මහ බැංකුව ස්වාධීන වීම දියුණු රටකට අවශ්‍යයි…

ජනතාවට දුෂ්කරයි තමයි, ඒත් රට දැන් හරි පාරේ යනවා…

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව තුළ සිටින, රටේ ආර්ථිකය සම්බන්ධයෙන් වගකීමකින් කතා බහ කරන දේශපාලනඥයන් අතර ආචාර්ය රංජිත් සියඹලාපිටිය පෙරමුණේ සිටියි. මුදල් විෂය භාර කැබිනට් අමාත්‍යවරයා වන රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සභා ගැබේ නැති හැම විටම පාර්ලිමේන්තුවේ මතුවන බැරෑරුම් ආර්ථික ගැටලු බොහෝ විට යොමු වන්නේ ආචාර්ය රංජිත් සියඹලාපිටිය වෙතය. පසුගියදා අප ඔහු හමුවුණෙමු. රටේ ආර්ථිකයේ වර්තමාන තත්ත්වය හා පොදු ජනතාව සම්බන්ධයෙන් අපි එහිදී ඔහුගෙන් ප්‍රශ්න කළෙමු. අප ඇසූ ප්‍රශ්න හා ඒවාට ඔහු දුන් පිළිතුරු මෙහි ඇතුළත්ය.

ප්‍රශ්නය – වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මඟ පෙන්වීම යටතේ අපේ රටේ ආර්ථිකය මීට වසර එකහමාරකට පෙර තිබුණු තත්ත්වයට සාපේක්ෂව අද වන විට ඉතා සතුටුදායක තැනකට ගෙනවිත් තිබෙන බව ආණ්ඩුවට සම්බන්ධ ආර්ථික විශේෂඥයන් තර්ක කරනවා. ඇත්තම කියන්න. අද රට සහ රටේ ආර්ථිකය තිබෙන්නේ අපට සතුටු විය හැකි මට්ටමකද..?

පිළිතුර – ඔව්… අපට සතුටු වෙන්න පුළුවන්. අපි ඉතාම වේගයෙන් නැගිටලා තියෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් අපි ඉතා වේගයෙන් නැගිට්ට බව පිළිගන්නවා. මෙහෙමනේ… අපි ඕනම දෙයක් සාපේක්ෂවනෙ බලන්න ඕන. හිටපු තැනින් ආපු තැන ගැන. එහෙම බලනකොට අපිට සතුටු විය හැකියි.

මේ ආපු ගමන ගැන අපි රටේ ජනතාවටත් ස්තූතිවන්ත විය යුතුයි. ඒ මොකද අපට හිටියේ සාම්ප්‍රදායික විපක්ෂයක්. මේ ආර්ථික ප්‍රතිසංස්කරණ පටන් ගනිද්දි හැමදේටම සාම්ප්‍රදායිකව ඔවුන් විරුද්ධ වුණා. විරුද්ධ වුණා විතරක් නෙවෙයි, උද්ඝෝෂණ කළා. ජනතාව කුපිත කරන්න පටන් ගත්තා. එහෙම තියෙද්දිත් දුෂ්කරතා ඉවසගෙන ප්‍රශ්නය හරිහැටි තේරුම් අරගෙන රට ගොඩනගන කාර්යභාරය රජයට කරන්න දීලා අසීරුතා විඳදරා ගත්ත ජනතාවට ස්තුතිවන්ත විය යුතුයි.

මේ බිඳවැටීමට මුල රාජ්‍ය ආදායම අඩුවීමනේ. ආදායම 8යි වියදම 19 යි. අපි ඉක්මනට ආදායම වර්ධනය කරගත යුතු වුණා. අපි ඒ සඳහා මෙහෙයුම ආරම්භ කරනකොට විපක්ෂය උදව් කළේ නෑ. ඔවුන් ජනතාව සාම්ප්‍රදායිකව කටයුතු කරමින් කුපිත කළා. හැබැයි ජනතාවගේ ඉවසීම නිසා අපි ඒ ඉලක්ක ජය ගත්තා. අද වන විට අපට පුළුවන් වුණා එදා 70%ක තිබූ උද්ධමනය 6% දක්වා අඩු කරන්න. රාජ්‍ය ආදායම 8% තිබුණ එක අද 11%යි. මිලියන 2කට සීමා වෙලා තිබුණු විදේශ මුදල් සංචිතය අද වන විට බිලියන 4.8යි. ඉතින් සතුටු වෙන්න බැරිද.

