ශ්‍රී ලංකාවේ කාර්යසාධනය ශක්තිමත්

සමාජ වියදම් පිළිබඳ දර්ශකය හැර, සියලු ප්‍රමාණාත්මක ඉලක්ක සපුරයි

ඇත්ත වශයෙන්ම අපට 2022 වසරේ අප්‍රේල් මාසයේ විදේශ ණය ගෙවාගත නොහැකි වීමෙන් රට බංකොලොත් තත්ත්වයට පත් වූයේ ද අන්කිසිවක් නිසා නොව මේ විදේශ සංචිතය හොඳටම පිරිහීමට පත් වූ නිසාය. ඒ සඳහා ඇමෙරිකානු ඩොලරය රු.203 ක කෘත්‍රිම අගයක දිගු කාලයක් පවත්වාගෙන යෑම ද හේතුවක් වූ බව රහසක් නොවේ. මෙසේ රටේ සාර්ව ආර්ථික තත්ත්වය වර්ධනය වී ආර්ථිකයේ ස්ථාවර තත්ත්වයක් ඇති වුවත් තවමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන වැල් පාලමෙන් අප එගොඩ වී නොමැති බව ද අප තේරුම් ගත යුතු වේ. මේ නිසා ආර්ථිකයේ තවමත් අවදානම් තත්ත්වයන් පවතින බව අයිඑම්එෆ් වාර්තාවේ ද සඳහන් වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග 2024 හතරවන වගන්තිය යටතේ උපදේශනය සහ මාස 48ක විස්තීර්ණ ණය පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කර ඇත. ඒ සමග ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය දැක්වීම සඳහා විශේෂ ගැනුම් හිමිකම් (වි.ගැ.හි.) මිලියන 254ක (එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 336ක් පමණ) මූල්‍ය පහසුකමක් ලැබී ඇත. මේ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉකුත් ජුනි 13 වැනිදා නිවේදනය කළේය. මේ ගැන නොයෙකුත් අදහස් පළ වූ අතර ඇතැම් පුද්ගලික සමීක්ෂණ ආයතන පවා සමීක්ෂණ වාර්තා මාධ්‍යයට නිකුත් කරමින් මේ අයිඑම්එෆ් වැඩසටහනේ ප්‍රගතිය ගැන අහිතකර අදහස් සමාජ ගත කර තිබිණි. ඒවායින් කියවුණේ අයිඑම්එෆ් එකඟතා හරිහැටි ඉටු කර ගැනීමට රජය සමත් වී නැති බවයි. එහෙත් ඒ සියල්ල බොරු කරමින් අයිඑම්එෆ් වැඩසටහනේ හොඳ ප්‍රගතියක් ඇති කර ගැනීමට අප සමත් වී ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින්ම ඉකුත් ජුනි 13 වැනිදා නිවේදනය කර තිබේ.

මූල්‍ය අරමුදල විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ මෙසේ සඳහන් වේ.

