මේ සතියේ සමාජ – දේශපාලන! අංශවල මෙන්ම සියලුම මාධ්‍යවල ද ප්‍රමුඛ අවධානය යොමුව තිබුණේ මුළු රට ම පාහේ වෙළාගත් සොබාදහමේ පීඩනය හා ඒවාට මුහුණදුන් ජනතාවගේ දුක් වේදනාවන් කෙරෙහිය. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් දක්වන ලද තොරතුරු අනුව දිස්ත්‍රික්ක 23කට නොඅඩු සංඛ්‍යාවක ජන ජීවිත හා දෛනික කටයුතු එහෙම පිටින්ම කඩා වැටී තිබුණි. මේ ස්වභාවික විපත සමග ඇති වූ මහ වැසි, ජල ගැලීම්, සුළිකුණාටු, නායයෑම් ආදියෙන් සිදුවූ විනාශය රුපියල් සතවලින් මැනිය හැකි වුවද එහි දුක්මුසු කතාවක් ද තිබේ. දැනට තිබෙන වාර්තා අනුව පුද්ගලයන් ලක්ෂ තුනකට වැඩි පිරිසක් ඒ විපතේ වින්දිතයෝ බවට පත්ව සිටිති. පවුල් අසූදහසකට වැඩිය. ජලගැලීම් නිසා විනාශවී ගිය මංමාවත්වලට අමතරව කුඹුරු අක්කර 5000කට නොඅඩු වගාබිම් හානියක් ද වාර්තා වී තිබේ. නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමැතිවරයා පැවසුවේ, ඒ පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති බවත් කිසියම් වන්දි මුදලක් ලබාදීමට කටයුතු කරන බවත්ය. ජනාධිපති අනුර කුමාර නියෝග කර ඇත්තේ ද විපතට පත් ජනතාව ඇසින් දැක විමසා බලා වහාම සහන සලසන ලෙසය.
සොබාදහම හා මිනිසා අතර අරගලය පිළිබඳ කතාව මානව ශිෂ්ටාචාරයේ සමාරම්භය තෙක් දිවයන්නකි. එහෙත් වර්තමානය වනවිට මානව සමාජය විසින් අත්පත් කර ගන්නා ලද විද්‍යා හා තාක්ෂණයත්, නූතන සන්නිවේදනයත් නිසා සොබාදහමේ ඇතැම් ප්‍රතිචාර වළක්වා ගැනීමට ද හැකිවී තිබේ. ස්වභාවික විපත් යනු වේලාසනින් දැනුම් දී සිදුවන දේවල් නොවූවත් අද ඒවා අනුමාන වසයෙන් දැනගත හැකිවී ඇත. කුමක් වුවත් කිසිදු වගවිභාගයකින් තොරව අවිචාරවත්ව හැසිරෙන ඇතැම් අය විසින් මේ විපත් තමන් වෙත කැඳවා ගන්නා බවද පැහැදිලිය. මෙවරද එබඳු සිදුවීම් කීපයක්ම වාර්තා විය. නින්දවුර් මද්‍රසා පාසලේ සිසු පිරිසක් මුහුණදුන් විපත වළක්වා ගතහැකිව තිබුණු බව ද කියති. මේ සිසුන්ට සිදුවී ඇත්තේ ගෙදර යෑමට ගොඩ වූ බසය මාර්ග අවහිරය (වතුරට යට වී තිබීම) නිසා අතරමඟ දී බැස ට්‍රැක්ටරයකට නැඟීම නිසාය. එය අනාරක්ෂිත ගමනක් බව සිසුහු නොදත්හ. මේ දරුවන් බස් රියෙන් ගෙනැවිත් මඟ දැමූ අය මෙන්ම ඔවුන්ව ට්‍රැක්ටරයක අනාරක්ෂිත ලෙස ගෙන ගිය අය ද මේ විපතට වගකිව යුතු වෙති. මේ වනවිට එම පාසලේ විදුහල්පති ඇතුළු සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බවක් ද වාර්තා විය.
