ජනාධිපති අනුර කුමාර දිසානායක එම ධුරයට පත්ව දැන් හය මසක් සම්පූර්ණ වී තිබේ. ඒ හරියටම ඉකුත් 21 වැනිදාටය. විපක්ෂය ඇතුළු මේ ආණ්ඩුවේ විවේචකයන් විසින් ඒ කාලය සම්බන්ධයෙන් විවිධ අර්ථකථන හා විග්‍රහයන් ද සිදුකරනු ලැබ ඇත. ඒවා අපට එතරම් අදාළ නොවූවද මේ කාලය තුළ මෙරටේ සමාජ – ආර්ථික හා දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වැදගත් හා මූලික වෙනස්කම් පිළිබිඹුවේ ද යන්න අප අවධානයට යොමු විය යුතුය. මේ පිළිබඳව අපට ඇසුණු එක් විග්‍රහයකින් කියැවුණේ මාස හයක් වැනි සෑහෙන කාලයක් ගෙවී තිබුණත් තවමත් සමාජයට හා ජනතාවට දැනෙන වෙනසක් සිදු වී නොමැති බවය. විශේෂයෙන් සඳහන් වූයේ මේ හය මාසයක කාලය ඇතුළත අල්ලස් හෝ දූෂණ සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව විවිධ ඝෝෂා සිදුවුවත් ආණ්ඩුවට හැකි වූයේ යාන්තම් නඩු දෙකක් සඳහා අධිචෝදනා ඉදිරිපත් කිරීමට පමණක් බවය. ඒ එක් නඩුවක් යෝෂිත රාජපක්ෂ හා ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් (ඩේසි ආච්චි) දෙදෙනාගේ මූල්‍ය ගනුදෙනුවකට අදාළවය. අනෙක් නඩුව ද එබඳුම මූල්‍ය ප්‍රශ්නයක් වන අතර චෝදනා නැගී තිබෙන්නේ පොහොට්ටුවේ ජාතික සංවිධායක ද වන නාමල් රාජපක්ෂට එරෙහිවය. ක්‍රිෂ් ගොඩනැඟිල්ල සඳහා වූ ඒ ගනුදෙනුව ද ඩේසි ආච්චි සම්බන්ධ චෝදනා ද සමාජ දේශපාලන ආන්දෝලනයකට තුඩු දී තිබෙන මාතෘකාවන්ය. ජාජබ දේශපාලන වේදිකාවල ද මේ නඩු දෙකට අදාළ විවිධ විවේචන ඇසුණි. එසේම උගන්ඩාව වැනි වෙනත් රටවල ද බැංකු තැන්පතු, වත්කම් හා මහා ධනස්කන්ධයක් ද රාජපක්ෂවරුන්ට තිබෙන බව ජාජබයේ බරපතළ විවේචනය හා චෝදනාව ද විය. එපමණක් නොව ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන් මල්වාන නිවස පිළිබඳ ගනුදෙනුව ද අහෝසි කර හෝ යටපත් කර ඇති බව ද ඔවුහු කීහ. ශ්‍රීලන්කන් ගුවන් සේවයට පත් කළ රාජපක්ෂ නෑයින්ගේ අවිධිමත් ගනුදෙනු මෙන්ම ඒවායේ ඉහළම තනතුරු ගැන ද දැඩි චෝදනා නැගුණි. මිග් ගනුදෙනුව ද කුහුල දනවන සුළු මහා දූෂිත එකක් විය.