කොන්දේසි සහිතයි! මූල්‍ය අරමුදලේ තෙවැනි ණය වාරිකයත් හරි

‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාව සමග 2024 වසරේ හතරවන වගන්තිය යටතේ වන (Article IV) උපදේශනය නිමා කර ඇත. මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාව සමග මාස 48ක විස්තීර්ණ ණය අරමුදල් පහසුකම යටතේ දෙවන සමාලෝචනය සම්පූර්ණ කරන ලද අතර, එමගින් ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 336 ක පමණ මූල්‍ය පහසුකමක් සඳහා ශ්‍රී ලංකාවට ක්ෂණික ප්‍රවේශයක් හිමිවිය. මෙම වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත් විය. සමාජ වියදම් මත වූ දර්ශක ඉලක්ක හැර අනෙකුත් සියලුම ප්‍රමාණාත්මක ඉලක්ක 2023 වසරේ දෙසැම්බර් මස අවසානයේදී සපුරාගන්නා ලදී. 2024 වසරේ අප්‍රේල් මස අග වන විට බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරාගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. එසේ වුවද, ආර්ථික අවදානම් තවමත් පවතින අතර, ණය තිරසාරභාවය ඇති කිරීම සඳහා වන ගමන් මග අභියෝගාත්මකය. ප්‍රතිසංස්කරණ පවත්වා ගැනීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රයත්නයන් ආර්ථිකයේ කල් පවත්නා යථා තත්ත්වයකට පත්වීමට සහ ණය තිරසාරභාවය සඳහා ඉතා වැදගත් වේ. සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, මිල ස්ථායීතාව පවත්වා ගැනීම, මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම, බාහිර ස්වාරක්ෂක නැවත ගොඩනැගීම සහ පාලනය ශක්තිමත් කිරීම ඇතුළු වර්ධනය ඉලක්ක කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම වැනි පුළුල් පරාසයක පැතිරී පවතින ප්‍රතිසංස්කරණ පිළිබඳව හතරවන වගන්තිය යටතේ වන උපදේශනය අවධානය යොමු කළේය.’

ශ්‍රී ලංකාව සඳහා වන මූල්‍ය අරමුදලේ හිමි කොටස මෙන් සියයට 395ක් හෝ අමෙරිකානු ඩොලර් බිලියන 3ක් පමණ විස්තීර්ණ ණය පහසුකමක් සඳහා අයිඑම්එෆ් විධායක මණ්ඩලයේ අනුමැතිය ලැබුණේ 2023 වසරේ මාර්තු 20 වැනිදාය. ඩොලර් මිලියන 337ක් පමණ ණය වාරිකයක් ලබා දීමක් සමග විස්තීර්ණ ණය පහසුකමෙහි පළමු සමාලෝචනය අයිඑම්එෆ් විධායක මණ්ඩලය විසින් 2023 දෙසැම්බර් 12 වන දින සම්පූර්ණ කරනු ලැබිණි. විස්තීර්ණ ණය පහසුකම මඟින් සහාය ලැබෙන වැඩසටහන ශ්‍රී ලංකාවේ සාර්ව ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම, දිළිඳු සහ අවදානමට ලක්විය හැකි පුද්ගලයන් මත ආර්ථික බලපෑම අවම කිරීම, විදේශ සංචිත නැවත ගොඩනැංවීම, මූල්‍ය අංශයේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීම, සහ පාලනය සහ වර්ධන විභවයන් ශක්තිමත් කිරීම ඉලක්ක කරයි. මූල්‍ය අරමුදල පවසන පරිදි ආර්ථිකය නැවත යථා තත්ත්වයට පත්වීමේ සලකුණු මතුවෙමින් තිබේ. ගිය වසරේ (2023) දෙවන භාගයේ දී මූර්ත දළ දේශීය නිෂ්පාදිතය වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත සියයට 3කින් වර්ධනය වී ඇත. මේ වසරේ (2024) සමස්ත ආර්ථික වර්ධනය ද ධන තත්ත්වයට පත්වනු ඇත.