අනිත් අතට අපි මේ ප්‍රශ්න ඔක්කොම තියාගෙන රජයේ සේවකයන්ට රු. 10,000ක වැටුප් වැඩිවීමක් දීලා තියෙනවා. විශ්‍රාමිකයන්ට 2500ක් දෙනවා අප්‍රේල් සිට. බිලියන 65 කට තිබුණු සහනාධාර ප්‍රමාණය බිලියන 210 දක්වා වර්ධනය කළා. ඒක කරගෙන යනවා. මේ අවුරුද්ද ගත්තහම අපි නතර වෙලා තිබුණු සංවර්ධන කටයුතු ආයේ පටන් ගන්නවා. එහි අගය මිලියන 2250ට තිබුණේ. ඒක අපි 11250ක් කරලා තියෙනවා. ඒ හැම පැත්තක් දිහාම බලපුවාම අපට සතුටු වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. මම කියන්නේ නෑ ඔක්කොම හරි ගියා කියලා. නමුත් හිටපු තැන ඉඳලා මේ තැන දිහා බලනකොට කාලයට සාපේක්ෂව අපි ජනාධිපතිතුමාගේ මග පෙන්වීම යටතේ ලොකු ප්‍රගතියක් පෙන්නුම් කරලා තියෙනවා.

ප්‍රශ්නය – මේ රටේ පොදු ජනතාව අද වන විට 18% අසීරු වැට් බද්දක් ගෙවමින් ඉන්නවා. ඒ අනුව රටේ බදු ආදායම 50%න් වැඩි වෙලා කියලත් කියවෙනවා. ඔබතුමා දැන් රටේ ආදායම වැඩිවීම, රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම, උද්ධමනය අඩුවීම වගේ දර්ශක කීපයකුත් ඉදිරිපත් කළා. රජයේ සේවකයන්ගේ හා විශ්‍රාමිකයන්ගේ වැටුප් වැඩිවුණා කිව්වට මේ රටේ බහුතරයක් පොදු ජනතාවගේ ආදායම වැඩිවෙන තත්ත්වයක් නෑ. ඔවුන්ගේ ජීවන වියදම සියයට 300 කින් පමණ ඉහළ ගොස්. ජනතාව දරිද්‍රතාවයකින් පෙළෙනවා. එහෙම තියෙද්දි ඔබ ඔය කියූ දර්ශක කීපය පමණක් වැඩිවීම ගැන සතුටු විය හැකිද..?

පිළිතුර – වැට් බද්ද අඩු අගයක තිබුණේ නෑ. එය වැඩි කලක් තිබුණේ 15%ක. එක් අවස්ථාවක එය 8%ක් කළා. එහෙම කරලා බදු ලිපිගොනු සංඛ්‍යාව තිබුණු ප්‍රමාණයෙන් 70%කින් අඩු කරගත්තා. ඒ බදු ආදායම අහිමි වීමනේ මේ ප්‍රශ්නවලට මුල. දැන් අපි ඒක නැවත අනිත් පැත්ත හරවලා රාජ්‍ය බදු ආදායම පෙර තිබුණු තත්ත්වයෙන් ඉදිරියට අරගෙන යනවා. ඒ වගේම විදුලි බිල ගැන රජය හරි සංවේදීයි. අපි පුනර්ජනනීය බලශක්තිය හඳුන්වා දෙමින් ජනතාවගේ විදුලි බිල අඩු කරන්න වැඩපිළිවෙළක් හදාගෙන යනවා. ඒවගේම රජයේ ආදායම යම් ප්‍රමාණයකට ඉහළ ගිය නිසා තමයි රු 10,000න් රජයේ සේවකයාගේ වැටුප් වැඩි කළේ. පොඩ්ඩක් නෙවෙයි රාජ්‍ය සේවකයෝ 1,380,000 ක් ඉන්නවා. සමෘද්ධියේ හිටියේ ලක්ෂ 16යි. අපි දැන් ලක්ෂ 24 කට අස්වැසුම දෙන්න සැලසුම් කරනවා. සමෘද්ධිය වැඩිම ගෙව්වේ 4500යි. අපි දැන් 15,000ක් ගෙවනවා. වැඩිහිටි දීමනාව තිබුණේ 2000යි, අපි දැන් 3000ක් ගෙවනවා. අපි දැන් මේ හැම වරප්‍රසාදයක්ම ජනතාවට ලබා දෙන්නේ රාජ්‍ය ආදායම වැඩි කරගන්න අපිට පුළුවන් වුණ හින්දා. ඒ විතරක් නෙවෙයි, වියදම් චක්‍රලේඛ අටක් ගහලා අපි රජයේ අනවශ්‍ය වියදම් පාලනය කරලත් තියෙනවා. එතකොට කවුද මේ වරප්‍රසාද වල උරුමක්කාරයා. මේ හැම දෙයක්ම රටේ ජනතාවට නෙවෙයිද.