ජාජබ නායක අනුර කුමාර විසින් ඒ අනීතික ගනුදෙනු, ජාතික සම්පත් කොල්ලකෑම් පිළිබඳව කෙබඳු අනාවරණයන් කරන ලද නමුත් ඒ එකක්වත් නීතිය ඉදිරියට ගෙන යෑමට ගතවූ මාස හය ඇතුළත නොහැකි වූ බව ඔවුන්ට එල්ල වූ විවේචනය විය. එපමණක් නොව ජනාධිපති අනුර කුමාර මැතිවරණ වේදිකාවේ සිට ප්‍රශ්න කළේ මහින්ද රාජපක්ෂට හෝ රනිල් වික්‍රමසිංහට හෝ තමන්ගේ පක්ෂවල හොරුන් නැතැයි කිව හැකි ද යන්නයි. ඔහු ආකර්ෂණීය ලෙස පැවසුවේ නායකයන්ට ද දූෂණ චෝදනා තිබෙන බවය. ඇත්ත වසයෙන්ම මේ දූෂණ විරෝධී හඬ ජනතාව ඇද බැඳගත් මන්තරයකි. එපමණක් නොව ජාජබයේ කිසිවකුට දූෂණ, වංචා, හොර මගඩි පිළිබඳ කිසිදු චෝදනාවක් තිබුණේ ද නැත. එහි ප්‍රතිඵලය වූයේ ජනාධිපති අනුර කුමාර අපේක්ෂා කළ ආකාරයටම දියවන්නාව පිරිපහදු වීමත් ඔවුන්ට මහා බලයක් හිමිවීමත්ය. ජේ. ආර්. ජයවර්ධන විසින් 1977දී තහවුරු කරන ලද එජාපය 1994 වනවිටත් බලවත් නායයෑමකට ලක්ව තිබුණු අතර රාජපක්ෂවරුන්ගේ තෝරා ගැනීම වූ අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙන්ම ඒ ප්‍රභූ තාන්ත්‍රික දේශපාලනයේ විවාදාත්මක චරිතය වූ මහින්ද රාජපක්ෂට ද ඛේදජනක පරාජයකට මුහුණ දීමට සිදුවිය. එහෙත් ජනාධිපති අනුර කුමාරට සිදු වූයේද හිටපු ජනාධිපති රනිල් මෙහෙය වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමගම ඉදිරියට යෑමටය.

ජනපති අනුරගේ මාස හයක ශේෂ පත්‍රය සහ ආණ්ඩුව මැදිවී සිටින උභතෝකෝටික!

විපක්ෂ ඇතුළු තම පසමිතුරු දේශපාලන කඳවුරුවලින් කෙබඳු විවේචන හා චෝදනා එල්ල වුවත් ජනාධිපති අනුර කුමාර ගැඹුරු සමාජ දේශපාලන විඥානයක් සහිත නායකයකු බව තහවුරු වූයේ ද ඒ ජාත්‍යන්තර මූල්‍ය රාමුව සමග ඉදිරියට යෑමට ගත් ස්ථිරසාර තීරණය නිසාය. විපක්ෂ නායක සජිත්ට අනුව ජනාධිපති අනුර අයිඑම්එෆ් රූකඩයකි. පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතදීත් ඔහු රනිල්ගේම පියවර ඔස්සේ ගමන් කරන බවට දැඩි විවේචනයක් තිබේ. එහෙත් එය බුද්ධිමත් තීරණයක් බව නිසැකවම කිව යුතුය. එදා රනිල් යෝජනා කළ බදු චක්‍රය එලෙසම පවත්වාගෙන යෑම හැර වෙනත් විකල්පයක් ද ජනාධිපති අනුරට නොවීය. එහෙත් ඔහු එහි සීමාව අඩු කර තිබේ. රටේ ආර්ථිකය කඩා වැටීම සම්බන්ධයෙන් රාජපක්ෂවරුන් ප්‍රමුඛ නිලධාරීන් වගකිව යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ නිගමනය විය. එවේලේ රනිල් විධායකයේ නොසිටියේ නම් ඔහුට ද එය අදාළ වීමට ඉඩ තිබුණි. කුමක් වුවත් රනිල් දින කීපයකට පෙර සඳහන් කළේත් ආර්ථික රෝගියා දැඩි සත්කාර ඒකකයේ තවම සිටින බවය.

