ගබ්සාවක් වැනි දරු උපතක්…

මව්කුසේ දී ලැබිය යුතු තත්ත්වය කෘතිම පරිසරයක් තුළ ලබාදුන්නා

සති විසිතුනක කලලය විශේෂ ශ්වසන ආධාරකයෙන් ජීවත් කළේ

අවයව මෝරන තෙක් ප්‍රතිජීවක මත තබන්නට සිදුවුණා

“හරියටම 2025 ජනවාරි පළවෙනිදා සාමාන්‍ය විදිහට ප්‍රසූත වේදනාවක් සමඟ වයස අවුරුදු විසි නවයක කාන්තාවක් දරුවෙකු බිහිකිරීමේ සූදානමින් රෝහල්ගත වුණා. සුළු මොහොතකින් පිරිමි දරුවෙකු බිහි කළා. නමුත් මේ බිහිවුණු දරුවා කුස තුළ රැඳිලා තිබුණේ සති විසිතුනක් පමණයි. කෙටියෙන්ම කියනවනම් මේක ගබ්සාවීමක් වැනි තත්ත්වයක් කියන්නත් පුළුවන්…..”

කෑගල්ල ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ ගයාන් ගුණතිලක මහතා අප සමග කීවේ එවැනි කතාවක්.

වසරකට නීත්‍යානුකූල නොවන ගබ්සා කිරීම් ලක්ෂ දෙකක ප්‍රමාණයක් සිදු කෙරෙන පසුබිමක සාමාන්‍ය උපතකදී සම්පූර්ණ නොවූ කලලයක් ආරක්ෂා කර ගනිමින් ඊට ජීවය ලබාදීම අපූරු සිද්ධියක්.

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු
කෑගල්ල ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ ගයාන් ගුණතිලක

කොළඹ මහනුවර කරාපිටිය හෝ වෙනත් ප්‍රධාන පෙළේ යැයි මතයක් සමාජගතව ඇති පසුබිමක කෑගල්ල රෝහලේ දී මේසා බරපතළ කාර්යයක් සිදු වීමම සාකච්ඡා කළ යුත්තක්. තවත් ලෙසකට එය විග්‍රහ කළහොත් පූර්ණ මිනිස් කලලයක් නිරෝගී ජීවියකු ලෙස මෙලොව බිහිවන්නට නම් දින 280ක් හෙවත් සති හතළිහක කාලයක් මවගේ ගර්භාෂය තුළ පෝෂණය ලබමින් ආරක්ෂා විය යුතුයි. එහෙත් මේ කලලය මවගේ ගර්භාෂය තුළ වැඩී තිබුණේ දින එකසිය හැට එකක් හෙවත් සති 23ක් පමණි. කෑගල්ල රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය බිලිඳා වැඩෙන තෙක් රෝහල තුළ ආරක්ෂිතව තබා ගනිමින් ප්‍රතිකාර දෙමින් වර්ධනය කර ගැනීමට තීරණය කර තිබුණේ එවන් පසුබිමක සිටය. ඒ අනුව විශේෂ ළදරු ප්‍රතිකාර ඒකකය වෙත යොමු කරමින් ළමා රෝග විශේෂඥ ගයාන් ගුණතිලක මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමත් ප්‍රධාන හෙද සොයුරිය නෙරංජලා ප්‍රේමදාස මහත්මිය ඇතුළු හෙද කාර්ය මණ්ඩලයත් සෞඛ්‍ය කාර්ය සහායක කාර්ය මණ්ඩල ඇතුළු රෝහලේ සියලුම නිලධාරීන් මෙම කර්තව්‍යයට වගවන බවට විශ්වාසයක් කෑගල්ල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතාට තිබිණි. ඒ අනුව මෙම කාර්ය ආරම්භ කෙරිණි.

“මෙය අභියෝගයක් තමයි. නමුත් අපි අභියෝගවලට මුහුණදීලා ඕනි ඒකේ ප්‍රතිඵලය බලාපොරොත්තු වෙන්න.

ජනවාරි පළවෙනිදා ඉඳලා මේ දක්වා අපි විශේෂිත වූ අවධානයක් යොමු කරමින් කෘත්‍රිම පරිසරයක් තුළ’ බිලිඳාව වර්ධනය කළා. මවකගේ ගර්භාෂය තුළ’ ස්වභාවිකවම වර්ධනය වන බිලිඳෙක් කෘත්‍රිම පරිසරයක් තුළ වර්ධනය කිරීම ලොකු අභියෝගයක්.