කාලගුණික බලපෑම් පිළිබඳ අනතුරු අඟවන පරිසර විශේෂඥයෝ ද මෙරටේ වෙති. එහෙත් ඒ සියල්ලට උඩින් පනින දේශපාලන බලවතුන්ගෙන් පරිසර පද්ධතියට වන හානිය බරපතළය. වැලි හා පස් ජාවාරම්, වනාන්තර එළිකිරීම්, වැව්වලට හානිදායක වන ඉදිකිරීම් මෙරටේ සාමාන්‍ය දේවල්ය. දින කීපයකට පෙර මාධ්‍යයකින් හෙළිකර තිබුණේ කිසිම ඉදිකිරීමක් නොකර මාර්ගයක් වෙනුවෙන් මිලියන ගණනක් ගෙවූ මගඩියකි. හිටපු ඇමැතියකුගේ නමක් ද කියැවුණි. මේ ආණ්ඩුව තවම අලුත්ය. එහෙත් මේ තොරතුරු විමර්ශනයට ලක් කළ යුතු දේවල්ය.
මේ ආණ්ඩුවට ප්‍රාතිහාර්ය පෑමට බැරි බව ඇත්තය. එහෙත් මේ වනවිට ආණ්ඩුව මෙහෙය වීමේ යාන්ත්‍රණය සකස් කරගෙන ඇති බවද පෙනේ. අලුත් ලේකම්ලා – සභාපතිලා මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල ද වැඩ අරඹන ආකාරය රූපවාහිනී නාළිකා ඔස්සේ මෙන්ම පුවත්පත්වලින්ද දැක ගතහැකි විය. මේවා පරණ ආණ්ඩුවල ම පිළුණු සන්දර්ශන පමණි. තවමත් ජාජබෙ ඇතැම් මැති ඇමැතිවරුන් පවසන්නේ අප කෙරෙහි විශ්වාසය තැබූ ජනතාව අප කරන්නේ මොනවා දැයි විමසිල්ලෙන් සිටින බවය. ඒ කතාව පුනරුච්චාරණය කිරීමෙන් ඵලක් නැත. ඇත්තට ම ජනතාවගේ ඇඟට පතට දැනෙන දෙයක් තවමත් සිදු වී නැත. අපේක්ෂාභංගත්වයට පත් වූ දේශපාලන චරිත කියන දේවල් වැදගත් නැත. එහෙත් දේශපාලන පුනරුදයක සංඥා තවම ප්‍රබලව දැකගත නොහැකි වූ බව ද අපේ අදහසය.
දේශපාලන ප්‍රභූතන්ත්‍රය පෙරළා දැමූ මෙරටේ බහුතර ජනතාව ආණ්ඩුව දෙස බලා සිටින්නේ දහසක් බලාපොරොත්තු දල්වා ගෙනය. විපක්ෂය මතුරන ආකාරයට රටේ ආර්ථිකය රනිල්ගේ පියවර අනුව යන්නේ ද යන්නට වඩා ජනතාවට වුවමනා එහිදී ජනතාවගේ පංගුව වැඩි වීමය. රනිල්ගේ වේවා වෙනත් කාගේ හෝ වේවා හරි දේ කිරීමට බිය වියයුතු නැත. එහෙත් ඒවා නිසා වින්දිතයන් බවට පත් වූ රටකි මේ. අයි.එම්.එෆ්. බලධාරීහුනම් මේ ආණ්ඩුවේ ඒ ආර්ථික වැඩපිළිවෙළ පිළිබඳව තෘප්තිමත්ව සිටිති. එසේ ම ඔවුන් සමග සාකච්ඡා වට කීපයක් ද සිදුවී ඇත. එපමණක් නොව, ලෝක බැංකුව ඇතුළු තවත් ජගත් ආයතනවල නියෝජිතයන් ජනාධිපතිවරයා හා අගමැතිනිය හමු වූ බවද වාර්තා විය. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනවලින් ලංකාවට සාධනීය ප්‍රතිචාර ලැබෙමින් තිබේ. කුමක් වුවත් මේවා ආර්ථික විශේෂඥයන් ප්‍රමුඛ ඒ ආයතනවල විමර්ශනයට ලක්වියයුතු කරුණුය.
