ගිනස් පොතට යන්න සැරසෙන පානදුර මහා තොරණ

1354

උතුම් වූ සම්බුදු සිරිත සිහිපත් කරමින් වෙසක් සිරියෙන් රටම ඇළලී යන කලක දසත ඇසෙන්නේ දන්සල්, තොරණ්, කූඩු, බැති ගී සංදර්ශනයන්ගේ සූදානම් වීමක් ය. බැලු බැලු අත සියලු දෙනාම සම්බුදු තෙමඟුලට සූදානම් වන්නේ බුද්ධාලම්බන ප්‍රීතිය හදවත් හි දරාගෙනය.’

ලංකාවේ සිව්දෙස ඉදිවන තොරණ් අතර හැට හය වසරක් පුරා නොකඩවා ඉදිකෙරෙන පානදුර ඓතිහාසික තොරණ සෑම වසරකම සිරිලක සමස්ත ජනතාවගේ නෙත් සිත් ඇද ගන්නා විශිෂ්ට නිර්මාණයක් ලෙස හැඳින්වූවාට වරදක් නැත. මන්ද බෞද්ධ පුනර්ජීවනයේ නගරය ලෙස නම රැන්දූ පානදුර නගරය කවදත් වෙසක් උත්සවය වෙනුවෙන් අභිමානවත් වෙනසක් එක්කරන්නේය. එයට සාක්ෂි පෙන්වමින් මෙවර පානදුර මහ තොරණ සැරසෙනුයේ ලොව මෙතෙක් ඉදි වූ විශාලතම තොරණ ලෙසින් ලෝකයේම අවධානය දිනා ගන්නා අතරතුර ගිනස් වාර්තා අතරට ද එක් වන්නටය. එනම් අභිමානවත් පානදුර නගරයත් ශ්‍රී ලාංකික නාමයත් ලොවටම ගෙන යන්නටය. ඒ සඳහා මේ වනවිට සියල්ල ලහි ලහියේ සූදානම් වෙමින් පවතින අයුරු අපට දැකගැනීමට හැකිවිය.

පානදුර ජයතිලක මාවතේ ඉදිවෙමින් පවතින එම තොරණ් රාජයාගේ උස අඩි අසූ දෙකකට ආසන්න ප්‍රමාණයක් සහ පළල අඩි අසූ හයකට ආසන්න ප්‍රමාණයකින් යුක්ත වේ. එය විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසකට ආසන්න ප්‍රමාණයකින් ද ඒකාලෝක වන්නට නියමිතය. රූප රාමු පහළවකින් තොරණ් රාජයා සමන්විතය. එමෙන්ම පුවක් කොටන් යොදා ගනිමින් ලංකාවේ දැනට ඉදිකෙරෙන එකම තොරණ ලෙස සැලකෙන මෙම තොරණ ඉදිකිරීම සඳහා මෙවර පුවක් ගස් හාරසියයක් පමණ යොදා ගෙන ඇති අතර ඒවා බුලත්සිංහල, යක්කලමුල්ල, මතුගම ආදී ප්‍රදේශවලින් සපයා ගෙන ඇත.

පානදුර එක්සත් පොදු වෙළෙඳපොළ බෞද්ධ සමිතියේ පරිත්‍යාගශීලීන්ගේ ද ආධාර ඇතිව මෙම ඓතිහාසික තොරණ් රාජයා ඉදිකරන අතර පසුගිය වසරේ එනම් දෙදහස් විසි තුන වර්ෂයේ එය ශ්‍රී ලංකාවේ විශාලතම තොරණ ලෙස ද අභිෂේක ලබන්නට සමත් විය.

ගිනස් පොතට යන්න සැරසෙන පානදුර මහා තොරණ

වෙසක් පුන් පොහෝ දින සිට නන්දි වාණිජ කතා වස්තුව පිළිඹිබු කෙරෙන මෙම දැවැන්ත තොරණ් රාජයා ඉදිකෙරෙන්නේ බොහෝ දෙනකුගේ දායකත්වය මධ්‍යයේ ය. ඒ අතර පානදුර බෞද්ධ සමිතියේ සියලුම දෙනාගේ දායකත්වයත්, නගරයේ සියලුම ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයත්, විශේෂයෙන්ම තොරණ ඉදිකිරීම සඳහා ඉඩම ලබා දුන් අබේරත්න මහත්මාත්, චිත්‍ර ශිල්පී සසිත මහතාත්, විදුලි ශිල්පී නිමල් මහතාත්, රසාර සහ ශිවන්ත යන මහත්මයන්ගේ ප්‍රධානත්වයෙන් පුවක් කොටන් සිටුවීමේ සිට මේ දක්වා පනහකට ආසන්න පිරිසකගේද දායකත්වයෙන් දිවා රෑ නොබලා වෙහෙස මහන්සි වෙමින් කටයුතු කරමින් සිටින්නේ වෙසක් පුන් පොහෝදා සිට ඔබ සැමට නැරඹීම වෙනුවෙන්ය.

