නැවතුම්පොළක වාහනයක් නතර කළ හැටියේ ටිකට් කඩනවා…

කොම්පැනිකාරයෝ පොහොසත් කරනවා අපිට ඇති දෙයක් නෑ…

පාර්කින් කොම්පැනියක දවසෙ ආදායම රුපියල් ලක්‍ෂය පනිනවා…

නැවතුම්පොළක දී වාහනයට හානියක් වුණොත් වගකීම භාර ගන්නෙ නෑ…

වාහන නැවතුම් ස්ථාන ටෙන්ඩර් කිරීම ගැටලුවක්…

කොළඹ මහ නගර සභාව නිධානය වෙන අයට දීලා හූල්ලනවා…

කොළඹ වාහන නැවතුම් ස්ථාන ගැන අලුත් කතාවක් කරළියට නැඟේ. ඒ කොළඹ නගරයේ වාහන නැවතුම් ස්ථාන පාලනය කරන සමාගම් 26ක් 2023 වසරේ ගෙවිය යුතු හිඟ මුදල් වන රුපියල් විසිකෝටි හතළිස්හයදහසක් නොගෙවා පැහැර හැරීම ය. හිඟ මුදල් ගෙවීමට තිබියදී 2024 වර්ෂයට ද එම සමාගම්වලට වාහන නැවතුම්පොළ ස්ථාන නැවත බදු දී තිබීම ය. 2023 වර්ෂයේ හිඟ මුදල් ගෙවීම් පැහැර හැර ඇති කොළඹ නගරයේ වාහන නැවතුම් ස්ථාන පාලනය කරන සමාගම් 26ක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව වාර්තා වේ.

එමෙන්ම කොළඹ වාහන නැවතුම් ස්ථාන ගැන කාලයක සිට විවිධ කතා මතු වෙමින් තිබේ. රථ වාහන ගාල් කිරීමේ දී අසාධාරණ ලෙස ගාස්තු අය කිරීම, එම ගාස්තුවට සරිලන සේවාවක් නොලැබීම, වාහන නැවතුම්පොළවල ගාල් කර තිබෙන වාහනවල කොටස් මත්ලෝලීන් විසින් ගලවාගෙන යෑම එම කතා අතර ප්‍රබල ය. ඒ සියලු චෝදනා ගැන සොයාබැලීමට පසුගිය දිනක අපි කොළඹ වාහන නැවතුම් ස්ථානවලට ගියෙමු. ගෙන්දගම් පොළොවේ අව්වට පිච්චෙමින්, වැස්සට තෙමෙමින් නැවතුම් ගාස්තු පත් නිකුත් කරන මිනිසුන් සමග කතා කළෙමු. වාහන නැවතුම් ස්ථාන සම්බන්ධයෙන් කරළියේ කතාබහ කෙරෙන ප්‍රශ්නවලට වඩා ඔවුන් දැවෙමින් සිටින ගැටලු අතිශය වේදනකාරී බව අපට හැඟිණි. එහෙයින් ප්‍රථමයෙන් අපි ඒ අසරණයන්ගේ පීඩිත හඬට දෙසවන් යොමු කළෙමු. ප්‍රථමයෙන් අපට අදහස් ප්‍රකාශ කළේ කොටහේන නගරයේ වාහන නැවතුම් ගාස්තු පත්‍ර නිකුත් කරන තරුණයෙකි. මේ ඔහුගේ හඬය.

“කොටහේන නගරයේ හයදෙනකු ටිකට් කඩනවා. එක් අයකුට සීමාවක් ලකුණු කර දීලා තියෙනවා. ඒ සීමාව ඇතුළත නතර කරන වාහනවලට ටිකට් කඩලා හවසට අපි කොම්පැනියට මුදලක් ගෙවන්න ඕනා. මම දවසකට රුපියල් 3000ක් ගෙවන්න ඕනා. 2000, 2500 ගෙවන අයත් ඉන්නවා. අදාළ සීමාවේ වාහන නතර වෙන විදිහ බලලා තමයි කොම්පැනිය අය කරන මුදල නියම කරන්නේ. වාහන ආවත්, නැතත් කොම්පැනිය නියම කරන මුදල ගෙවන්න ඕනා. වැස්ස දවස්වලට අතින් කයිට්. වාහන හොඳට ම ආවොත් තමයි මගේ අතට රුපියල් 2000ක් ඉතිරි වෙන්නෙ. ගොඩක් දවස්වලට අත ඉතිරි වෙන්නෙ රුපියල් 1000 යි. ජොබ් එකක් නැති කමට කරනවා. ලැබෙන මුදල තුන් වේලක් කන්නවත් මදි…” වයස අවුරුදු විසිහයක් වන ඔහු මුස්ලිම් තරුණයෙකි. එක්දරු පියෙකි. ඔහුගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීම රැකියාව අහිමි කිරීමකි. එහෙයින් ඔහුගේ නම සටහන් කිරීමෙන් වැළකී සිටීමට අපි අදහස් කළෙමු.