ආණ්ඩුවේ ප්‍රබල විවේචකයකු වී සිටින පෙරටුගාමී පක්ෂය චෝදනා කරන්නේ රට මූල්‍ය අරමුදලේ උගුලක හිර කර තිබෙන බවය. ඔවුන් කුමක් කීවත් මේ අයවැය තුළින් රැඩිකල් යෝජනා ඉදිරිපත් කිරීමට ආණ්ඩුවට ශක්තියක් තිබුණේ ද නැත. බලයට ඒමට පෙර ජාජබය පැවසූ රැඩිකල් කතන්දර ඉටු කළ නොහැකි දේවල් බව අද ඔවුහු ප්‍රත්‍යක්ෂ කරගෙන සිටිති. එහෙත් විවාදාත්මක ශ්‍රීලන්කන් ගුවන් සේවයේ බර ජනතාවට යළි පැටවීම නොකළ යුතුව තිබුණකි. එදා ශ්‍රීලන්කන් පෞද්ගලිකකරණය කළ චන්ද්‍රිකා පාලනයට එයින් ලාභ ලබාගැනීමට ද හැකි විය. ජාජබයේ ආර්ථික ප්‍රතිපත්තිය නිදහස් හා සාධාරණ අවස්ථා සමාන මැදිහත්වීමක් යටතේ සකස් වන එහි ප්‍රතිලාභවල සාධාරණ පංගුවක් ජනතාවට ලැබෙන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම් වූවක් බව සඳහන් වේ. (පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශනය, පිටුව – 98) සජබය කෙබඳු විවේචන කළත් ඔවුන් පිළිගන්නේ ද සමාජ වෙළඳපොළ ආර්ථික මොඩලයකි. මානුෂීය ධනවාදය යන යෙදුම් ද සජිත්ගේ මුවඟ රැව්දෙයි.

අප මේ තොරතුරු දැක්වූයේ ජනාධිපති අනුර හය මාසයක් තිස්සේ කළ කී දේවලින් බිඳක් මතක් කිරීමටය. දැන් මේ ආණ්ඩුවට එරෙහිව නගන ප්‍රධාන චෝදනාව වී ඇත්තේ ඔවුන් බොරුවෙන් රට මුලා කර බලය ලබාගත් බවය. මේ පිළිබඳව පළමුවෙන්ම කිවයුත්තේ ඒ විවේචනය දේශපාලන සාක්ෂරතාවක් සහිත බහුතර ජනතාවට කළ නිගාවක් බවය. එහෙත් දසක හතකට නොඅඩු ප්‍රභූතන්ත්‍ර පාලනයේ පදනම බොරුව හා රැවටිල්ලම නොවේද? ජාජබයට බලය ලබාදුන් ජනතාව ඔවුන්ගෙන් අපේක්ෂා කරන සමාජ – දේශපාලන පුනරුදය පිළිබඳ අපේක්ෂාව ඉටු නොවන්නේ නම් ඔවුන් කිසිසේත් මේ ආණ්ඩුව සමග නොසිටින බව ද නිසැකය. එසේම බලය හා අධිතක්සේරුවකින් ඒ ගැන උදම්වීම ද මාලිමාවේ බිඳ වැටීමට හේතු වන බව ද පෙන්වා දිය යුතුය. එසේම දූෂණයෙන් තොර රටක් මෙන්ම දූෂිතයන්ට, හොරුන්ට හා ජාතික සම්පත් වැනසූ තක්කඩි දේශපාලනඥයන්ට දඬුවම් දීමට ද මේ ආණ්ඩුව ජනතාව සමග ගිවිසුමක් අත්සන් කර තිබෙන බව ද සිහිපත් කළ යුතුය. මේ ගතවූ හය මසක කාලය තුළ ඒ සඳහා ජනතාවට දැනෙන යමක් සිදු නොවූ බවට ලඹ දෙන දේශපාලන විවේචනයට ක්ෂණිකව ප්‍රතිචාර දැක්විය යුතු බව ද කිව යුතුය.

