පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රදේශ කිහිපයක සුළු ගංවතුර තත්ත්වයක් හට ගෙන ඇත.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ කළුගඟ සහ නිල්වලා ගඟ ස්ථාන දෙකක දී පිටාර ගැලීම හේතුවෙන් එම ජල ගැලීම් තත්ත්වයක් හට ගෙන ඇති බවය.
කළුගඟ, මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් ඇති අතර නිල්වලා ගඟ තලගහගොඩ ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටම ඉක්මවා ගොස් තිබේ.
මීට අමතරව කළුගඟ රත්නපුර ප්‍රදේශයෙන්, ගිංගඟ බද්දේගම ප්‍රදේශයෙන්, නිල්වලා ගඟ පානදුගම ප්‍රදේශයෙන් අවධානය යොමුකළ මට්ටමක් දක්වා ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
පවතින අධික වර්ෂාපතනයත් සමඟ කුකුලේ ගඟ ඉහළ ජල මූලාශ්‍රයන් වෙත දිගින් දිගටම වර්ෂාව ලැබීම හේතුවෙන් කුකුලේ ගඟ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත.
අද උදෑසන 8.00 පමණ වන විට ඉන් තත්ත්පරයට ඝන මීටර් 120ක ජල ධාරිතාවක් කුඩා ගඟට මුදා හැරෙන බව කුකුලේගඟ ජලාශය භාර ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
මේ හේතුවෙන් කුඩා ගඟ පිටාර ගැලීමෙන් බුලත්සිංහල ප්‍රදේශයේ පරගොඩ, දඹල, නාලියද්ද, ඇටඹ ගස් හන්දිය ආදී ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටව පවතින අතර බුලත්සිංහල මෝල්කාව ප්‍රධාන මාර්ගය දඹල ඇටඹගස් හංදිය සහ නාලියද්ද යන ප්‍රදේශ ජලයෙන් යටවී ඇතැයි වාර්තාවේ.