පසුගිය කාලයේදී කොළඹ නැවතුම්පොළක වාහනයක් නතර කර විනාඩි 05න් ගාස්තු අය කිරීම සිදු කෙරිණි. එහෙත් මෑතක සිට එම කාලය විනාඩි 10ක් දක්වා දීර්ඝ කර තිබේ. එහෙත් කොළඹ බොහෝමයක් නැවතුම් ස්ථානවල වාහන නැවතුම් ගාස්තු පත් නිකුත් කරන අය වාහනය නතර කළ සැණින් රියැදුරු අතට ටිකට් පතක් ලබාදීම පුරුද්දකි. යතුරු පැදියක් නතර කර විනාඩි 10න් පසුව පැයකට අය කරන මුදල රුපියල් 20කි. ත්‍රිරෝද රථයකින් රුපියල් 40කි. කාර්, වෑන් රථවලින් රුපියල් 70කි. බස්, ලොරි රථවලින් පැයකට 100කි. වාහනය නතර කර තැබීම සම්බන්ධයෙන් එවැනි මුදලක් අය කළ ද ‘මෙම ස්ථානයේ වාහන නවතා තිබිය දී කිසිම හේතුවකින් සිදුවන අලාභයක් හෝ හානියක් සම්බන්ධයෙන් අපගේ වගකීමක් නොමැති අතර වගකීම වහනයේ රියැදුරු දැරිය යුතු ය’ අදාළ ටිකට් පත්‍රයේ පිටුපස සටහන් කර තිබේ. වගකීම් භාර නොගන්නේ නම් මොන කෙන්ගෙඩියකට ද ටිකට් දෙන්නේ යන්න රියැදුරු තැනක් විමසීම අසාධාරණ නැත.

“පාර්කින් කොම්පැනි අධික ලාභයක් උපයනවා. රුපියලක්වත් වියදම් කරන්නෙ නැතිව ගෙඩියට ම මුදල් ලැබෙන ව්‍යාපාරයක්. කොළඹ මහ නගර සභාවේ නිලධාරීන්ට දොළදීලා මේ ටෙන්ඩරයක් ගන්නෙත් සොච්චමට. ඒත් පාර්කින් කොම්පැනිවල දවසකට ආදායම රුපියල් ලක්‍ෂය පනිනනවා. පාරේ දහදුක් විඳින අපිට කීයක් හරි වැඩියෙන් දෙනවා නම් කොච්චර දෙයක්ද? කෝටිපතියන්ට පොඩි මිනිස්සුන්ගේ දුක දැනෙන්නෙ නෑ. ඒ අය රුපියලක් වියදම් කළත් දාහක ලාභයක් බලාපොරොත්තු වෙනවා. මම මේ කොම්පැනියේ වැඩට ඇවිත් දවස් තුනයි. දැනට හොඳයි. ඉස්සර වැඩ කරපු කොම්පැනි නම් ගන්න දෙයක් නෑ. අපිව හූරගෙන කෑවා. ඒත් අවුරුදු ගානක් පවුල නඩත්තු කරන්නෙ පාර්කින් ටිකට් කඩලා. දරුවන්ට උගන්නගෙන අපිත් සතුටින් ජීවත් වෙනවා…” හෙට්ටිවීදිය මාර්ගයේ වාහන නැවතුම් ස්ථානයක ටිකට් කඩන ඔහුට වයස අවුරුදු පනහකි. මුස්ලිම් ජාතිකයෙක් වන ඔහුට දරුවන් තිදෙනෙකි. වාහන පාර්කින් කොම්පැනි කිහිපයක සේවය කර ඇති හේ අලුත් කොම්පැනියට සම්බන්ධ වී දින තුනකි. මේ වනවිට ඔහු සේවය කරන කොම්පැනියට ලබාදෙනුයේ දිනකට රුපියල් 1000කි. රුපියල් 2000ක් 2500ක් අත ඉතිරි වන බව හේ තරමක් සතුටින් ප්‍රකාශ කළේය. එහෙත් ලෙඩින් බැස්ටියන් මාවතේ වාහන නැවතුම්පොළක ටිකට් කඩන වියපත් කාන්තාවක් රැකියාව ගැන දැඩි කලකිරීමෙන් කතා කළා ය.

