ගෝල්ෆේස් එන පිරිස අඩු වෙලා, එන අය වියදම් කරන්නෙත් නෑ…

ගෝල්ෆේස් වැඩියෙන්ම එන්නෙ මුස්ලිම් මිනිස්සු…

උඩ තිබුණු කඩ බිංගෙට දැම්මෙ ගෝඨාභය රජය කාලේ…

වෙළෙඳ කුටි සීයට ආසන්නයි බාගෙයක් වහලා…

ගාලුමුවදොර ක්‍රීඩාපිටියේ විවිධ වෙළෙඳාම් කරන පිරිස 225යි…

හිටපු ඇමැතිවරයෙක් රියැදුරාටත් කඩයක් අරගෙන දීලා…

ජන අරගලය තුළ ගමක් බවට පත් වී තිබුණු ගලු මුවදොර අද පාළු වී ගොස් ය. ගෝල්ෆේස් වෙළෙන්දන් කියන විදිහට සෙනඟ යහමින් පැමිණෙනුයේ සති අන්තයේදී පමණි. සෙසු දිනවල මැස්සො ඇහිරෙන තරම් ය. පසුගිය අඟහරුවාදා සවස්වරුවේ අප ගෝල්ෆේස් පිටියට යනවිට සියදෙනකු සිටියේ නැත. මහ සාගරයට මුහුණලා භූගත කඩ පේළියේ විවෘතව තිබුණේ වෙළෙඳසැල් තුනක් පමණි. අතිශය ශෝචනීය තත්ත්වයකි. ඉබි යතුරු වැටුණු කඩවල දොරගුළු විවෘත වන තෙක් අපි ගල් බැම්මකට බර දී බලා සිටියෙමු.

ගෝල්ෆේස් දුප්පතුන්ට තහනම්! වෙළෙඳුන්ට ඇඩ්‍රස් නෑ…

ගෝල්ෆේස් පිටිය වටා අහස සිඹින, තරු බැබළෙන සංචාරක හෝටල්ය. එකකට එකක් දෙවැනි නැත. ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට ‘වන් ගෝල්ෆේස් සුපිරි වෙළෙඳසැල තුළ දැනුදු මහ සෙනඟකි. පෝර්ට් සිටියේ මුහුදු වෙරළ සතුට ගලන මිහිරි තාටාකයක් වැනිය. පුංචි ළමයි දිය පමණක් නොව, වැලිත් නාති. අප එම ස්ථානයට යනවිට එහි සතුටු වූ බහුතරය මුස්ලිම් මිනිසුන් වීම විශේෂත්වයකි. කෘත්‍රීමව නිර්මාණය කර ඇති එම මුහුදු වෙරළ සමීපයේ කඩ මණ්ඩිය ද විසිතුරුය. කෑම වර්ගවල මිලත් සුපිරිය. එහෙත් ඒ සෑම අවන්හලකම පාරිභෝගිකයෝ අසුන්ගෙන සිටියහ. විවිධ කෑම රස බලන පිරිස ද බොහෝය. හැන්දෑවට එම කෑම කඩ පේළියට ලොකු බිස්නස් එකක් තියෙන බව වෙළෙඳසැලක වැඩ කරන සේවකයෙක් ද අප සමග පැවසීය. එහෙත් කෑම මිල වැඩි ය. ගෝල්ෆේස් පිටියේ කඩවල කෑම මිල භාගෙට බාගයක් අඩු වුව ද බිං ගෙවල් අස්සෙ රිංගීමට කැමැති වෙන්නේ අසම්මත පෙම්වතුන් පමණක් බව අඹ අච්චාරු වෙළෙන්දෙක් අප සමග පැවසීය.

“එගොඩ ගොඩින් බලන කෙනෙක් හිතන්නෙ ටොයිලට් පේළියක් කියලා. මුහුද පැත්තෙන් එන කෙනෙක්ට පේනවා කඩ පේළියක් කියලා. ඒත් බිංගෙයට බහින්න මිනිස්සු කැමැති නෑ. කඩ පේළියට ඇතුළු වෙන්න තියෙන්නෙ කිලෝ මීටරයක් විතර දුරින්. පාර අඩියක් පළල් නෑ. මහ සෙනඟක් පිරුණොත් තෙරපිලා වෙන කරදරයක් වෙනවා. මොන රජයකින් කළත් මේවා තමයි ජාතික අපරාධ. මේ ඇරලා තියෙන කඩවල වෙළෙන්දො එක්ක කතා කරන්න. ඒ මිනිස්සුන්ට මේ ප්‍රශ්නය කියා ගන්න කෙනෙක් නැතිව ඉන්නෙ…” ඔහු අනුරය. නුවර උපන් ඔහු වසර හතළිහක් පමණ ගෝස්ෆේස් පිටියේ ජංගම වෙළෙඳාම් කරන වෙළෙන්දෙකි. රුපියලට, දෙකට අන්නාසි විකුණපු ඔහු මේ වනවිට අඹ අච්චාරු අලෙවි කරනුයේ අන්නාසි වෙළෙඳාම් කර ලාභයක් ගැනීමට නොහැකි නිසාය. දැන් අන්නාසි රත්තරන් වැනිය. දවසින්, දවස මිල වැඩි වේ. අන්නාසි කතාව අමතක කර භූගත කඩ පේළිය දෙසට අපි ගමන් කළෙමු.

ගලු මුවදොර ක්‍රීඩා පිටියේ අලුතින් ඉදිකරන ලද භූගත වෙළෙඳ කුටි හතළිස් හයකි. එම වෙළෙඳසැල්වලට ගමන් කිරීමට ඇති මාර්ගය පෙම් යුවළකට දෑත් පටලාගෙන ඇවිද යෑමට නොහැකි තරමට පටුය. වෙළෙඳ කුටි පිළිවෙළට සැලසුම් කර තිබුණ ද මිනිසුන්ට බඩු මිලට ගැනීමට වෙළෙඳසැල් ඉදිරිපිට ඉඩක් නැත. වෙළෙඳසැල ඉදිරිපිට කිහිපදෙනෙක් නතර වී සිටියොත් මාර්ගය අවහිරය. ගමේ මේසන් බාස්කෙනෙක් කඩ පේළිය සැලසුම් කළානම් වෙළෙඳ කුටි ඉදිරිපිට ට මීට වඩා ඉඩ ප්‍රමාණයක් ඉතුරු කරන බව අපගේ හැඟීමය. මන්දබුද්ධික ඉංජිනේරුවන්ගේ ඔලමොට්ටල ඉදිකිරීම් දකිමින් ඉදිරියට යනෙන අපට නිදිමත ගතියෙන් හොල්මන් සේ ඇවිදින තරුණයන් ඉඳහිට මුණගැසිණි. උස් ගල් බැම්මට අඩ තබා දුම් උරන දෙතුන්දෙනා ඇස ගැටිණි. එහෙත් දරුමල්ලෝ සමග ඇවිද යන මවුපියන්, පෙම්වතුන් අපට මුණනොගැසිණි. වැසුණු කඩ පේළියේ ඇරුණු වෙළෙඳ කුටියක් ඉදිරිපිට අපි නතර වීමු. තේ, කෝපි, පලතුරු බීම අලෙවිසැලකි. අපගේ අනන්‍යතාවය තහවුරු කිරීමත් සමග කඩේ මුදලාලි අයකැමියෙන් එළියට පැමිණ ප්ලාස්ටික් පුටු දෙකක් තබා කඩ පේළිය දිගේ වේගයෙන් ඇවිද ගියේය. ඔහු නැවත පැමිණියේ කිහිපදෙනෙක් සමගය.

ගෝල්ෆේස් දුප්පතුන්ට තහනම්! වෙළෙඳුන්ට ඇඩ්‍රස් නෑ…

“මාධ්‍යයෙන් එනකම් තමයි අපි බලාගෙන හිටියේ. අපේ ප්‍රශ්න කියන්න කෙනෙක් නැතිව ඉන්නෙ. අපේ කඩ උඩ තියෙනකොට හොඳ බිස්නස් එකක් තිබුණා. කඩ කුලිය විදිහට මාසෙකට අය කළේ රුපියල් 4000යි. අලුතින් හදපු ෂැංග්‍රිලා හෝටලයට මුහුද පෙන්නෙ නෑ කියලා ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයාගේ කාලේ කඩ පේළිය මේ බිං ගේ ඇතුළට දැම්මා. කඩවල ඉදිරිපස පාර පැත්තටවත් තිබ්බේ නෑ. ඒකත් මුහුද පැත්තට දාලා. අපි මාළුන්ට බිස්නස් කරන්න ද මහත්තයෝ…” මොහොමඩ් යුසෙන් කතාවට ප්‍රවේශයක් ලබාගත්තේය. රිකාෂා, චමින්ද, සමීර, චන්න තවත් කිහිපදෙනෙක් අදහස් ප්‍රකාශ කිරීමට ඉදිරිපත් වී සිටිති. මේ ඔවුන්ගේ පොදු හඬය.

“සතියේ දවස්වලට දවසෙම කඩ ඇරගෙන හිටියත් රුපියල් 5000ක බිස්නස් එකක් කර ගන්න බෑ. ලයිට්, වතුර බිල, කඩ කුලියට ගාණක් අයින් කළාට පස්සෙ පවුලක් නඩත්තු කරන්න තරමේ මුදලක් අත ඉතිරි වෙන්නෙ නෑ. සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා දවස් තුනේ බිස්නස් එකක් කෙරෙනවා. ඒකෙන් තමයි යන්තම් ෂේප් වෙන්නේ. නැතිනම් අපිටත් වෙන්නෙ මේ කඩ වහල දාලා ජීවත් වෙන්න වෙන දෙයක් කරන්න. දැන් මේ කඩ පේළියේ ගොඩක්ම කඩ වහලා. සති අන්තයේවත් අරින්නෙ නෑ. වැස්ස දවස්වලටනම් වැඩක්ම නෑ. මිනිස්සුන්ට ඉන්න තැනක් නෑ. මුහුදු හුළඟත් එක්ක එන වැස්සට කඩේ ඇතුළෙ ඉන්න අපිවත් තෙමෙනවා. ඒ නිසා වහින වෙලාවට මේ හැම කඩයක්ම වහනවා…” මුහුදේ ඝෝෂාව පරයමින් කතා කිරීමට හුරු වී සිටින ඔවුන්ගේ හඬ උස්ය. එහෙත් අපි බාධා කළෙමු.

ගෝල්ෆේස් දුප්පතුන්ට තහනම්! වෙළෙඳුන්ට ඇඩ්‍රස් නෑ…

උස්ව නැඟෙන රළ ගෙඩි ගල් බැම්මේ වැදී දැනුදු අපව තෙමන්නේය. මේ එන හිරිකඩ දකිනවිට සුළඟ සහිත වැස්සට තෙමෙන ආකාරය සිතා ගැනීමට අසීරු නැත. එමෙන්ම විවිධාකාර ගැටලුවලින් හෙම්බත්වී සිටින මිනිසුන් ගෝල්ෆේස් පිටියට පැමිණෙන්නේ නිදහසේ සතුටුවීමටය. එහෙත් ළමයින්ට සෙල්ලම් කිරීමට ඇත්තේ ගලු මුවදොර ක්‍රීඩා පිටිය පමණි. විවිධ කෑම, බීම වර්ග සහිත වෙළෙඳ කුටි, කෑම කරත්ත තිබුණ ද හත්අටදෙනකුට එකට හිඳගෙන කෑමට ඉඩ පහසුකම් නැත. පෙට්ටියක් හැඩයට තියෙන වෙළෙඳ කුටි ඉදිරිපිට හෝ පියැස්සක් නැත. වැස්සට තෙමෙමින්, අව්වට පිච්චෙමින් කෑම කන්න මිනිස්සු කැමැති නොවේ. එහෙයින් ගෝල්ෆේස් පිටියට පැමිණෙන පිරිස විශාල වශයෙන් අඩු වී ඇති බව ඔවුහු අපට පැවසූහ. වන් ගෝල්ෆේස් සාප්පු සංකීර්ණයට පැමිණෙන බොහෝ අය භූගත කඩ පේළිය දෙසට නොඑන බවත්, පවුල් පිටින් විනෝද වීමට පැමිණෙන පිරිස දරුවන්ට සිරි සේ සෙල්ලම් කිරීමට විවිධ උපකරණ සහිත උද්‍යානවලට යන බව ද ඔවුහූ පැවසූහ. කළුවර වැටෙනකොට පවුල් පිටින් පැමිණෙන මුස්ලිම් මිනිස්සු මහ රෑ වන තෙක් පැදුරු දාගෙන කා බී සතුටු වුවද ඉස්සර කරන වියදම් දැන් නොකරන බව ද ඔවුහූ පැවසූහ.