පසුගිය සඳුදා දින එනම් මැයි මස දහතුන් වන දින ආගමික වතාවත් මධ්‍යයේ පළමු රූප රාමුව සවි කිරීමේ කටයුතු ද සිදු කරනු ලැබුණි.

මෙහි ප්‍රධාන නියමුවාණන් වන පානදුර එක්සත් පොදු වෙළෙඳපොළ බෞද්ධ සමිතියේ සභාපති දේශබන්දු ලංකාපුත්‍ර මහේෂ් ප්‍රනාන්දු මහතා මාධ්‍ය සමග අදහස් දක්වමින් පවසා සිටියේ මෙවැන්නකි.

“මෙවර තොරණ අඩි අසූ දෙකක් උසයි. පළල අඩි අසූ හයයි. කටු තොරණ සඳහා ලංකාවේ විවිධ ප්‍රදේශවලින් පුවක්ගස් හාරසීයකට වැඩි ප්‍රමාණයක් යොදා ගැණුනා. මෙවර ලංකාවේ ඉදිකරන කිසිදු විශාල තොරණක් සඳහා පුවක්ගස් උපයෝගි කරගන්නා බව දැනගැනීමට නැහැ. විදුලි බුබුළු එක්ලක්ෂ දසදහසකින් පමණ තොරණට ආලෝකය සැපයෙනවා. බුරුමය, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ ඉන්දුනීසියාව වැනි රටවලත් තොරණ් ඉදිව ඇති නමුත් මෙතරම් විශාල තොරණක් ඉදිවූ බවට කිසිදු සාක්ෂියක් නැහැ. ඓතිහාසික තොරණ ගිනස් වාර්තා අතරට ගෙන යන්නට මේ දිනවල අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් තිබෙනවා. කප් සිටවූ දින සිට සේවකයන් විශාල පිරිසක් දෛනිකව වැඩ කරනවා. මෙවර තොරණේ විදහා දැක්වෙන්නේ නන්දි වානිජ ජාතක කථා වස්තුව.”

වෙනදා මෙන්ම මෙවරත් තොරණේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු වන වර්ණගේ සසිත චතුරංග මහතා විසිනි. ඇක්‍රලික් තීන්ත යොදා ගනිමින් චිත්‍ර නිර්මාණය කිරීම මෙන්ම පුද්ගල චිත්‍ර සඳහා ත්‍රිමාණ සිකුවින් භාවිතා කිරීමද මෙහි මෙවර සිදු කරන තවත් විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැකිය.

එමෙන්ම තොරණ් රාජයා ආලෝකමත් කරමින් විදුලි ශිල්පියා ලෙස කටයුතු කරන නිමල් ප්‍රනාන්දු මහතා මාධ්‍ය සමග පවසා සිටියේ මෙවර වොට් පහේ බල්බ පනස්පන් දහසක්, එල් ඊ ඩී බල්බ් විසි පන් දහසක්, වොට් එකයි දහයේ බල්බ විසි එක් දහසක් සහ ෆික්සල් බල්බ් දෙදහස් පන්සියකට ආසන්න ප්‍රමාණයක් මෙවර නිර්මාණයට යොදා ගන්නා බවයි.

ගිනස් පොතට යන්න සැරසෙන පානදුර මහා තොරණ

අතිශය නාගරික වුවත් මෙවර තොරණ් රාජයා ඉදි කිරීමට තෝරාගත් ස්ථානයේ වටපිටාව පිළිබඳ සැලකිලිමත් වෙමින් ග්‍රාමීය වටපිටාවක විචිත්‍රත්වය මවන්නට මේ වන සියල්ල සූදානම් කරමින් පවතියි.

එලෙස ඉදිකෙරෙන පානදුර මහා තොරණ ලබන මැයි විසි තුන් වන දින එනම් වෙසක් පුන් පොහෝ දින සිට මැයි තිස් වන දින දක්වා ප්‍රදර්ශනය කිරීමට නියමිතය. එහිදී තවත් සුවිශේෂත්වයක් නම් මෙවර තොරණ් රාජයා ප්‍රදර්ශනයට අමතරව සධාතුක ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනයක් ද පැවැත්වීමට නියමිතය.

පානදුර ජයතිලක මාවතේ ඉදිකෙරෙන ලෝකයේ විශාලතම තොරණ් රාජයා දැකබලා ගැනීමටත් සහ ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පිං කැමති ඔබටත් ආරාධනා කරන්නෙමු.

චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment