෑ. කැස්බෑ බිත්තර සංරක්‍ෂණය කරන දෙදෙනෙක් මේ වාඩියේ ඉන්නවා. පෞද්ගලික ආයතනයකින් ඒ දෙන්නට පඩි ගෙවනවා. ඔවුන්ගේ රාජකාරිය කැස්බෑවන් බිත්තර දාපු තැන් හඳුනාගෙන කොටු කිරීම. පැටව් ඉපදුණාට පස්සෙ මුහුදට යැවීම. අපිට තේරෙන ආකාරයට මේ රට වටේට තියෙන මුහුදු තීරවලින් වැඩියෙන් ම කැස්බෑවන් බිත්තර දාන්නෙ මේ මුහුදු තීරයේ…” කැඩුණු සිංහලෙන් එසේ පිළිතුරු දුන්නේ සිරිදරන් ය. ඔහුගේ ද වයස අවුරුදු 50කි. ධීවර රස්සාව කරන්න පටන්ගෙන අවුරුදු 30කි. පානම පදිංචිකරුවෙක් වෙන ඔහු තිදරු පියෙකි. පානම ගමේ මෙන්ම ඔකඳ ධීවර තොටුපළේ සිංහල, දෙමළ ධීවරයන් සංහිඳියාවෙන් රැකියාව කරගෙන යන බව ද ඔවුන්ගේ කතාවෙන් පැහැදිලිය. එමෙන්ම සෑම වාඩියකම දෙවේලක් පමණක් කෑම උයන ඔව්හු බෙදා හදාගෙන කන බව ද පැවසූහ.

“එක බෝට්ටුවක තුන්දෙනෙක් රස්සාව කරනවා. ඒ තුන්දෙනාට සෑහෙන්න උදේට, රෑට කෑම උයා ගන්නවා. අපේ කෑම වේලට මාළු වරදින්නෙ නෑ. තව එළවළුවක් හෝ සම්බෝලයක් හදාගෙන කනවා. කෑම ගැන එච්චර උනන්දු වෙන්නෙ නෑ. කාලා, බීලා ආතල් ගන්න නෙමෙයි අපි මෙතැන ඉන්නෙ, රස්සාව කරන්න. මාළුවෙක් අල්ලගෙන මුදලක් උපයාගත්තොත් තමයි අපේ දරුවන්ට බත් කටක් දෙන්න පුළුවන් වෙන්නේ. පාසලකට යවන්න පුළුවන් වෙන්නේ. ඒත් දැන් කොච්චර හම්බ කළත් මදි.

ගෙදරට ගිහින් ණය ටික ගෙවනකොට සල්ලි ඉවරයි…” ධීවර පොදු හඬ තරමක් උස්ය.

“සතියකට සැරයක්වත් පොකිරිස්සො කිලෝ දහයක්, පහළොක් අල්ලගත්තොත් පොඩි සහනයක් තියෙනවා. දැන් පොකිරිස්සො කිලෝවක් අපෙන් ගන්නෙත් රුපියල් 9500කටයි. ඒත් පොකිරිස්සො හැමදාම නෑ. ඒක වෙනම පන්න ක්‍රමයක්. වෙනත් මාළු අල්ලන්න යන ගමන් පොකිරිස්සො අල්ලන්නත් බෑ. පොකිරිස්සට වෙනම දැලක් තියෙනවා. මුහුදෙ ගල්පර වට කරලා ඒ දැල එළලා තමයි පොකිරිස්සො අල්ලන්නේ. පොකිරිස්සව මරන්නත් බෑ. වෙළෙන්දෝ ගෙනියන්නෙ පණ තියෙන පොකිරිස්සො විතරයි. ඒ නිසා දැල් දාලා අල්ලන පොකිරිස්සො ගෙනැත් අර පේන කොටුවට දාලා තියලා වෙළෙන්දෝ ආවම අරගෙන දෙනවා. ඒ අය ගෙනියන්නෙත් මුහුදු වතුර පැකට් එකක දාගෙන. අපෙන් ගන්න පොකිරිස්සො ගොඩක්ම ගෙනියන්නෙ පිටරට යවන්න. ලොකු ගණන් ඇති. ඒත් අපිට ලැබෙන්නේ රුපියල් 9500යි. ඒ ගාණත් දැන් තමයි. පසුගිය කාලේ හත්දාහයි, අටදාහයි. කිලෝ එකේ, දෙකේ වගේ කිලෝ හතර, පහේ පොකිරිස්සොත් ඉන්නවා. ලොකු පොකිරිස්සො දෙතුන් දෙනෙක් දැලට පැටලුණොත් යහමින් මුදලක් ගෙදරට දෙන්න පුළුවන්…” වෙරළට තරමක් ඔබ්බෙන් මුහුද මැද ඉනිවලින් වට කරන ලද කූඩුවක් දෙසට සෝමසිරි දකුණත දිගු කළේය. තරමක් උසට රළගෙඩි පෙරළීම නිසා සෝමසිරි පෙන්නූ කූඩුව හරිහැටි නොපෙනිණි. වෙරළට යන වැලි පාර මැද කෙනෙක් මාළු කපනු දැක අපි එම ස්ථානයට ගියෙමු.