මේ සම්බන්ධයෙන් සිදුවන දේශපාලන විවේචනවලින්නම් පැහැදිලි වන්නේ ඔවුන් ආණ්ඩුව කෙරෙහි දක්වන විශ්වාසභංග චෝදනාවය. විපක්ෂ නායක සජිත් පවසන්නේ ආණ්ඩුව රනිල්ගේම ආර්ථික පීල්ලය දිගේ ගමන් කරන බවය. විපක්ෂයේ ආර්ථික විශ්ලේෂක ආචාර්ය හර්ෂ ද සිල්වා එය දකින්නේ නිවැරදි ක්‍රියාවක් ලෙසය. ඇත්ත වසයෙන්ම මේ රට වැටී තිබුණු ආර්ථික අගාධයෙන් තවමත් හරි අස්වැසිල්ලක් ලබාගෙන නැති බවද කවුරුත් දනිති. ඒ ආර්ථික අගාධයෙන් ගොඩඒමට කැපවීමෙන් හා වගකීමෙන් ආණ්ඩුව කටයුතු කළ යුතුය. ඒ විනාශයට වගකිවයුතු පාලක පිරිස් මෙන්ම නිලධාරීන්ට ද මේ ආණ්ඩුවේ ආර්ථික සැලසුම් ගැන විවේචනය කිරීමට සදාචාරාත්මක අයිතියක් නැත. එසේම අද ඒ ආර්ථික විනාශයට වන්දි ගෙවන ජනතාව ඉන් මුදා ගැනීම ආණ්ඩුවේ වගකීමක් බවද කිවයුතුය. ජනතාව අපේක්ෂා කරන්නේ ද කිසියම් සහනයකි. මේ ආර්ථිකය නිසා විශේෂයෙන් ජීවිත රටාව අනතුරට වැටුණු මධ්‍යම පන්තික කොටස් ද සිටිති. ඒ බොහෝදෙනෙක් තමන්ට දරාගත නොහැකි තරම් අධික බදු බරකින් ද පීඩාවට පත්ව සිටිති. මාසික වේතනය හැර වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් ද ඔවුන් බොහෝ දෙනකුට නැත. මේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා ඔවුහු ද දායක වූහ. මේ ආර්ථිකයේ වින්දිතයන් බවට පත්ව සිටින ඔවුන් අපේක්ෂා කරන්නේ ද එම පීඩනය යම් ප්‍රමාණයකින් හෝ අඩු කර ගැනීමේ මඟකි.
මේ ආණ්ඩුව ජනතාවගේ ආණ්ඩුවක් යැයි ජනතාව තුළ ද පිළිගැනීමක් ඇත. වෙනදා දුටු ඇමැතිලාගේ ජනාධිපතිලාගේ චර්යාවන් ද අද නැත. එසේම මන්ත්‍රීවරු වැටුප් ලබත් ද යන්නත් ජනතාවට වැදගත් නැත. රූපවාහිනී සංවාදවලට එන ඇතැම් පුස්සන්ට ඒවා වැදගත් වියහැකිය. එදා මෙරටේ වමේ නායකයන් සමග ශ්‍රීලනිපයේ බණ්ඩාරනායක මැතිනිය හැදුවේත් ජනතා ආණ්ඩුවකි. ජනතාව සමගි පෙරමුණට ඡන්දය දුන්නේ හඳෙන් හරි ගෙනැත් දෙනවා යැයි මැතිනිය කී හාල් සේරු දෙක ගැන බලාගෙන නොවේ. ජනතාවට අවශ්‍ය වුණේ හාල් සේරු දෙක නොව, තුන්වේල කා සැනසිල්ලේ සිටින ජීවිතයකි. ඒනිසා විපක්ෂය මොනවා කිව්වත් මාලිමාවට ඡන්දය දුන්නේ අය.ිඑම්.එෆ්. රාමුව කඩා දැමීමට හෝ පීටර් බෲවර්ලා එලවා දැමීමට හෝ නොවේ. මේ ආණ්ඩුව පොදු ජනතාව අතරින් පැමිණි ගම හඳුනන, දුක වැටහෙන බහුතරයකින් යුතු බව දැන ගෙනය. හිටපු ජනාධිපති රනිල් පැවැසූ එල්බෝඩ් කතාව ද තඹයකට මායිම් නොකරය.
රටක සංවර්ධනය හෙවත් දියුණුව මනින්නේ රට වැසි බහුතර ජනතාවගේ ජීවිත දෙස බලා ඔවුන්ගේ ජීවන රටාව අනුවය. ඒ ජනතාවට කෑම, ඇඳීම වාසස්ථාන යන මූලික කරුණු තුනවත් ඉටුවී තිබිය යුතුය. ඒවාට අමතරව අධ්‍යාපනය, සාහිත්‍යය, කලාව හා සංස්කෘතිය වැනි දේවල් ද තිබිය යුතුය. අප දන්නා තරමින් මේ රටේ කිසිම දිනක අනුරාධපුරයට හෝ දළදා මාලිගාවට හෝ නොගිය අයත් සිටිති. එසේම උපන් හදවියක කොළඹට නොආ අයත් වෙති. මේවාත් ජනතාව ලැබිය යුතු දේවලය. එහෙත් අධ්‍යාපනයේ සිට බොහෝ දේවල් සම්බන්ධව තිබෙන න්‍යායවී ඇත්තේ කොළඹට කිරි ගමට කැකිරිය.