“මට ලැබිලා තියෙන සීමාවත් කෙටියි. ඒත් දවසකට රුපියල් 5500ක් කොම්පැනියට දෙන්න ඕනා. දවසෙම පාරෙ දුක් විඳලා කොම්පැනියට රුපියල් 5500ක් දීලා රුපියල් 1500ක් 2000ක් අරගෙන ගෙදර යනවා. මහත්තයත් මැරිලා. පුතාට පපුවේ මහන්සිය. වැඩක් කරන්න බෑ. අපි දෙන්නා ජීවත් වෙන්නෙ මේ ලැබෙන සොච්චමෙන් තමයි…” ඇයට වයස අවුරුදු 76කි. වසර ගණනාවක් තිස්සේ සිට ඇයගේ රැකියා වාහන නැවතුම් ගාස්තු පත්‍ර නිකුත් කිරීම ය. හරි හැටි ආදායමක් නොලැබෙන්න දීර්ඝ කාලයක් එකම රැකියාවක් නොකරන බව සැබෑ ය. වාහන නැවතුම් ගාස්තු පත්‍ර නිකුත් කරන රැකියාවෙන් පවුලක් නඩත්තු කිරීමට සැලකිය යුතු ආදායමක් ලැබෙන බව ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ වාහන නැවතුම්පළේ නැවතුම් ගාස්තු පත් නිකුත් කරන තුෂාර අප සමග පැවසුවේ ය.

කොළඹ රථ ගාල් පිනට ලැබෙන නිධානයක්

“ගෝල් ෆේස් එක දිගට තැනින් තැනට කොම්පැනිය අය කරන ගාණ අඩු, වැඩි වෙනවා. මම වැඩ කරන්නෙ වන් ගෝල් ෆේස් එක ඉදිරිපිට. උදේ 6.00 සිට හවස 03.00 දක්වා පාර්කින් 25ක් බලලා (ගෝල් ෆේස් අසල වාහනයක් නතර කිරීමට වෙන් කර ඇති එක් කොටසක්) කොම්පැනියට රුපියල් 2500ක් දෙනවා. සවස 03.00 සිට රාත්‍රී 12.00 වෙනකම් වැඩ කළොත් කොම්පැනියට රුපියල් 3500ක් ගෙවන්න ඕනෑ. උදේ 8.00 ඉදිලා රෑ 12.00 වෙනකම් වැඩ කළොත් රුපියල් තුන්හාරදාහක් අත ඉතිරි කරගන්න පුළුවන්. හොඳටම සෙනඟ ඉන්න දවස්වල රුපියල් 5000ට වැඩියෙන් හොයන්න පුළුවන්. සාමාන්‍යයෙන් ගෝල් ෆේස් පිටියේ සෙනඟ අඩු වෙන්නෙ ජනවාරි, පෙබරවාරි මාස දෙකේ. ලබන මාසෙ සිංහල අලුත් අවුරුද්ද නිසා මේ දවස් ටිකෙත් සෙනඟ අඩුයි. වැස්ස දවස්වලටත් සෙනඟ අඩු වෙනවා…” ගාලු මුවදොර ක්‍රීඩාංගණය ඉදිරිපිට වාහන නැවතුම් ගාස්තු පත් නිකුත් කරන පිරිස විස්සකට ආසන්න ය. කොළඹ වැඩිම ආදායමක් ලැබෙන දිගුම වාහන නැවතුම්පොළ ද ගෝල් ෆේස් ය. එකිනෙකාට ගාස්තු පත්‍ර නිකුත් කරන ක්‍රමය ද වෙනස් ය. ඇතැම් ගාස්තු අය කරන්නන් වාහනක් නතර කළ සැණින් ගාස්තු පත්‍රයක් ලබාදෙන්නේ ය. තවත් අය කාලය මැනගෙන වාහනය යෑමට සූදානම් වනවිට ගාස්තු පත්‍රය ලබාදෙන්නේ ය. මේ ක්‍රම දෙක ගෝල් ෆේස් පිටිය අසල නැවතුම්පොළට පමණක් නොව කොළඹ සෑම වාහන නැවතුම්පොළකටම පොදු ය. මේ ක්‍රම දෙකෙන් සාර්ථකම ක්‍රමය වාහනය නතර කළ සැණින් ගාස්තු පත්‍රයක් ලබාදීම බව තුෂාර පැහැදිලි කළේය.