ආර්ථික අර්බුදයත් සමග උද්ධමනය සියයට 70 ක් පමණ දක්වා විශාල වශයෙන් ඉහළ ගොස් බඩු මිල කිහිප වටයකින් වැඩි වූ බව අපට හොඳට මතකය. එහෙත් අයිඑම්එෆ් සහාය ලබමින් ක්‍රියාත්මක කළ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන නිසා මේ වන විට එම අධික උද්ධමනය විශාල වශයෙන් අඩු වී තනි ඉලක්කමක තත්ත්වයට ද පත්ව තිබේ. එහෙත් උද්ධමනය අඩුවීම යනු බඩු මිල ඉහළ යන වේගය නිසා උද්ධමනය අඩු වීමෙන් බඩු මිල ඉහළ යන වේගය අඩු වුවත් බඩු මිලේ අඩු වීමක් නොවන බව ද අප තේරුම් ගත යුතුය. මේ පසුබිම තුළ මේ වසරේ (2024) මැයි මස උද්ධමනය සියයට 0.9ක් වූ අතර, 2024 වසරේ අප්‍රේල් මස අග වන විට දළ නිල සංචිත ඇමෙරිකානු ඩොලර් බිලියන 5.5 දක්වා සැලකිය යුතු මට්ටමකට වර්ධනය වී ඇත. මේ සියල්ලම සඳහන් වන්නේ ද අයිඑම්එෆ් එක නිකුත් කළ වාර්තාවේය. ඒ නිසා මේ අපේ ආණ්ඩුව කියන දෙයක් නොවන නිසා මේ ගැන සැකයක් ඇති කර ගත යුතු ද නොවේ. මේ අනුව රුපියල ස්ථාවර කර ගනිමින් එය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තරමක් දුරට ශක්තිමත් කර ගැනීමට මෙන්ම දේශීය විදේශ විනිමය වෙළෙදපොළෙන් විදේශ විනිමය මිලදී ගැනීමෙන් විදේශ සංචිත තත්ත්වය ශක්තිමත් කර ගැනීමට ද මහ බැංකුව සමත් වී ඇත.

ඇත්ත වශයෙන්ම අපට 2022 වසරේ අප්‍රේල් මාසයේ විදේශ ණය ගෙවාගත නොහැකි වීමෙන් රට බංකොලොත් තත්ත්වයට පත් වූයේ ද අන්කිසිවක් නිසා නොව මේ විදේශ සංචිතය හොඳටම පිරිහීමට පත් වූ නිසාය. ඒ සඳහා ඇමෙරිකානු ඩොලරය රු.203 ක කෘත්‍රිම අගයක දිගු කාලයක් පවත්වාගෙන යෑම ද හේතුවක් වූ බව රහසක් නොවේ. මෙසේ රටේ සාර්ව ආර්ථික තත්ත්වය වර්ධනය වී ආර්ථිකයේ ස්ථාවර තත්ත්වයක් ඇති වුවත් තවමත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන වැල් පාලමෙන් අප එගොඩ වී නොමැති බව ද අප තේරුම් ගත යුතු වේ. මේ නිසා ආර්ථිකයේ තවමත් අවදානම් තත්ත්වයන් පවතින බව අයිඑම්එෆ් වාර්තාවේ ද සඳහන් වේ.

2023 වසරේ දී බදු ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.8 දක්වා වැඩි වීමත් සමග ප්‍රාථමික ගිණුමේ ශේෂය අතිරික්තයක් දක්වා වැඩි දියුණු වී ඇත. අක්‍රීය ණයවල කාර්යසාධනය වැඩි දියුණු වුවද, බැංකු අංශයේ යම් අවදානම් ඉතිරිව පවතී. යථා තත්ත්වයට පත්වීම ක්‍රමානුකූලව සිදු වෙමින් පවතින අතර, මැදි කාලීන වර්ධන විභවය සුදුසු ප්‍රතිපත්ති සම්පාදනයන් මත රඳා පවතී. මැතිවරණ ක්‍රියාවලියත් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ප්‍රතිපත්තිමය දිශානතිය පිළිබඳ අවිනිශ්චිතතාවයන්ට මුහුණ දෙන අතරම, අඩු මට්ටමක පවතින බැංකු ණය ලබාදීම් සහ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය හේතුවෙන් 2024-25 කාලපරිච්ඡේදයේ දී වර්ධනය මධ්‍යස්ථව යථා තත්ත්වයට පත්වනු ඇතැයි මූල්‍ය අරමුදල පුරෝකථනය කර ඇත. කෙටිකාලීන සාධක හේතුවෙන් උද්ධමනය තාවකාලිකව වැඩිවනු ඇතැයි අපේක්ෂා ද කෙරේ.