ගෝල්ෆේස් පිටියට රාත්‍රියට පැමිණෙනුයේ කොළඹ ජීවත් වන මුස්ලිම් මිනිසුන් ය. කොළඹ ජීවත් වන දෙමළ, සිංහල මිනිසුන් ද අඩු වැඩි වශයෙන් පැමිණෙන බව වාර්තා වේ. ඒ පුංචි නිවෙස්වල, මහල් නිවාසවල රස්නෙට තැම්බෙනවට වඩා මුහුදු සුළං පහස විඳගෙන මහා රෑ වන තෙක් ගෝල්ෆේස් පිටියේ සිටීම සුවදායක බැවිනි. එහෙත් වැස්ස දවසට ගෝල්ෆේස් ඇවිත් ඵලක් නැත. නොතැමි සිටීමට තැනක් නැත. දිනකට විශාල ආදායමක් ලබන දෙස්, විදෙස් සංචාරකයන් බුරුතු පිටින් පැමිණෙන ගෝල්ෆේස් ක්‍රීඩා පිටියේ වැස්සකට මුවාවීමට හෝ තැනක් නොතිබීම මොන සා කාලකණ්ණිකමක් දැයි අප අසල සිටි වෙළෙඳුන් ද කම්පා විය.

ගෝල්ෆේස් දුප්පතුන්ට තහනම්! වෙළෙඳුන්ට ඇඩ්‍රස් නෑ…
සරවනමුත්තු / අනුර / සමීර

“ගෝල්ෆේස් පිටිය අයිති වරාය අධිකාරියට. අවුරුදු හයකට ඉස්සර වරාය අධිකාරිය ටෙන්ඩර් කරලා පෞද්ගලික ආයතනයකට පවරලා තියෙනවා. අපි දන්න විදිහට සෑම අවුරුද්දකම ටෙන්ඩර් කැඳවීමක් සිද්ධ වෙනවා. ගෝල්ෆේස් පිටියේ දැන් පරිපාලනය භාර වෙලා තියෙන්නෙ අලුත් ආයතනයකට. ඒ ආයතනයේ නිලධාරීන් නියම වෙලාවට කඩ කුලිය එකතු කරන්නනම් එනවා. වැසිකිළියට යන කෙනෙක්ගෙන් අය කරන රුපියල් 30නම් තිතටම අය කරනවා. ඉස්කෝලෙ දරුවකුටවත් අඩු කරන්නෙ නෑ. ගෝල්ෆේස් පිට්ටනිය කුලියට දීලා මුදල් ගන්න එකත් එලෙසට ම කරනවා. ඒත් පහසුකම් සම්පූර්ණ කිරීම අන්තිමයි. අඩුම තරමින් ප්‍රමාණවත් ආකාරයට කසළ බඳුනක්වත් තියලා නෑ. එන, යන මිනිස්සු තැන, තැන ඉටිකොළ, ඉඳුල් දානවා. ඒ මිනිස්සුන්ට දොස් කියල වැඩක් නෑ. කාලා, බීලා විසිකරන දේවල් නැවත ගෙදර ගෙනියන්න බෑ. පිරිසිදු කටයුතුවලට දහදෙනෙක් ඉන්න ඕන තැනකට තුන්දෙනෙක් දාලා වැඩක් නෑ. වැඩේ හරියට වෙන්නෙ නෑ. වරාය අධිකාරිය කරලා තියෙන්නෙ බල්ලගේ වැඩේ බූරුවා ලවා කර ගන්නවා වගේ වැඩක්. මේ කඩවලින් අපිට ආදායමක් ලැබෙන්නෙත් නෑ.

ගෝල්ෆේස් එන මිනිසුන්ට සෙතක් වෙන්නෙත් නෑ. ඒ ගැන ලිපියක් හදලා පහුගිය ආණ්ඩුවේ ජනාධිපති ලේකම්වරයාට භාර දුන්නා. එක පාරක් නෙමෙයි, කිහිපවිටක් ම ජනාධිපති කාර්යාලයට ගිහින් ලේකම්වරයාට ලිපිය භාර දුන්නා. වැඩක් වුණේ නෑ…” ගාලු මුවදොර වෙළෙඳ ව්‍යාපාරිකයන්ගේ කතාවට ඊ. සී. ඩයස් ද එකතු විය. ඔහු ගාලු මුවදොර ස්වාධීන ස්වයං රැකියා වෙළෙඳ සමිතියේ ප්‍රධාන ලේකම්ය. එම සමිතියට අමතරව තවත් වෙළෙඳ සමිති කිහිපයක් ගෝල්ෆේස් ව්‍යාපාරිකයන් පිහිටුවාගෙන තිබෙන බව වාර්තාවේ. එහෙත් මේ වනවිට සක්‍රීය සමිතිය ඉහත සඳහන් කළ වෙළෙඳ සමිතිය පමණක් බව ඩයස් අප සමග පැවසීය.

ගෝල්ෆේස් දුප්පතුන්ට තහනම්! වෙළෙඳුන්ට ඇඩ්‍රස් නෑ…
චමින්ද / මොහොමඩ් / චන්න / ඩයස්

ගාලු මුවදොර ක්‍රීඩාපිටියේ විවිධ වෙළෙඳාම් කරන පිරිස 225කි. ජංගම වෙළෙඳුන්, වඩේ කරත්ත, පෙට්ටි කඩ, ස්ථිර වෙළෙඳසැල් ඒ අතරට අයත් ය. ඇතැම් ස්ථිර වෙළෙඳසැල් වසා තිබුණ ද එම කඩ අයිතිකරුවන් ගෝල්ෆේස් පිටියේ ජංගම වෙළෙඳාමක් හෝ කරන බව ස්ථිරය. එමෙන්ම ගෝල්ෆේස් ක්‍රීඩා පිටිය නාගරික සංවර්ධන අධිකාරිය පාලනය කරන සමයේ යහපත් පාරිපාලනයක් තිබුණු බව ඩයස්ගේ අදහස ය. ඒ කාලය වනවිට ගෝල්ෆේස් ක්‍රීඩා පිටියේ වෙළෙඳාම් කර ඇත්තේ වෙළෙඳුන් එකසිය හතළිස්හයදෙනෙකි. ආණ්ඩු පෙරළියත් සමග පාර්ලිමේන්තුවේ සිටින සංඛ්‍යාවම ගෝල්ෆේස් පිටියේ ව්‍යාපාර කටයුතුවලට ද අනියුක්ත කළ බව ඩයස් කීවේ අසතුටෙනි. පසුගිය ආණ්ඩුවේ සිටි වරාය ඇමැති ගෝල්ෆේස් වෙළෙඳ කුටි බෙදාදීම බූදලයක් කරගෙන ඔහුගේ රියැදුරෙක්ට ද වෙළෙඳසැලක් ලබා දී ඇති බව ආනන්ද අප සමග පැවසුවේය.