ලොරියට පටවන්න ද මාළු කපන්නේ…? මාළු කපන්නාට මම පැනයක් යොමු කළෙමි.

‘නෑ ඇම්වලට…’

‘මෙච්චර ලොකු කුට්ටි…’ අපි වික්ෂිප්ත වීමු.

“එක යොතක බිලීකටු හත්, අටසීයක් තියෙනවා. බිලීකටුත් ලොකුයි. ඒ කටුවල ප්‍රමාණයට ඇමත් තියෙන්න ඕනා. ඒ ඇම කන ගල් මාළුත් විශාලයි. කිලෝ තිහේ, හතළිහේ ගල් මාළුත් අහු වෙනවා. ලොකු ගල් මාළු වැඩියෙන්ම ගන්නෙ සංචාරක හෝටල්වලට. කොළඹටත් අරගෙන යනවා. වළාල කාලයට ලැබෙන මාළු අස්වැන්නත් හොඳයි. පාඩුවේ රස්සාව කරගෙන ඉන්නත් පුළුවන්.

ගැටලුව වියදම වැඩි එකයි…” ධීවර හඬ රළ මෙන් නැඟෙනවිට මම නැවත පැනයක් යොමු කළෙමි.

ඔයාලාගේ අය මුහුදේ දී අනතුරට ලක් වෙච්ච අවස්ථා තියෙනවා ද?

“ඕන තරම් තියෙනවා. කුණාටුවලට මැදි වෙලා අපේ අය මැරිලත් තියෙනවා. තදට වහිනකොට මුහුදට යන්නෙම නෑ. දිගට ම වැස්ස අල්ලයි කියලා දැනුත් අපි බයෙන් ඉන්නෙ. වැස්ස දිගට ම ඇල්ලුවොත් සිංහල අලුත් අවුරුද්ද කාලා හමාරයි. මේ රස්සාව එහෙම තමයි. අපිට ඕන විදිහට නෙමෙයි වැඩ වෙන්නෙ. සොබාදහමට ඕන විදිහට තමයි අපිට මාළු දෙන්නෙ. ජුනි මාසේ ඉඳල මාස හතරක් වාරකං. ඒ කාලයට නම් මුහුද පැත්ත පළාතකට යන්නෙ නෑ. වෙන මුහුදු තීර වගේ නෙමෙයි, මේ මුහුදු තීරය හරිම සැරයි. ඒ මාස හතර කුලී වැඩ කරනවා…”

බහුදින ධීවර යාත්‍රාවලින් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය ගොඩට ගේන්නෙ පොඩි බෝට්ටුවලින් නේද?

‘එහෙම වෙන්න පුළුවන්. ඒත් අපි නම් ඕවා කරන්නෙ නෑ. එහෙම කරනවා නම් මෙහෙම දුක්විඳින්න ඕනෙත් නෑ. පානම අපේ ගෙදරකට ගිහින් බැලුවම ජීවත් වෙන හැටි බලාගන්න පුළුවන්. කිරින්ද, ත්‍රීකුණාමලය, හලාවත මුහුදු තීරයේ හොර ජාවාරම් අනන්තවත් වෙනවා. මුස්ලිම් ජනතාව ජීවත් වෙන මුහුදු තීරවල මුහුදු ජාවාරම් බහුලව සිදු වෙනවා. ඒත් ඒ ගම්මාන විශේෂ පරීක්‍ෂාවකට ලක් වෙනවා අපි නම් දැකලා නෑ. ජාවාරම් සිදු වෙන වෙරළ තීරයන්, හඳුනාගත් බෝට්ටු විශේෂයෙන් සෝදිසි කරනවා අපි දැකලත් නෑ. මුහුදු ජාවාරම් තුළ අපි දන්න දේවල් කිව්වොත් ප්‍රශ්න ඇති වෙන්නේ අපිට. මේ රස්සාව කරගන්නත් බැරි වෙනවා. ඒ නිසා ඒ දේවල් අපිත් එක්කම වැළලෙන්න ඉඩ හරිනවා…”

යුද්දෙ කාලෙත් මෙතැන රස්සාව කළා ද? ප්‍රශ්න වැලට මම තවත් ඇමක් ඇමිණු වෙමි.