ප්‍රශ්නය – ඔබ ඔය ලැයිස්තුවක් ඉදිරිපත් කළේ මූල්‍යමය වශයෙන් ජනතාවට ලබා දුන් ප්‍රතිලාභ හා’ සහන ගැන. මූල්‍යමය වශයෙන් ප්‍රතිලාභ ලැබුවත් ඒ ප්‍රතිලාභවල මූර්තමය වටිනාකම ගත්තාම අද කාලයට සැසඳෙනවද කියන්නකෝ. එදා රුපියල් දාහකින් කරපු දේ අද පන්දාහකින්වත් කරන්න බැහැනේ…?

පිළිතුර – ඔව් ඒක ඇත්ත… ඒකනේ මම කිව්වේ 70%ක උද්ධමනයක් රටේ තිබුණා කියලා. ඩොලරය රුපියල් 200ට තිබිලා 380 ගියා. අපි ඒක නැවත 320ට ගෙනාවා. එහෙම තමයි අපි පියවරෙන් පියවර යන්න එපායැ. අපේ නිෂ්පාදන වැඩි කරගන්න ඕන. ඩොලර් සංචිත වර්ධනය කරගන්න ඕන. අපේ අපනයනයන් වැඩි කරගන්න ඕන. ඉතින් මේ එකක්වත් දවසකින් සතියකින් මාසෙකින් කරන්න පුළුවන් දේවල් නෙවෙයි.

ඉතින් අපි එදා තිබුණු ප්‍රශ්න ජය අරගෙන එදාට සාපේක්ෂව සාර්ථක ගමනක් ඉදිරියට යනවා. අපි මේ ප්‍රශ්න දිහා සාපේක්ෂව බලන්න ඕන. නිරපේක්ෂව බලන්න නරකයි. නිරපේක්ෂව ප්‍රශ්න අහනවනම් ඕන තරම් අහන්න පුළුවන්. බඩු මිල වැඩියි තමයි. ඇයි ඉතින් අපේ වෙළඳපොළේ තිබෙන භාණ්ඩ ගත්තම සීයට හැත්තෑවක් තියෙන්නේ සෘජු හරි වක්‍ර හරි ආනයන භාණ්ඩ. රුපියල් 180ට තිබුණු ඩොලර් එක දැන් 320යි නම් එතනම බඩුමිල වැඩිවෙන්න හේතුව තියෙනවනේ.

ප්‍රශ්නය – රටේ පොදු ජනතාව දුක් විඳිනවා කියමු. එක් අතකින් කමක් නෑ ආණ්ඩුව බලාපොරොත්තු වන ඉලක්ක සපුරා ගත හැකි තත්ත්වයකට රට පත්වෙලා නම්. රටේ තත්ත්වය යහපත්ද..?