මොකද බිලිඳාගේ ඇතැම් අවයව පෙනහළු වැනි මෝරන තත්ත්වයකට ගන්න දැඩි අවධානයක් යොමු කරමින් නිසි කලට වෙලාවට අත්‍යවශ්‍ය ප්‍රතිජීවක සහ’ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් ළදරු ප්‍රතිකාරය ඒකකයේ කණ්ඩායම සෙසු වෛද්‍යවරු ඇතුළු සමස්තයම හිතාගන්න බැරි තරම් කැප වුණා.

ඒ විතරක් නෙවෙයි අපිට මේ බිලිඳාගේ සිරුර අභ්‍යන්තරයේ අවයව වල තත්ත්වය පරීක්ෂා කර ගැනීමට නිතර ස්කෑන් පරීක්ෂණ ඇතුළු විවිධ පරීක්ෂණවලට බිලිඳා යොමු කරන්න සිද්ධ වුණා. මේ හැම අවස්ථාවකම රෝහල් කාර්ය මණ්ඩලයේ උපරිම සහයෝගය ඇතිව උපරිම උනන්දුවෙන් කටයුතු කළා…. මේ බිලිඳාගෙන් අපට ලැබුණු සැනසීම තමයි කෙටි කාලයක් තුළ ඔක්සිජන් යන්ත්‍රවලින් ඉවත් කිරීමට හැකියාව ලැබීම. සමහර අවස්ථාවල මෙවැනි දරුවන් තනිව හුස්ම ගන්න ලොකු කාලයක් ගන්නවා. මේ බිලිඳා කෙටි කලකින්ම එයාගේ ශ්වසන ක්‍රියාවලිය තනියම සිදුකර ගැනීමට හැකි තත්ත්වයට පත්වුණා. එයා අපේ කාර්යයට ලොකු පිටුවහලක් වුණා……

ළමා රෝග විශේෂඥ වෛද්‍ය ගුණතිලක මහතා කියා සිටියේය.

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

කෑගල්ල ශික්ෂණ රෝහල තුළ පවතින සම්පත් උපරිම ලෙස යොදා ගනිමින් මෙවැනි මහඟු කාර්යයක් ඉටු කිරීම ඓතිහාසික සිද්ධියක් වනු නොඅනුමානය. දින එකසිය හැටක් පමණ වූ කලලයකට දින 120කට ආසන්න කාලයක් රෝහල තුළ ජීවය ලබාදීම ඇත්ත වශයෙන්ම ආශ්චර්යය දනවන සිද්ධියක් බව කීම අතිශෝක්තියක් නොවේ.

ඊට අවැසි පසුබිම සැකසීමට රෝහලේ බලධාරියාගේ සහාය ලැබීම ද අගය කළ යුත්තකි. මේ කාර්යයේ පූර්ණ ප්‍රණාමය හිමි විය යුත්තේ, කැපවීම වගවීම වගකීම දැරීම සියල්ල වෙනුවෙන් මහන්සි ගත් වෛද්‍යවරු හෙද හෙදියෝ ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයටයි. මොකද මාස හතරකට ආසන්න කාලයක් බිලිඳෙක් රෝහල තුළ වර්ධනය කරනවයි කියන එක සුළුපටු කාරියක් නෙවෙයි. තමන්ගේ ජීවිතය ගැන අවධානය යොමු කරන්නා හා සමානව ඊටත් වැඩියෙන් මේ බිලිඳාගේ ජීවිතය ආරක්ෂා කර ගැනීමට මේ කාර්ය මණ්ඩල වෙහෙස ගත යුතු වෙනවා. මා විසින් සිදු කළේ ඊට අවශ්‍ය පහසුකම් අත්‍යවශ්‍ය ඖෂධ ආදී ඉල්ලීමක් කළ විගස ලබාදීම පමණයි. කෑගල්ල රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන මහතා කියා සිටියේය.

විශේෂ ළදරු ප්‍රතිකාර ඒකකයක් තුළ ආරක්ෂිතව ජීවියෙක් වර්ධනය වෙනවාය යනු හාස්කමකි. එම ඒකකය තුළ පවිත්‍රතාවය ආරක්ෂා කරගනිමින් හෙද කාර්ය මණ්ඩලය ඊට යොදවමින් බිලිඳාගේ මව මේ පිළිබඳව දැනුවත් කරමින් කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑම සුළුපටු නැත. එහෙත් මේ කාලය තුළ එය අතිශය සාර්ථක ලෙස කරගෙන යෑමට හැකිව ඇත්තේ සමූහයක් ලෙස මොවුන්ගේ සේවයට කැපවීමත් රාජකාරිය දේව කාරියකට එහා තබමින් කටයුතු කිරීමත් නිසා විය යුතුය.