“අලුතින් ඉදිකරපු භූගත වෙළෙඳසැල් දුන්නෙ දේශපාලනඥයන්ට හිතවත් අයට. සමහර නිලධාරීන් සල්ලි අරගෙන කඩ දීලා තියෙනවා. ගෝල්ෆේස් වෙළෙඳුන්ට ප්‍රමුඛතාවය දුන්නෙ නෑ. මම අවුරුදු 35ක් ගෝල්ෆේස් පිටියේ බිස්නස් කරනවා. මට දුන්නෙත් මුල්ලෙ කඩයක්. බිස්නස් නෑ. කඩේ වහලා අච්චාරු විකුණනවා. කඩේ කරනවට වඩා මේක ලාභයි. ඒත් වැස්සොත් අච්චාරු කුණු බක්කියට. අපිට ඇඩ්‍රස් නෑ. වෙළෙඳ කුටි බෙදා දීපු විදිහ හරිම අසාධාරණයි. එක වෙළෙඳසැලකට මූලික ගෙවීම රුපියල් 150,000යි. මාසික කුලිය 30,000යි. ඒ ගාණ වැඩීකියලා, පසුගිය රජය කාලේ රුපියල් 18,400ට අඩු කරලා තියෙනවා. ඒ මුදල අඩු වෙන්නෙත් ජනවාරි මාසෙ ඉඳලා. බිස්නස් ලොස්ට් වුණත්, කඩේ වහලා තිබුණත් මේ මාස දෙකත් මාසික කඩ කුලිය 30,000ක් ගෙවන්න ඕනා. ලයිට් බිල 11,000 යි. වතුර බිල එකතු වෙලා එනකොට අපිට ඇති දෙයක් නෑ…” හැටදෙවැනි විය පසු කරගෙන යන ආනන්ද ගෝල්ෆේස් පිටියේ බිස්නස් කරන්න පටන්ගෙන අවුරුදු විසිපහකට වැඩිය. දරුවන්ට අධ්‍යාපනය ලබා දී, දීගතල දී ඇත්තේ ද ගලු මුවදොර ජංගම වෙළෙඳාමෙන් ලැබුණු ආදායමෙනි. ආනන්ද අතීතය ආවර්ජනය කරනවිට සරවනමුත්තු අතීතයත් වර්තමානයත් වචන කිහිපයකට ගැළපුවේය.

“මේ රටේ පොඩි මිනිසුන්ට දෙයක් කළේ රණසිංහ ප්‍රේමදාස මහත්තයා විතරයි. එතුමා මැරුණට පස්සෙ මෙච්චර කාලයකට පොඩි මිනිහට දෙයක් කරලා නෑ. ඒ නිසා මොන පක්‍ෂයට ආණ්ඩු බලය ගියත් අපිට සෙතක් වෙයි කියලා විශ්වාස කරන්න බෑ. ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච අයට කියපු දේවල් අමතක වෙනවා. ඔය පුටුවේ වාඩි වෙන කෙනෙක් නැඟිටලා යන්න කැමැති නෑ කියලා ජේ. ආර්. මහත්තයා කියලා තියෙන්නෙ කට කහනවට නෙමෙයි. මේ ආණ්ඩුව යන අත තව මාස හයක් විතර යනකොට බලාගන්න පුළුවන්. හිටපු විදිහට ඒ කාලයත් ඉවසමු…” මේ වනවිට වයස අවුරුදු 56ක් වන සරවනමුත්තු ගාලු මුවදොර වෙළෙඳාම් කිරීම පටන්ගෙන ඇත්තේ අවුරුදු 15 සිටය. පෙළගැසෙන කතාවට තවත් අඩු වැඩි එකතු කිරීමට ඇවැසි නැත. සරවනමුත්තුගේ අවසාන වචන කිහිපය පෙළගැසෙන කතාවට මුතුවැලක් වැනිය.

තරංග රත්නවීර


advertistmentadvertistment