පිළිතුර – ඇයි ඉලක්ක සපුරා ගෙන නැත්තේ. උද්ධමනය 70% තිබිච්ච එක දැන් 6% නම්, ආහාර උද්ධමනය 95%ට තිබුණ එක දැන් 3% නම් මිලියන 20ක තිබුණු සංචිත ප්‍රමාණය දැන් බිලියන 5ට ආසන්න වෙනවා නම්, රාජ්‍ය සේවක වැටුප වැඩි කරන්න අපට පුළුවන් වුණා නම්, සහනාධාර බිලියන 65 බිලියන 210 දක්වා වැඩි කරලා නම් අපි ඉලක්ක කරා ගිහිල්ලා නැද්ද. මේවා රටේ ජනතාවට දීපු වරප්‍රසාදනේ සහනනේ. මේ අවුරුදු එකහමාරට අපි ජනතාවට සතුටු වෙන්න පුළුවන් බොහෝ දේ දීලා තියෙනවා අනිත් රටවල් හා සාපේක්ෂව. මම එකෙන් අදහස් කරන්නේ නැහැ ජනතාව ඉන්නේ ඉතා හොඳ තැනක කියලා. ඔබ කියන එක ඇත්ත, ජනතාව ඉන්නේ අමාරුවෙන්.

ප්‍රශ්නය – නමුත් රටේ මේ සම්බන්ධයෙන් රටේ තිබෙන විවේචනය සුළුපටු නෑ..?

පිළිතුර – ඔව්… වැඩ කරනවාට වඩා පහසුම දේ විවේචනය. විපක්ෂය ඒක අගේට කරනවා. සමහරු විකල්ප ගැන කතා කරනවා. ගම් නගර ගානෙ ගිහිල්ලා මහ විශාල සම්මන්ත්‍රණ තියලා ජනතාවට ලොකු ලොකු දේවල් ගැන කියනවා. ඒ කතන්දර වැඩක් නෑ. මම එක දෙයයි අහන්නේ. පුළුවන් නම් කියන්න බලන්න මේ විදිහට බදු ආදායම් හොයන්නේ නැතුව රටක් කොහොමද ජනතාවට අවශ්‍ය වියදම හොයාගන්නේ. රට රටවල් වලින් සල්ලි ණයට ගන්නත් බැරි නම්, මුදල් අච්චු ගහන්නත් බැරි නම්, මොකක්ද රාජ්‍ය ආදායම් උපයා ගන්න ක්‍රමය.

මොකක්ද මේ උත්සාහය. උත්සාහය තමයි පුළුවන් තරම් බදු ගෙවන්න පුළුවන් මිනිස්සුන්ගෙන් විතරක් බදු ගන්න එක. ඒකට තමයි අපි ඔය හැම කෙනෙකුටම ලියාපදිංචියක් දීලා බදු ගෙවන්න පුළුවන් අය හඳුනා ගැනීමට උත්සාහ කරන්නේ. ඒකටත් මේ සාම්ප්‍රදායික විපක්ෂය ඔය වගේ ලාභ සුලභ විරෝධතා ගේනවා. මං අහන්නේ මෙච්චරයි. හොඳයි බදුවලට මොකක්ද විකල්පය.

ප්‍රශ්නය – මේ කාලය වන විට රාජ්‍ය දේපළ පුද්ගලිකකරණය කිරීම ගැන රටේ බොහෝ තැන්වල උද්ඝෝෂණ. ජනතාව මහා සංඝරත්නය ඒ ගැන විරෝධතා දක්වනවා. වැඩ කරන ජනතාව, රටේ ශිෂ්‍ය ප්‍රජාව නොසන්සුන්. රටේ සම්පත් ආර්ථික මර්මස්ථාන විජාතික බලවේග වෙත පවරමින් විකුණමින් පවතිනවා කියලයි තර්ක කරන්නේ. මේක ඇඳිවත පවා විකුණන් කන ආර්ථිකයක් ගැන විපක්ෂය විවේචන ගේනවා..?