එහෙත් පසුගිය වකවානුවල කොළඹට කිරි තබා කැකිරිවත් ලැබුණේ නැත. ගමෙන් ආපු අනුර කුමාර ජනාධිපති කළේත් මාලිමාවේ බහුතරයක් පාර්ලිමේන්තුවට තෝරාගත්තේත් අලුත් වෙනසක් සඳහාය.
ජනාධිපති අනුර කුමාරගේ වචනවලින්ම කියනවානම් ආර්ථිකයේ ජනතාවගේ පංගුව ලැබුණේ නැත. ජාතික ධනයේ ප්‍රතිලාභ අතළොස්සක් අත රැඳී තිබේ. මහජන සේවා බහුතරයක්ම හබල් බබල් වී තිබේ. දුම්රිය, බස් සේවය ගැන කතා කළ යුතු නැත. සෞඛ්‍ය සේවයේ කඩා වැටීම ඇදහිය නොහැකි තරම්ය. කෙහෙළියගේ සෞඛ්‍යය කෙරුවාව ගැන උත්තර බඳින්නට හිටපු කැබිනට් මැති ඇමැතිවරු පෝලිමේ සී.අයි.ඩී.ය වෙත යති. ගෙදර ගිහිල්ලත් බේරිල්ලක් නැති හැටි යැයි උන්නැහේලාට කේන්ති යනවාත් විය හැකිය. එහෙත් මහත්වරුනි, ඒ සෞඛ්‍යය කෙරුවාවෙන් මිය පරලොව ගිය අයත් ඇස් අන්ධ කරගත් අයත් කොපමණ සිටිත් ද? රෝහල් පද්ධතියම කඩා වැටුණත් පාලකයන්ට එහි බලපෑමක් තිබුණේ ද නැත. මෙතෙක් පැවැති ක්‍රමය වූයේ මොන දීපංකරේකට හෝ ගොසින් පාලකයන්ගේ ශරීර සෞඛ්‍ය ආරක්ෂා කර ගැනීමය.
විපක්ෂයේ සමහරු පවසන්නේ ආණ්ඩුවට එක පෑන් පහරකින් මේ දේවල් වෙනස් කළ හැකි බවය. මාලිමාව ජනතාව රවටා බලය ලබාගත් බවය. විපක්ෂය පවසන පරිදි මේ රටේ ජනතාව මන්ද බුද්ධිකයෝ නොවෙති. ඔවුහු බොහෝ දේශපාලනඥයන්ට වඩා දේශපාලන වශයෙන් සවිඥානක වූවෝය. විපක්‍ෂයේ මහ මැතිවරණ ප්‍රතිඵල සමාලෝචනය කර බලන කවරකුට වුවද එය පසක් වනු ඇත. දේශපාලන වශයෙන් සෑහෙන සුද්දයක් වුවත් තවමත් රාජ්‍ය යාන්ත්‍රණය පරණ පීල්ලේම ගාටමින් තිබෙන සෙයකි. විදුලි ගාස්තු සංශෝධන ක්‍රියාදාමය දෙස බලද්දී වුවද ඒ පසුගාමී ලක්ෂණ දැකගත හැකිය. නිදහසට කාරණා දාහක් කීවත් වැඩේ අලවී තිබෙන බව පැහැදිලිවේ.
ආණ්ඩුවේ ම වෘත්තීය සමිති නායකයකු කියා සිටියේ තවමත් විදුලිබල මණ්ඩලය තුළ දූෂිතයන් සිටින බවය. ඒවා අදාළ ඇමැතිවරුන්ගේ අවධානයට යොමු වියයුතු දේවල්ය. අඟේ ඉඳන් කන කෑමට හපන් නිලධාරීහු මෙරටේ අඩු නොවෙති.
