ජීනීවා සෞඛ්‍ය සමුළුවට එක්වූ සෞඛ්‍ය ඇමැති WHO අධ්‍යක්‍ෂ ජනරාල් හමුවෙයි

3

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුවට එක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙන්ද්රෝස් අධනොම් ගෙබ්රියසස් මහතා හමු වූ අතර එහිදී මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ක්‍රියාකාරීත්වය සහ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.

මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන දහසක් අලුතින් ආරම්භ කිරීම, මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවෙන ජාත්‍යන්තර සංවිධාන සහ පරිත්‍යාගශීලීන් එක්කර මෙරට සෞඛ්‍ය සේවාවේ අභිවෘද්ධිය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් කටයුතු කිරීම, මෙරට සෞඛ්‍ය සේවාවේ නිරත සෞඛ්‍ය වෘත්තිකයන් විදේශගතවීමේ ගැටලුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකයන් පදනම් කරගනිමින් විසඳුම් සෙවීම, ලෝක සෞඛ්‍ය සංවිධානය මැදිහත්ව මෙරට ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල ප්‍රගතිය සමාලෝචනය ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව දීර්ඝව මෙහිදී සාකච්ඡා කරන ලදී.

මීට අමතරව නුදුරු දිනකම මෙරට සංචාරයකට එක්වන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙන්ද්රෝස් අධනොම් ගෙබ්රියසස් මහතාට ආරාධනා කළ අතර එමෙන් ම 2025 ඔක්තෝම්බර් මස කොළඹ දී පැවැත්වෙන දකුණු ආසියානු කලාපීය සමුළුවට සහභාගීවන ලෙස ද අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂවරයාට ආරාධනා කරන ලදී.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවා නිත්‍ය නියෝජිත හිමාලි අරුණතිලක, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජිනීවාහි පළමු ලේකම් නිශාන්තිනි වික්ටර් යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්විය.


advertistmentadvertistment