මේ ආණ්ඩුවත් එහි නායකයා වන ජනාධිපති අනුරත් මැදිවී සිටින තවත් උභතෝකෝටිකයක් වන්නේ පාස්කු ප්‍රහාරයේ (2019) වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීම ප්‍රමාද වීමය. මේ සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් හිමියන් තුළ කනස්සල්ලක් තිබෙන බව ඉතා පැහැදිලිය. ඒ යුක්තිය ඉල්ලා කිතුනුවන් සමග පාරට බැසීමට සිදුවන බවට උන්වහන්සේ අනතුරු හැඟවීමක් ද කර ඇත. මේ පිළිබඳව සිරිල් ගාමිණී පියතුමාගෙන් අප කළ විමසීමකදී උන්වහන්සේ සඳහන් කළේත් විමර්ශන සිදුවුවත් එහි දුබලතා තිබෙන බවය. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවල වාර්තා තවමත් ජනගත නොකිරීම ගැන පියතුමාගේ ද කනස්සල්ල පළ විය. මෙම ප්‍රහාරය සිදුවී වසර හයක් ගත වනවිටදීත් ඒ ඛේදවාචකයට වගකිය යුතු අය සොයා ගැනීමට නොහැකි වීම අවාසනාවක් බව ද පියතුමා කීවේය. එසේම වත්මන් ජනාධිපතිවරයා මේ අපරාධය කළ අය නීතිය ඉදිරියට ගෙන එන බවට පොරොන්දුවක් දී තිබෙන බව ද ඔහු අවධාරණය කළේය.

කෙසේ වුවද එළඹෙන අප්‍රේල් මාසය මෙන්ම මැයි මාසය ද ජනාධිපති අනුර කුමාරගේ ආණ්ඩුවට අතිශය තීරණාත්මකය. අප්‍රේල් මාසයේ පැවැත්වීමට නියමිතව තිබෙන බටලන්ද විවාදයත්, ආණ්ඩුවට දැඩි විවේචන එල්ල වූ දේශබන්දු පොලිස්පති සම්බන්ධ අර්බුදයත් නිසාය. බටලන්ද විවාදය අනපේක්ෂිත ලෙස ආණ්ඩුවට වැටුණු මාතෘකාවකි. ජවිපය ද මැදි වී සිටි භීෂණයක අඳුරු මතකයක ආවර්ජනයක් මෙම විවාදයට කඳුළක් මෙන්ම වෛරයක් ද මුසු කරනු ඇතැයි අපට හැඟේ. එවක පාලකයන් ලෙස සිටි එජාපයේ නායකයන් නීතිය හා පොලිසිය අනිසි බලය යොදා ගැනීමේ අපකීර්තිමත් යුගය වෙත යළි කැඳවාගෙන යෑමටත් ජවිපෙ කුරිරු හා ම්ලේච්ඡ ඝාතන රැල්ලක් මෙහිදී සමාජ කතිකාවට නිමිති වූ අයුරු කවුරුත් දනිති. බටලන්ද සම්බන්ධ චෝදනා පත්‍රයේ ප්‍රමුඛ දේශපාලන චරිතය ලෙස රනිල් වික්‍රමසිංහට මුහුණ දීමට සිදුව තිබේ. 1978න් ඇරඹුණු එජාප දේශපාලනයේ අද සිටින ප්‍රබල චරිතය ද රනිල්ය. ජයවර්ධන, ප්‍රේමදාස ජනාධිපතිවරුන්ගේ හා එජාප මුල් පෙළේ ක්‍රියාකාරීන්ගේ සියලු මැදිහත්වීම් ක්‍රියාකාරකම් සියල්ලටම ඔහුට වගකීමට සිදුව ඇත්තේ ද එනිසාය. ජවිපෙ මුල් පෙළට අයත් ටිල්වින්ට මෙන්ම අනුර කුමාරට ද මේ භීෂණ අඳුරේ අමිහිරි සෙවණැලි නිසා කම්පනයකට ලක්වීමට සිදුවනු ඇත. රනිල්ට සිය සුපුරුදු දේශපාලන උප්පරවැට්ටි යොදා ගනිමින් මේ බටලන්දෙන් නිදහස් විය නොහැකිය. චන්ද්‍රිකා හෝ මහින්ද පාලන කාලවලදී ඔහුව ඉලක්ක කරගැනීමේ දේශපාලන වුවමනාවක් ද නොවීය. ඒ ඔවුහු එකම පන්තියකට අයත් වීම හා ප්‍රභූතන්ත්‍ර දේශපාලන ගනුදෙනුවක නිරත වී සිටි නිසාය. එසේම වත්මන් ජනාධිපති අනුරට වුවද බටලන්ද වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමේ දේශපාලන අභිලාෂය දැඩිව නොතිබුණි. කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද පැවසුවේත් මේ විවාදය සඳහා විපක්ෂය එකඟ කරවා ගත්තේ අමාරුවෙන් බවය. කුමක් වුවත් බටලන්ද විවාදයෙන් පසු අපට මේ පිළිබඳව තියුණු අවධානයක් යොමු කළ හැකිය.

මේ අතරම පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් එම ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාදාමයකට ද ආණ්ඩුව මැදි වී සිටියි. දේශබන්දුට තවදුරටත් එම ධුරයෙහි රැඳී සිටීමට ධෛර්යක් තිබීම ද පුදුම සහගතය. මන්දයත් මේ වනවිටත් ඔහු අරභයා සමාජගත වී තිබනෙ කිළිටි පුවත් හා නිර්දය විවේචන ද නිසාය. නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඔහුගේ ප්‍රතිරූපය සිඳ බිඳ දමනු ලැබ තිබේ. මේ ලියන මොහොත වනවිටත් ඔහු රක්ෂිත බන්ධනාගාර ගතව සිටින්නෙකි. ඔහුගේ පත්වීමට අභියෝග කළ නඩු කීපයක්ම ඇත. හිටපු ජනාධිපති රනිල් හා හිටපු කථානායකගේ අනීතික බලපෑමකින් ඔහුට එම ධුරය ලැබුණු බව ද නොරහසකි. ඔහු සමග තවත් ඇමැතිවරයෙක් ද විය. විපක්ෂ නායක සජිත් ඇතුළු කණ්ඩායම දැනටමත් ඔහු ඉවත් කිරීමට සහාය දෙන බව පවසා තිබේ.

ජනපති අනුරගේ මාස හයක ශේෂ පත්‍රය සහ ආණ්ඩුව මැදිවී සිටින උභතෝකෝටික!

දැන් ආණ්ඩුව තවත් උභතෝකෝටියකට මැදිවී සිටියි. ඒ මෙරටේ එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මැදිහත් වූ ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවේ හිටපු ප්‍රධානීන් ඇතුළු සිව්දෙනකුට එක්සත් රාජධානිය විසින් සම්බාධක පැනවීමට ගත් ඒකපාක්ෂික තීන්දුව නිසා උද්ගත වූ ප්‍රශ්නයකි. බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර ඇතැම් රටවල් මෙරටේ ත්‍රස්තවාදය සඳහා අලජ්ජි ලෙස සහාය දුන් අඳුරු ඉතිහාසයක් ද ඇත. ඒ රටවල ලැගුම් ගත් දෙමළ ඩයස්පෝරාවත් ඊළාම් රූකඩත් එදා මෙන්ම අදත් ලංකාවට එරෙහිව ක්‍රියා කරන්නෝය. මේ බොහෝ දෙනකුට කොටින්ට අත් වූ පරාජය දරාගත නොහැකි බව ද අපි දනිමු. පස් වැනි විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රභාකරන් හා ඔහුගේ ත්‍රස්තවාදය මෙරටේදී පරාජය කර ඒ විපතින් ජනතාවත් රටත් ගලවා ගත් නායකයාය. ඔහුගේ දේශපාලන භූමිකාවේ රමණීය සිහිවටනය ද ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමය. ඔහුගේ මෙහෙයීමෙන් එවක දියත් වූ මානුෂික මෙහෙයුම නොවන්නට ශ්‍රී ලංකාව තවමත් කොටි ග්‍රහණයේය. රටේ නීත්‍යනුකූල හමුදා ඒ මෙහෙයුම සාර්ථක කිරීමට කළ පරිත්‍යාග – කැපවීම් ඉතා විශාලය. අදත් ඒ රණවිරු පවුල්වල කඳුළ සුසුම නිම වී නැත.