පිළිතුර – ඕවා ඔක්කොම සාම්ප්‍රදායික සටන් පාඨ. ඔබ බලන්න… අපි ඔය ජාතික දේපළ රකිනවා කියලා මෙච්චර කාලයක් අවුරුද්දකට බිලියන 500ක් වියදම් කරානේ පාඩු ලබන ආයතන ගොඩගන්න. ඒකෙන් මොකක්ද කරල තියෙන්නෙ. අධ්‍යාපනයට බිලියන 500යි පාඩු ලබන ආයතන ගොඩගන්න බිලියන 500යි. හැම අවුරුද්දෙම බදු ගෙවන ජනතාවගේ මුදල් නෙවෙයිද මේ නිරපරාදේ වියදම් කරලා තියෙන්නේ. පාඩුව පියවන්න වාර්ෂිකව බිලියන පන්සිය ගානේ වියදම් කරලත් අපේ සම්පත් රැකුනද. 2022 වන විට කරපු සංගණනය කියනවා අපේ රටේ දරුවන්ගෙන් අවුරුදු 18 යි 29 යි අතර දරුවෝ කියනවා ඔළුව හැරුණු අතේ ඕනම රටකට අපි යනවා කියලා. ඒ කියන්නේ අපි සම්පත රැකලද. ඇයි එහෙම වුණේ. මෙය ආර්ථිකය කඩා වැටුනා.

ලෝකයේ අද අනුගමනය කරන දියුණු ක්‍රමය තමයි. ආණ්ඩුව යන්නේ නෑ දේපළ රකින්න. ඒ වෙනුවට දේපළ පුද්ගලික ව්‍යවසායකයන්ට දීලා ආණ්ඩුව හොඳ බද්දක් ගන්නවා. එතකොට ආයතන දියුණු වෙනවා වගේම පාඩු ලබන ආයතන වල බර ජනතාව පිට පැටවෙන්නෙත් නෑ. ආණ්ඩුවට බදු ආදායමකුත් ලැබෙනවා. ආණ්ඩුව කරන්න ඕන විනිවිද පෙනෙන ක්‍රියාවලියක් තුළ හොඳ නියාමනයක් කරලා හොඳ බද්දක් අය කිරීම.

ප්‍රශ්නය – පාඩු ලබන ආයතන විතරක් නෙවෙයිනේ ඇමැති තුමා. ටෙලිකොම් වගේ ලාභ ලබන ආයතන පවා මේ ක්‍රමයට විකිණෙනවනේ. ඒවා රටේ ආර්ථික මර්මස්ථාන විතරක් නෙවෙයි. රජය භාරයේ තිබිය යුතු ආරක්ෂක මර්මස්ථාන කියලා විපක්ෂය කියන්නේ..?

පිළිතුර – එයාල දන්න තරම. ටෙලිකොම් උදාහරණයට ගත් එක හොඳයි. ටෙලිකොම් සියයට පනහට වැඩි ප්‍රමාණයක් දුන්නේ අද ද. ඒ දුන්නේ යුද්දෙ තියෙන කාලේ. ඒ වෙලාවේ මොනතරම් කතා කිව්වද. ටෙලිකොම් ජාලයෙන් කොටි ප්‍රයෝජන ගනී කිව්වා. කෝ එදා එහෙම වුණාද. ඉස්සර ටෙලිකොම් තිබුණේ මිනිහෙකුට දුරකථනයක් ගන්න බැරුව අවුරුදු ගණන් මන්ත්‍රීවරු පස්සේ පගා දිදී දුවපු තත්ත්වයක. පුද්ගලිකකරණය වුණාම පද්ධතිය දියුණු වුණා. මිනිසුන්ට ලාබෙට පහසුවෙන් දුරකථනයක් ගන්න පුළුවන් වුණා. ආයතනයත් ලාභ ලැබුවා. අර කියපු විකාර විවේචන සිදුවුණේ නෑ. සේවකයන්ගේ වරප්‍රසාද වැඩි වුණා.

අන්න ඒ නිසා ඔන්න ඔය වගේ සාම්ප්‍රදායික විවේචනවල එල්ලිලා අපි අවුරුදු 75 ගත කරලා ලබපු ප්‍රතිඵලය දිහා බලන්න ඕන.

ප්‍රශ්නය – ටෙලිකොම් ලාභ ලබන ආයතනයක්. රටේ තොරතුරු පද්ධතියේ ආරක්ෂාව පිළිබඳවත් වැදගත්. එවන් ආයතනයක රජය සතු වගකීම තවදුරටත් පුද්ගලික අංශය මත පැටවීම අවදානමක් නෙවෙයිද..?