මේ අතර සතිය උණුසුම් කළ දේශපාලන සිදුවීමක් වූයේ උතුරේ මහවිරු සමරුම්ය. කවදත් මේ සැමරුම්වලදී කැපීපෙනෙන චරිතයක් වන්නේ සිවාජිලිංගම්ය. ආරක්ෂක ප්‍රධානීන් පවසන ආකාරයට මෙවර කොටි නායක ප්‍රභාකරන් සැමරීමක් සිදු වී නැත. එහෙත් ප්‍රභාකරන්ගේ ඡායාරූපයක් ප්‍රදර්ශනයක් කිරීමට ඉඩ නොදීමේ පුවතක් ද වාර්තා විය. මේ සැමරුම් උත්සව පොදුජන පෙරමුණ පාර්ශ්වයේ දැඩි විවේචනයට ලක්වීම ද කැපී පෙනේ. කුමක් වුවත් යාපනයේ ස්ථාන කීපයකදී සිදුවුණු සැමරුම් උත්සවවලට හොඳ ජනතා සහභාගිත්වයක් ලැබී තිබුණු බව ද පෙනුණි. ඇත්ත වසයෙන්ම මේ සැමරුම්වලට සහභාගි වූ සාමාන්‍ය ජනතාවට බාධා කිරීම සුදුසු නැත. එසේම එයට මුවාවී කොටි හඬ නැඟීමට ද ඉඩ දියයුතු නැත. අද උතුරේ ජනතාව වුවද තමන් යා යුතු ගමන ගැන අවබෝධයකින් සිටින බව පැහැදිලිය. මාලිමාවට සිය මනාපය පල කළ කොටසක් ද ඒ ප්‍රදේශවල සිටිති. උතුරේ ජනතාව දේශපාලනය වෙනුවෙන් පාවිච්චි වීම වැළැක්විය හැක්කේ ද මේ ආණ්ඩුවටය. එසේම බොරු දේශප්‍රේමය ආරූඪ කර ගන්නා දකුණේ අයට ද ඉඩ දියයුතු නැත. ඇත්තටම තවදුරටත් මේ රටේ දේශපාලනයට ජාතිවාදී හා ආගම්වාදී සටන්පාඨ යොදා ගැනීමට ඉඩ දියයුතු ද නැත. ජනාධිපති අනුර සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් අවධාරණය කළේද එබඳු පටු තක්කඩි දේශපාලනයකට ඉඩ නොදෙන බවය.
අවසන් වසයෙන් මේ සතියේදීවත් විසඳා ගැනීමට නොහැකි වූ විපක්ෂයේ සජිත් මෙන්ම රනිල් ද මැදිවී සිටින ජාතික ලැයිස්තු අර්බුදය ගැන ද අවධානය යොමු කළ යුතුය. ඇත්තට ම මේ තුළින් ගම්‍ය වන අශ්ලීල ග්‍රාම්‍ය දේශපාලනය ගැන ඒ ඒ පාර්ශ්වවලට නොපෙනුනත් එය ජනතාවටනම් හොඳින් වැටහී තිබේ. මේ මළවාතයට මැදිහත්වීම ද ඵලක් නැත. එහෙත් සජිත් කියන ආකාරයට මේ මන්ත්‍රීවරුන් හතරදෙනා නම් කිරීම ඒ තරම්ම උභතෝකෝටිකයක් නම් ඔහුගේ නායකත්වය පිළිබඳ භූමිකාව ජනතාවට ප්‍රශ්නයක් විය නොහැකි ද? අනෙක් අතට මේ ජාතික ලැයිස්තු සංකල්පයේ දේශපාලන අර්ථය මේ නායකයෝ නොදනිත් ද? ජාතික ලැයිස්තුවේ සිටින සියල්ලන්ම තෝරාගැනීමට බැරි බව ඇත්තය. එහෙත් ප්‍රතිපත්තිමය වසයෙන් එහි අනුපිළිවෙළ හෝ වෙනත් නිර්ණායකයක් සොයාගැනීම ඒ තරම් දුෂ්කර ද?
මොනවා වුවත් මාලිමාව දේශපාලන තීන්දු ගත් ආකාරය මේ පසුගාමී දේශපාලන ගොහොරුවක සිටින කාටත් බොහෝ දේවල් උගන්වා තිබෙන බවද කිවයුතුය. අප විසින් මෙයට පෙරත් අවධාරණය කරන ලද පරිදි මේ ජාතික ලැයිස්තු තෝරාගැනීම් පිළිබඳ නීතිමය ප්‍රශ්න ද තිබේ. මේ අවස්ථාවේ ඒවා නිවැරදි කර ගැනීමට බැරි බව ද අපි දනිමු. කුමක් වුවත් පාර්ලිමේන්තුවට තේරී පත්වන 225 දෙනාගේ සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට ද මේ ජාතික ලැයිස්තු අර්බුදය බාධාවක් වී තිබේනම් එතැන ද ඇත්තේ වරදක් අඩුවක් නොවේ ද?