කොළඹ තොරණ 23යි

61

රටේම දන්සල් 4000ක්

මෙවර වෙසක් පුණු පොහොය නිමිති කරගෙන කොළඹ ඇතුළු කොළඹ ආසන්න ප්‍රදේශවල තොරණ 23 ක්, වෙසක් කලාප කිහිපයක් ප්‍රදර්ශනය කෙරෙන බවත්, දිවයින පුරා දන්සල් 4000 කට අධික සංඛ්‍යාවක් දැනටමත් ලියාපදිංචි වී ඇති බවත් ඊට අදාළ බලධාරීහු “දිවයින ඉරිදා සංග්‍රහය”ට පැවසූහ.

මෙවර වෙසක් තොරණ අතර ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කොස්ගස් හංදිය, ඔරුගොඩවත්ත, තොටළඟ යන ප්‍රදේශවල තොරණ 3ක් ද, දෙමටගොඩ එක් තොරණක් ද, බොරැල්ල තොරණ කැම්බල් පිටියේ ද, කැලණිය පොලිස් වසමේ රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් තොරණ 3ක් ද, පිටකොටුව බෝධිය අසල තොරණ ද, පෑලියගොඩ පොලිස් වසමේ නවලෝක තොරණ හා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ තොරණ ද, වැලිකඩ නගරයේ තොරණක් ද, මහරගම නගරයේ තොරණක් ද, කොට්ටාව නගරයේ තොරණක් ද, හෝමාගම නගරයේ තොරණක් ද, දෙහිවල වෛද්‍ය පාරේ තොරණක් ද, බොරලැස්ගමුව පොලිස් වසමේ බෙල්ලන්විල විහාර මාවතේ තොරණක් ද, පිළියන්දල නගරයේ තොරණක් ද, කිරිබත්ගොඩ නගරයේ තොරණක් ද, මොරටුව නගරයේ තොරණක් ද, අතුරුගිරිය තොරණක් ද, මාලබේ තොරණක් ද ප්‍රදර්ශනය කෙරෙන බව පොලිස් මූලස්ථානයේ ප්‍රකාශකයෙක් කීය.

මීට අමතරව කොළඹ බෞද්ධාලෝක මාවත, ලේක්හවුස් මාර්ගයේ, කොළඹ මහ නගර සභා මාර්ගයේ වෙසක් කලාප කිහිපයක් ද මැයි 12 දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බවද හෙතෙම කියා සිටියේය.

මේ අතර දිවයින පුරා දන්සල් 4000 කට අධික සංඛ්‍යාවක් මැයි 09 වැනිදා වන විට ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.

මෙම දන්සල් නිසියාකාරව සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන්නේද? යන්න සොයාබැලීමට මැයි 12, 13, 14 තෙදින තුළ දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2300ක් යෙදවීමට නියමිත බවද එම සංගමය කියයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්


advertistmentadvertistment