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

“අපේ ඒකකයට මේ ළදරුවා ඇතුළත් කළ මොහොතේ සිට ළදරුවා වෙනුවෙන් වූ සියලුම ඖෂධ ඇඳුම් ඇතුළු සියල්ල ම ලබාදුන්නේ රෝහලෙන්. විෂ බීජවලින් තොර පසුබිමක් අත්‍යවශ්‍ය බැවින් බිලිඳාව අපි ආරක්ෂා කළේ ඇහැක් වගේ. මවගෙන් වුවත් අපි ලබාගත්තේ මව්කිරි පමණයි. නිතර නිතර මවට බිලිඳා අල්ලන්න දෙන්න පුළුවන් පසුබිමක් අපිට තිබුණේ නැහැ. සති විසිතුනක ළදරුවෙක් කියන්නේ හරි හැටි වර්ධනය නොවුණු කලලයක්. ළදරුවා වර්ධනය කිරීම සඳහා ඔක්සිජන් ලබාදීමේ සිට වෙනත් අත්‍යවශ්‍ය ඖෂධ ප්‍රතිජීවක විශාල ප්‍රමාණයක් ලබාදීමට හැකි වුණේ ඒවා අපේ රෝහලේ තිබූ නිසයි. මේ සඳහා රජය විශාල මුදලක් වැය කළා. කෙටියෙන්ම කියනවා නම් දිනකට ලක්ෂ ගණනක් වැය කරන්න සිද්ධ වුණා. ඒ වියදම පිළිබඳ අපි සතුටු වෙන්න ඕනෙ. මොකද ඒ නිසා අද පුතෙක් ජීවිතය ලබනවා. අවුරුදු දෙකක් යනතුරු මේ පුතාව හරි හැටි සායන වෙත රැගෙන ගොස් වෛද්‍ය පර්යේෂණවලට ලක් කරමින් හදාගන්න මේ දෙමව්පියන්ට සිද්ධ වෙනවා. මේ වනතුරු කරපු සියලුම පරීක්ෂණවලින් ළදරුවා සෞඛ්‍ය සම්පන්න බවට අනාවරණය වී තිබෙනවා. අක්ෂි විශේෂඥ වෛද්‍යවරු’ ඇස් පරීක්ෂා කර ප්‍රකාශ කර සිටියේ හොඳ පෙනීමක් තිබෙන බවයි.

මවගේ යුතුකම නිසි පිළිවෙළකට සායන වෙත ගොස් බබාගේ වර්ධනය නිසි ලෙස පරීක්ෂා කරගැනීමයි. එවිට කිසියම් වෙනසක් ඇත්නම් ඊට අවශ්‍ය ප්‍රතිකාර යෙදීමේ ඉඩකඩ ඇතිවෙනවා. බිරිඳා හොඳ සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකින් පසුවීම අපිට ගෙන දෙන්නේ නිම නොවන සතුටක්…” ඒකකය භාර හෙද සොයුරිය නිරංජලා මහත්මිය කියා සිටියාය.

ග්‍රෑම් පන්සීයක කලලයකට ජීවිතය දුන් කෑගල්ලේ දොස්තරවරු

මේ වන විට බිලිඳා මව් තුරුලේ සැනහෙමින් සිටියි. මාස ගණනක් ඒකකයක් තුළ කෘතිම උණුසුමක රැඳී සිටි ඔහු දැන් මව් තුරුලේ මවගේ උණුසුම ලබමින් ජීවිතය විඳියි. මේ ජීවිතය සුළුපටු ලෙස තැකිය හැකි එකක් නොවේ. මියෙන්නට ඉඩදී තබා බේරා ගත නොහැකි වේ යැයි අනුමාන කරන කලල කොතෙක් නම් රෝහල් තුළ ඇද්ද? ඒවාට ජීවය ලබාදිය හැකි බවට මෙය ආදර්ශයක් කරගන්නේ නම් මව්වරුන් පියවරුන් කී දහසක් සතුටු කඳුළු වගුරවනු ඇද්ද…

කෑගල්ල රෝහලේ ආදර්ශය ලංකාවටම ආදර්ශයක් වේ නම් ඒ දවස උදාවන තුරු අපි බලා සිටිමු.

සමන්ති වීරසේකර


advertistmentadvertistment