කොන්දේසි සහිතයි! මූල්‍ය අරමුදලේ තෙවැනි ණය වාරිකයත් හරි

සංචාරක ඉපැයීම් සහ විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ වර්ධනය වීම හේතුවෙන් 2024 වසරේදී විදේශ අංශයේ ජංගම ගිණුම ධනාත්මකව පවතිනු ඇතැයි ද මූල්‍ය අරමුදල අපේක්ෂා කර ඇත. විශේෂයෙන්ම ආදායම් රැස් කිරීම ශක්තිමත් කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණයන්හි ගම්‍යතාවය අඩු වීම තුළින් දේශීය අවදානම් මතුවිය හැකිය. තීව්‍ර වූ කලාපීය ගැටුම්, වෙළඳ භාණ්ඩ මිල විචලනයන් සහ ගෝලීය මන්දගාමිත්වය ආශ්‍රිතව විදේශීය අවදානම් ඇති වේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මන්දගාමී ප්‍රගතිය හේතුවෙන් මූල්‍යන පරතරය වැඩි විය හැකිය.

රටක් වශයෙන් ඉතිහාසයේ නොයෙක් වර ආර්ථික අර්බුදයන්ට මුහුණ දී ඇති නමුත් අපේ රට විදේශ ණය ගෙවාගත නොහැකිව බංකොලොත් තත්ත්වයට පත් වූයේ ඉතිහාසයේ ප්‍රථම වරට ය. ඒ හමුවේ ඉතිහාසයේ මින් පෙර නොවූ විරූ පීඩාවන් රැසකට ජනයාට මුහුණ දීමට ද සිදුව ඇත. මේ අනුව 2022 වසරේ ඉතිහාසයේ දරුණුතම ආර්ථික පසුබෑමට මුහුණ දෙමින් ආර්ථිකය විශාල සංකෝචනයකට ලක් විය. ඒ අනුව 2022 වසරේ දී අප ආර්ථිකය වාර්තා කර ඇත්තේ සියයට ඍණ 7.3 ක ආර්ථික වර්ධනයකි. එනම් විශාල ආර්ථික පසුබෑමකි. එසේම ගිය වසරේ (2023) දී ආර්ථිකය සියයට 2.3 ක ඍණ ආර්ථික වර්ධනයක් වාර්තා කළ අතර මේ වන විට මේ ඍණ ආර්ථිකය ධන ආර්ථිකයක් බවට පරිවර්තනය වී තිබේ. එනම් ගිය වසරේ දෙවන භාගයේ දී ආර්ථිකය ධන වර්ධනයක් වාර්තා කළ අතර මේ වසරේ (2024) දී ආර්ථිකය සියයට ධන 3 කින් වර්ධනය වනු ඇතැයි ද මහ බැංකුව පුරෝකථනය කර ඇත.

ශ්‍රී ලංකාව පිළිබඳ මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල සාකච්ඡාවෙන් අනතුරුව එහි නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා නිකුත් කළ ප්‍රකාශයේ මෙසේ සඳහන් වේ.