“වාහනය යනකොට ගාස්තු පත්‍රය දෙන්න ඉන්නකොට සමහර මිනිස්සු අපිට වංගු දානවා. එහෙම කරන්නෙ ත්‍රිරෝද රථයකින්, ඇල්ටෝ කාර් එකකින් එන අය නෙමෙයි. සුපිරි වාහනවලින් එන කෝටිපතියෝ. වීදුරුවට තට්ටු කළත් අරින්නෙ නෑ. රිවස් කරලා යන්න යනවා. ඒ වගේම දවසකට තුන් හතරදෙනෙක් පාර්කින් ගාස්තු ගෙවන්නෙ නැතිව යනවා. අපිට බණිනවා. දෙස් දෙනවා. අපි මොනව කරන්නද? අපිත් කරන්නෙ ජොබ් එකක්. ගාස්තු නොගෙවා යෑමේ පාඩුව තියෙන්නෙත් අපිට. කොම්පැනියටවත්, කොළඹ නගර සභාවටත් පාඩුවක් වෙන්නෙ නෑ. අපි ගිරයට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගෙයි. අපිට තියෙන ප්‍රශ්න ගැන මීට පෙර කිසිම මාධ්‍යකින්වත් කතා කරල නෑ. පාර්ක් කරන වාහනයක් ආරක්‍ෂා වෙලා තියෙන්නෙත් අපි ගැවසෙන නිසා. අපි නොහිටින්න රියැදුරු එනකොට වාහනේ කෑලි නෑ…” තුෂාර කියන කතාවේ සත්‍යතාවයක් තිබේ. මත්ලෝලීන්ගේ රජදහනක් වූ කොළඹ පාරක වාහනයක් නතර කර යෑම අවදානමක් බව සැබෑ ය. කොළඹ මාර්ගවල නතර කර තිබූ ත්‍රිරෝද රථ, යතුරුපැදි කිහිපයක්ම නැති වී තිබෙන බව ද වාර්තා වේ. ඒ ඇතැම් ත්‍රිරෝද රථ යතුරුපැදි අදට ද සොයාගැනීමට නොහැකි වී ඇත. වාහන නැවතුම් ස්ථානවල ගාල් කරන වාහන නැතිවීමේ සම්භාවිතාව 5%ටත් අඩු බව ගාස්තු අය කරන පුද්ගලයන්ගේ අදහස ය.

කොළඹ මහ නගර සීමාව තුළ වාහන නැවතුම් ස්ථාන විශාල සංඛ්‍යාවක් තිබේ. බොහෝමයක් මාර්ගවල වාහනයක් නතර කළ සැණින් ටිකට් එකක් වීදුරුව අස්සෙ ගැසීම නිතර ඇස ගැටෙන සිද්ධියකි. එම වාහන නැවතුම් ස්ථාන කළමනාකරණය කරනුයේ පෞද්ගලික ආයතන විසිනි. ගාස්තු අය කිරීමට සේවකයන් යොදවනු ලබන්නේ ද එම ආයතන විසිනි. ඔවුන් එම වාහන නැවතුම් ස්ථාන ලබාගෙන ඇත්තේ ටෙන්ඩර් පටිපාටියකට අනුව කොළඹ මහ නගර සභාව මගිනි. පසුගිය කාලය පුරා ඥාති, හිතවත්කම්, බලපුළුවන්කාරකම් මත ටෙන්ඩර් ගනුදෙනු සිදු කෙරුණු කොළඹ රථ ගාල් ‘පිනට ලැබෙන’ නිධානයක් යැයි අපට පැවසුවේ ද පාර්කින් කොම්පැනිවල සොච්චම් කොමිෂන් එකට ටිකට් කඩන සේවකයෙකි. ඔහු අපට මුණගැසුණේ බම්බලපිටිය ප්‍රදේශයේ වාහන නැවතුම්පොළකදී ය. ඔහුගේ ප්‍රකාශය පාර්කින් කොම්පැනිවලට වහකඳුරු වන බව දැනුවත් අපි හඬ පමණක් වචන කර නම සටහන් නොකිරීමට වග බලාගත්තෙමු.