පිළිතුර – මොන අවදානමක්ද… පුද්ගලික අංශය තුළින් ලෝකෙ තියෙන හොඳම තාක්ෂණය මේ පද්ධතියට එකතු වෙනවා. එතකොට මීට වඩා දියුණු වෙනවා. මීට වඩා ආදායම් ලබනවා. රජයට අදට වඩා හොඳ බදු ආදායමක් ලැබෙනවා. ඉතින් මොකක්ද ඔය අවදානම කියලා මට තේරෙන්නේ නෑ. ඕවා එදත් ගෙනාපු ප්‍රසිද්ධ සාම්ප්‍රදායික විවේචන.

අද රටට අවශ්‍ය මොකක්ද. රටේ විනිමය සංචිතය ඉහළ නංවා ගැනීම. අපි ඉලක්කය ඩොලර් බිලියන 8ක සංචිතයක්. ඒ වගේම දැනට රුපියල් 320 ට තියෙන ඩොලරය 250ට ගෙන ඒම. එතකොට තමයි ඔබතුමා ඔය පුන පුනා අහපු උද්ධමනය, බඩු මිල, මූර්ත ආදායම වගේ දේවල්වලට නිවැරදි නිසි උත්තර ලැබෙන්නේ.

ප්‍රශ්නය – රටේ පොදු ජනතාව දුක් විඳිමින් වියදම් අඩුකර ගනිමින් කැපකිරීම් කරමින් බඳ පටි තද කර ගනිද්දී මේ රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්න මර්මස්ථානය වූ මහ බැංකුව අසාමාන්‍ය ලෙස තම තමන්ගේ පඩි වැඩි කර ගැනීම ගැන අද රටේ ලොකු ආන්දෝලනයක් ඇතිවෙලා. ජනතාව තුළ ඒ ගැන තියෙන්නේ ජුගුප්සාවක්. වැඩිම වැටුප් වැඩිවීම ලක්ෂ හතකින්, අවම වැටුප් වැඩිවීම ලක්ෂ දෙකකින්. ඇයි එහෙම වෙන්නේ. තමන් විසින්ම තමන්ගේ හැන්දෙන් තමන්ට බෙදා ගැනීම. ඇයි… මහ බැංකුවේ ඉන්නේ මේ රටේ පුරවැසියෝ නෙවෙයිද..?

පිළිතුර – එතන ප්‍රශ්නයක් තියෙනවා. මම කියන්නේ නැහැ ඒ විදියට පඩි වැඩි කර ගැනීම හරි කියලා. හැබැයි ඉතින් ඒ සම්බන්ධයෙන් රජයට කරන්න දෙයක් නැහැ…

ප්‍රශ්නය – ඔවුන්ට වරප්‍රසාද වල අඩුවක් නැහැනේ. මේ රටේ බදු ගෙවන ජනතාව තම අර්ථසාධක හා සේවා නියුක්තකයන්ගේ අරමුදල් වල පොලිය 9%ක් වශයෙන් ලබද්දී මහ බැංකුවේ සේවකයෝ 27% වැඩි පොලියක් ලබනවා..?

පිළිතුර – ඔවුන්ගේ ස්වාධීනත්වය මත ඔවුන් භුක්ති විඳින වරප්‍රසාද. හැබැයි ඉතින් 9%ක් පොදු ජනතාවගේ අර්ථ සාධක හා සේවා නියුක්ති අරමුදල්වලට ලැබීම හොඳ ආර්ථික දර්ශකයක්. නරක නෑ. ඒක හදන ආයතනයේ 1200 ක් පමණ වූ පිරිස අර වගේ තක්සේරුවකින් තමන්ගේ ප්‍රමාණය වැඩි කර ගැනීම ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඒක කතා කළ යුතු මාතෘකාවක් තමයි. මම කියන්නේ ඉතින් හැමෝම වාසනාවන්ත නෑනේ…

ප්‍රශ්නය – මේ සියල්ල වුණේ මේ ආණ්ඩුව සම්මත කරලා දීපු පනතකින් කියල ජනතාව අතරෙ මතයක් තියෙනවා. ඒ පනත ගැන ශ්‍රේෂ්ඨාධිකරණය පවා තම විමතිය පළ කළා. එහි වගන්ති 134න් 46ක්ම චපලයි, ඒකමතිකයි, පදනම් විරහිතයි, හිතුවක්කාරයි, ව්‍යවස්ථා විරෝධීයි කියලා ශ්‍රේෂ්ඨාධිකරණය වාර්තා කළාම ජනතාව තුළ ඒ පනත හා එය සම්මත කරදීම ගැන ජුගුප්සාවක් ඇතිවෙන එක අසාධාරණ නෑ..?

