කොළඹ නාගරික තෙත්බිමක අසිරිය…
මේ දිනවල අපගේ “සංචාරේ” කොළඹ නාගරික තෙත්බිම් කලාපයට සීමාවී ඇත. ඊට හේතුව අනතර්ජාතික තෙත්බිම් දිනය පසුගිය 02 වැනිදාට යෙදී තිබීම සහ ඊට අදාළ ජාතික සැමරුම් උත්සව ද කොළඹ කේන්ද්‍රීයව මේ සතිය තුළ පැවැත්වීමය. එනිසා කොළඹ නාගරික තෙත් බිම්වල පහස ලබමින් එකතු කරගත හැකි අත්දැකීම් සහ සොබා සෞන්දර්යය වෙනමම වටිනා එකක් නිසා මේ දිනවල අප සිටින්නේ කොළඹ තෙත්බිම් ඇසුරේය. ඉදිරි කාලයේදී ගොතටුව, දියසරු උයන, බැද්දගාන තෙත්බිම් උද්‍යානය ඇතුළු කොළඹ තෙත්බිම්වල රාත්‍රී සංචාරයකට එක්වී එම පරිසරය අධ්‍යයනය කරන ගමන් ඒවායේ රාත්‍රියේ පහස කෙබඳු අත්දැකීමක්ද යන්නත් ඔබට කියන්නට අපි අදහස් කරගෙන සිටින්නෙමු.
මේ දිනවල කොළඹ තෙත්බිම් සංරක්ෂණය කෙරෙන විශේෂ වැඩසටහනක් ද මේ අතර ක්‍රියාවට නැගෙමින් පවතී. ඒ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන යටතේය. මෙවර ඉරිදා දවසකට යෙදී තිබීම නිසා, තෙත්බිම් දින ජාතික උත්සවය යොදාගෙන තිබුණේ 03 වැනි සඳුදා දිනයටය. එනම්, “පරිසර අමාත්‍යාංශය” සහ ජාතික පරිසර දින ජාතික උත්සවයේ මෙවර සත්කාරක රාජ්‍ය ආයතනය වන “වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ-DWLC” ඒකාබද්ධ උත්සවය පැවතියේ අභිනව පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් 03 වැනිදා පෙරවරුවේ පරිසර අමාත්‍යාංශය පිහිටි “සොබාදම් පියසේ” ය. එනමුත්, නියමිත දින, නියමිත විදිහටම තෙත්බිම් සැමරුම් වැඩසටහනක් තවත් රාජ්‍ය ආයතනයක් වන “ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව-SLLDC විසින් සංවිධානය කරනු ලැබ තිබිණි. ඒ “එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන-UNDP” හා එකතුවෙනි. එය පවත්වන ලද්දේ කොළොන්නාව – අයි ඩී එච් හන්දිය අතරින් ප්‍රවේශ විය හැකි පරිදි සකසා ඇති සහ එක පැත්තකින් කොළොන්නාව දක්වාත්, තවත් පැත්තකින් රාජගිරිය, මාදින්නාගොඩ සහ ගොතටුව දක්වාත් පුළුල් ප්‍රදේශයක පැතිර පවතින “ගොතටුව තෙත්බිම” ආශ්‍රිතවය.
වැඩසටහනේ අවස්ථාවක්
මෙවන් වැදගත් ක්‍රියාකාරකම් රැසක් කොළඹ තෙත්බිම් ආශ්‍රිතව මේ දිනවල සිදුවන නිසාත්, කොළඹ නගරය ලෝකයේ මුල්ම නාගරික තෙත්බිම් නගරයක් ලෙස 2018 වසරේදී රැම්සා සම්මුතිය මගින් ප්‍රකාශයට පත්කර ඇති නිසාත් කොළඹ තෙත්බිම්වලට මේ දිනවල ඇති සුවිශේෂී සැලකිල්ල නිසාත් මේ දිනවල අපගේ “සංචාරේ” කොළඹ නගරයේ තෙත්බිම් වටිනාකම ගැන කියන්නට සීමාකර ඇත.
මෙවර ජාත්‍යන්තර තෙත්බිම් දින තේමාව ලෙස යොදාගෙන තිබුණේ “අපගේ අනාගතය සඳහා තෙත්බිම් ආරක්ෂා කරමු – Protecting Wetlands for Our Common Future” යන්නයි. 1971 වසරේ පෙබරවාරි 02 වැනිදා ඉරානයේ රැම්සා නුවරදී රැස්වූ “තෙත්බිම් පාර්ශ්වකරුවන්ගේ සමුළුව” සහ එහිදී ජාත්‍යන්තර ගිවිසුමක් ලෙස සම්මත කරගත් “තෙත්බිම් පිළිබඳ රැම්සා සම්මුතියේ” සංවත්සරය ද සනිටුහන් කිරීම මෙම දිනය සැමරීමේ අරමුණක් වන නමුත් සැබැවින්ම ලෝක තෙත්බිම් දිනයක් පළමුව සැමරීමට ලක්වන්නේ 1997 වසරේදී පටන්ය. ඒ රැම්සා පාර්ශ්වකරුවන් ඇතුළත් තෙත්බිම් පිළිබඳ සම්මුතියේ ලේකම් කාර්යාලය මගිනි. එසේම, එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර දිනයක් ලෙස ලෝක තෙත්බිම් දිනය ප්‍රකාශයට පත්වන්නේ 2021 වසරේ අගෝස්තු 30 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරගත් 75/317 යෝජනාව පරිදි ය. මේ අනුව පෙබරවාරි 2 වැනිදා “ලෝක තෙත්බිම් දිනය – World Wetland Day” ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ප්‍රකාශයට කර ඇත.
චිත්‍ර නිර්මාණය කිරීම
තෙත්බිම් දින සැමරුම
ලෝක තෙත්බිම් සැමරුම එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් හා රැම්සා සම්මුති ලේකම් කාර්යාලය මගින් දියත් කෙරෙන අතර ශ්‍රී ලංකාවේ ද වසරක් පාසා සැමරීම සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකාව ද මෙම සම්මුතියට අත්සන් තබා ඇති රාජ්‍යයක් වන නිසාය. රටවල් 172 කින් සමන්විත රැම්සා සම්මුතිය සඳහා ශ්‍රී ලංකාව 1990 දී අත්සන් තැබීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ අපට ද ජාත්‍යන්තර තෙත්බිම් දිනය සැමරීම ඉතා වැදගත් අවශ්‍යතාවකි.
කොළඹ තෙත්බිම් සංරක්ෂණය කර, ඒවායේ ජෛව විවිධත්වය ආරක්ෂා කර තහවුරු කිරීම, තෙත් බිම්වල වටිනාකම පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම, තෙත්බිම් ආශ්‍රිත ප්‍රජාවගේ ආර්ථිකය සවිබල ගැන්වීම හා වැඩිමනත් පුරන් කුඹුරු නැවත අස්වැද්දීම මගින් හා එම කුඹුරු කෘෂි රසායන භාවිතයෙන් තොරව වගාකිරීම යනාදිය අරමුණු කරගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයක පිහිටි තෙත්බිම් මූලික කරගනිමින් වැදගත් ප්‍රජා මූල සංරක්ෂණ ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (United Nations Development Programme – UNDP) සුළු මූල්‍යාධාර වැඩසටහන (Small Grant Programme-SGP) මගින් ජගත් පාරිසරික පහසුකම් (Global Environmental Facility-GEF) මූල්‍යාධාර (අධියර 7) යටතේ පියවර ගෙන තිබේ.
ඒ අනුව කොළඹ තෙත් බිම් පරිසරයේ ජෛව විවිධත්ව සංරක්ෂණය, භූමි හායනය අවම කිරීම සහ දේශගුණික විපර්යාසවලට අනුහුරුවීම යන ලෝකය මුහුණ පා ඇති ප්‍රධාන පාරිසරික අර්බුද තුනක් මුල්කරගෙන තෙත් බිම් සංරක්ෂණය කිරීම සඳහා මෙම වැඩසටහන කටයුතු කරමින් සිටී. ශ්‍රී ලංකා රජයේ පූර්ණ අනුදැනුම යටතේ හා පරිසර අමාත්‍යාංශය, කොළඹ දිස්ත්‍රික් ලේකම් ඇතුළු ප්‍රාදේශීය ලේකම් කාර්යාල 5 ක, නාගරික සංවර්ධන අධිකාරිය, ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ සහයෝගය මත, හා ප්‍රජා සහ රාජ්‍ය නොවන සංවිධානවල සහභාගිත්වයෙන් මෙම තෙත් බිම් සංරක්ෂණ වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.
මේ අතර වර්තමානයේ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව මගින් ඉතා සැලසුම් සහගතව ප්‍රතිෂ්ඨාපනය සිදුකෙරෙමින් පවතින “ගොතටුව තෙත්බිම් උද්‍යානය” ප්‍රදේශයේ කාගේත් සිත් දිනාගත් අපූරු වැඩසටහනකි. වනසතුන්ට පමණක් නොව, එහි යන කාගේත් ගත, සිත ප්‍රබෝධමත් කරන මෙම උද්‍යානය සංවර්ධනය කිරීමෙන් අනතුරුව “දියසරු උද්‍යානය” වැනි සැලසුම්සහගත කොළඹ අනෙකුත් තෙත්බිම් හා සමාන වටිනාකමක් ඊට ද ලැබෙන අතර, ඉතා ඉහළ අලංකාරයක්ද, ජෛව විද්‍යාත්මක සහ පාරිසරික වටිනාකමක් ද අත්කරගනු ඇත. එසේ හෙයින් මෙවර ලෝක තෙත්බිම් දින සැමරුම සඳහා UNDP-GEF-SGP ආධාර ලබන කණ්ඩායම් කිහිපයක්ද මීට එකතුවෙමින් ක්‍රියාකාරකම් රැසක් තෙත්බිම් දිනයේදී එහි සංවිධානය කර තිබිණි. ඒ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ කාර්යභාරයට UNDP-GEF-SGP දායකත්වයද සනිටුහන් කරමිනි. UNDP-GEF-SGP ආධාර ලබන කොළඹ තෙත්බිම් භූ දර්ශයේ දැනුම කළමනාකරණය සිදුකරන “සුරක්ෂි” සංවිධානය, “ලස්සන කොලොන්නාව” සංවිධානය සහ Centre for Citizen Science සංවිධානය 2025 තෙත්බිම් දින සැමරුම සංවිධානය කිරීමට පහසුකම් සපයමින් අත්වැල් බැඳගෙන කටයුතු කර තිබුණු අතර සැමරුම ඉතා චාම් සහ සරල නමුත් ඉතා ඉහළ ප්‍රජා සහභාගිත්වයකින් එය ක්‍රියාවට නැගිණි. ඒ අනුව විශේෂයෙන් තරුණ-තරුණියන් සහ ළමුන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වැඩසටහනක් ලෙස මෙවර තෙත්බිම් සැමරුම ගොතටුව තෙත්බිම් උද්‍යානයේදී සිදුකරන ලදී. මෙම උත්සව අවස්ථාවට අපටද ආරාධනයක් ලැබී තිබිණි. එහි ගිය අපට තෙත්බිමේ අසිරිය විඳගැනීමේ පා ගමන් සංචාරයක් (Nature Walk), දැනුවත් කිරීමේ වැඩසටහනක් (Awareness) මෙන්ම පාරිසරික ක්‍රියාකාරකම් ලෙස, ආක්‍රමණික පැළෑටි ඉවත් කිරීම, නොදිරන කසළ එකතුකිරීම සහ කළමනාකරණය, රුක් රෝපණය, තෙත් බිම් සංරක්ෂණයට අදාළව චිත්‍ර තරගයක් පැවැත්වීම යනාදිය සිදුකරනු ලැබීය. මේ සඳහා ආබාධිත දරුවන් ඇතුළු දරු, තරුණ සහ වැඩිහිටි ප්‍රජාවක් සහභාගි වූහ. ඔවුන් විසින් එදින චිත්‍රයට නගන ලද සිතුවම් කාගේත් සිත්අලවන සුළු විය.
සහභාගි වූ දරු දැරියන් ඇතුළු පිරිස
ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (තෙත්බිම් කළමනාකරණ) ආචාර්ය නිමල ශාන්ත විජේරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය දේවක වීරකෝන්, ගොතටුව පොලිස් ස්ථානාධිපති බුද්ධි අරෝෂ මහත්වරුන්, UNDP-GEF-SGP කොළඹ තෙත්බිම් භූදර්ශ ව්‍යාපෘතියේ “සුරක්ෂි”, “ලස්සන කොළොන්නාව” සහ Center For Citizen Science සහ ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නිලධාරීන්, පරිසරවේදීන්, ගොතටුව තෙත්බිම් උද්‍යාන ආශ්‍රිත ප්‍රජා නායකයින්, ප්‍රජාවගේ සහභාගිත්වයෙන් පවත්වන ලද මෙදින තෙත්බිම් උළෙල ගවේෂණ, අධ්‍යයන, ක්‍රියාකාරකම්වලින් පොහොසත් සැබෑම තෙත්බිම් සැමරුම් දින උළෙලක් බවට පත් විය. ගොතටුව තෙත්බිම භාරව කටයුතු කරන ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ වැඩබිම් ඉංජිනේරු කසුන් බණ්ඩාර මහතා ඇතුළු කාර්ය මණ්ඩලය මෙම කටයුතු මනාව සංවිධානය කර තිබිණි.
අපගේ “සංචාරේ” කණ්ඩායම ද මීට එක්වෙමින් මේ වන විට එහි මාර්ග සකසා ඇති කිලෝමීටර් 1.8 ක් වැනි තෙත්බිම් මංතීරුවේ පහස ලබමින් කොළඹ නාගරික තෙත්බිමක අසිරිය සහ අත්දැකීම විඳගත් අතර, එහිදී දුටු තෙත්බිම් ජෛව විවිධත්වය සහ පාරිසරික වටිනාකම් ද දරාගනිමින් මෙවන් සංචාරක සටහනක් තබන අතර, ලෝකයක් සමරන ජාත්‍යන්තර තෙත්බිම් සැමරුම අනුව යමින් ඊට දායකවීමට ලැබීම ගැන ඇත්තේ අපට ද යම් ආඩම්බරයකි.
සැරිසර – ජගත් කණහැරආරච්චි
ඡායාරූප – සුරක්ෂි සහ SLLDC