වසර තිහකට නොඅඩු ත්‍රස්තවාදයක් පරාජය කිරීමට කැප වූ හමුදාවලට නායකත්වය ලබාදීම වරදක් වන්නේ කෙසේද? ජනවාර්ගික ප්‍රතිවිරෝධතා මත ඇති වූ සමාජ කැළඹීම් හා ප්‍රචණ්ඩත්වය අවසන් වුවත් එහි දුබලතා, අඩුපාඩු තිබෙන බව ද අපි දනිමු. එහෙත් ප්‍රචණ්ඩත්වය නිසා වින්දිතයන් බවට පත්වන පුද්ගලයන්ට යුක්තිය ඉටුවීමේ ක්‍රියාවලිය නිසි ලෙස ඉදිරියට නොගිය බව ද ඇත්තය. එයට ද බටහිර රටවල් යම් ප්‍රමාණයකට වගකිව යුතුය. ඒ ප්‍රචණ්ඩත්වය පිළිබඳ ප්‍රශ්නයේ එක් කොටසක් ලෙස හමුදා නායකයන් ද දැක්විය හැකිය. එහෙත් ප්‍රචණ්ඩත්වයේ නිර්මාතෘවරුන් වන ප්‍රභාකරන් හා ඔහුගේ ම්ලේච්ඡ ක්‍රියාවලට අනුබල දුන් අය ද එයට වගකිව යුතු වෙති. එනිසා යුක්තිය ඉටු කිරීමටත් සංහිඳියාව ගොඩනැඟීමටත් මේ සියලු පාර්ශව එක්ව සත්‍යගරුකව මානුෂික මූලධර්ම මත ක්‍රියාකර ඒ කුරිරු ම්ලේච්ඡත්වය ප්‍රබුද්ධ මනසින් විමසා බැලිය යුතුය. එහෙත් ඒ කිසිවක් නොතකා හිතුවක්කාර හා දරදඬු අධිපතිවාදී මනසකින් බ්‍රිතාන්‍ය ප්‍රතිචාර දැක්වීම අප දැඩි සේ හෙළා දැකිය යුතුය. අපට කිසිසේත්ම රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ ව්‍යාජ අයිසින් යොදා මේ ප්‍රශ්නය යට ගැසීමට වුවමනා නැත. එහෙත් ඒකපාර්ශ්විකව තම බලය පෙන්වන කාට වුවද අප යටත් විය යුතු නැත. අපේ ඉතිහාසයේ සඳහන් වන පරිදි 1818 වැනි කාලයක බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීහු අපේ හාම්පුතුන් බවට පත්ව සිටියහ. ඔවුන්ගේ කෲර වධ හිංසා, තුවක්කුවෙන් යුක්තිය පසඳලීම ආදිය ගැන ඒ ඉතිහාසයේ දැක්වේ. එහෙත් එදාත් අපේ දේශප්‍රේමී නායකයෝ ඔවුන්ට යටත් නොවූහ. අදත් ඇතැම්විට ඒ අධිරාජ්‍යවාදී ආකල්ප හා ඒ ජාන නූතන පාලකයන්ට තිබේදැයි අපි නොදනිමු. කුමක් වුවත් අප නිදහස් නිවහල් රටක් බව මේ අධිපතිවාදීන්ට කිව යුතුය. එසේම දෙමළ ඩයස්පෝරාවටත් ඊළාම්වාදීන්ටත් අනුග්‍රහය දක්වමින් සිය දේශපාලන නග්නත්වය ප්‍රදර්ශනය කිරීමේ අවමානයෙන් ඔවුන්ට ගැලවීමක් නැත.

අවසන් වසයෙන් මැයි 06 වැනිදා එළඹෙන පළාත් පාලන මැතිවරණයේදීත් මේ මාස හයක් සපිරුණු ජනාධිපති අනුර කුමාරට හා ඔහුගේ ආණ්ඩුවට ලැබෙන ජනතා ප්‍රතිචාරය අපට දැන මැන ගැනීමට බාධාවක් නැති බව ද කිව යුතුය.


advertistmentadvertistment