පිළිතුර – මේ පනත සම්මත කිරීමේදී කිසි තැනක ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය උල්ලංඝනය වී නැහැ කියන එක තමයි මගේ අදහස. හැබැයි ඉතින් දියුණු ආර්ථික සංකල්පයක් විදියට මහ බැංකුව වැනි ආසනයක් ස්වාධීන විය යුතුයි. ඒ මොකද ස්වාධීන නොවීමෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක බරපතළයි.

ප්‍රශ්නය – මේ ආණ්ඩුව අනුගමනය කරන්නේ කිසිදු නිෂ්පාදනයක් නොමැති, අපනයන ආදායමක් නොමැති, සීමිත සේවාවන් කිහිපයක් පමණක් විකිණෙන, රාජ්‍ය සම්පත් හා මහජන දේපළ විකුණාගෙන කන ආර්ථික රටාවක් කියලා බැලූ බැල්මට පේනවා. මේවායේ අවසානය මොකක්ද..?

ප්‍රශ්නය – අවසාන වශයෙන් කියන්න ඇමැතිතුමා මට ජනතාව තව කොච්චර කාලයක් මේ දුෂ්කරතා ඉවසා දරාගෙන සිටිය යුතුද කියලා…

පිළිතුර – ඇත්තටම අපි අඩියෙන් අඩිය ඉදිරියට යනවා නේ. ඒ වගේම මේ තිබෙන හැම ප්‍රශ්නයක්ම විවෘතව කතා කරමින්’ දුෂ්කරතාවන් ටික ටික විසඳගෙන යන්නේ. මට පේනවා අපි දැන් හිටියට වඩා හොඳ තැනක ඉන්නවා. අපි ආපස්සට හැරිලා නෑනේ. අපට වේගවත් ඉදිරි ගමනක් පේනවා. හැබැයි මේක අපේ සාම්ප්‍රදායික විපක්ෂය දකින්නේ නෑ. අන්න ඒකයි මහජන මතය අද යම් කැලඹිලි සහගත තත්ත්වයක තියෙන්නෙ.

ඒ වගේම ඔය දැන් මේ ප්‍රශ්න ගැන විවේචන කරන, රට පුරා ගිහිල්ලා විකල්ප යෝජනා කරන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට මේ අභියෝගය මීට කලින් භාර ගන්න ආරාධනා කළා. හැබැයි බාරගත්තේ නෑ. දැන් ඔන්න විව්චන ගොඩයි.

මම කියන්නේ මෙච්චරයි. මේ වැටුණු ආර්ථිකය ගොඩ ගන්න අපි නොදන්නා ඉක්මන් විසඳුම් තියෙනවා නම් අපිට කියන්න. ඔය සුරංගනා කතා නෙවෙයි. හොරු අල්ලලා හොරුන්ගෙන් සල්ලි අය කර කර ගන්නවා. අපට පිටරටවල ඉන්න යාළුවෝ සල්ලි එවනවා. ඒ වගේ දෙකයි පනහයි සිල්ලර කතා නොකිය ජනතාවට පිළිගන්න පුළුවන් යෝජනාවක් කරන්න. මොකද්ද අපේ වැඩපිළිවෙළ. මොකක්ද මේ රට ගොඩගන්න ක්‍රමය. බදු සල්ලි නැතුව කොහොමද ජනතාවගේ වියදම් පියවර ගන්න සල්ලි හොයන්නේ. කොහොමද රාජ්‍ය ආදායම් වැඩි කරගන්නේ. අන්න ඒ වගේ සාධනීය ප්‍රශ්නයකට හරිය උත්තරයක් නැත්නම් හැමදාම විහිළු කර කර ඉන්නැතුව පැත්තකට වෙලා අපිට මේ කාර්යභාරය කරගෙන යන්න ඉඩ දෙන්න.

සාකච්ඡා කළේ – බුලිත ප්‍රදීප් කුමාර

advertistmentadvertistment
advertistmentadvertistment