“අරමුදල් මඟින් සහාය ලැබෙන වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතී. සමාජ වියදම් පිළිබඳ දර්ශක ඉලක්කයේ සුළු හිඟය හැර, සියලු ප්‍රමාණාත්මක ඉලක්ක සපුරා ගන්නා ලදි. බොහෝ ව්‍යුහාත්මක මිණුම් දඬු සපුරා ගෙන හෝ ප්‍රමාදයක් සහිතව ක්‍රියාත්මක කර ඇත. ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිපත්ති ගැලපීම් සාර්ථක වෙමින් පවතී. ආර්ථිකය යථා තත්ත්වයට පත්වීමට පටන් ගනී, උද්ධමනය අඩු මට්ටමක පවතී, ආදායම් එකතු කිරීම වැඩිදියුණු වෙමින් පවතී සහ සංචිත අඛණ්ඩව ඉහළ යමින් පවතී. මෙම ධනාත්මක වර්ධනයන් හමුවේ වුවද, ආර්ථිකය තවමත් අවදානමට ලක්ව ඇති අතර, ණය තිරසාරභාවය ළඟාකර ගැනීම අභියෝගාත්මක වී ඇත. දැනට සිදුකර ගෙන යන ප්‍රතිව්‍යුහගත කිරීම, ආදායම් රැස් කිරීම, සංචිත ඉහළ නැංවීම සහ යථා තත්ත්වයට පත්වීමට සහය දැක්වීම සඳහා බැංකුවලට ඇති හැකියාව හා සම්බන්ධ අවදානම් සහගත තත්ත්වයන් විසින් ඉදිරි දැක්ම සඳහා අඛණ්ඩව බාධා පමුණුවයි. ශක්තිමත් ප්‍රතිසංස්කරණ ප්‍රයත්න, ප්‍රමාණවත් ආරක්ෂිත ක්‍රියාමාර්ග සහ හදිසි අවස්ථා සඳහා වන සැලසුම් මෙම අවදානම් අවම කිරීමට උපකාරී වේ.”

“මූල්‍ය තිරසාරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා, තිරසාර ලෙස ආදායම් රැස් කිරීමේ ප්‍රයත්නයන්, වැඩසටහන් ඉලක්කවලට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීම කඩිනමින් අවසන් කිරීම සහ සමාජ හා ප්‍රාග්ධන වියදම් ආරක්ෂා කිරීම ඉතා වැදගත් වේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය දියුණු කිරීම මූල්‍ය විනය වැඩි දියුණු කිරීමට උපකාරී වන අතර ණය කළමනාකරණ රාමුව ශක්තිමත් කිරීම ද අවශ්‍ය වේ.”

මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල තක්සේරුව වී ඇත්තේ අප සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ ඵලදායි බවටයි. මේ බව සැලකිල්ලට ගනිමින් අරමුදල්-ආධාරක වැඩසටහන යටතේ බලධාරීන්ගේ ශක්තිමත් ක්‍රියාකාරීත්වය විධායක මණ්ඩලය පැසසුමට ලක් කළහ. එහෙත් දැනට පවතින ණය ප්‍රතිව්‍යුහගත කිරීම සහ ඉදිරි මැතිවරණයන්ද ඇතුළුව ප්‍රධාන දුර්වලතා සහ අවිනිශ්චිතතා පවතින බව විධායක මණ්ඩලය අවධාරණය කර ඇත. මෙම පසුබිමට එරෙහිව, ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසාරභාවය යථා තත්ත්වයට පත් කිරීම සඳහා සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ශක්තිමත් කිරීම සහ දිගුකාලීන වර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ප්‍රතිසංස්කරණ ගම්‍යතාවය පවත්වා ගන්නා ලෙස ඔවුන් අපේ බලධාරීන්ගෙන් ඉල්ලා සිට තිබේ. මූල්‍ය අරමුදලේ සහාය ලබමින් මේ සිදුකරන ආර්ථික ප්‍රතිසංස්කරණ ගැන නොයෙකුත් විවේචන තිබේ. මිනිස්සුන්ට ජීවත්වීමට ඉතා අමාරු බව ඇත්තය. එහෙත් අයිඑම්එෆ් සහාය ලබමින් මේ විදේශ විනිමය අර්බුදය මේ මට්ටමට හෝ සමනය කර ගනිමින් මේ ගමන ආවේ නැත්නම් වනු ඇත්තේ මිනිස්සුන්ට අමාරුවෙන් හෝ ජීවත් වීමට නොහැකි වාතාවරණයක් රටේ ඇති වීමයි. ඇතැම් විට රටේ එවකට පැවති අරාජිකත්වය තවත් වර්ධනය වී ජනයා එකිනෙකා ඇනකොටා ගන්නා තත්ත්වයකට රට පත් වීමට ද ඉඩ තිබිණි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment