කෘෂිකර්ම අමාත්‍යාංශයෙන් බදු පදනම මත ලබාගත් සබිතා පෙරේරාගේ බිල්ඩිමේ කථාව
ගොඩනැඟිල්ල සඳහා විදුලිය, ජලගාස්තු ඇතුළු අනිකුත් පහසුකම් ලබාගැනීමට රජයට වැයකිරීමට සිදුවී ඇති මුදල රුපියල් මිලියන 1,524.44ක්
ගොඩනැඟිල්ල බදු පදනම මත ලබාගැනීමේ දී බදු දීමනාකරුට වාසි වන අයුරින් අසාමාන්‍ය කොන්දේසි බදු ගිවිසුමට ඇතුළත් කරලා
ගොඩනැඟිලි හිමිකරු විසින් ඉල්ලා තිබූ මිලියන 21ක් වූ මාසික බදු කුලිය ගෙවීමට එකඟවීම බරපතල අක්‍රමිකතාවක්
රාජ්‍ය ගිණුම් කාරක සභාව
කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් පසුගිය යහපාලන රජය කාලයේ දී බදු පදනම මත ලබාගත් පෞද්ගලික ගොඩනැඟිල්ල පිළිබඳ මාතෘකාව යළිත් වතාවක් කරළියට පැමිණ තිබේ. රාජගිරියේ පිහිටි මෙකී පෞද්ගලික ගොඩනැඟිල්ල ප්‍රවීණ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මියගේ සැමියාට අයත් ගොඩනැඟිල්ලකි. කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් මෙකී ගොඩනැඟිල්ල බදු පදනම මත ලබාගැනීමේ දී බදු ගිවිසුම ගොඩනැඟිල්ලේ හිමිකරුට වාසි වන අයුරින් සකස් කිරීම හා මේ තුළින් රජයට සිදුවී ඇති පාඩුව පිළිබඳ පසුගිය කාලයේ මාධ්‍යවල මෙන්ම දේශපාලන වේදිකාවේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්ව තිබුණි. 2016 අප්‍රේල් මස 08 වැනි දින සිට 2021 අප්‍රේල් මස 07 වැනි දින දක්වා එනම් වර්ෂ පහක කාලසීමාවක් සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත මෙම ගොඩනැඟිල්ල ලබාගෙන තිබුණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සී/ස.ඩී.පී. ජයසිංහ ටුවර්ස් ඇන්ඩ් ට්‍රාන්ස්පෝර්ට් පුද්ගලික සමාගම සමග මේ සඳහා ගිවිසුම්ගතව තිබුණි. අංක 2178 දරන බදු ගිවිසුම ප්‍රකාරව dpj Tower නමැති ගොඩනැඟිලි පරිශ්‍රය බදු දීමනාකරුට නැවත 2020 ජනවාරි මස 31 දින භාරදී තිබුණි. අමාත්‍යාංශය විසින් බදු දීමනාකරු වෙත ගෙවනු ලැබූ රුපියල් කෝටි 66ක ආරක්ෂිත තැන්පතුව මේ වනතෙක් අයකරගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් කටයුතු කර නොතිබුණි. මෙකී ගොඩනැඟිල්ල බදු දීමනාකරුට භාරදී දැනට වසර හතරක් ගතවී තිබේ. එහෙත් මෙකී ආරක්ෂිත තැන්පතු මුදල යළි අමාත්‍යාංශය වෙත ලබාගැනීමට පසුගිය කාලය පුරාම අමාත්‍යාංශයේ නිලධාරින් කටයුතු කර නොතිබුණි. වාර්ෂික විගණන වාර්තා මගින්ද මේ පිළිබඳ පෙන්වා දී තිබුණි. තැන්පතු මුදල අයකරගැනීමට නීතිමය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බවට අමාත්‍යාංශය සඳහන් කොට තිබුණ ද බදු දීමනාකරුට එරෙහිව කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබුණි.
මෙවන් පසුබිමක් තුළ කෝටි 66ක් වූ මෙම තැන්පතු මුදල යළි ලබා ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බැව් නව රජයේ කෘෂිකර්ම, ඉඩම් පශු සම්පත් වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කොට තිබුණි. අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම ප්‍රකාශයත් සමග යළිත් වතාවක් මෙකී ගොඩනැඟිල්ල පිළිබඳ මාතෘකාව කරළියට පැමිණ තිබේ. ආණ්ඩුවේ තැන්පතු මුදලක් ලබාදෙන විට බැඳුම්කරයක් තිබිය යුතු වුවත් මෙම ගොඩනැඟිල්ල ලබාගැනීමේ දී එවැනි බැඳුම්කරයක් ලබාගෙන නොතිබූ බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කර තිබුණි.
පසුගිය කාලයේ කෘෂිකර්ම අමාත්‍යාංශය තුළ අවිධිමත් ගනුදෙනු සිදුවී ඇති බවට වාර්තා වී තිබු බවද අමාත්‍යාංශ ලේකම්වරයා මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශය ගැන සඳහන් කරන විට චීන අශූචි පොහොර ගනුදෙනුව සහ නැනෝ නයිට්‍රජන් දියර පොහොර ගනුදෙනුව ද පසුගිය කාලයේ දැඩි කථාබහට ලක්විය. මෙකී ගොඩනැඟිල්ල බදු පදනම මත ලබාගැනීම පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් විශේෂ විගණනයක් සිදුකරනු ලැබීය. එම විගණන වාර්තාවට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය බත්තරමුල්ල, රජමල්වත්ත මාවතේ පිහිටි කෘෂි කර්මාන්තයට අනන්‍ය වූ වටපිටාවක් සහිත සුන්දර භූමිභාගයක 2002 වර්ෂයේ දී ස්ථාපිත කොට තිබුණි. හෙක්ටයාර් 17ක භූමි භාගයක කෘෂිකර්මාන්ත අමාත්‍යාංශයේ ගොඩනැඟිලි පරිශ්‍රය, මෙන්ම එකී භූමි ප්‍රදේශය තුළ කෘෂි වගාවන් හා දේශීය ආහාර නිපදවන බොජුන් හලක් ද ස්ථාපිත කොට තිබුණි.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ගොඩනැඟිලි පරිශ්‍රය පාර්ලිමේන්තු කාරක සභා ක්‍රමය හා අතිරේක කාර්යාල ඉඩකඩ ලබාගැනීමේ අරමුණු ඉටුකරගැනීම වෙනුවෙන් ලබාදීම සඳහා එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්කොට තිබූ අමාත්‍ය මණ්ඩල සංදේශයට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවි තිබුණි. එකී අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව කෘෂිකර්ම අමාත්‍යාංශය සෙත්සිරිපාය නව ගොඩනැඟිල්ලේ ස්ථාපිත කිරීමට අනුමැතිය ලබාදී තිබුණි.
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැඟිලි අවශ්‍යතාව සැලකිල්ලට ගැනීමේදී එකී අමාත්‍යාංශය සඳහා අවශ්‍යව තිබූ ඉඩකඩ ප්‍රමාණය වර්ග අඩි 66500කි. කෘෂිකර්ම අමාත්‍යාංශය සෙත්සිරිපාය නව ගොඩනැඟිල්ලේ පවත්වාගෙන යෑමට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණ ද එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් හිටපු අගමැතිවරයා විසින් රාජගිරියේ පිහිටි ෘඡන් නමැති පෞද්ගලික ගොඩනැඟිල්ල කුලී පදනම මත ලබාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කොට තිබුණි. එම අමාත්‍ය මණ්ඩල සංදේශය 2016 වර්ෂයේ පෙබරවාරි මස 17 වැනි දින ඉදිරිපත්කොට තිබූ අතර ඒ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.
මෙකී ගොඩනැඟිල්ල බදු පදනම මත ලබාගැනීමේ දි ප්‍රසම්පාදන මාර්ගෝපදේශ සංග්‍රහයේ පටිපාටි අනුගමනය කිරීමකින් තොරව ලබාගෙන තිබුණි.
ගොඩනැඟිල්ලක් බදු පදනම මත ලබාගැනීමේ දී තරගකාරී ලංසු කැඳවීම්කර ඒ සඳහා සුදුසු ආයතනයක් තෝරාගැනීමට කටයුතු කළ යුතුය. එහෙත් ඊට අනුකූල නොවී මෙකී ගොඩනැඟිල්ල කුලී පදනම මත ලබාගැනීමට කටයුතු කර තිබුණි. මෙම ගොඩනැඟිල්ල බදු පදනම මත ලබාගැනීමේ දී බදු දීමනාකරුට වාසිවන අයුරින් අසාමාන්‍ය කොන්දේසි මෙම ගිවිසුමට ඇතුළත්කොට තිබුණි.
වසර පහක කාලයකට ගිවිසුම්ගතව තිබීම සහ වර්ෂ තුනකට පසු සියයට 15ක කුලිය වැඩිවීමක් සිදුකිරීමට එකඟ වීම, මාස 24ක මුදල් අත්තිකාරම් ලබාදීම සහ අවසාන අවුරුදු දෙක තුළදී මාසික බදුකුලී මුදල් සඳහා එය හිලව් කිරීමට පනවා තිබූ කොන්දේසිය මගින් මෙම ගිවිසුමේ ගිවිසුම් කාලය වසර 05 දක්වා නොවෙනස්ව පවත්වාගෙන යෑමට ඉවහල් වන කොන්දේසි ඇතුළත් කර තිබීම වැනි ගොඩනැඟිල්ලේ හිමිකරුට වාසි වන අයුරින් බදු ගිවිසුමට මෙම කොන්දේසි ඇතුළත්කොට තිබුණි. ඒ විතරක් නොව රජයේ ප්‍රධාන තක්සේරුකරුගේ තක්සේරුව වී ඇත්තේ මාසික වෙළඳපොළ කුලිය රුපියල් මිලියන 13.5කි. එහෙත් මිලියන 06ක සේවා ගාස්තුවක්ද ඇතුළත්ව මාසිකව මිලියන 21ක කුලියක් ගෙවීමට එකඟ වී තිබුණි.
එහෙත් එවකට සිට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම බදු කොන්දේසිවලට එකඟ වී තිබුණි.
ගොඩනැඟිල්ල කුලියට ගැනීමේ දී ගොඩනැඟිල්ල සඳහා ගෙවිය යුතු බදු මුදල විශේෂ කමිටුවක් මගින් තීරණය කිරීමට එවකට සිටි කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා විසින් අමාත්‍ය මණ්ඩලය සඳහා සංදේශයක් ඉදිරිපත් කොට තිබුණි. එසේ තිබියදී ගොඩනැඟිල්ලේ හිමිකරු විසින් ගොඩනැඟිල්ලේ වර්ග අඩියක් සඳහා රුපියල් 167.50ක මුදලක් ලබාදිය යුතු බවත් බදුකාලසීමාව අවම වශයෙන් වසර 05ක් බව ලිඛිතව අමාත්‍යාංශය වෙත දන්වා තිබුණි. වසර තුනකින් පසු බදු කුලිය සියයට 15කින් වැඩිවීමක් සහ මාස 24ක කුලී අත්තිකාරමක් අවශ්‍ය බවද දන්වා තිබුණි. රජයේ තක්සේරුකරුගේ වාර්තාවට අනුව වර්ග අඩියක කුලිය රුපියල් 150කි. ගොඩනැඟිල්ලේ හිමිකරු විසින් ඉදිරිපත් කරන ලද වට්ටම අඩු කළ පසු වර්ග අඩියකට කුලිය රුපියල් 166.67කි. ඒ අනුව වර්ග අඩියක් සඳහා රුපියල් 16.67ක මුදලක් ගොඩනැඟිල්ලේ හිමිකරුගේ ඉල්ලීම අනුව වැඩිපුර ගෙවා තිබුණි. එමෙන්ම බදු කුලී සීමාව 2019 වර්ෂයේ මැයි සිට 2021 වර්ෂයේ අප්‍රේල් මස දක්වා මසකට රුපියල් මිලියන 21 බැගින් මාස 24ක් සඳහා අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් මිලියන 504ක මුදලක් ගොඩනැඟිලි හිමිකරුට ගෙවා ඇත්තේ අමාත්‍ය මණ්ඩල තීන්දු තුට්ටුවකවත් මායිම් නොකරමිනි.
ගොඩනැඟිලි හිමිකරු විසින් ඉල්ලා තිබූ මිලියන 21ක් වූ මාසික බදුකුලිය ගෙවීමට එකඟ වීම බරපතල අක්‍රමිකතාවයක් බව රාජ්‍ය ගිණුම්කාරක සභාව විසින් ද අවධාරණය කොට තිබුණි. රජයේ මුදල් රෙගුලාසිවලට අනුව එවකට හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා මෙම ගනුදෙනුව විචක්ෂණ හා ආර්ථික වන්නේද යන්න පිළිබඳව විමසිලිමත් විය යුතු බව රාජ්‍ය ගිණුම් කාරක සභාව මගින් ද සඳහන්කොට තිබුණි. ඒ නිසා මෙම ගිවිසුමට රාජ්‍ය ගිණුම්කාරක සභාවේ අනුමැතිය හිමිනොවන බව සඳහන් කොට තිබුණි. එහෙත් රාජ්‍ය ගිණුම්කාරක සභාවේ නිර්දේශ කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් තඹදොයිතුවකටවත් ගණන්ගෙන නොතිබුණි.
ඒ විතරක් නොව අමාත්‍ය මණ්ඩලය මගින් අනුමැතිය ලබා දී තිබූ සෙත්සිරිපාය නව ගොඩනැඟිල්ල ප්‍රමාණවත් නොවන බවට පැහැදිලි හා ලිඛිත හේතු ඉදිරිපත් කොට නොතිබුණි. බදු පදනම මත ලබාගත් මෙකී ගොඩනැඟිල්ල වර්ග අඩි 103,000ක ප්‍රමාණයෙන් යුත් ගොඩනැඟිල්ලකි. මෙකී ගොඩනැඟිල්ල සාප්පු සංකීර්ණයක් සඳහා භාවිතා කිරීමට සැලසුම්කොට තිබුණි. මෙම ගොඩනැඟිලි පරිශ්‍රය අනුමත මහල් ප්‍රමාණයට වඩා මහල් තුනක් වැඩියෙන් සහ ගොඩනැඟිල්ලේ උස අනුමත උසට වඩා අඩි 33ක වැඩි උසකින් යුක්තව ඉදිකොට තිබුණි. මෙම ගොඩනැඟිල්ල නීත්‍යනුකූල නොවන අයුරින් ඉදිකොට තිබුණ ද කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් එම ගොඩනැඟිල්ල බදු පදනම මත ලබාගැනීමට කටයුතු කර තිබුණි. මෙකී ගොඩනැඟිල්ල සඳහා විදුලිය, ජලගාස්තු, ඇතුළුව 2019 ඔක්තෝබර් මස 31 දින වනවිට රජයට වැයකිරීමට සිදුවි ඇති මුදල රුපියල් මිලියන 1,524.44කි.
අනික් කාරණය වන්නේ කෘෂිකර්ම අමාත්‍යාංශය සතුව බත්තරමුල්ල ප්‍රදේශයේ හෙක්ටයාර් 01ක භූමියක් ද පැවැත්විණි. එහි අමාත්‍යාංශය සඳහා ගොඩනැඟිල්ලක් ඉදිකිරීමට සැලසුම් කිරීමකින් තොරව ගොඩනැඟිලි කුලිය වශයෙන් මසකට රුපියල් මිලියන 21 බැගින් වර්ෂ 05ක් සඳහා රුපියල් මිලියන 1260ක මුදලක් ගොඩනැඟිලි කුලී වශයෙන් ගෙවීමට එකඟ වී තිබුණි.
මෙම ගොඩනැඟිල්ල බදු පදනම මත 2016 වර්ෂයේ අප්‍රේල් මස 08 වැනි දින ගිවිසුම්ගතව තිබුණි. එහෙත් කෘෂිකර්ම අමාත්‍යාංශ කාර්යාලය මෙහි ස්ථාපිත කොට ඇත්තේ ගිවිසුම්ගත වූ දින සිට මාස 15කට පසුවය. එම කාලය සඳහා ද බදු මුදල් වශයෙන් රුපියල් මිලියන 315 ක මුදලක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් ගෙවා තිබුණි. මෙකී වියදම අනාර්ථික වියදමක් බවට විගණනය මගින්ද පෙන්වා දී ඇත. අනික් කාරණය වන්නේ මෙම කාලසීමාව තුළ සේවා ගාස්තු ලෙස වර්ග අඩියකට රුපියල් 60 බැගින් රුපියල් මිලියන 92.7ක අතිරේක මුදලක් ද ගෙවා තිබීමයි. මෙකී ගොඩනැඟිල්ල බදු පදනම මත ලබා ගැනීමේ දී ගොඩනැඟිලි හිමිකරු විසින් එහි සඳහන් කර තිබූ 103,000ක් වූ වර්ග අඩි ප්‍රමාණය මත ගෙවීම් කර තිබුණ ද එම වර්ග අඩි ප්‍රමාණයේ නිවැරැදිතාවය පිළිබඳ බලයලත් මිනින්දෝරුවරයකුගෙන් සහතිකයක් ලබාගැනීමට පවා කටයුතු කර නොතිබුණි.
මීට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන ගිය පැරණි ගොඩනැඟිලි පරිශ්‍රයේ තිබූ ලීබඩු හා උපකරණ ඉහළ වටිනාකමකින් සහ භාවිතයට සුදුසු තත්ත්වයේ පැවතුණි. එහෙත් ලීබඩු උපකරණ වෙනුවට බදු පදනම මත ලබාගත් මෙකී ගොඩනැඟිල්ල සඳහා රුපියල් මිලියන 114.6ක මුදලක් වැයකර ලීබඩු හා උපකරණ අලුතින් මිලදි ගෙන තිබුණි.
අනික් කාරණය වන්නේ කුලියට ගනු ලැබූ මෙම ගොඩනැඟිලි පරිශ්‍රය තුළ පොදු පහසුකම් ප්‍රමාණවත්ව නොතිබුණි. කොටින්ම කිවහොත් මෙම ගොඩනැඟිල්ල කුලී පදනම මත ලබාගැනීම සඳහා ගිවිසුම්ගතවීමේ දී මෙම ගොඩනැඟිල්ල පූර්ණවශයෙන් නිම නොවූ ගොඩනැඟිල්ලක් බවට පත්ව තිබුණි.
ගොඩනැඟිල්ලේ ප්‍රවේශ පහසුකම් සහ වාහන නවතා තැබීමේ පහසුකම් ප්‍රමාණවත් අයුරින් නොතිබුණි. ඒ විතරක් නොව සපයා තිබූ විදුලි ධාරිතාවය ප්‍රමාණවත් නොවූ අතර මෙහි කාමර වෙන්කර නොතිබුණි. බුමුතුරුණු අතුරා නොතිබූ අතර සනීපාරක්ෂක පහසුකම් ඉදිකළ යුතුව තිබුණි. විදුලි සෝපාන පහසුකම් වැඩිදියුණු කිරීමට සිදුව තිබුණි. මෙම ගොඩනැඟිල්ල බදු පදනම මත ලබාගන්නා විට මෙම අවශ්‍යතා ඇතුළු ප්‍රධාන පහසුකම් සපයාගැනීම සඳහා රජය වැයකොට ඇති අමතර මුදල රුපියල් මිලියන 342.7කි. එමෙන්ම මෙකී ගොඩනැඟිල්ල සඳහා නැවත තොරතුරු තාක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීමට සිදුවී තිබූ අතර ඒ සඳහා වැයකොට ඇති මුදල රුපියල් මිලියන 61.03කි.
අනික් කාරණය වන්නේ 2016 වර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු සකස්කිරීමේ දි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා නව ගොඩනැඟිල්ලක් බදු පදනම මත ලබාගැනීමේ අවශ්‍යතාවක් පැන නැගී නොතිබුණි. ඒ සඳහා අයවැය මගින් ප්‍රතිපාදන සලසාගෙන නොතිබුණි. මේ සඳහා පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට මුදල් වෙන්කරගෙන තිබුණි.
ප්‍රසම්පාදනයට පටහැනිව හා විනිවිදභාවයකින් තොරව රජයේ තක්සේරුකරුගේ තක්සේරුව ඉක්මවායමින් රජයේ අරමුදලින් රුපියල් මිලියන 1524.44ක මුදලක් වැයකොට පෞද්ගලික ගොඩනැඟිල්ලක් කුලී පදනම මත ලබාගැනීමට කටයුතු කළ පාර්ශ්වයන් විසින් ගත් තීන්දුවල ආර්ථික හා පලදායීභාවය පිළිබඳ ඇගයීම සඳහා විධිමත් පරික්ෂණයක් කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
පසුගිය කාලයේ දී මෙවැනි දූෂිත ගනුදෙනු කප්පරකටත් වඩා සිදුවී තිබුණි. ඒවා විගණනය මගින් ද අනාවරණය කොට තිබුණි. එහෙත් මෙවැනි දූෂිත ගනුදෙනු විගණන වාර්තාවලට පමණක් සීමාවී තිබූ අතර දූෂිතයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි. රජයට ලැබිය යුතු මුදල් අයකරගැනීම සහ දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ දූෂිතයින්ට දඬුවම් ලබාදීම නව රජයේ වගකීමකි.
ලලිත් චාමින්ද