ට්‍රම්ප්ගේ බුල්ඩෝසරය USAID සමතලා කරයිද?

638

USAID ආයතනය බිමට සමතලා කිරීමෙන් ඇමරිකන් අධිරාජ්‍යවාදයේ සැලකිය යුතු කොටසක් වළලා දැමීමට ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත්ව ඇත. මේ නිසාම ජනාධිපති ට්‍රම්ප් ඇමරිකාවේ පහළ වූ පළමු වන ප්‍රගතිශීලී නායකයා බවට පත්වීමට ඉඩ තිබේ. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු ඇමරිකන් ජනාධිපති ක්‍රමයේ වෙනම දිගුවකි. ඒ දිගුව මෙතෙක් කල් ඇමරිකාව පාලනය කළ ජනාධිපතිවරුන්ගේ චින්තනයට ද වෙනස්ය. වෙන රටවල යුද්ධවලට සම්බන්ධ වීමට ට්‍රම්ප් කැමති නැත. කිසියම් රටක යුද්ධයක් පවතින විට ඒ පැත්තට ඇමරිකන් ප්ලේන් එකක් යවා බෝම්බයක් හෙළීම මීට පෙර ඇමරිකන් රාජ්‍ය නායකයෝ පුරුද්දක් වශයෙන් කළහ. ඒත් ට්‍රම්ප් කියන්නේ ඇමරිකන් ජනතාවගේ මුදල් වියදම් කරමින් වෙන රටවල යුද්ධවලට සහභාගි වීම නිරර්ථක ක්‍රියාවක් බවය. මේ නිසාම පසුගිය වතාවේ ජනාධිපතිව සිටිය දී ඇෆ්ගනිස්ථානයේ සිටි සියලුම ඇමරිකන් හමුදා ඇමරිකාවට ගෙන්වාගෙන ඇෆ්ගනිස්ථානයට ඕන කුදයක් ගසා ගන්නා ලෙස පැවැසීමට තරම් ට්‍රම්ප් විවෘත විය. මෙවර ජනාධිපති වූ පසු ට්‍රම්ප්ගේ ප්‍රමුඛ කාර්ය අතරින් එකක් වූයේ USAID ආයතනය වසා දැමීමය. USAID යනු අවුරුද්දකට ඇමරිකන් ජනතාවගේ මුදල්වලින් ඩොලර් බිලියන හතළිහක් ගිල දමන ආයතනයකි. එම මුදල ලංකාවේ සමස්ත විදේශ ණයවලින් භාගයක් හා සමානය. පසුගිය කාලයේ දී ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන රටවල ආණ්ඩු මාරු කිරීම සඳහා USAID ආයතනය ඩොලර් මිලියන දෙසිය පනහක් වැය කර ඇති බව ට්‍රම්ප් සඳහන් කර තිබේ. එසේ නම් ගෝඨාභය රාජපක්‍ෂගේ ආණ්ඩුව පෙරළීමට ද USAID ආයතනය කවරාකාරයකින් සම්බන්ධ වුණේ ද යන්න සොයා බැලිය යුතුය. ගෝඨාභය පලවා හැරීමේ ක්‍රියාවලිය එක්තරා අන්දමක භීෂණකාරී නාට්‍යයක් හා සමානය. ගෝඨාභය ජනාධිපති මන්දිරය තුළ සිටින අතරතුර සැබෑ අරගලකරුවෝ ද අරගලකරුවන් අතර සිටි දාමරිකයෝ ද වෙනත් දේශපාලන කොන්ත්‍රාත්කාරයෝ ද ජනාධිපති මන්දිරය වැටලූහ. එහෙත් එළියේ එවැනි කලබලයක් පවතින බව ගෝඨාභය දැන සිටියේ නැත. සියලු දෙනාම ඔහුට කියා සිටියේ එළියේ කිසි ප්‍රශ්නයක් නැති බවත් අරගලකරුවන් තව ස්වල්ප වේලාවකින් විසිරයෑමට ඉඩ ඇති බවත්ය. නමුත් ජනාධිපති මන්දිරය අරගලකරුවන් වටලා බව ඇති බව ගෝඨාභය දැනගත්තේ එක්තරා රූපවාහිනී චැනලයක් මගිනි. ජනාධිපති මන්දිරයේ ගේට්ටු කඩාගෙන ඇතුළට ඒමට උත්සාහ කරන විශාල පිරිසක් ඔහුට එහිදි දැකගන්නට ලැබිණ. වහාම හෙලිකොප්ටරයක් ගෙන්වාගෙන රටින් පැනයෑමට ඔහු තීරණය කරන්නේ මේ වෙලාවේදීය. මේ කාරණා සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පැවැත්වීමට ජනාධිපති ට්‍රම්ප්ට පුළුවන. ලංකාවේ තානාපති කාර්යාලවල සිටින රාජ්‍ය තාන්ත්‍රිකයන්ගෙන් වැඩි දෙනා ඔත්තුකරුවෝ වෙති. USAID ආයතනය මෙම ඔත්තුකරුවන්ට මුදලින් උදව් කළේ ද යන්න සොයා බැලිය යුතුය. එසේ වුවද ගෝඨාභය මේ පරිප්පුව කෑවේ ඔහුගේ ආණ්ඩුවේ තිබූ දුර්වලකම් නිසාය. තෙල්, ගෑස් හෝ විදුලිය නැති ආණ්ඩුවකින් වැඩක් තිබේ ද? එවැනි නිරර්ථක ආණ්ඩුවක් තිබෙන රටකට මැදිහත් වීමට ඕනෑම බලවේගයකට පුළුවන.