කුමන වන මැද ඔකද ධීවර ගම

‘ඔව්… එල්.ටී.ටී.ඊ. එකත් හිටියා, අපිත් රස්සාව කරගෙන ගියා. මුල් කාලයේ දී එල්.ටී.ටී.ඊයෙන් කිසිම කරදරයක් වුණේ නෑ. එල්.ටී.ටී.ඊ.කාරයෝ ඔකඳ කෝවිලට යන ගමන් අපිත් එක්කත් කතා කරලා ගියා. යුනිෆෝම් එකෙන් එනවා. සිවිල් ඇඳුමෙන් එනවා. කොහේ හිටිය ද කියලා අපි දැනගෙන හිටියේ නෑ. එතකොට මේ විදිහට පැල් අටවගෙන හිටියේ නෑ. යන්තම් ඉටි කොළවලින් කවර් කරගෙන රස්සාව කරගෙන ගියා. මානුෂීය මෙහෙයුම පටන්ගෙන එල්.ටී.ටී.ඊ.යට දිගට, හරහට පහර දෙනකොට අවස්ථා තුනකදී කොටි ඇවිත් අපේ මිනිස්සුන්ව කපල, කොටලා මරලා ගියා. ඒ අවස්ථා තුනේ දී අපේ අය විසිදෙනෙක් මැරුණා. ඒත් අපි රස්සාව කරන එක නතර කළේ නෑ. යුද්දෙ ඉවර වුණාට පස්සෙ තමයි හිතේ ගින්දරක් නැතිව රස්සාව කරගෙන යන්නෙ. දැන් තමයි නාවික හමුදාව ඉන්නෙ. වනජීවී එක හොයන්නෙ බලන්නෙත්. යුද්දෙ කාලේ මේවා තනිකර එල්.ටී.ටී.ඊ. ප්‍රදේශ. අපිට ඕන විදිහට රස්සාව කරගෙන ගියා. දැන් එහෙම කරන්න බෑ. වනජීවී එක කියන විදිහට තමයි අපි රස්සාව කරන්න ඕන. අපේ වාඩි ඌරෝ කඩන නිසා ගල් පේළි කිහිපයක් බැඳගන්න වනජීවී එකෙන් අවසර ගන්න පුදුම වධයක් විඳින්න වුණා. ඒත් අපි නිසා මේ කැලේ සතුන්ටත් ආරක්‍ෂාවක් තියෙනවා. අපි ඉන්න ඉසව්වට දඩයක්කාරයෙක්වත් එන්නෙ නෑ. නාවික හමුදාවෙනුත් ලොකු ආරක්‍ෂාවක් තියෙනවා…” ඔකඳ ධීවරයො කතාව නතර නොකළහ. එහෙත් අපි ඔවුන්ගේ කතාවට විරාමයක් තැබුවෙමු.

ගල් මාළු බහුල කුමන කිරින්ද මුහුදු තීරයේ යහමින් මාළු අහුවෙන දවස් මෙන්ම කිලෝ මීටර් හත, අට මුහුදේ ගමන් කර එකදු මාළුවෙක් හෝ නොමැතිව හිස් බෝට්ටු ගොඩ එන දවස් ද තිබෙන බව ඔව්හු පැවසූහ. එමෙන්ම පානම ධීවර වරායක් තිබුණා නම් මහ කැලේ ලැග ගෙන රස්සාව නොකරන බව ද ඔව්හු පැවසූහ. කාලයක සිට පානමට ධීවර වරායක් ඉල්ලා සිටිය ද අදාළ බලධාරීන් සහ නිලධාරීන් නොඇසුණු ගානට මඟ හරින බව ද ඔව්හු පැවසූහ. අලි, කොටි වලසුන්ගේ ගෙරවිලි, වල් ඌරන්ගේ මංකොල්ලකෑම් මැද වනගතව රස්සාව කරගෙන යන්නේ ජීවත් වීමට වෙනත් විකල්පයක් නැති නිසා බව ඔවුන් පැවසුවේ දැඩි කම්පනයෙනි. ධීවර බෝට්ටු ධාවනය කරවීමට දිනකට භූමි තෙල් ලීටර් 50ක 60ක ප්‍රමාණයක් අවශ්‍ය බවත්, ඉන්ධන මිල වැඩිවීමත් සමග මාළු අස්වැන්න වැඩි වුව ද තෙල් වියදම, ධීවර ආම්පන්නවලට වැය වන වියදමෙන් පසු අතට ඉතිරි වන්නේ සොච්චමක් බව ඔවුන් කීවේ දැඩි කලකිරීමෙනි. රජයෙන් තෙල් සහනාධාරයක් ලැබෙන්න පුංචි සහනයක් තිබෙන බව ද ඔව්හු මතක් කළහ. එහෙත් එවැනි ඉල්ලීම් මේ රටේ නායකයන්ට නොඇසෙන ගානය. නොදකින තරම්ය. එහෙත් අපේ යුතුකම ඔකඳ ධීවරයන්ගේ දුක වචන කිරීමය.

තරංග රත්නවීර

advertistmentadvertistment
advertistmentadvertistment