“වාහන පාර්කින් කොම්පැනිවල වැඩ කරන්නෙ කොළඹ ජීවත් වන අන්ත අසරණ දුප්පත් මිනිස්සු. අපි ජීවත් වෙන්නෙ මේ කොම්පැනිවලින් රස්සාව දුන්නොත් තමයි. ඒත් රජයට ලැබිය යුතු විශාල ආදායමක් කොම්පැනිකාරයන්ට යනවා. නගර සභාවට ගෙවන්නෙ සුළු මුදලක්. පසුගිය කාලයේ කිසිම ආණ්ඩුවක් ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. මේ ආණ්ඩුවත් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරලා තියෙන බවක් පේන්න නෑ. ප්‍රේමදාස මහත්තයා මේ පාර්කින් ක්‍රමය හඳුන්වාදුන්නෙ කොළඹ මහ නගර සභාව දියුණු කරන්න. ඒ කාලෙත් හොඳ ආදායමක් ලැබිලා තියෙනවා. අද මොන තරම් ආදායමක් ලැබෙයිද? අපිවත් සම්බන්ධ කරගෙන කොළඹ නගර සභාවට මේ පාර්කින් හොඳට කළමනාකරණය කරගෙන යන්න පුළුවන්. ඒත් මොකක් දෝ අහේතුවකට ඒ දේ තවම සිද්ධ වෙන්නෙ නෑ…” හේ නිහඬ විය.

කොළඹ රථ ගාල් පිනට ලැබෙන නිධානයක්

‘මෙය කොළඹ මහා නගර සභාව සතු දේපළකි. ගෙවීම් නොකරන වාහනවලට රථ ගාල් කරන ස්ථානය භාවිතයට කිසිදු අවසරයක් නොමැත. 2017 ජූලි 29 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අංක 2029/29 දරන ගැසට් පත්‍රය මගින් ප්‍රකාශිත වාහන ගාල් කරගැනීමේ අතුරු ව්‍යවස්ථාව අනුව ගෙවීම් පැහැර හැරීම, ප්‍රමාද ගාස්තුවකට යටත් වන අතර එසේ ප්‍රමාද ගාස්තු ගෙවීම් පැහැර හරින්නේ නම් වාහනයේ අයිතිකරු / රියැදුරුට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හා වාහන අගුළු දැමීමට කොළඹ මහ නගර සභාවට බලය ඇත…’ වාහන නැවතුම් ගාස්තු පත්‍ර පිටුපස එසේ සඳහන් කර තිබේ. එහෙත් වාහන නැවතුම් ස්ථානවලින් ලැබෙන ආදායම යන්නෙ කොම්පැනිවලට ය. මෙරට ආර්ථිකයට ලැබිය යුතු ආදායමක් කොළඹ මහ නගර සභාව විසින් කොම්පැනිවලට ලබාදීම සහ කොළඹ මහ නගර සභාවට වාහන නැවතුම් ස්ථාන කළමනාකරණය කරගැනීම නොහැකිවීම ගැන විමසා බැලීමට නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර මහතාට දුරකථනය ඔස්සේ අපි කතා කළෙමු. එහෙත් ඔහුව සම්බන්ධ කරගැනීමට අසීරු විය.

කිසිදු වියදමකින් තොරව ‘ගෙඩි පිටින්’ කොළඹ මහ නගර සභාවට ලබාගත හැකි ආදායමක් කොම්පැනිවලට ලබාදීම පසුගිය ආණ්ඩුවල මැති, ඇමැතිවරුන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් විය හැකිය. එහෙත් ජනතාවගේ ආණ්ඩුව වන මාලිමා රජයේ මැති, ඇමැතිවරු රටේ මුදල් වංචා නොකරන බව ජනතාවට විශ්වාස ය. එහෙයින් කොළඹ වාහන නැවතුම් ස්ථානවලින් ලැබෙන ආදායම රටේ ආර්ථිකයට එකතු කරගැනීමට මාලිමා රජය ප්‍රමාද වන්නේ ඇයි දැයි යන්න රටේ ජනතාවට ප්‍රශ්නයකි. එම ගැටලුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීම අදාළ බලධාරීන්ගේ වගකීමකි.

තරංග රත්නවීර
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත


advertistmentadvertistment