කෙහෙළියට එරෙහි විමර්ශන 3ක සැකකරුවකු ලෙස පුත්‍රයාත් නම් කරයි

54

කෙහෙළිය යළි රිමාන්ඩ්

පුත් රමිත් අද අල්ලස් කොමිසමට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ලබන 3 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (20දා) නියෝග කළාය.

හිටපු අමාත්‍යවරයාට එරෙහිව සිදුකරන විමර්ශන තුනක සැකකරුවකු ලෙස කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් රඹුක්වැල්ල ද නම් කිරීමට පැමිණිල්ල කළ ඉල්ලීමට අවසර ලබාදුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය අද (21දා) අල්ලස් කොමිෂන් සභාව හමුවේ පෙනී සිට විමර්ශන සඳහා අවශ්‍ය ප්‍රකාශ ලබාදෙන ලෙසට, රමිත් රඹුක්වැල්ලට නියෝග කළාය. එකී පැමිණිලි සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බවත් වැඩිදුර විමර්ශන සඳහා තවත් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කිරීමට අවශ්‍ය බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ.

විමර්ශන අවසන් වී නොමැති අවස්ථාවක සැකකරු ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් විය හැකි බවට විමර්ශන නිලධාරීන් දක්වන ලද කරුණු සාධාරණ බව තම අධිකරණයට ද පෙනී යන බව පෙන්වා දුන් ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය විත්තියේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය කළාය.

සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය සෞඛ්‍ය හා පරිසර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ 2021 වසරේ සිට 2023 වසර දක්වා වූ කාලය තුළදී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සේවය කළ බවට ලේඛන ඉදිරිපත් කොට සේවය නොකළ පුද්ගලයන් කීපදෙනකුගේ නමින් වැටුප් ගෙවූ බව සඳහන් කර රුපියල් 8,058,814කට අධික මුදලක් රජයට පාඩු කිරිම ඇතුළු චෝදනා යටතේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව එම විමර්ශන ආරම්භ කොට තිබිණි. ප්‍රකාශ සටහන් කිරීම සඳහා කැඳවා තිබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා අත්අඩංගුවට ගෙන පසුගිය 7 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ (20දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කොට තිබිණි.

නීතිඥ ඔවිනි හත්තොටුව, මහසෙන් සිල්වා, සවින්ද්‍ර හේරත්, නිරංජන් ඊරියගොල්ල, සහ නීතිඥ සම්පත් හේවාපතිරණ යන නීතිඥ මණ්ඩලය සමග ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සැකකාර කෙහෙළිය රඹුක්වැල්ල මහතා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක


advertistmentadvertistment