USAID ආයතනය 1961 දී පටන් ගන්නා ලදි. ලංකාවේ පාසල් දරුවන්ට දිවා ආහාරය සඳහා බිස්කට් බෙදන ලද්දේ මේ ආයතනය විසිනි. මේ බිස්කට් පෝෂ්‍ය පදාර්ථවලින් අනූන වූ අතර දුගී පාසල් දරුවන්ගේ කුස යම් ප්‍රමාණයකින් පිරවීමට සමත් විය. ඒ ආකාරයෙන් ලොව පුරා සිටින දුප්පත් ළමයින්ගේ යහසාධනය උදෙසා කටයුතු කළ USAID ආයතනය රට රටවල ආණ්ඩුවලට ඇඟිලි ගැසීම සඳහා සෙට් වුණේ 1970 න් පසුවය. ඒ වන විට ලංකාව ගැමි රාජ්‍යයකි. ඒ නිසා ලංකාවට ඇඟිලි ගැසීමට ඕනෑම බලවේගයකට හැකි විය. 1970 න් පසු රාජ්‍ය නොවන සංවිධාන නමැති සංවිධාන විශේෂයක් ලංකාවේ ආරම්භ විය. මේ ආයතන පිළිබඳ මූලික සංකල්පය ද වෙන රටකින් පැමිණි එකක් විය. සමහර රාජ්‍ය නොවන සංවිධාන හෙවත් එන්.ජී.ඕ. මේ රටේ දුප්පත් ළමයින්ට පොත්පත් ලබා දුන්නේය. තවත් සමහර සංවිධාන ඇඳුම් පැළඳුම් ලබා දුන්නේය. තවත් සමහර සංවිධාන ස්වයං රැකියා ලබාදීම, කර්මාන්ත ආරම්භ කිරීම සඳහා සුළු පරිමාණ ණය ලබාදීම යනාදිය පටන් ගත්තේය. රටේ දේශපාලනයට බලපෑම් කිරීම සඳහා රාජ්‍ය නොවන සංවිධාන ආරම්භ කළ යුතු බවට අපේ උගතුන්ට මේ අතර සිත් විය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් USAID වැනි ආධාර සංවිධාන සම්බන්ධීකරණය කළ ඔවුහු තමන්ට අභිමත න්‍යායපත්‍ර අනුව එන්.ජී.ඕ. පටන් ගත්හ. මේ එන්.ජී.ඕ. ඇතැම් ඒවා වැඩිහරියක් ලංකාවට එන්නේ මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කිරීම, ජනමත විචාරණ කිරීම, විවිධ කාරණා සඳහා ආණ්ඩුවට බල කිරීම වැනි දේ කිරීම පිණිසය. මේ එන්.ජී.ඕ. අතර ද තරගයක් විය. ආණ්ඩුවට වැඩියෙන් බලපෑම් කළ හැකි සම්බන්ධතා සහිත රාජ්‍ය නොවන ආයතන USAID වැනි ආයතනවලින් වැඩිපුර මුදල් ලබා ගත්තේද? මේ මුදල්වලින් වැඩි හරිය වියදම් කරන ලද්දේ එම රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන්ගේ වාහන සහ කාර්යාල වෙනුවෙනි. ඒ අතර තමන්ට හිතවත් කිහිප දෙනකු එකතු කරගත් ඔවුහු තරු පහේ හෝටල්වල සම්මන්ත්‍රණ පැවැත්වූහ. මෙවැනි එක සම්මන්ත්‍රණයකට ඩොලර් පන්සීයක් වියදම් වී නම් එය ඇමරිකාවට පෙන්වන ලද්දේ ඩොලර් දෙදහක් ලෙසය. සාධාරණ මැතිවරණ පැවැත්වීම සඳහා එන්.ජී.ඕ. අවශ්‍ය නැත. ඒ සඳහා මැතිවරණ දෙපාර්තමේන්තුවත්, පොලිසියත් සිටී. මේ ආයතන දෙක ඇතැම් තැන්වලදී හරිහැටි ක්‍රියාත්මක නොවීම නිසා මැතිවරණ නිරීක්‍ෂණය කරන එන්.ජී.ඕ. ඔළුව උස්සන්නට පටන් ගත්තේය. ඩොනල්ඩ් ට්‍රම්ප් කරන්නේ ඇමරිකන් ජනතාවගේ වියදමෙන් දෙන මේ ආතල් එක අවසන් කිරීමය. එහෙත් තව අවුරුදු පහකින් ඇමරිකාවට වෙනත් ජනාධිපතිවරයෙක් පැමිණියොත් USAID නැවත පටන් ගැනීමට ඉඩ තිබේ. හැබැයි අපට හිතෙන විදිහට USAID යළි පටන් ගැනීමට තිබෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම වසා දැමීමට ට්‍රම්ප් කටයුතු කරනවා ඇත.


advertistmentadvertistment